අවුරුදු සතුටත් හොරෙන් ගත් අවුරුදු දෙදිනේ හදිසි අනතුරු | සිළුමිණ

අවුරුදු සතුටත් හොරෙන් ගත් අවුරුදු දෙදිනේ හදිසි අනතුරු

වත් සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගෙවී ගොස් තිබේ. ප්‍රීති දායක සැමරුම් සහිත සෞභාග්‍යය සම්බන්ධ උත්තම සංස්කෘතික දෙදින තුළ සැමදාම සැඟවී ගිය ඛේදවාචකය මෙවරත් මතු වී තිබිණි. අනේක වාරයක් කියා තිබුණත්, ලියා තිබුණත්, දැනුම්වත් කරමින් මහජන මුදල් වැය කර දීප ව්‍යාප්ත වැඩ සටහන් රැසක් දියත් කර තිබුණත් තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් නැත. මේ අවුරුදු දෙදිනත් අනතුරු බහුල දෙදිනක් ලෙස ගෙවී ගොස් තිබේ.

පොලිස් මූලස්ථානය වාර්තා කරන්නේ අලුත් අවුරුද්දේ රට අවුරුදු සිරි විඳි දින 04 තුළ (13, 14, 15, 16) දිවයින පුරා සිදු වූ මාරක අනතුරු 28කින් පුද්ගල මරණ 29ක් වාර්තා වී ඇති බවය.

මෙම අනතුරුවලින් බරපතළ තුවාල ලැබූ - 55 දෙනෙක් පිළිබඳ වාර්තා විය. අලාභ හානි වාර්තා 54කි. සුළු අනතුරු 181ක් ද ඒ අතර විය. 

සෞඛ්‍ය අංශවල තොරතුරු ප්‍රකාරව සෑම අවුරුද්දකම අප්‍රේල් 8 -16 වකවානුව තුළ රජයේ රෝහලට වාර්තාවන හදිසි අනතුරු වැඩි වන්නේය. ඊට අනුයාත සති කීපයක ඉදිරි කාලයේ රෝහල් තුළ වාර්තාවන වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වන්නේ අවුරුදු කාලය තුළ ඇතුළත් කර රෝගීන් අතරින්ය.

විශ්ලේෂකයන් පවසන්නේ රිය අනතුරු නිසා සහ ගැටුම් නිසා මේ කාල සීමාව තුළ වැඩිපුරම රෝහල්ගතවන බවය.

අවුරුද්දට පෙර දිනයේ (13 ) සිදු වූ අනතුරුවලින් තුවාල ලැබූ 165 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

අවුරුදු උදාවත් සමඟ 14 දා උදෑසන 07 සිට 15 දා උදෑසන 07න් අවසන් වූ පැය 24 තුළ හදිසි අනතුරුවලින් පුද්ගලයන් 185 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බව ජාතික රෝහල පැවසුවේය.

14 දා උදෑසන 7 සිට 15 උදෑසන 7 දක්වා පැය 24 ක කාලය තුළදී මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 55 දෙනෙකු, ගැටුම් හේතුවෙන් 44 දෙනකු, ඇද වැටීමෙන් 36 දෙනෙකු, නිවෙස් තුළ සිදු වූ අනතුරුවලින් 07 දෙනකු සහ ගිනිකෙළි අනතුරු වලින් 01 පුද්ගලයකු රෝහල් ගතකර තිබුණහ.

විශේෂත්වය වන්නේ වර්ෂ 2022 සාපේක්ෂව මේ අනතුරු වාර්තා වීමේ වැඩි වීමක් ප්‍රකට වීමය. 2022 වසරේ අවුරුදු සැමරූ අප්‍රේල් 13 හා 14 දෙදින තුළ පුද්ගලයන් 167ක් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර තිබිණි. වාර්තා වී තිබුණු රිය අනතුරු 38කි. මේ වසරේ රිය අනතුරු 55ක් වාර්තා වී තිබිණි.

