දඹුල්ලෙන් පටන් ගත්ත කෝලිගෙ ගමනට දැන් අවුරුදු 15යි | සිළුමිණ

දඹුල්ලෙන් පටන් ගත්ත කෝලිගෙ ගමනට දැන් අවුරුදු 15යි

ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 15 වැනි වසර සැමරීම පසුගිය දිනවල මාධ්‍ය තූළ අවධානයට ලක් වූ කාරණයක් වුණා. ඔහු පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වූයේ 2008 වසරේ අගෝස්තු 18 වැනි දිනයි. කෝලි සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළේ ශ්‍රී ලංකාවෙන් බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. ඔහු සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගයක් වූ අතර එය පැවැත්වුණේ මෙරට දඹුල්ල ක්‍රීඩාංගණයේ යි. 

ඒ වනවිට කෝලිගේ වයස අවුරුදු 19 ක් පමණයි. කෙසේ හෝ වේවා, ඔහුගේ මංගල තරගයේදී ඉන්දියාවට ජයග්‍රහණය කරන්නට හැකි වුණේ නැහැ. මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දු ඕවර 50 අවසානයේ රැස් කර ගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි. ශ්‍රී ලංකාව පන්දු ඕවර 34.5ක දී දෙදෙනකු පමණක් දැවී ඉතා පහසුවෙන් මෙම ඉලක්කය පසුකර යාමට සමත් වුණා. මෙම තරගයේදී කෝලිට ද එතරම් දස්කම් දක්වන්නට ලැබුණේ නැහැ. ලකුණු 12ක් ලබා සිටියදී නුවන් කුලසේකර යැවූ පන්දුවකට ඔහු දැවී ගියේ කඩුල්ල මුවා කිරීම හේතුවෙනුයි.

මේ කාලය වන විට ඉන්දියානු පිලේ ආරම්භක පිතිකරුවන් වූයේ සචින් තෙන්දුල්කර් සහ විරේන්දර් ෂේවාග්. නමුත් ආබාධවලට ලක්ව සිටි ඔවුන් දෙදෙනාම මෙම තරගයට සහභාගි වුණේ නැහැ. ඒ නිසා ආරම්භ පිතිකරුවකුගේ කාර්යභාරය ඉටු කිරීමට කෝලිට සිදු වුණා. අනෙක් ආරම්භක පිතිකරුවා වූයේ ගෞතම් ගම්භීර්. කෙසේ හෝ වේවා, මෙම තරගාවලියේ සිව්වැනි තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගනිමින් පිතිකරුවකු ලෙස කැපී පෙනෙන්නට කෝලිට හැකි වුණා.

වසර 15 ක ගමනකින් පසු කෝලි සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් අදියරට ළඟා වී සිටින බව පැවසිය හැකියි. මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය විය හැකි බවට අදහස් පළ වෙනවා. ඊට ප්‍රධාන හේතුව මේ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 34 ක් වීමයි. 2027 වසරේ මීළඟ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන විට කෝලිගේ වයස අවුරුදු 38 ක් වනු ඇති. කෙසේ නමුත් ඇතැම් ක්‍රිකට් විචාරකයන් නම් පවසන්නේ ඔහු 2027 තරගාවලියට ද ක්‍රීඩා කරන්නට ඉඩ ඇති බවයි.

කෝලි ගැන අදහස් පළ කරමින් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් අක්තාර් පසුගිය දිනෙක අපූරු කතාවක් පවසා තිබුණා. ඔහු පවසන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු කෝලි එක්දින තරගවලින් සහ විස්සයි විස්ස තරගවලින් ඉවත් විය යුතු බවයි. එයින් පසු ඔහු ටෙස්ට් තරග සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කළ යුතු බව අක්තාර් සඳහන් කරනවා. එසේ කළහොත් වැඩි කාලයක් ක්‍රීඩා කිරීමට කෝලිට හැකි වනු ඇති බවයි අක්තාර්ගේ අදහස. ජාත්‍යන්තර ශතක 100 ක් ලබා ගනිමින් සචින් තෙන්දුල්කර් පිහිටුවා ඇති වාර්තාව බිඳ හෙළීමට ද එහිදී කෝලිට හැකි වනු ඇති බව ඔහුගේ විශ්වාසය වී ඇති බව පෙනෙනවා. තෙන්දුල්කර් ලබාගෙන ඇති ශතක 100ට ටෙස්ට් ශතක 51ක් සහ එක් දින ශතක 49 ක් ඇතුළත්. කෝලි මේ වනවිට රැස් කර ඇත්තේ ජාත්‍යන්තර ශතක 76ක් පමණයි. ඒ, ටෙස්ට් ශතක 29ක්, එක් දින ශතක 46ක් සහ විස්සයි විස්ස ශතක 1ක් වශයෙන්. 

විරාත් කෝලිගේ ක්‍රිකට් දිවිය මේ ආකාරයෙන් කතාබහට ලක් වෙද්දී ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා ද ක්‍රිකට් සම්බන්ධ කාරණයක් නිසා මේ දිනවල අවධානයක් දිනා සිටිනවා. අනුෂ්කා රඟපාන අලුත්ම සිනමාපටයක් ඉදිරියේදී ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත අතර, මෙම සිනමාපටයට පසුබිම් වන්නේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාවක වූ ජුලාන් ගෝස්වාමිගේ ජීවිත කතාවයි. 2002-2022 අතර කාලයේ ගෝස්වාමි ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. කාන්තා එක්දින තරගවලදී වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳ හෙළා ඇති ක්‍රීඩිකාව ද ඇයයි. ගෝස්වාමි 2008 සිට 2011 දක්වා කණ්ඩායමේ නායකත්වය ද දැරූ අතර ඇය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම පන්දු යවන්නියක ලෙස ද සැලකෙනවා.

ගෝස්වාමිගේ ජීවිත කතාව ඇසුරෙන් තැනුණු chakda xpress නැමැති සිනමාපටයේ ඇයගේ චරිතය නිරූපණය කරන්නේ කෝලිගේ බිරිඳ අනුෂ්කායි. ඇය රඟ පෑ චිත්‍රපටයක් අවසන් වරට ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියේ 2018 වසරේ වන අතර, ඒ ෂාරුක් ඛාන් සහ අනුෂ්කා ප්‍රධාන චරිත රඟපෑ zero චිත්‍රපටයයි.

2017 වසරේ යුගදිවියට එළැඹුණු කෝලිට සහ අනුෂ්කාට කුඩා දියණියක ද සිටින අතර, මේ වන විට ඇයගේ වයස අවුරුදු දෙකක්.

Comments