
බොහෝ බැරිකම් දරා සුබදායි හෙටක් වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් සහිත රටක පුංචිම පුතෙක් ලෝකය දිනාගෙන ඇවිත්ය. තවත් කෙනෙක් ඔහුට ඉහළින් නැත. ලෝකයෙන්ම අවුරුදු 09න් පහළ චෙස් ශූරයා ඔහුය. මහා චෙස් වීරයන් උපදින රුසියාව, කසකස්ථානය, ග්‍රීසිය වැනි රටවල අංකුර චෙස් වීරයන්ගේ චෙස් වික්‍රම තෙහස් රිත්මිත කිරින්ගොඩ පුංචි පුතා ඉදිරියේ ලොප් වී තිබිණි. පසුගිය අප්‍රේල් 14 දා සිට 22 දක්වා ග්‍රීසියේ රෝඩ්ස් දූපතේ පැවති 2023 පාසල් ලෝක කුසලාන චෙස් ශූරතාවයේ අවුරුදු 9න් පහළ විවෘත අංශයෙන් තෙහස් ලෝක ශූරයා වන්නේ රටවල් 53 ක සම වයස් ක්‍රීඩකයන් 61 දෙනෙක් අබිබවා යමිනි.
තෙහස් මෙම ශූරතාවය දිනා ගන්නේ ලකුණු 09න් 7.5ක් ලබා ගනිමිනි. තරග වට 09කින් පිට පිට තරග 07ක් ජයග්‍රහණය කළ තෙහස් 8 වැනි තරග වටයේ දී ඊශ්‍රායල ක්‍රීඩක Idan Eshkol ට පැරදුණේය. තරගාවලියේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා හිමිකම් කීවේ කසකස්තානය නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනකු වන Aisultan Bissaliyev සහ Alimzhan Zhauynbayටය.
Alimzhan Zhauynbay සමඟ තෙහස් පැවති අවසන් තරගයේ දී තරගය සම වුණේය. ලෝක ශූරයා තෙහස් බව දැනගන්නා විට, ඒ අන්තර් ජාතික ජයග්‍රහණය ප්‍රදානය කරන වේදිකාවේ මේ පෞරුෂවත් දරුවා තමන්ටත් වඩා උසින් වැඩි ජාතික කොඩියක් අත් දෙකින්ම රැගෙන නගිනු දුටු ශ්‍රී ලාංකිකයකුගේ දෙනෙත් අභිමානය පිළිබඳ උපන් කඳුළකින් තෙත් නොවුණා නම් ඒ විරලවය.
ලෝකය දිනාගෙන තෙහස් රටට ආවේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා ඔහුව පිළිගන්නට පාසලේ උත්සවයක් පවත්වා තෙහස් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානයක් ද සූදානම් වී තිබුණේ ඔහුට පාසලෙන් ලබා දිය හැකි උපරිම ගෞරවයෙනි. ලෝකය දිනා පැමිණි මේ සිරිමත් දරුපැටියා දැකගනු රිසිව කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය අප පාසල තුළ මේ දරුවා මෙපමණ මට්ටමකට රැගෙන එන්නට කැප වූ ගුරු මවුපියවරු හමු වුනෙමු. කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක සිය සෙවණේ හැදෙන අනාගත වැඩදායි මිනිසකු සම්බන්ධව කතා කරන්නේ ගර්වයෙනි.
“ මේ ආකාරයේ අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණයක් පාසලට ලැබෙන්නේ වසර ගණනකට පස්සේ. තෙහස් ගේ මේ ජයග්‍රහණය ඇතුළෙ විෂය භාර ආචාර්යවරු, පුහුණු කරුවො, මවුපියෝ විශාල කැපකිරීමක් කර තියෙනවා.
නායකයකුට සමබර පෞරුෂයක් ලැබෙන්නෙ ක්‍රීඩාවෙන්. මේ වගේ සුවිශේෂී දරු කැකුළු පෝෂණය කරන සරු භූමියක් අපි ආනන්දය ඇතුළෙ නිර්මාණය කර තියනවා...”
