
ශික්ෂිත සමාජයක හරාත්මක පදනම එක් අශික්ෂිත පුද්ගලයකුගේ මුග්ධ හැසිරීමෙන් විනාශ විය හැකිය. එය අත්දුටු ලෝක යථාර්ථයකි. වර්තමානයේ ජන ජීවිතය අතිශයින්ම පහසු කළ, දැනුම්වත් කළ, වින්දනීය ප්‍රවේශයක් නිර්මාණය කළ අන්තර්ජාලය සහ පරිගණකය ඔස්සේද සමාජ විනාශයක් නිර්මාණය කරනවා ද නැද්ද යන්න තීන්දු වන්නේ ඒ ඉදිරියේ සිටින පුද්ගලයාගේ ආකල්ප හා ශික්ෂණය මතය.
අවිනීත එවැනි විකල් වෛරී අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වුණු විශාල පිරිසක් දැන් මේ සමාජයේ වේ. පරිගණක අපරාධ පරීක්ෂකයන්ට අනුව ඒ අපරාධවලින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් විෂයයෙහි ඇති කළ ලිංගික හිංසනයන්ය. පාසල් දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය සමූහ වෙත මුදා හැරි අවස්ථා බොහෝ වාර ගණනක් අසන්නට ලැබිණි. සරසවි සිසු දැරියන් මේ උගුලේ හසු වූ වාර ගණනකි. පසුගිය 29 වැනිදා අලුත්ම සිදුවීමක් වාර්තා වූයේ තරුණ යුද හමුදා සෙබලෙක් අත්අඩංගුවට පත් වීමෙනි. ඒ මහනුවර සිටි සිය පෙර පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහිත දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ වරදටය.
පරිගණක අපරාධ සම්බන්ධව යම් සාධනීය කතිකාවක් ගොඩ නඟන්නට අප උත්සාහ කරන්නේ එවැනි පසුබිමකය.
මුලින්ම අප හා සංවාදයට එක් වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය ය. රටේ සයිබර් අපරාධ සිදුවන ආකාරය පිළිබඳ පුළුල් වපසරියක සිට කතා කළ හැකි ප්‍රධානම වෘත්තිකයෙක් වූ ඔහු පරිගණක අපරාධවල සැඟවුණු ගැඹුරු කතාවක් අපට කීවේය.
“අපි පරිගණක අපරාධවලට අමතරව සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන සිදු කරන අපරාධමය පැමිණිලි සම්බන්ධව විමර්ශනය කරනවා. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධ ගත්තම විවිධ කරදර හිරිහැර අපහාස, ව්‍යාජ ගිණුම් භාවිත කර සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම්, සාමජ මාධ්‍ය වෙත අනවසරව ප්‍රවිෂ්ට වී සිදු කරන අපරාධ ගැන පැමිණිලි ලැබෙනවා.
කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පළ කිරීම, කාන්තාවන්ගේ සාමාන්‍ය ඡායාරූප සංස්කරණය කර නිරුවත් ඡායාරූපවලට බද්ධ කර සමාජ මාධ්‍යවල පළ කිරීම් සම්බන්ධව පැමිණිලි එනවා. බොහෝ විට එහෙම හදපු ඡායාරූප කාන්තාවන් අලවි කරන වෙබ් අඩවිවල ඔවුන්ගේ දුරකතන අංකත් එක්ක පළ කිරීමයි සිදු කරන්නේ. මේ සිදුවීම් බොහෝ විට වෙන්නේ වෛරයෙන්.
කාන්තාවන් ඉලක්ක කරගෙන තවත් වංචා සිදු වෙනවා. කෝටිපති විදේශිකයෙක් ලෙස ව්‍යාජ ගිණුමක් ඔස්සේ පෙනී සිටිමින් අදාළ කාන්තාවන්ට විවාහ පොරොන්දු දී ඇයට ත්‍යාගයක් ලංකාවට එවීම සඳහා ගාස්තු ලෙස දන්වා රුපියල් ලක්ෂ ගණනින් සොරකම් කරන ජාවාරම්කරුවන් ඉන්නවා. ලොතරැයි දිනුම් ඇදුණා යැයි වංචා කළ අය ඉන්නවා.
