
බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළියන් තිදෙනෙකු එකට රඟපාන අලුත්ම චිත්‍රපටයක් ගැන මේ දිනවල මාධ්‍ය තුළ ලොකු කතාබහක් තිබෙනවා. මෙම සිනමාපටයේ නම ‘ජී ලෙ සරා’ (Jee Le Zaraa). මේ කාලයේ බොලිවුඩ් සිනමාව තුළ ඉහළින්ම වැජඹෙන නිළියන් තිදෙනෙකු වන ආලියා භාත්, ප්‍රියංකා චොප්රා සහ කත්‍රිනා කායිෆ් යන තිදෙනා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. නළුවන්ට ලොකු තැනක් දෙන ඉන්දියානු සිනමාවේ මේ ආකාරයෙන් නිළියන්ම ප්‍රධාන චරිත රඟපාන චිත්‍රපට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. මේ නිසා ‘ජි ලෙ සරා’ යම් විශේෂත්වයක් ගන්නා චිත්‍රපටයක් හැටියටයි සිනමා ලේඛකයන් හඳුන්වන්නේ.
මෙම සිනමාපටයේ කතා පුවත ගැන තවමත් ලොකු විස්තරයක් ප්‍රකාශයට පත් වී නැහැ. කෙසේ නමුත් දීර්ඝ මාර්ග චාරිකාවක (Road Trip) නිරත වන මිතුරියන් තිදෙනෙකු මුහුණ දෙන අත්දැකීම් මෙම චිත්‍රපටයට පසුබිම් වන බව සඳහන් වෙනවා. මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කරන සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂ ෆර්හාන් අක්තාර් චිත්‍රපටය රූපගත කිරීමට සුදුසු ස්ථාන නැරඹීම සඳහා ගොස් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඔහු පසුගිය දා සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර තිබුණා. ඔහු රාජස්ථාන් ප්‍රාන්තයේ කාන්තාර ඉසව්වක සිටින ආකාරයයි එහි දැකිය හැකි වන්නේ. සමහර විට ‘ජී ලෙ සරා’ චිත්‍රපටය කාන්තාරයක් හරහා යන චාරිකාවක් පිළිබඳ චිත්‍රපටයක් විය හැකියි.
ආලියා, ප්‍රියංකා සහ කත්‍රිනා තිදෙනාම මෙම අලුත් සිනමාපටය ගැන බෙහෙවින් උද්දාමයට පත්ව සිටින බව පෙනෙනවා. ආලියා සිය සමාජ මාධ්‍ය පිටුවක ලියා තිබුණේ එහි රූපගත කිරීම් ආරම්භ වන තුරු තමාට ඉවසිල්ලක් නැති බවයි.
ප්‍රියංකා චොප්රා මේ කාලයේ වැඩිපුර සිටින්නේ ඇමරිකාවේයි. නමුත් හැකි තරම් ඉක්මනින් නැවතත් හින්දි චිත්‍රපටයක රඟපෑමේ ආසාවක් 2019 වසරේ තමාට ඇති වූ බව ඇය පසුගිය දා ඉන්ස්ටග්‍රෑම් සටහනකින් පවසා තිබුණා. නමුත් එය හරිම චිත්‍රපටය විය යුතු බැව් තමා දැන සිටි බවත්, එය මෙයට පෙර දැක නුපුරුදු ආකාරයේ නිර්මාණයක් විය යුතු වූ බවත් ඇය තවදුරටත් සඳහන් කර තිබුණා. ‘ජි ලෙ සාරා’ චිත්‍රපටය පිළිබඳ අදහස ඇති වී තිබුණේ මේ ඔස්සේ යි. එයින් පසු තමා සිය හොඳම මිතුරියන් දෙදෙනාට දුරකතන ඇමැතුමක් ලබා දී මේ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කළ බව ප්‍රියංකා පවසනවා. ඇය තවදුරටත් පවසා තිබුණේ මෙම සිනමා පටය තමුන් තිදෙනාගේ මිත්‍රත්වය සැමරීමේ අවස්ථාවක් ද බවයි.
