‘දඩයම’ දඩමීමා කරගන්නා ‘දඩඉම’ | සිළුමිණ

‘දඩයම’ දඩමීමා කරගන්නා ‘දඩඉම’

ඩඉම’චිත්‍රපටය සුවිශේෂ වනුයේ පළමු වරට අපට පිළිකා ශල්‍ය වෛද්‍යවරයකුගේ සිනමා ඔපරේෂන් එකක් දැකබලා ගන්නට ලැබෙන නිසාය. අනෙක් කාරණය වනුයේ විශිෂ්ට සිනමාකරුවකුගේ චිත්‍රපටයක දෙවැනි කොටස එම සිනමාකරුවා ජීවතුන් අතර නැති කාලෙක වෛද්‍යවරයකු අතින් පණ ලබන නිසාය. එම විශිෂ්ට සිනමාකරුවා සිටියා නම් තම කෘතියෙහි මෙම දිගුව දකිනුයේ කෙලෙස විය හැකිද? මෙම නවක සිනමාකරුවාගේ අවාසනාවකට (හෝ වාසනාවකට) තමා උත්තේජනය ලබන මුල් කෘතියේ අයිතිකරු මෙලොව නැත. 

‘දඩඉම’ චිත්‍රපටය අද්විතීය වන තවත් කාරණාවකි. විශිෂ්ට රංගවේදිනියක් සිය ජීවිතය බේරා දුන් විශේෂඥ වෛද්‍යවරයා සිනමාවේදියකු ලෙස උපදවන්නට තරම් කෙළෙහිගුණ දක්වන භාවකම්පිත අවස්ථාවකි. ඒ නිසාද කෙනෙකුට මෙය වැදගත් විය හැකිය. යම් චිත්‍රපටයක සහ එහි දෙවැනි කොටසෙහි චරිත දෙකක් යුග දෙකකදී (83දී සහ 23දී) රඟපාන මෙරට එකම රැඩිකල් නිළිය ස්වර්ණාද? චරිත තෝරා බේරාගෙන සීරුවෙන් රඟපෑ නිළියක් වසර 55ක සිය රංගන ජීවිතයේ විශේෂ වූ කෘතියක එන අවශේෂ කාන්තා චරිතයකට පණපොවන්නට හිත හදාගත් මොහොතක් ලෙස ද මෙම චිත්‍රපටය විශේෂය.

වසන්ත ඔබේසේකර 'දඩයම'තනන අසූව දශකයේදී රත්මලී ගුණසේකර රඟපෑ එම කුඩා චරිතය දුන්නා නම් නොකරන ඉහළක ස්වර්ණා සිටියාය. එම ආත්මාභිමානය කෙතරම්ද යත් අනෙකුත් ප්‍රධාන නිළියන් පවා වේදිකාව සහ ටෙලිනාට්‍යය දෙසට හැරෙද්දී ස්වර්ණා තම ස්වාභිමානයෙන්ම හුස්ම ගත් නිළියක වූවාය. එවන් සුවිශාල නිළි ප්‍රතිරූපයක් යළි විශාල තිරයෙන් දක්නට ලැබෙන හෙයින්ද යමෙකුට 'දඩඉම' වැදගත්ය. ජනතාව සහ මාධ්‍ය අතිශය වැදගත් කොට තකන මෙකී විශේෂතා සිනමාත්මක ගොදුරු හඹායන ප්‍රේක්ෂකයකුට වැදගත් නැත. අප සොයන්නේ මෙම චිත්‍රපටයෙහි වන සිනමානුරූපී බවයි.

ස්වර්ණා රඟපෑ සම්මානනීය අන් ප්‍රධාන චරිතයකට අවශේෂ වූ කුඩා ගැහැනු චරිතයකටවෙනත් නවක සිනමාකරුවකුගෙන් ඇරියුම් ලදොත් අප දන්නා ස්වර්ණාගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? ස්වර්ණාට තරම් සංවේදී හේතුවක් රවීන්ද්‍ර රන්දෙණියට ද තිබුණා නම් ජයනාත්ගේ චරිතය රඟපාන්නේ සහ රඟපෑ යුතුම වන්නේ රවීන්ද්‍රම මිස අවස්ථානුකූල රඟපෑමක සිටි ජැක්සන් ඇන්තනී නොවේ. කෙසේ වෙතත් රවීන්ද්‍ර රඟපෑ තරුණ ජයනාත්ගේ අතීත රූපරාමුවල හිරිහැරය නොවී නම් ජැක්සන්ගේ චරිත නිරූපණය කැපී පෙනෙනු ඇත. චිත්‍රපට ඇරඹෙද්දීම ජැක්සන් තම ක්ෂතිමය පීඩාව අතිශයෝක්තියෙන් පෙන්වයි. සිනමාකරුවා වැඩි මහන්සියක් ගෙන ඇත්තේ සහ වැඩි කුසලතාවක් පෙන්වා ඇත්තේ පැරණි කතන්දරයේ දෙවැනි කොටස තිරරචනා කරන්නටය.‘දඩයම' ටත් වඩා විදෙස් ඇගයුම් ලබන 'දඩඉම' විශිෂ්ට සිනමාකරුවකු පිළිබඳ මතු ප්‍රාර්ථනා ඇති කරයි.