සමහර වෙලාවට නිවෙසේ සිට මුදල් ඉපයීම සම්බන්ධ රැකියා අවස්ථා සමාජ මාධ්‍ය වල පළ කරනවා. අලුත් ගිණුමක් විවෘත කරගන්න. බැංකුවට වැටෙන මුදල් ක්‍රිප්ටො කරන්සිවලට හරවා සියයට 10ක් ඔබ තියාගන්න යැයි කියනවා. ඇත්තටම මේ වැටෙන්නේ අපරාධවලින් උපයා ගන්නා මුදල්. තමන් දන්නෙම නැතිව තමන් අපරාධයක හවුල් කාරයෙක් වෙලා.
ඒ වගේම ව්‍යාපාර ආයෝජන අවස්ථා ලබා දෙන ව්‍යාපාරිකයන් ලෙස ව්‍යාජ ගිණුම්වලින් පෙනී ඉඳලා විශ්වාසය දිනාගෙන මුදල් වංචා කර අතුරුදහන් වන අවස්ථා ගැන පැමිණිලි ලැබෙනවා. වීසා ලබා දෙන ආයතන ලෙස ව්‍යාජව පෙනී සිට බැංකු ගිණුමේ තොරතුරු අරන් ගිණුමෙන් සල්ලි හොරකම් කරන අවස්ථා ගැන වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ මේ ආකාරයේ පරිගණක අපරාධ වැඩි වශයෙන් කරන්නේ සංවිධානාත්මක නයිජීරියානු කණ්ඩායම්. එවැනි අපරාධකරුවන් 14 දෙනෙක් ගිය අවුරුද්දෙ අපි අත්අඩංගුවට ගත්තා. 2021 දි එවැනි අය 07ක් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් බැංකු ගිණුම්, ඒ ටී එම් කාඩ් හදාගන්නෙ බොහෝ වෙලාවට මතට ඇබ්බැහි වූ පුද්ගලයකුට රුපියල් විසි පන්දාහක් විතර දීලා ඔහුගෙ නමින්.
බැංකු ගිණුම් ඔස්සේ අපරාධය හොයාගෙන යද්දි අන්තිමට නවතින්නේ මතට ඇබ්බැහි වූ පුද්ගලයෙක් ළඟ. ඔහු දන්නෙ නෑ වුණේ මොකක් ද කියලා“.
මේ සියල්ල අතරෙත් සයිබර් අවකාශයෙන් වැඩිපුරම වාර්තා වන්නේ සමාජ මාධ්‍යවල කාන්තා හිංසනය.
“වෛරී පුද්ගලයන් විසින් එඩිට් කරපු කාන්තා ඡායාරූප කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවල පළ කරනවා. විනාඩියට කෝල් ගණනක් ඒ කාන්තාවට එනවා මිල ගණන් විමසලා. ඒක දරාගන්න බැරි මානසික වදයක් වුණු අය ඇවිත් අපට පැමිණිලි කර තිබෙනවා. වර්තමානයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඉස්කෝලෙ ළමයි ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් වහාම තමන්ගේ පෞද්ගලික ඡායාරූප පෙම්වතාට යැවීම. වීඩියෝ කෝල් අරන් කරන අතිශය පෞද්ගලික හැසිරීම් වීඩියෝ ගත කර තරහා වුණු ගමන් සමාජ මාධ්‍යවල පළ කිරීම.