ප්‍රාථමික අංශය ප්‍රධාන සහාකාර විදුහල්පති නුවන් ප්‍රියන්ත ය. ඔහු සිය මතකය අවදි කළේය. “ මීට අවුරුදු තුනකට කලින් 1 වසරට පුතා භාරගන්න අවස්ථාවේ අපි ඔහුගේ සුවිශේෂී බුද්ධි ප්‍රභාවක් දැක්කා. අපි යෝජනා කළා මවුපියන්ට මේ දරුවා සුවිශේෂී බුද්ධිමත් දරුවෙක් නිසා චෙස් වගේ ක්‍රීඩාවක් තෝරා ගන්න ඉඩ දෙන්න කියලා. ඒ අනුව තමයි පාසල තුළ ඔහු චෙස් ක්‍රීඩාව තෝරා ගත්තේ. ප්‍රාථමික අංශ සෑම දරුවෙක්ම පාසල් සංගම් දෙකක් හා ජිම්නාස්ටික්, ස්විමිං ප්‍රමුඛව ක්‍රීඩා දෙකක් අනිවාර්යයෙන් තෝරා ගත යුතුයි. ආනන්ද විද්‍යාලය තුළ දරුවො හැඩගස්වන්නෙ දරුවාගේ දක්ෂතාවලට. ඒ සංකල්පය මොනතරම් සාර්ථක ද යන්නයි ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත් කර දෙමින් ආනන්ද මාතාව රනින් සරසලා තෙහස් පුතා පෙන්නුවේ."
ප්‍රාථමික අංශයේ චෙස් ක්‍රීඩා භාර ගුරුවරියන් දෙපළකි.
“තෙහස් පුතා දෙක ශ්‍රේණියෙදි ආනන්ද විද්‍යාලයෙන් ඔන් ලයින් ක්‍රමයට චෙස් ක්‍රීඩාව කළා. තෙහස් පුතා ජාතික මට්ටමේ ජයග්‍රහණ ගණනාවක් ඔහුගේ වයස් ඛාණ්ඩය තුළ දිනා තිබුණා." ප්‍රාථමික අංශයේ ක්‍රීඩා භාර ගුරුතුමිය වූ දමයන්ති පෙරේරා කියන්නීය.
තෙහස්ගේ අපූර්ව හැකියාව හඳුනාගෙන ඔහුව පාසල නියෝජනය කරමින් පාසල් චෙස් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා තරගාවලිය වෙත යොමු කරන්නී පාසලේ චෙස් ක්‍රීඩා පුහුණුකාරිය වන සුනීතා විජේසූරිය ය. ආනන්දයේ ප්‍රාථමික අංශයේ චෙස් පුහුණුකාරිනිය ලෙස 1998 සිට කටයුතු කරන ඇය 1992 දි 30 වැනි ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගයෙන් රන් පදක්කමක් අපේ රටට දිනා දුන් අවුරුදු 10ක් ජාතික චෙස් සංචිතයේ සිටි ලෝක චෙස් සංගමයේ කාන්තා ෆිඩේ මාස්ටර්වරියකි.
“කොවිඩ් කාලෙ මාර්ගගත ක්‍රමයට චෙස් ක්‍රීඩාව සමඟ අපේ දරුවන්ව සම්බන්ධ කරගත්තා. දෙක වසරෙදි නවක දරුවන් විදිහට චෙස් බෝඩ් එක ඉත්තන් හඳුන්වා දෙමින් පාඩම යනකොට මේ පුතා ප්‍රශ්නවලට උත්තර දෙන හැටියෙන් තේරුණා එයාට මූලික දැනුමක් තියන වග. ඒත් පුතා පන්තියකමට ඉතාම උනන්දුවෙන් සම්බන්ධ වුණා. 2022 අවුරුද්දේ 09න් පහළ පාසල් කණ්ඩායම තෝරනකොට සෙල්ලම් කළ තරග සියල්ල දිනලා අංක එකට තේරිලා එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ තෙහස්.
මේ අතරෙදි පාසල් චෙස් සංගමය මඟින් පවත්වන චෙස් තරගවලදි 09න් පහළ වයස් ඛාණ්ඩය යටතේ දිස්ත්‍රික් මට්ටමේ තරගවලින් දිනලා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය අරන් තමයි තෙහස් පුතා මේ අන්තර්ජාතික තරගයට සහභාගී වන්නේ. ගිය අවුරුද්දෙ ශ්‍රී ලංකා චෙස් සංගමයෙන් පැවැත්වූ තරග දෙකකින් ශූරතාව සහ දෙවන ස්ථානය දිනා ගන්න ඔහුට හැකි වුණා.” ඇය අපට කීවාය.