කලකෝලාහල හේතුවෙන් සිදු වූ අනතුරු 27කි. මෙවර කලකෝලාහල නිසා 44ක් රෝහල්ගත කර තිබිණි. 2022 වසරේ නිවෙස් තුළ සිදු වූ අනතුරු 20කි. ඇද වැටීම් ඇතුළු වෙනත් අනතුරුවලින් 45කි. මේ වසරේත් පසුගිය වසරේදීත් වාර්තා වී තිබුණේ එක් ගිනි කෙළි අනතුරක් පමණි. සමස්තයක් ලෙස ගිනි කෙළි අනතුරුවල අඩුවක් වාර්තා වූ බව පෙනුණි.

අවුරුදු දෙදින තුළ රටේ අනතුරු බහුල බවට වූ හඳුනා ගැනීමක් ඇත. එම දැනුම මත පදනම්ව රට පුරා දැවැන්ත දැනුම්වත් කිරීම් මාධ්‍ය ප්‍රචාරණ සිදු වෙමින් තිබේ. එහෙත් එකම දේ පුනරුච්ඡාරණය වෙමින් ඇත. මේ සිදු වන්නේ කුමක් ද?. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් අපි විමසුවෙමු.

“ අනතුරක් කියන්නේ මිනිස්සුන්ගෙ පාලනයෙන් තොර කාරණයක් කියලා තමයි මූලිකව හඳුන්වන්නේ. නමුත් අවුරුදු වකවානුව තුළ මේ අනතුරු සිදුවන්නේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා. ඒ කියන්නෙ තමන්ගෙ පාලනය යටතේ තියන කාරණා සම්බන්ධව අඩු සැලකිල්ලක් දැක්වීම නිසා තමයි මේ ඛේදවාචකය සිද්ධ වෙන්නේ.

පොලිිසිය විදිහට අප මේ සම්බන්ධව ජනතාව දැනුම්වත් කරන්න රටේ බොහෝ ආයතන එක්ක එකතුවෙලා නිරන්තර දැනුම්වත් කිරීම් සිදුකරනවා. නමුත් ඒ කිසිම දෙයක් ගැන තැකීමක් නොකිරීම හේතුවෙන් තමයි මූලිකවම මේ අනතුරු සිද්ධ වන බව පෙනෙන්නේ.

“ අවුරුදු කාලය තුළ වැඩිපුරම වාර්තා වන්නේ මාර්ග අනතුරු. ඒ අතුරින් යතුරුපැදි අනතුරු වාර්තාවීම් වැඩියි. අපට පෙනෙන විදිහට බීමත්කම, මත්ද්‍රව්‍ය භාවිතය මාර්ග අනතුරුවලට තවමත් ප්‍රමුඛ ලෙස බලපාලා තියනවා. ඒ තත්ත්ව වළක්වා ගැනීමට දියත් කළ පුළුල් වැඩසටහන් සම්බන්ධව අවුරුද්දට පෙර වකවානුවෙ ඔබ දකින්න ඇති. කෙසේ වුණත් සාපේක්ෂව මේ අවුරුදු කාලයේ මාරක රිය අනතුරු වාර්තා වීම අඩුයි.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කීවේය.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ. මෙවර අවුරුදු දෙදින තුළ සිදුවූ අනතුරු අතර මරණ වාර්තා වී නොතිබුණ බවය.

“ජාතික රෝහලට අනතුරු ලෙස වැඩි වශයෙන්ම වාර්තා වන්නේ ඇද වැටීම්. අවුරුදු සමයේ දී සෑම වසරකම මේ අනතුරු වාර්තා වීම වැඩි වෙලා තියනවා. මාර්ග අනතුරුවලින් රෝහල්ගත වීම වෙන දිනවලට වඩා වැඩියි. මේ අනතුරු බොහොමයක් වළක්වා ගත හැකි ඒවා. මොනතරම් දැනුම්වත් කිරීම් කළත් එම දැනුම ලබා නොගන්නා පිරිසක් ඉන්නවා.”