අවුරුදු තිහ හතළිහ අතරෙ නිවෙසේ රැඳෙන කාන්තාවන් ඉලක්ක කරගෙන ගොදුරු සොයන තරුණ පිරිස් ඉන්නවා. ටික දවසක් කාන්තාවට කතා කරලා වීඩියෝ කෝල් එකක් අරන් පුද්ගලික හැසිරීම්වලට පොලඹවා ඒ කෝල් රෙකෝඩ් කර බ්ලැක්මේල් කරලා සල්ලි ගන්නවා. ලිංගිකව අපයෝජනය කරනවා. සමහර පුද්ගලයන්ගේ ගිණුම් හැක් කර ඔහුගේ පෙම්වතිය හොයාගෙන පෞද්ගලික ඡායාරූප වීඩියෝ ගෙන්වා ගන්නවා. තමන්ගේ පෙම්වතා කියලා හිතලා එවන වීඩියෝ හෝ ඡායාරූප යන්නේ පෙම්වතාටම නෙවෙයි.
ඒ ඡායාරූප වීඩියෝ පෙන්වලා බ්ලැක්මේල් කරන මුදල් ගන්න ලිංගිකව අපයෝජනය කරන අවස්ථා වාර්තා වෙලා තිබෙනවා. සැමියාගෙන් හෝ පෙම්වතාගෙ නමින් එන පණිවිඩ පිළිබඳත් සැලකිලිමත් විය යුතු කාලයක් මේක. එවැනි එක සිද්ධියක් විසඳපු විදිහ කියලා මේ කතාව නිමා කරන්නම්. ඇය ලංකාවෙ ප්‍රසිද්ධ පාසලක 11 වසරේ දැරියක්. පියා රටම දන්න අඳුනන වෘත්තිකයෙක්. දරුවාගේ නිරුවත් වීඩියෝ සහ ෆොටෝ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන බව පියා ඇවිත් පැමිණිලි කළා. දරුවා කිව්වෙ කිසිවකුට එවැනි වීඩියෝ හෝ ඡායාරූප නොයැවූ බවයි. විමර්ශනයෙන් හෙළි වුණේ මේ දැරිය ඒ ඡායාරූප සහ වීඩියෝ ඇගේ පෙම්වතාට යවලා තිබෙනවා කියලා. නමුත් ඒ තරුණයා කිසිම කෙනකුට ඒ ෆොටෝ යවලා තිබුණෙ නෑ.
දිගින් දිගටම සිදු කළ විමර්ශනයකදි පෙනුණා ඇගේ ගිණුමට කවුරු හරි අනවසරයෙන් ප්‍රවේශ වෙලා කියලා. එහෙම ප්‍රවේශ වෙලා තියෙන්නෙ මේ දැරියගේ හොඳම යෙහෙළියගෙ පෙම්වතා. ඔහු තම පෙම්වතියගේ යෙහෙළියගේ ගිණුම හැක් කර එහි අඩංගු දේ අන්තර්ජාලයට මුදා හැරලා. මේ වැඩේ කළ පිරිමි ළමයට වයස අවුරුදු 17යි. මේ ළමයව උසාවි දැම්මට පස්සේ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ වයස ගැන කල්පනා නොකර කළ අපරාධයේ බරපතළකම මත ඔහුව රිමාන්ඩ් කළා.
අවසාන වශයෙන් කිව යුත්තේ මේ අපරාධවල ගොදුරක් නොවීමට ඔබගේ පුද්ගලික ගිණුම්වල රහස්‍යභාවය උපරිමයෙන් රැක ගන්න. යම් ආකාරයකට වින්දිතයෙක් වුණා නම් වහාම පැමිණිලි කරන්න. පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශයෙ ඉන්නෙ ඉතාම ඉහළ පුහුණුවක් ලද වෘත්තිකයන් කණ්ඩායමක්. අඩුම තරමින් කාන්තාවකගේ විමර්ශන කටයුත්තකටවත් පිරිමි නිලධාරියෙක් මැදිහත් වෙන්නෙ නෑ. ඒ සියලුම විමර්ශන කටයුතු කරන්නේ කාන්තා නිලධාරීන්. රහස්‍ය භාවය ඒ අයුරින්ම ආරක්ෂා වෙනවා. ඔබ වින්දිතයෙක් නම් ඔබ නිහඬව ඉන්න හැම දවසකම අපරාධයට උත්තේජනයක් ලැබෙනවා. බේරගන්න බැරි තරමට සංකීර්ණ වෙනවා.“
ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන විමර්ශන අංශය පවතින්නේ නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර යටතේය. ඇය සයිබර් හිංසනය නිසා පිඩාවට පත් කාන්තාවන් පිළිබඳ කියවා ගන්නේ වඩාත් මානුෂීය ආකාරයටය.