තෙහස්ගේ පන්ති භාර ගුරුතුමිය නිලන්ති මලවීර ය. ඇය කියන්නී තෙහස් යනු කලබලයකින් තොර, සීරුවට වැඩ කරන ඇයට හමු වූ බුද්ධිමත් දරුවෙක් බවය. “ඒ දරුවා තෝරගෙන තියෙන්නේ එයාට සුදුසුම ක්‍රීඩාව... ඒ පුතාගේ ඉදිරි අනාගතය ගැන දීප්තිමත් සුබ ලකුණු මට පේනවා. “ ඇය අපට කීවාය.
ග්‍රීසියේ පැවති ලෝක චෙස් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම යොමුවන්නේ ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය හරහාය. එම සංගමයේ ලේකම් රන්ජිත් වික්‍රමරත්නය.
“නාත්තන්ඩියේ තිබුණා සමස්ත ලංකා කේවල චෙස් තරගාවලියක් 2022 දි. ඒකෙන් තේරුණ පළමු දරුවො කැඳවනවා බුවනෙකබාහු මහා විද්‍යාලයට. ලෝක පාසල් චෙස් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගය විදිහට තමයි මේ තරගය අපි සංවිධානය කරන්නේ.
විවිධ වයස් ඛාණ්ඩ හයක් යටතේ අපි දරුවො තෝරා ගන්නවා තරගවලින් අනතුරුව. දරුවෝ 30 තෙරීමේ තරයෙදි තෙහස් දරුවා ලංකාවෙ දෙවැනි ස්ථානයට පත් වෙනවා.
ලෝක චෙස් ශූරතා තරගාවලියට යන්න දරුවො 72ක් සුදුසුකම් ලැබුවත් ඉදිරිපත් වුණේ දරුවෝ 32යි. ඒ දරුවො පෞද්ගලික මුදලින් වීසා අයැදුම් කළා. නමුත් දරුවො 24 දෙනෙකුගේ වීසා ප්‍රතික්ෂේප වුණා. තරගාවලියට සහභාගී වුණේ තෙහස් ඇතුළු දරුවො 06 දෙනෙක් විතරයි. ඒ අතරෙන් තමයි තෙහස් ලෝක ශූරයා වුණේ. “ ඔහුගෙ හැකියාව ලෝක පාසල් චෙස් තරගාවලිය සංවිධානය කළ නිකලස්ගේ පවා ප්‍රශංසාවට ලක් වුණා.“ ලේකම්වරයා අපට කීවේය.
තෙහස් මේ තරම් පුංචි වයසට ලෝකයක් පරදා අංක එකට ඔසවා තබන්නට මූලික පදනම දැමුවේ ඔහුගේ පෞද්ගලික චෙස් ගුරුවරයා වූ යසිරු මිහිරංගය. යසිරු සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ නාලන්දාවේ ප්‍රධාන චෙස් පුහුණුකරු ය. තෙහස් පුතා ගැන යසිරු මිහිරංග කතා කළේය.
“තෙහස්ගේ අක්කා සිරිමාවෝ. අක්කට ක්ලාස් එක කරද්දි එයා පැත්තකින් බලාගෙන ඉන්නවා. තෙහස්ගේ සීයත් චෙස් ගැන දැනුමක් තියෙන කෙනෙක්. තෙහස්ට මේ ආභාසය තිබුණා. 2019 පෙබරවාරි පුතාගෙ තාත්තා මට කතා කරලා කිව්වා තෙහස්ට චෙස් කරන්න කැමතියි. එයාව භාරගන්න පුළුවන් ද කියලා. එහෙමයි තෙහස් මගේ ඇකඩමි එකට ආවේ. කොවිඩ් හින්දා අපිට සාමාන්‍ය පන්ති කරන්න බැරි වුණත් ඔන්ලයින් කරන්න ගත්තා. එතනදි මෙයාට වඩා වයස අවුරුදු දෙකක් තුනක් වැඩි අය හිටියෙ. පුතා ඒ අයට කලින් ප්‍රශ්නවලට උත්තර දෙද්දී මට තේරුණා තෙහස් විශේෂ දරුවෙක් කියලා. තෙහස්ගේ එක ලක්ෂණයක් තියනවා. දිනුවොත් දිගටම දිනාගෙන යනවා. එක තරගයක් හරි පැරදුණොත් අත්හැරලා දානවා. පුදුමාකාර ආක්‍රමණශීලි විදිහට තරග කරනවා.