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ මේ අනතුරු නිසා ජාතික ආර්ථිකයට, සෞඛ්‍යය ක්ෂේත්‍රයට සහ පුද්ගලයන්ට සිදුවන ආර්ථික හානිය සම්බන්ධව මේ වනතුරු විධිමත් අධ්‍යයනයක් පවත්වා නැති බවය. මෙම අනතුරු වැළැක්වීම එක් අංශයකට පමණක් සීමා නොවී ජාතික වැඩපිළිවෙළක් ලෙස පෙළගැසිය යුතු ආකාරය ගැන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේය.

අප නොතකනවාට රටේ ආර්ථිකය දවන බරපතළම ප්‍රශ්නයක් වන්නේ හදිසි අනතුරුය.

රටේ වැඩිම ප්‍රමාණයක් රෝහල්ගත වන්නේ ඇද වැටීම් වැනි ගෘහස්ත අනතුරු මාර්ග අනතුරු වැනි හදිසි අනතුරුවලින්. රටේ සෞඛ්‍ය පිරිවැයෙන් වැඩිම ප්‍රතිශතයක් වැය වන්නේ මේ හදිසි අනතුරු සඳහා ප්‍රතිකාර කිරීමටය. එක් කුඩා තුවාලයකට ප්‍රතිකාර වියදම රුපියල් පන්දහසක් සේ සැලකුවත් මෙතෙක් ගණනය නොකළ බිලියන ගණනක මුදලක් ඒ සඳහා වැය වී තිබේ. එය දළ වශයෙන් රුපියල් බිලියන 20කට ආසන්න බව පැවසේ.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 10ක් ඇත. එම එක් ඇඳක ප්‍රතිකාර ලබන රෝගියෙක් වෙනුවෙන් රජය දරන දෛනික පිරිවැය අවම වශයෙන් ලක්ෂ එක හමාරකි.

අවධාරණය කළ යුතු විශේෂත්වය වන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව දැක්වූ ආකාරයට වාර්තා වන හදිසි අනතුරුවලින් අති මහත් ප්‍රමාණයක් වළක්වා ගත හැකි ඒවා වීමය. එම සෞඛ්‍ය වැය බර අවසාන වශයෙන් දරන්නේ මේ සමස්ත සමාජය විසිනි.

මාරක රිය අනතුරු නිසා සිදුවන ආර්ථික හානිය පිළිබඳ ගණනය කරන විධිමත් සමාජ පරීක්ෂණයක් මෙතෙක් රට තුළ සිදු වී නැත. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පොදු නිර්ණායක ප්‍රකාරව ලෝක රිය අනතුරුවලින් සියයට 93ක් සිදුවන අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1-2 අතර ප්‍රමාණයක් රිය අනතුරු නිසා වැය වන්නේය. එය ගණනය කර කිව්වොත් නිසැකවම ඔබ තිගැස්සෙනු ඇත. 

අප මේ මොහොත ගත කරන්නේ බිහිසුණු ආර්ථික ව්‍යසනයක අතිශය අප්‍රසන්න අත්දැකීම් ලබමිනි. රටේ ඩොලර් සංචිත හායනය වූ ප්‍රමාණය අවසාන වශයෙන් ලියැවී තිබුණේ සංඛ්‍යා ලේඛනගත නොවූ දස දහස් ගණනක රෝගීන්ගේ මරණ මතිනි.

රටට අත්‍යාවශ්‍ය ඖෂධවත් ගෙනෙන්නට වත්කමක් තිබුණේ නැත. අප ජීවත් වූයේ ණය ගෙවීමට හැකියාවක් නොවුණ බංකොලොත් භාවය ප්‍රකාශ කළ රටකය. මේ මොහොත වනවිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම රටට සහනයක් ලබා දී ඇත.