“ අප ගතකරමින් සිටින මේ වකවානුවෙ විශාල සමාජ වෙනසක් තිබෙනවා. ඇත්තටම සයිබර් හිංසනයට අවශ්‍ය හේතු සපයලා තියෙන්නෙම වින්දිත පාර්ශ්වයම තමයි. වින්දිතයො හිංසනයට පත් වෙලා තියෙන්නෙම කැමැත්තෙන් තමන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ බෙදා ගත් තරුණ තරුණියන් ඔවුන් විසින් ඇති කරගත් එකඟතාව නැතිවුණු අවස්ථාවක එම පුද්ගලික තොරතුරු ලෝකයට මුදා හැරීමෙන්. මෙවැනි කාන්තාවන් පොලිසියට එන්නේ දීර්ඝකාලීන හිංසනයට ලක් වෙලා ඉවසගන්න බැරි තැන. එතකොට බොහෝ දේ සිදුවී ඉවරයි.
මේ තත්ත්වයට කාන්තාවන් අපවාදයට ලක් කරලා කිසිම ප්‍රයෝජනයක් නෑ කියන එකයි මගෙ අදහස. තමන් පිළිබඳ ඇති කරගත් විශ්වාසය තහවුරු කරගන්න, ආකර්ෂණය දිනා ගන්න, ඇය මේ දේ කරන බව අපට පෙනී ගොස් තිබෙනවා. ඒ මෘදු මානුෂික ගුණාංගය තමයි අනෙක් පාර්ශ්වය විසින් අවභාවිත කරන්නේ. මේ තත්ත්වය සමාජය විසින්ම ගර්හාවට ලක් කළ යුතුයි. තම හිටපු පෙම්වතියගේ හෝ තමන් සමඟ විශ්වාසයෙන් ජීවත්වූ කාන්තාවක් තමන් ඉදිරිපිට නිරුවත් වූ ආකාරය සමාජය සමඟ බෙදා ගන්නා පුද්ගලයන් සමාජයෙන් කොන් කළ යුතුයි. ඒ සමාජ විරෝධය ඇති විය යුතුයි. මොනතරම් අනෙකාව විශ්වාස වුණත් මේ තාක්ෂණික ලෝකයේ අපි හරිම අනාරක්ෂිතයි...” ඇය කියන්නීය. මාධ්‍යවේදියෙක්, ප්‍රකට විද්‍යා ලේඛකයෙක් මෙන්ම සමාජ මාධ්‍ය විශ්ලේෂකයෙක් ලෙස ප්‍රාමාණික දැනුමක් සහිත නාලක ගුණවර්ධන ට අනුව අන්තර්ජාල අපරාධ සම්බන්ධව මූලික පොදු විග්‍රහය වන්නේ පරිගණක තාක්ෂණය යොදාගෙන අන්තර්ජාලය හරහා සිදු කරන අපරාධ යන කාරණාව ය.
සමාජ මාධ්‍ය භාවිත කරන අති බහුතරය අතින් කිසිම ආකාරයක සයිබර් අපරාධයක් හෝ නීතිවිරෝධී ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නෑ. අපි බැලුවොත් ආසන්න වශයෙන් මිලියන 09ක් - 10ක් පමණ දෙනා ශ්‍රී ලකාවේ කුමන හෝ සමාජ මාධ්‍ය වේදිකාවක් පාවිච්චි කරනවා.