මේ ලක්ෂණ මම තේරුම් ගෙන ඔහුව හැඩගැස්සුවා. තෙහස්ගේ හොඳම ක්‍රීඩා අවදිය ආවේ 2022 අප්‍රේල්වලින් පස්සේ. මේ වනවිට එයා ජාතික මට්ටමෙන් ඉහළම තැනක හිටියේ. මම තාත්තට කියලා තිබ්බා මෙයා කවද හරි නැෂනල් නෙමෙයි ඉන්ටර්නැෂනලි තරගයක් දිනනවා; එයාගේ තරග රටාව ආක්‍රමණශීලියි සහ උපක්‍රම ඉතාම ස්ථාවරයි; එකම ගැටලුව එයා ටිකක් කලබලයි කියලා.
මේ ටුවර් එක යන්න කලින් මම එයාට සතියකට පැය 8,9 ෂෙඩියූල් එකක් දීලා තිබුණා. පුතා ඒ ෂෙඩූල් එකට හරියටම වැඩ කළා. තෙහස් ටූනමන්ට් එකට ගියා. දවස් 10ක් තරගාවලිය. මේ වගේ ගේම් එකක් එක් වටයෙන් වටය සූදානම් වෙන්නේ නැතිව තරග කරන්න බෑ. අද රෑ වෙනකොට හෙට කවුද සෙල්ලම් කරන්නේ කියලා මම බලලා එයාගේ ගේම් ඩවුන්ලෝඩ් කරලා තෙහස්ගේ ක්‍රීඩා විලාශයත් එක්ක විශේලේෂණය කරනවා. ඔහුගේ දුර්වලතා සම්බන්ධව ගෲප් කෝල් එකක් අරන් පැය 04ක විතර කාලයක් තිස්සේ ඔහුව තරගයට සූදානම් කරනවා. ”
අටවන තරගයට ක්‍රීඩා කරද්දි ඔහු පෙර පැවති තරග 07ම දිනලා හිටියත් තෙහස් 8 වැනි ඒ ගේම් එක පැරදුණා. ඒ ගේම් එක මමත් බැලුවා සජීවිව. මම තෙහස්ගේ තාත්තට කතා කරලා කිව්වා මුකුත් කියන්න එපා. රිලැක්ස් වෙන්න දීලා එළියට එක්ක යන්න. මම පහුවදාට කතා කරන්නම් කියලා.
උදේ මම කතා කරලා කිව්වා තෙහස්.. ඔයා හොඳට ගේම් එක ප්ලේ කළා. එත් අන්තිමට කලබල වුණා. දැන් ඒක ඉවරයි. තවම තරගය ඔයාගෙ පැත්තේ. අද අපි මේක දිනමු. එතකොට ඔයා තමයි අනිවාර්යයෙන්ම චැම්පියන් කියලා.
තෙහස් හොඳට සෙල්ලම් කළා. ගේම් එක ජය පරාජයෙන් තොරව කෙළවර වුණා. ඒ ඩ්‍රෝ එක ප්‍රමාණවත් වුණා තෙහස්ට මේ තරගාවලියේ ශූරයා වෙන්න.
දැන් තමයි අමාරුම හරිය. තෙහස් ඉන්නේ ශ්‍රේණිගත කිරිම්වල ඉහළ තලයක. ඒ ධාරිතාව වර්ධනය කරමින් පවත්වා ගැනීමේ අභියෝගය තියනවා. අලුත් දේවල් කරන්න, අලුත් දේවල් හොයාගන්න ඕන. පුළුවන් වුණොත් මගෙ වියදමින් හරි තෙහස් ට තව ෆොරින් කෝච් කෙනෙක් හොයලා දෙනවා.“
යසිරු කියන්නේ තෙහස් වැනි දක්ෂ දරුවෙක් චෙස් ක්‍රිඩාවේ ඉහළම තැනට ඔසවා තැබීම හැර ඔහුට වෙනත් සිහින නැති බවය. ඇත්ත ගුරුවරු එහෙමය.
