මේ වගේ පැජෙන්ටා එකකට ෆේස් කරන්න දැනන් හිටියෙ නෑ පස්සෙ පුරුදු වෙන්න ක්ලාස් එකකටත් ගියා | සිළුමිණ

මේ වගේ පැජෙන්ටා එකකට ෆේස් කරන්න දැනන් හිටියෙ නෑ පස්සෙ පුරුදු වෙන්න ක්ලාස් එකකටත් ගියා

වියට්නාමයේ පැවැති Miss. Business Global–2023 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණු නදීශා මධුමාලි දිසානායක Miss.Business Global–2023 හෙවත් ‘ගෝලීය උරුම ව්‍යාපාරික රැජන -2023‘ ලෙස කිරුළු පැලඳුවාය. රටවල් 20ක සහභාගීත්වයෙන් වියට්නාමයේ ඩැන්නොග්හිදී පැවැති මෙම තරගය ගෝලීය උරුම ව්‍යාපාරික රැජන කිරුළෙහි ආරම්භක තරගය වීමත් විශේෂත්වයකි. ආරම්භයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවීම ශ්‍රී ලංකා නාමය ලෝක ප්‍රජාව ඉදිරියේ නැවතත් කියන්නට ලැබුණු අනගි අවස්ථාවකි. ජයග්‍රාහී කිරුළ පැලඳි නදීශා ඇය ලද අත්දැකීම් මෙසේ අප හා බෙදා ගත්තාය.

“දින 12ක් තිස්සේ වියට්නාමයේ ඩැන්නොග්හිදී පැවැත්වුණු Miss. Business Global–2023 තරගය සඳහා විවාහක, අවිවාහක දෙපාර්ශ්වයම සහභාගි වුණා. තරගයට ඉවෙන්ට්ස් 6ක් තිබුණා. අවසන් වටයෙදී මිනි ඉවෙන්ට්ස් පහක් තිබුණා. රටවල් 20කින් තරගකාරිනියන් 20 දෙනෙක් සහභාගි වුණා. මට හිමි වුණේ Miss Business Heritage Global කියන ටයිට්ල් එකේ ජයග්‍රහණය. ඒ ඒ රටවල උරුමයන් කොතරම් දුරට ඉදිරිපත් කරනවද කියල තමයි එතැනදි බලන්නෙ. මං ඉදිරිපත් කළේ මගේ ජාතික ඇඳුම. ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ විශේෂ ඇඳුමක් තමයි ඉදිරිපත් කළේ. ඒ සඳහා මට ජයග්‍රහණය හිමි වුණා. ඊට අමතරව හැකියාවන්, කරන ව්‍යාපාරය වගේ දේවලුත් බලනවා. “

Miss. Business Global–2023 තරගය සඳහා ඉදිරිපත් වීමට ලැබුණු අවස්ථාව අහඹුවක් බවයි ඇය පැවසුවේ.

“2022දී මං මිස් ටුවරිසම් පැජෙන්ටා එකකට සහභාගි වුණා. Miss. Beautiful Smill ටයිට්ල් එක ජයග්‍රහණය කළා. Mrs Business Global Sri Lanka - 2022 කිරුළ හිමි වීමෙන් පසුව තමයි Miss. Business Global–2023 තරග අධ්‍යක්ෂිකා තිළිණි ද සිල්වා මට කිව්වේ Miss.Business Global–2023 තරගයට අයදුම් කරන්න කියලා. ඇගේ සැමියා විරාජ් රත්නායකත් මේ පසුපස ඉන්නවා. මේ වගේ ඉවෙන්ට්ස් දකිද්දි මටත් ආස හිතුණා. ඒත් ලොකුවට බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. නිකමට වගේ ගෙදරින් ඇහුවා මෙහෙම පැජෙන්ටා එකක් තියෙනවා යන්න ද කියලා. ගිය අවුරුද්දෙ ජනවාරි මාසේ විතර ඉඳන් පැජෙන්ටාවලට ඉල්ලුම් කළා. පළමුවෙනි එකෙන් තේරිලා මිනි ටයිට්ල් එක දිනුවා. ඇත්තටම මං මේ වගේ පැජෙන්ටාවලට ෆේස් කරන විදිහ දැනගෙන හිටියෙ නෑ. මේ තරගවලට සහභාගි වුණාට පස්සෙ තමයි ඒව ඉගෙන ගත්තෙ. අඩුම ගා‍ෙන කැට් වෝක් එකවත් දැනන් හිටියෙ නෑ. පැජෙන්ටා එකට ඇප්ලයි කළාට පස්සෙ ක්ලාස් එකකට ගියා. අවුරුදු ගණන් පුහුණුවීමක් කරල නම් නෑ. “