'දඩයම' තුළ රත්මලී මිය ගියත් ජයනාත්ගේ ක්ෂතිමය සිත තුළ ඇය හොල්මන් කරන රූපීය කතන්දරයක් එහි දෙවැනි කොටස ලෙස පරිකල්පනය කළ හැකිව තිබිණි. එවිට ස්වර්ණා රත්මලීගේ චරිතයම රඟපෑ හැකිව තිබිණි. එසේවී නම් දඩයමෙහි නොසිටි විප්ලවීය අක්කා කෙනෙකු ස්වර්ණා ලවා ගොඩනඟන අතාර්කික හා අක්‍රිය උත්සාහයට මෙම වෛද්‍යවරයා මුහුණ දෙන්නේ නැත. කෙසේ වෙතත් ‘දඩඉම’යනු ස්වර්ණාගේ කෘතවේදී ගරු රඟපෑමකි. වෛද්‍යතුමා ඉපැරණි චිත්‍රපටයෙහි ස්වර්ණා රඟපෑ දර්ශන කිහිපයක් තම නිර්මාණය තුළ බහාලමින්ද කරනුයේ වරදකි. එම ඉපැරණි රූපරාමු ‘දඩඉමෙහි’ විශාලනය කරන රත්මලීගේ අක්කාගේ සුළු චරිතය ස්වර්ණාගෙන් නිදහසේ ඉස්මතු කරගැනීමට බාධාවකි. අක්කා පෙන්වා නංගීව ඇසුරු කිරීමෙන් පෙනෙන්නේ සිනමාකරුවා දඩයමේ දඩඉම අබිබවා යෑමට නොහැකිව පීඩා විඳින බවයි. එම පීඩාව නිර්මාණයක පූර්ව අවධියකි.

වෛද්‍යවරයා තම සිනමා සැත්කමට යොදන ‘දඩඉම’ යන වදන කුමක්ද? එය සුමංගල ශබ්දකෝෂයේවත් නැති අලුත් වචනයකි. ඔහුගේ නිර්මාණශීලී දඩබ්බරකම එයින්ඉඟි වෙයි. එය හොඳ ආරම්භයක් පමණි. එවන් හිතුවක්කාරකම් සහජයෙන්ම ගෙනෙන බවට ඉඟිකරන මෙම වෛද්‍යවරයා තවත් සිනමාකරුවකු දඩමීමා කර ගත යුතු නැත. නිවහල් සිනමාකරුවකු ලෙස නැඟී සිටිය හැකි ස්වීයබවක් ඔහු තම පළමු කෘතිය තුළම පෙන්වයි. එම ස්වීයත්වය අනෙකකුට පාවා නොදීමේ අභිමානය ඔහු සිය මීළඟ චිත්‍රපටයකින් අත්විඳිනු නිසැකය.

ප්‍රේක්ෂණ යනු ඔහේ බලා සිටීම නොව ප්‍රකර්ෂයෙන් හෙවත්අතිශයින් බැලීමයි. ඇතැම් විට දොස්තර මහතා නොපෙන්වන දේ පවා දැකිය හැකි වන්නේ එකල්හීය. මෙම සිනමාකරුවාගේ වහල්වීම 'දඩඉම'යන නාමකරණයෙන්ම වුවද විග්‍රහ කළ හැකිය. ‘දඩ’යනු වනාන්තරයයි. එවිට දඩඉම යනු කැලෑවේ සීමාවයි. එතැනින් එහාට කැලයක් නැත. 'දඩඉම'හෙවත් දඩයමෙහි මායිමෙන් ඔබ්බට දඩයමක් තිබිය නොහැක. 'දඩඉම' යනු දඬුවමක් ලෙස ගෙවන වන්දියේ සීමාව ලෙස ගන්නේ නම් ඉන් එහාට දඬුවමක් හෝ වන්දියක් තිබෙන්නට ඉඩ නැත. කිසියම් පරිපූර්ණ නිර්මාණයකින් එපිටට තවත් ප්‍රතිනිර්මාණයක් තිබිය හැකි නොවේ. 1983දී අප නරඹා අහවර කළ පරිපූර්ණ කෘතියෙහි දිගුවක් කළ යුතු නම් සහ කළ හැකි නම් ඒ කෙරෙහි යොමුවන සුදුස්සා වසන්ත ඔබේසේකරයි. සත්‍ය කතා පුවතකින් යම් ප්‍රතිනිර්මාණ කාර්යයක් සැලසුම් කරන නිර්මාණකරුවෙක් එකී ප්‍රතිනිර්මාණය තවත් ප්‍රතිනිර්මාණ දිගුවකට ගෙන යන්නේ නැත. මන්දයත් සත්‍යය මත යැපී මායාවක් පෑමෙන් අනතුරුව එම මායාවෙන් ප්‍රතිමායාවකට යෑම වෙනුවට නව නිර්මාණයක් දඩයම් කළ හැකි තරමට එම නිර්මාණකරුවා සන්නද්ධ නිසාය.

වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ‘දඩයම’ චිත්‍රපටයට පාදක කොටගත් ඇඩ්ලින් විතාරණගේ අමානුෂික ඝාතන සිද්ධිය එය සිදු වූ ඒ සත්‍ය ආකාරයෙන්ම තම ප්‍රතිනිර්මාණ කාර්යයට ගත්තේ නැත. සත්‍ය සිද්ධියක් දෙස බලන නිර්මාණකරුවා අතින් සිද්ධ වන්නේ එම සත්‍යයේ මායාවක් පෑමයි. ඒ ආකාරයෙන් යථාර්ථවාදීන් මායාවාදීන් වනවිට එම මායාවාදීන්ගෙන් උත්තේජනය ලබන නිර්මාණකරුවෙක් පෙර මායාවාදියා අබිබවා යා යුතුය. සිනමාකරුවකු ලෙස වැලඳගත යුතු මෙම සිනමාකරුවා පෙර සිනමාකරුවකු සමඟ සසඳන්නට අප පොලඹ වනුයේ වුවද මෙම වෛද්‍යවරයාමය. ඔහු වසර 40ක් පැරණි චිත්‍රපටයක් දඩමීමා කරගෙන සිය ප්‍රතිනිර්මාණ ගොදුරට ඉව ඇල්ලීමෙන් සිද්ධ වන්නේ අපට අප කලින් රස වින්දා වූ ඒ පෙර කෘතියම වහා සිහි වීමයි. එවිට එම පැරණි මතකය සමඟ මෙම නව රූපාවලිය සසඳන්නට අප සිත් පෙලඹෙයි. එවිට සිදු වන්නේ ‘දඩඉම’ විඳින්නට සැරසෙන සිත ‘දඩයමට’ ගොදුරු වීමයි. එම පාවා දීම සිදු කරන්නේ කවුද?

දඩයම යනු ජීවත්වන්නන් මැරීමයි. දඩයමට ගොදුරු වු සත්ත්වයා යනු දඩයමයි. මෙම වක්‍රකාර අර්ථ ඔස්සේද අපි නෙයෝමාල් ප්‍රනාන්දුගේ සිනමා සැත්කම ව්‍යවච්ඡේද කරන්නෙමු.මෙම සිනමාකරුවා තම සිනමා ශල්‍යකර්මය අරඹන්නේ වසන්ත ඔබේසේකර තම විශිෂ්ට ශ්‍රව්‍ය දෘෂ්‍ය සැත්කම නැවැත්වූ තැනිනි.

දඩයම් කිරීම සීමා කිරීමේ ගුප්ත විශ්වාසය හැඳින් වෙන්නේ දඩයම් සීමා බැඳීම යනුවෙනි. යම් තැනැත්තකු තමාට අයත් ප්‍රදේශයකට වෙනත් කෙනෙකුට දඩයම් කිරීමට නොහැකි වන සේ මතුරා ජප කළ ගලක් යම් සීමාවක සඟවා තබයි. එහි බලය නිසා එම සීමාව තුළ අනෙකකුට දඩයම් කළ නොහැකි බවට විශ්වාස කෙරේ. විශිෂ්ට නිර්මාණයකට ද උරුම වූ බලයක් ඇත. එම බලය අතික්‍රමණය කළ යුතු නිර්මාණකරුවකු එම කෘතිය මත යැපෙන්නකු නොවිය යුතුය. දඩඉම කෘතිය පුරා මතුවන එම යැපීම නිසා ස්වාධීන නිර්මාණකරුවාගේ ස්වීය බව යටපත් වෙයි.

මෙම විශේෂඥ වෛද්‍යවරයාට තමා තෝරා ගන්නා මෙම අද්විතීය කලා ප්‍රකාශන මාධ්‍යය තුළ විශේෂඥයකු විය හැකි ඉඟි පළ කළ හැකිව තිබුණේ අනෙකකු හෝ අනෙකක් දඩමීමා නොකර සිටියා නම්ය. දඩයමට ගෙන යන මීමාට මුවාවී සතුන්ට වෙඩි තබන දඩයක්කාරයා තම කාරිය තුළ දක්ෂයකු ලෙස බැබළෙන්නේ නැත. මීමා කැලේම එකෙකු යැයි සිතා කැලේ සතුන් පැන නොදුවන විට සූක්ෂම දඩයක්කරුවාට ගොදුර ඩැහැගැනීම පහසු බව සැබෑය. නමුත් ස්වීය බව ඉන් ප්‍රකාශ වන්නේ නැත.

Comments