එහි බහුතරයක් අවස්ථාවල දී ඉතාම යහපත් සුබවාදී භාවිතයන් තමයි පවතින්නේ. එහෙත් ඉතාම සුළුතරයක් සමාජ මාධ්‍ය වේදිකා හරහා යම් යම් අහයපත් ක්‍රියාවල නිරත වීමේදී තමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ.
අපි ඒවා කෙටියෙන් ලයිස්තුගත කළොත් වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම, දුස් තොරතුරු පතුරුවා හැරීම වගේම ඇතැම් අවස්ථාවල සයිබර් හිංසනය කියන එක දකිනවා. ඒ තමයි එක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍යය හරහා වාචිකව හිංසනයට ලක් කිරීම, චරිත ඝාතනය... ඉඳහිට අවස්ථාවල ෆේස් බුක් ගිණුමකට පිවිසිලා අනන්‍යතාව පැහැර ගැනීම් අපි දකිනවා. මේවායින් බේරී සිටීමට වගේම මේවා නොකරන්නට සමාජ මාධ්‍ය පරිශීලකයන්ට වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි සයිබර් සාක්ෂරතාව, ඩිජිටල් සාක්ෂරතාව කියන කුසලතාව හැමෝටම අවශ්‍ය වෙන්නේ. අපට ලැබෙන දුස් තොරතුරක් හඳුනා ගන්න අමාරුයි. එහෙම එකක් ආවාම එහි ඇත්ත නැත්ත මෙනෙහි කරමින් නිවැරදිතාව තහවුරු කරගැනීමේ වගකීමක් අපට තිබෙනවා.
තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල මුරපදය සමීපතමයන් සමඟ වුවත් බෙදා නොගන්න, පෙනෙන තැනක ලියා නොතබන්න, ලෙහෙසියෙන් අනුන්ට අනුමාන කරන්න බැරි සංකීරණ මුරපදයක් පාවිච්චි කිරීම වැනි උපක්‍රම හරහා කෙනකුට තමන්ගේ ගිණුම ආරක්ෂා කරගන්න පුළුවන්.“ සමාජ මාධ්‍ය පරිශිලකයකුගේ වගකීම පිළිබඳ නාලක ගුණවර්ධනයන් පැවසුවේ එසේය.
ආචාර්ය කෞෂල්‍යා හේවාවසම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ , අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. පරිගණක අපරාධයක අපරාධ විද්‍යාත්මක ස්වරූපය ගැන ඇය සංවාදයට එක් වූවාය.
“ නූතන සමාජය දිහා බැලුවොත් අපට පරිගණක අපරාධ සමාජ ගැටලුවක් තරමට වර්ධනය වෙලා. අපරාධ විද්‍යාත්මකව ගත්තම පැහැදිලි වන කාරණාවක් තිබෙනවා. ප්‍රචණ්ඩ අපරාධයකට පෞරුෂයක් අවශ්‍යයයි. ප්‍රචණ්ඩත්වය පළ කරන ස්ථානයට යා යුතුයි. අදාළ පුද්ගලයා අභිමුඛ විය යුතුයි. තමන්ට එන ශාරීරික පීඩාව පිළිගත යුතුයි. නමුත් එහෙම පෞරුෂයක් නැති කෙනකුට වුණත් පැත්තකට ගිහින් පරිගණ අපරාධයක් කළ හැකිය. අවදානමක් අරගන්නෙ නැතිව ලේසියෙන් පහසුවෙන් එම අපරාධ සිදු වෙනවා.
අපරාධයක් සිදු කිරීමට ඕනෑම පුද්ගලයකුට අවස්ථාව තියන එක වැදගත් සාධකයක්. පරිගණක අපරාධයක් කරන්න අවස්ථාව සුලබයි. දැනුමක් සහිත තාක්ෂණික හැකියාවක් ඇති තරුණ අය මේ අපරාධවලට යොමු වෙනවා.මෙම අපරාධ වළක්වා ගැනීමට අපරාධකරුවන්ට වඩා වැඩි දැනුමකින් වේගයකින් අපරාධ විමර්ශකයන් තාක්ෂණයත් සමඟ යාවත්කාලීන විය යුතුයි. ඔවුන් විතරක් නොවෙයි. අන්තර්ජාලය භාවිත කරන සියලු දෙනා එම සාක්ෂරතාව ප්‍රගුණ කළ යුතුම වෙනවා.“ආචාර්යවරිය කීවාය.