මේ සියළු කතාවලින් පෙනෙන්නේ සිනමාලෝලීන් අලුත්ම අත්දැකීමක් වෙත කැඳවාගෙන යාමට ‘ජි ලෙ සරා’ සමත් වනු ඇති බවයි. චිත්‍රපටය ගැන අදහස ඇති වී දිගු කාලයක් වුවත් විවිධ හේතු නිසා එය තරමක් කල් ඇදී තිබුණා. 2020 වසරේ කොවිඩ් වසංගතය කඩා වැදීමත් ඊට එක් හේතුවක්. මෙම චිත්‍රපටය නොකෙරෙනු ඇති බවටත් එක් අවස්ථාවක ආරංචි පළවෙමින් තිබුණා.
කෙසේ හෝ වේවා, ආලියා, ප්‍රියංකා සහ කත්‍රිනා තිදෙනාගේ සුවහසක් රසික රසිකාවියන් ‘ජී ලෙ සරා’ නිර්මාණය වනතුරු නොඉවසිල්ලෙන් සිටින බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් දැකිය හැකියි. ඔවුන් තිදෙනා බොලිවුඩයේ වැඩිම රසික පිරිසක් සිටින නිළියන් තිදෙනෙකු බව රහසක් නොවෙයි. එමෙන්ම චිත්‍රපට සඳහා වැඩිම මුදලක් අය කරන නිළියන් හැටියටත් ඔවුන් ප්‍රසිද්ධියක් උසුලනවා. ඔවුන් එක් චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 15 - 25 අතර මුදලක් අය කරන බවයි පැවසෙන්නේ. එය ලංකා මුදලින් රුපියල් කෝටි 60 - 95 අතර මුදල් ප්‍රමාණයක්. පසුගිය වසරේ අතිශයින් ජනප්‍රිය වූ ‘ගංගුබායි කතියවාදී’ චිත්‍රපටය වෙනුවෙන් ආලියා ඉන්දීය රුපියල් කෝටි 20 ක් (ලංකා රුපියල් කෝටි 77ක්) පමණ අය කර තිබූ බවටත් කතාවක් තිබෙනවා. එහි ආලියා රඟපෑවේ ඉතාම ප්‍රබල චරිතයක්. තමා පෙම්වතා යයි සැලකූ පුද්ගලයකු විසින් ගණිකා වෘත්තිය සඳහා විකුණනු ලබන තරුණියක් අවසානයේ ගණිකා ව්‍යාපාරයක ‘මැඩම්’ කෙනෙකු බවට පත්වන ආකාරය සහ ඇය එම වෘත්තියේ නියැළෙන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ සුබ සාධනය වෙනුවෙන් සටන් කරන ආකාරය මෙම සිනමාපටය තුළින් නිරූපණය වුණා.
ප්‍රියංකා චොප්රා රඟපෑ ඉන්දියානු චිත්‍රපටයක් අවසන් වරට ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියේ 2021 වසරේ යි. මේ වනවිට නිතර ඇමරිකානු චිත්‍රපටවල ද රඟපාන ඇය ඉතාම සාර්ථක සහ ධනවත් ඉන්දීය නිළියක බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 75 කට ආසන්න යි. එය ලංකා රුපියල් බිලියන 23 කට ආසන්න වත්කමක්. ප්‍රියංකා විවාහ වී සිටින්නේ ද ඇමරිකාවේ ඉතාම සාර්ථක ගායන ශිල්පියකු සහ නළුවකු වන නික් ජෝනාස් සමඟ යි.
කත්‍රිනා කායිෆ් ද මේ වනවිට සාර්ථකම බොලිවුඩ් නිළියන් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක්. ඇය විවාහ වී සිටින්නේ තවත් ජනප්‍රියම ඉන්දීය නළුවකු වන විකී කෞෂාල් සමඟ යි. කත්‍රිනා ද ඉන්දීය සිනමාවේ ධනවත්ම නිළියක වන අතර ඇයගේ වත්කම ඇ.ඩොලර් මිලියන 30ක් ( ලංකා රුපියල් බිලියන 9ක්) පමණ බව සඳහන්.
කසුන් අරවින්ද