Miss. Business Global – 2023 කිරුළ රටට වැඩදායී ලෙස යොදා ගැනීමේ අරමුණ ඇතිව සිටින ඇය ඒ පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.

“වියට්නාමය තමයි මේ තරගය මුලින්ම පටන් ගත්තෙ. ඒකෙ ජය ශ්‍රී ලංකාවට ලැබීමත් දෙරට අතර මිත්‍රත්වය දියුණු කරගැනීමේ මාවතක් විවර වීමක්. විශේෂයෙන්ම රූපලාවණ්‍ය ඇතුළු අපේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමටත් මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ වගේම මේ පැජෙන්ටා එක හරහා මට රටවල් 20ක යාළුවන් ඇතිකර ගන්නත් අවස්ථාව ලැබුණා. මං කැමතියි කාන්තාවන් දිරිගන්වන වැඩසටහන් හරහා තමන්ට තියෙන ශක්තියෙන්, තියෙන දේවල්වලින්, තමන්ගෙ ආර්ථිකය ගොඩනඟා ගන්න ආකාරය ගැන කාන්තාවන් දැනුවත් කරන්න. ඒ හරහා හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න කාන්තාව දිරිමත් කරන්න. අපේ ඉන්ස්ටිටියුට් එකෙන් දැනටමත් ඒ ගැන වැඩපිළිවෙළක් කෙරීගෙන යනවා. “

Miss. Business Global ජයග්‍රහණය ලබාගැනීමට නන් අයුරින් උදවු කළ පිරිස සිහිපත් කිරීමටත් ඇය අමතක කළේ නැහැ.

“විශේෂයෙන්ම මේ තරගයට අයදුම් කිරීමට මාව පෙලඹ වූ තරගයේ ජාතික අධ්‍යක්ෂිකා තිළිණි ද සිල්වා වගේම වියට්නාමයට යන තෙක්ම මගේ හෙවණැල්ල වගේ මගේ ළඟ ඉඳන් මට ශක්තියක් වුණු මගේ ආදරණීය පුංචි පුෂ්පා රම්‍යානි සොයිසා වත් ආදරයෙන් මතක් කරනවා. මම විවාහකයි. මට වයස අවුරුදු දෙකහමාරක බබෙක් ඉන්නවා. දැනට මම PRS කැම්පස් එකේ කළමනාකාරිනියක් විදිහට සේවය කරනවා. මේ තරගයට සහභාගි වෙද්දි බබාට වයස අවුරුදු දෙකයි. ඒ වෙද්දිත් බබාට කිරි දෙනවා. එයාව දාලා යන එක තමයි මට තිබුණු ලොකුම අභියෝගය වුණේ. සති දෙකක් විතර වියට්නාමයේ ගතකරන්න සිදු වුණා. කෝල් කරන හැම වෙලේම බබා අඬද්දි ලොකු පීඩනයක් දැනුණා. ඒ කාලෙ තමයි ගෙවාගන්න අමාරුම වුණු කාලය. එතනදී මට ලොකු ශක්තියක්, සහායක් වුණේ මගේ මහත්තයගෙ අක්කා වෛද්‍ය වින්ද්‍යා සකුන්තනී. එයා බබාගෙ වගකීම සම්පූර්ණයෙන්ම භාර ගත්තා. ඒ වගේම තමයි ප්‍රවීන්. මේකට සහභාගි වෙද්දි බබාත් පොඩියි. ඒත් එයා මට යන්න එපා කියල නීති දැම්මෙ නෑ. එයාගෙ පවුලෙ හැමෝම මට ලොකු සහායක් ලබාදුන්නා.“

Comments