දවසෙන් දෙකෙන් හොඳ නිර්මාණයක් කරන්න බැහැ | Page 5 | සිළුමිණ

දවසෙන් දෙකෙන් හොඳ නිර්මාණයක් කරන්න බැහැ

පාසල් කාලයේ පටන් සංගීත භාණ්ඩවලට හිත ගිය ඉඳුනිල් ද සිල්වා අද වෙද්දී සංගීත ක්ෂේත්‍රයේ ගිටාර් වාදන ශිල්පියෙක්. එමෙන්ම මතු පරපුරට සංගීත දැනුම බෙදා දෙන ගුරුවරයෙක්. ඔහුගේ සංගීත ජිවිතේ දශක දෙකකටත් වැඩියි. නමුත් තවමත් නිහඬව සිය යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරන සොඳුරු කලාකරුවෙක්.

ඔබ කොහොමද සංගීතයට නැඹුරු වෙන්නේ?

මම පානදුර රාජකීය විද්‍යාලයේ පාසල් කාලයේදී බටහිර සංගීතය හැදෑරුවේ. ඒ කාලේ මුලින්ම මම වාදනය කරන්න ඉගෙන ගත්තේ කී-බෝර්ඩ් එක. මට ඒ වෙද්දී කී-බෝර්ඩ් එකක් තිබ්බෙත් නැහැ. මගේ මාමා තමයි කී-බෝර්ඩ් එකක් දුන්නේ. ඉස්කෝලේ ප්‍රායෝගික පුහුණුව අඩු නිසා මම පුද්ගලික පන්තියකට ගිහින් නිර්මලා මිස් යටතේ වාදනය වැඩි හරියක් ඉගෙන ගත්තේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ කාලය වෙද්දී මට ගිටාර් එක වාදනය කරන්න ඉගෙන ගන්න ආස හිතුණා. අම්මා මට ගිටාර් එකක් අරන් දුන්නා. ඒක මට පුහුණු කළේ මනෝජ් පීරිස්ගේ බෑන්ඩ් එකේ හිටිය කපිල කෝසල. ඔහු තමයි මට ගිටාර් වාදනය ගැන උගන්වපු මුල්ම ගුරුතුමා. මම ගිටාර් වාදනය ඉගෙන ගත්තට පස්සේ කපිල කෝසල මාව එයා දන්න බෑන්ඩ් වලට සම්බන්ධ කළා. ඒ නිසාම සාමාන්‍ය පෙළ කාලේ ඉඳලම බෑන්ඩ්වල ප්ලේ කළා. උසස් පෙළට එද්දී මම ජනප්‍රිය කලාකරුවන් සහභාගී වුණු ප්‍රසංගවල ගිටාර් ප්ලේ කරනවා. 

මේ වෙද්දී ඉඳුනිල් නියෝජනය කරන සංගීත කණ්ඩායම මොකක් ද?

ඒ කාලේ තිබුණා පානදුර නයගරා කියන බෑන්ඩ් එක. මම එකේ ගිටාර් ප්ලේ කළා. දැන් මම ප්ලේ කරන්නේ පානදුර ෂයින් කියන බෑන්ඩ් එකේ. ඒ එක්කම චන්දිමාල් ප්‍රනාන්දුගේ තියෙනවා චන්දිමාල් එන්ටර්ටේට්මන්ට් කියලා ආයතනයක්. ඒකෙන් ඉන්න වාදන ශිල්පීන්ට වැඩ දෙනවා. මම කාලයක් මාලදිවය‍ෙන් ගිටාර් ප්ලේ කළා. එහේ හිටියේ ගොඩක් අය පිලිපීන කට්ටිය.

ඉඳුනිල් මේ වෙද්දී තමන් සතු දැනුම මතු පරපුරට බෙදන කෙනෙක් කිව්වොත්?

මම ශ්‍රීසර Music Academy නමින් සංගීත ඇකඩමියක් පවත්වාගෙන යනවා. ඒවගේ මගෙන් සංගීතය ඉගෙන ගන්න එන අයට ගායනය වාදනය සියල්ලේ දැනුම ලබා දෙනවා.

ඔබ අද වෙද්දී සින්දු කීයක් විතර කරලා තියෙනවද?

මම විතරක් කරපු සින්දු හයක් හතක් වගේ තියෙනවා. ඒ වගේම පන්තියේ ළමයි එක්කත් කරපු සින්දු ඒ වගේම ප්‍රමාණයක් තියෙනවා. ඔක්කොම ගත්තම 15-20ක් අතර ප්‍රමාණයක් කරලා තියෙනවා. අන්තිමටම කරපු සින්දුව තමයි “පාට පාට ආදරේ“. මේ සින්දුවල විශේෂත්වය තමයි සින්දුව ලියලා මෙලඩි එක දාලා සංගීතවත් කරලා ගායනා කරන්නෙත් මමම වීම.