නමුත් අප එරෙමින් ඇති ආර්ථික ගොහොරුවෙන් තවම ගොඩයෑමක් පිළිබඳ නිශ්චිත සහතිකයක් නැත. ඒ සඳහා යම් බලාපොරොත්තු මාත්‍රාවක් පමණක් දැල් වී තිබේ. මේ රට මේ මහා ව්‍යසනයෙන් ගොඩ ගත හැක්කේ ආකල්පමය පරිවර්තනයකින් පමණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු පිළිබඳ විශේෂඥ කමිටුව රටට කියා තිබිණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්නය. ඔහු මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන්හි ලොව පිළිගත් ප්‍රමාණිකයෙකි.

පොදුවේ රටේ සිදුවන අනතුරු සහ මාර්ග අනතුරු වළක්වා ගැනීමට මෙතෙක් අප දියත් කළ උත්සාහයන් සාධනීය ප්‍රතිඵල අත් කරගෙන නොමැත්තේ කුමක් නිසාදැයි අපි මහාචාර්යවරයාගෙන් විමසුවෙමු.

ඔහු අපට මෙසේ කීවේය.

රිය අනතුරු මුල් කරගෙන මා මේ කථිකාව ගොඩනඟන්නම්. මොකද සෑම කාලෙකම වාගේ අවුරුදු කාලෙත් වැඩිම වාර්තා වන අනතුරු රිය අනතුරු නිසා.

“රිය අනතුරු වැළැක්වීමට අවම කිරිමට ගොඩාක් දේවල් ලෝකය පුරා කරනවා. නව සොයා ගැනීම් තියනවා. එහෙම සාධනීය අපේ රටෙත් කරලා තියනවා. එහෙම නම් ඇයි කැපී පෙනෙන ප්‍රතිඵල නැත්තේ. අපි ඒක පැහැදිලි කරගනිමු.”

“ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් රිය අනතුරු වළක්වන්න සියලුම දේවල් කරන්නේ අපේ පොලිසිය. එහි පූර්ණ ගෞරවය යන්න ඕන පොලිසියට. අපි ඔවුන්ට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ගේ අඩුපාඩු දකිනවා. නමුත් ගිනි අවුවෙ නිල ඇඳුමක් ඇඳන් මහ පාරක් මැද්දේ ඔවුන් කරන සේවය පිළිබඳ අපට තක්සේරුවක් නෑ. “

“ බීමතින් රිය පැදවීම ඉතා හොඳින් පාලනය කරන්න පොලිස් ක්‍රියාන්විත සමත් වෙලා තියනවා. එහි පූර්ණ ගෞරවයත් ඔවුන්ට හිමි විය යුතුයි. ඉන් විශාල අනතුරු ප්‍රමාණයක් අවම වෙලා තියනවා.”

“දැන් රටේ ප්‍රශ්නය අවුරුද්ද කාලෙද නැද්ද කියන එක නෙමෙයි . රිය අනතුරුවලින් මිය යෑම අවම කිරීම අවශ්‍ය වෙන්නේ.”

“ඒ සඳහා විවිධ ආයතන වෙන වෙනම විවිධ වැඩසටහන් කරනවා. එකම දේ විවිධ ආයතන යළි යළිත් කරනවා. සමහර දේවල් තියනවා කරන්නෙම නැති. නමුත් රිය අනතුරු වැළැක්වීම එක් ආයතනයකට පමණක් කරන්න බෑ. එය ඒකාබද්ධ ජාතික මෙහෙයුමක් ලෙස සංවිධානය වෙන්න ඕන.”

“ ඒ නිසා අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට ඉල්ලා සිටියෙ රිය අනතුරු වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක්. දැන් ඔබට හිනා යන්න පුළුවන් ජනාධිපති කාර්ය සාධන බළකායක් මේ වැඩේට මොකට ද කියලා . රටේ තියන එවැනි බළකා ගැන අත්දැකීම් මේ රටට තියෙනවා.”