අවසාන වශයෙන් අන්තර්ජාල අපරාධ සම්බන්ධව අපරාධකරුවන්ට එරෙහිව රටේ ඇති නෛතික රැකවරණය පිළිබඳ අප විමසන්නේ ආචාර්ය, නීතීඥ තුසිත අබේසේකරගෙනි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ නීති අධ්‍යයන ඒකකයේ අංශ ප්‍රධානී ය. පරිගණක නීතිය පිළිබඳ සිය ආචාර්ය උපාධිය කළ විශේෂඥයෙකි. එමෙන්ම පරිගණක හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් නීති උපාධිය සම්පූර්ණ කළ ප්‍රභූ විද්වතෙකි.
“ නීතියට අනුව අප ප්‍රස්තුත කරගත් සියලුම අපරාධ පරිගණක අපරාධ යැයි හැඳින්වීම වඩාත් උචිතයි. පරිගණකයක් ඒ ස්වරූපයෙන් අපරාධයකට සම්බන්ධ වෙනවා නම් එය පරිගණක අපරාධයක්. එම අපරාධයට පරිගණකය උපකරණයක් ලෙස සම්බන්ධ කරන්නවා.
දෙවනුව පරිගණක තිරය මත සටහන්වන දේ අපරාධයක් ලෙස භාවිත කරනවා. තුන්වනුව පරිගණකයේ පරිගණක ක්‍රියාවලිය යම් අපරාධ ක්‍රියාවලියකට ලක් කරනවා. ඒය මඟින් පරිගණකය තුළ විශ්වාසනියත්වය අභියෝගයට ලක් කරනවා.
හැබැයි පරිගණයක් අන්තර්ජාලය එක්ක සම්බන්ධ වී තියන වෙලාවක අපරාධයක් සිද්ධ වෙනවා නම් එය සයිබර් අපරාධයක්.
හැම සයිබර් අපරාධයක්ම පරිගණක අපරාධයක් වෙන්නෙ නෑ. මේ විදිහට තමයි පරිගණක අපරාධ කියන පොදු යෙදුම හඳුනා ගන්න වෙන්නේ. පරිගණක අපරාධවල අනු කොටසක් තමයි සයිබර් අපරාධ. එම අපරාධ වැළැක්වීමට රට තුළ නීති ගණනාවක් තිබෙනවා.
සමහර දේවල් රටේ පොදු නීතිය යටතේ වැරදිවලට දඬුවම් නීතියෙ තිබෙනවා. ඊට අමතරව සමාජ මාධ්‍ය වේදිකා විසින් සියලුම පරිශීලකයන්ට කොන්දේසි පනවා තිබෙනවා. එ් වේදිකාව මට්ටමින් ස්වයං නියාමනයකට ගන්නා උත්සාහය තමයි ප්‍රජා ප්‍රමිතීන් කියන්නේ. ඒවට අනුගත වීමත් සමාජ මාධ්‍ය පරිශිලකයන්ගේ වගකීමක්.
අපි සයිබර් අපරාධ ගැන කතා කළොත් සමාජ මාධ්‍ය භාවිත කර කරන අපරාධයක් පරිගණක අපරාධයක් වගේම සයිබර් අපරාධයක් වෙනවා. මේ අපරාධ වළක්වන්න ලංකාවේ නීති ගණනාවක් ක්‍රියාත්මකයි. මූලික වශයෙන් මේකට දණ්ඩ නීති සංග්‍රහය යොදා ගන්න පුළුවන් සිද්ධ වෙන්නෙ අපරාධයක් නිසා.