මේ වෙද්දී පන්ති කරන්නේ මොන වයස් සීමාවන්ටද?

මගේ සමහර ක්ලාස් තියෙන්නේ Relaxation වලට. ඒකට එන්නේ ගොඩක් අය අවුරුදු 40න් උඩ අය. ඒ ක්ලාස් එකේ ඉන්න වැඩිමල්ම කෙනාට අවුරුදු 73ක් විතර වෙනවා. ඒ අය එන්නේ කාලයක් තිස්සේ හම්බකරලා ජීවිතේ තියෙන විඩාව නිවාගෙන මනස විවේකිව තියා ගන්න සංගීතයේ ඇසුර ලබන්න. එතකොට මගේ ගිටාර් සහ කී-බෝර්ඩ් ක්ලාස්වල නම් ඉන්නේ ඔක්කොම ඉස්කෝලේ යන වයස් කාණ්ඩයේ ළමයි සහ වයස 25 දක්වා ළමයි.

ආපස්සට හැරිලා බලද්දී ආපු ගමන් මග ගැන තෘප්තිමත් ද?

අද වන විට මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු විස්සක් විතර වෙනවා. ඇත්තටම ඒ කාලය ගැන ඒ වගේම මම ලබපු අත්දැකීම් එක්ක අද ඉන්න තැන ගැන මම තෘප්තිමත්. මම ඉගෙන ගත්ත දේවල් තුළින් මම යමක් කළා. එතකොට මට ලංකාවෙන් පිට ගිහින් මගේ දක්ෂතාවන් පෙන්නුම් කරන්න අවස්ථාව ලැබුණා. පසුගිය කාලයේ ඇතිවුණු කොරෝනා ව්‍යසනය වෙනකම් හොඳ තත්ත්වයක් සංගීතයට තිබ්බා. දැන් ආයෙමත් සුපුරුදු රටාවට ගොඩ නැඟෙමින් තියෙනවා. ඒ නිසා ආපු ගමන් මඟ ගැන තෘප්තිමත් සහ ඉදිරිය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

බොහෝ අය උත්සාහ කරන්නේ තමන්ගේ නිර්මාණ ට්‍රෙන්ඩින් අතරට ගේන්න, ඉඳුනිල් ට එහෙම කැමැත්තක් නැද්ද?

මටත් මෑතක දී හිතුණා ට්‍රෙන්ඩින් අතරට එන විදියේ නිර්මාණයක් කරන්න. මම අන්තිමට කරපු “පාට පාට ආදරේ“ සින්දුව එළිදක්වලා තවම මාස දෙකයි. ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඊට අමතරව මම ඉදිරියේදී මියුසික් වීඩියෝ එකක් එක්ක අලුත් ගීතයක් කරන්න ඉන්නේ. මම මෙතෙක් මගේ කිසිම ගීතයකට මියුසික් වීඩියෝ එකක් කරේ නැහැ. ඒකට ලොකු වියදමක් යනවා. ඒ වගේම කාලයක් අරන් හොඳ දෙයක් කරන්න ඕනේ. එහෙම නැතුව දවසින් දෙකෙන් හොඳ නිර්මාණයක් කරන්න බැහැ. මගේ තිබුණු කාර්යබහුලකම එක්ක මට ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරන්න බැරි වුණා. නමුත් ඉදිරියේ දී වෙනස් විදියේ අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරියට මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ?

මම හිතන් ඉන්නේ මගේම නිර්මාණ ඇතුළත් කොන්සර්ට් එකක් කරන්න. ඒ කියන්නේ මගේම පද රචනා කරලා මෙලඩි දාලා සංගීතවත් කරපු සින්දු එකතුවකින්. මම හිතන්නේ තවම එහෙම ලංකාවේ ප්‍රසංගයක් කරලා නැහැ. අනිත් එක තමයි ඒ කොන්සර්ට් එක ප්ලේ කරන්න දාන්න ඉන්නේ මගේම ශ්‍රීසර Music Academy එකේ ඉන්න ළමයි.

මම මේක අවස්ථාවක් කර ගන්නවා මගේ ගුරුතුමා වන කපිල කෝසල සහ මාව පාසල් යන කාලේ ඉඳන් මගේ අම්මගෙන් බැණුම් අහගෙන මාව බෑන්ඩ්වල ප්ලේ කරන්න එක්කගෙන ගිය ජගත් සිල්වා සහ අද මේ ඉන්න තැනට මට එන්නට ශක්තියක් වුණු හැම කෙනෙක්වම ආදරෙන් සිහිපත් කරනවා.

Comments