“ නමුත් අපි මේක ඉල්ලන්නේ රිය අනතුරු වැළැක්වීම සඳහා එක් විය යුතු සියලුම ආයතන කළමනාකරණය කරගත හැකි එකම තැන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ තියන ආයතනයක් කියන එක අත්දැකීමෙන් දන්න නිසා. අමාත්‍යාංශයක් යටතේ තියන ආයතනයක රැස්වීමකට තවත් අමාත්‍යාංශයක ලේකම්වරයෙක් කවදාවත් සහභාගී වන්නේ නෑ. එතකොට අදාළ තීන්දු තීරණ නිශ්චිත ලෙස ප්‍රායෝගික කිරීමේ නොහැකියාවක් තියනවා.”

“අපි හැමදාම එකම තැන ඉන්නේ ඒ තත්ත්වය නිසා. අපට දීර්ඝ කාලීන, මධ්‍යකාලීන කෙටි කාලීන සැලසුම් හදාගන්න හදාගෙන ප්‍රායෝගික කරගන්න මේ පරිපාලනමය ගැටලුව නිසා නොහැකි වී තිබෙනවා. “

“මේ නිශ්චිත ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගන්න බැරිවෙනතාක් කල් මිනිස්සු තුන්දාහක් හැම අවුරුද්දකම මහ පාරෙ මැරෙනවා... එය ගණනය කළ නොහැකි සමාජ ආර්ථික ඛේදවාචකයක්.”

“උදාහරණයක් කියලා මේ කෙටි සංවාදය නිමා කරන්නම්. අපේ රටේ දරිද්‍රතාව අඩු කරන්න වැඩසටහන් ගණනාවක් දියත් වුණා. ඒත් ඒ වැඩසහන්වල සාර්ථක ප්‍රතිඵල එළියට ආවෙ නෑ. රිය අනතුරුත් මේකට එක හේතුවක් වෙන්න පුුළුවන්.”

“රටේ 15 -45 අතර වැඩිම ජනගහනයක් මැරෙන්නේ රිය අනතුරුවලින්. ඔත්පල වෙන්නේ එක්තැන් වෙන්නෙ රිය අනතුරුවලින්. සමහරවිට පවුලේ එකම ආර්ථික ශක්තිය වෙච්චි පුද්ගලයට තමයි ඒ ඉරණම අත් වෙන්නේ. “

“මේ තත්ත්වය වළක්වා ගන්න ජාතියක් ලෙස අප එක් විය යුතුයි. ඊට අවශ්‍ය මූලික පරිපාලන ව්‍යුහය ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇතුළෙ තියනවා. අපි වත්මන් ජනාධිපතිවරයාගෙනුත් මේ ගැන කතා කරන්න අවස්ථාවක් ඉල්ලලා තියනවා.” මහාචාර්ය සමත් ධර්මරත්න කියන්නේය.

අලුත් අවුරුද්ද අනතුරු රැසක් සමඟ ගත වී තිබේ. අපි තවත් අනතුරු වළක්වා ගත හැකි අයුරු පිළිබඳ සමාජ සංවාද ගොඩනඟමින් හිඳිමු.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට ඇද වැටී ඇති මොහොතක එහි දැවැන්තම වැය බර දරන හදිසි අනතුරු වළක්වා ගැනීමට සතියෙන් යුතුව වැඩ කිරීම පමණක් ජාතික කාර්ය භාර්යයක් වූ මොහොතක් එළඹී ඇත.

මේ අවස්ථාවේ දී පුරවැසියන් ලෙස රටේ ජනතාව සතු නිශ්චිත වගකීම වන්නේ ජාතියක් වෙනුවෙන් රටක් වෙනුවෙන් යහපත් සිහි නුවණින් යුතුව තමන් රැක ගැනීමය. වළක්වා ගත හැකි රෝග හා අනතුරු අවම කර ගැනීමේ වගකීම තමන් වෙතම පවරා ගැනීමය.

Comments