තෙහස් වැනි දරුවකුගේ මවුපියන් වීම වාසනාවකි. ආදි ආනන්දියෙක් වූ තෙහස්ගේ පියා නිලූප කිරින්ගොඩ තොරතුරු තාක්ෂණ අංශයේ වෘත්තිකයෙකි. මව රොෂානි ජයතිලක දන්ත වෛද්‍යවරියකි. තෙහස්ගේ මව ඇගේ කාලයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ චෙස් කණ්ඩායම් නායිකාවය. දැන් දේවී බාලිකා විද්‍යාලයේ 7 වසරේ ඉගනුම ලබන තෙහස්ගේ අක්කා රෙසඳි ලුමායා ද චෙස් ක්‍රීඩාවේ යෙදෙන්නීය. තෙහස්ගේ තාත්තා නිලූප ආඩම්බරකාර පුතා ගැන අපට කීවේය.
“මුලින්ම තෙහස්ගේ චෙස් ගුරුවරයා ඔහුගේ සීයා. පස්සේ එයා ඉන්ටර්නෙට් බලාගෙන චෙස් තනියම ඉගෙන ගත්තා. එයාගෙ අක්කා එක්ක චෙස් ඇදලා අක්ක පරාද කළා. එතකොට තෙහස් ගේ වයස අවුරුදු 06යි. පොඩි පොඩි ටූනමන්ට් යනවා. ඒත් ඒවා රෙකෝඩ් කරගන්නවත් තෙහස්ට අකුරු බෑ. මම මේ දක්ෂතාව ගැන සර් එක්ක කතා කළා පස්සේ පුතා එක්ක යසිරු සර් කතා කළ මුල්ම දවසේම කිව්වා මෙයා අනිවාර්යයෙන් නැෂනල් ප්ලේයර් කෙනෙක් වෙනවා. ඊට වඩා උඩට අරන් යන්න පුළුවන් කියලා කියලා. සර් කියපු දේ අවුරුදු තුනක් යනකොට සිදු වීම සතුටක්. ඒ වෙනුවෙන් ලොකු සැලසුමකින්, විනයකින් වැඩ කළා. පාසල් චෙස් සංගමය පවත්වන තරගවලට පෙනී හිටියා. ලංකාවෙන් ප්ලේස් කළා. සෑම චෙස් ක්‍රීඩකයෙකුමට ජාත්‍යාන්තර පිළිගත් ශ්‍රේණිගත කිරීමටවලට අංකයක් ගන්න ඕන. ඒ සඳහා ජාත්‍යාන්තරව පිළිගත් තරගවලට පුද්ගලික තරගාවලිවලට පෙනී හිටිමින් තෙහස් අත්දැකීම් ගත්තා. මේ ජයග්‍රහණය මාව තිගස්වනවා… මොකද එයා දැන් ලෝකයෙන්ම එයාගෙ වයස් කාණ්ඩයෙ එක. එතනින් එහා කවුරුත් නෑ.. “ තෙහස්ගේ තාත්තාත මොහොතක් ගොළු වුණේය. තෙහස් ඔහු ළඟය. මම තෙහස්ට කතා කළෙමි.
“ පුතේ… පුතාට සතුටුයි නේද?” තෙහස් සිනාසුණේය.
“ ගොඩාක් සතුටුයි…” හුරතල් හඬින් ඔහු මට කීවේය.
“පුතා දින්නට පස්සේ කට්ටිය මොනව ද කිව්වෙ…”
“ වෙල්ඩන් කිව්වා…” ආයෙත් තෙහස් සිනාසෙන්නේය.
තෙහස්ගේ අම්මා රොෂානි අවසානයේ කතා කළාය.“ පුතා තවම ගොඩාක් පුංචියි. එයා සමහරවිට මේ ගත්ත ජයග්‍රණයේ බරවත් දන්නේ නෑ. “ රොෂානි සිනාසෙමින් කීවාය.
“රොෂානි වැඩිපුරම කැමති තෙහස් කවුරු වෙනවා නම් ද අනාගතයේ දි…” මොහොතක් නිහඩ වූ ඇය. “ මම වැඩිපුරම කැමති එයා හොඳ පුරවැසියෙක් වෙනවා නම්.”
මම සංවාදය හමාර කළෙමි. ලෝකය දිනා පැමිණි සිඟිති පුතකුගෙන් බලාපොරොත්තු විය යුතු උතුම්ම පදවිය ඒ අම්මා ප්‍රාර්ථනා කර ඇත.
“ යහපත පුරවැසියෙක් වීම” … එතනින් එහාට කිසිම දෙයක් නැත. ඒ පදවිය ඇත්තේ ලෝකයේ පළවෙනියාටත් වඩා ගොඩක් දුරිනි.
ඡායාරූප - ගයාන් පුෂ්පික