එතනදි අපි පරෙස්සමෙන් බලන්න ඕන. පරිගණකය සහ අන්තර්ජාලය උපකරණයක් ලෙස පාවිච්චි කරන අපරාධකරුවකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය. ඒ කරනු ලබන අපරාධය නවීන පරිගණක අපරාධ නීතියට යටත් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ඉතා දීර්ඝ කාලයක් තුළ පැවති සාමාන්‍ය අපරාධ නීති සංග්‍රහය ඒ කියන්නෙ දණ්ඩ නීති සංග්‍රහයට යටත්ව ඇති නීතියකින් කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම අපරාධ නොවන සිවිල් ක්‍රියාවක් වෙන්න පුළුවන්. මොකද අපේ රටේ සාපරාධී අපහාස නීතිය නෑ. අපහාසය අපරාධ වගකීමක් පවරන්නේ නෑ. නමුත් ලංකාවේ අපහාසය කියන එක සිවිල් වරදක්. දීලික්ත නීතිය යටතේ දිසා අධිකරණයක සිවිල් නඩුවක් පවරා අභියෝගයට ලක් කළ හැකියි.
අපාරාධයක් තිබෙන ස්ථානයේම දඬුවමක් තිබෙනවා. පරිගණක අපරාධ සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රධානම පනත තමයි 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත. පරිගණක අපරාධ පනතේ දෙවැනි වගන්තියේ පරිගණක අපරාධයක් පිළිබඳ අධිකරණ බල ක්ෂේත්‍රය ගැන කතා කරනවා. ලංකාවේ පළමු වරට අධිකරණ බල ක්ෂේත්‍රය ජාත්‍යන්තරය දක්වා පුළුල් කර එම නීතිය සකස් කර තිබෙනවා.
හානියට ලක් වූ පුද්ගලයා හානිය සිදුකරන්නට භාවිත කළ පරිගණක පද්ධතිය, අපරාධකරුවා, එම පරිගණකයේ දත්ත අඩංගු කොටස ලංකාවේ හෝ පිට තියන්න පුලුවන්. ඒ අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ අධිකරණයකට බලය විහිදුවලා වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.
කෙසේ වෙතත් අන්තර්ජාතිකව කටයුතු කරද්දි පරිගණක අපරාධ පනතේ දෙවැනි වගන්තිය කියවන්න වෙන්නේ උදර්පනීය නීතියත් සමඟයි.
අප වැඩ කරමින් ඉන්නේ වේගවත් දියුණුවක් සහිත තාක්ෂණයක් එක්ක. එ් තරම් වේගයෙන් නීතිය දියුණු වෙන්නේ නෑ. තාක්ෂණය වේගවත් නිසාම තාක්ෂණය යොදා ගන්නා අපරාධකරුවොත් වේගවත් සහ සූක්ෂමයි. වැදගත්ම දේ... සාමාන්‍ය ජනතාවට කියන්න තියෙන්නෙ... ඔබ මේ නීති ගැන, ඔබ ප්‍රවේශ වන තාක්ෂණික අවකාශය ගැන විශේෂයෙන්ම දැනුම්වත් විය යුතුයි. මේ දෙකම එකට ගමන් කළොත් විතරයි තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති අපරාධවලින් ගැලවෙන්න පුළුවන්.“ ආචාර්ය තුසිත අබේසේකර කීවේය.
සම්ප්‍රදායේ නටබුන් අතර ගැටෙමින් කායිකව මානසිකව වෙනස් අත්දැකීම් ලැබීමට හඹා යන ධර්මතා විරහිත සමාජීය සම්බන්ධතා අතර තාක්ෂණය භාවිත කිරීමේ දී යළි යළිත් කල්පනා කළ යුතුව ඇත. මක්නිසාදයත් තාක්ෂණික මෙවලම් ඔස්සේ ගොඩනැඟී පවත්වා ගෙන යන සම්බන්ධතා බර සාර මානුෂික ගුණාංගයන්හි මුසුවක් වන ශික්ෂිත සමාජයක ලකුණක්වත් අප ඉදිරියේ නැති බැවිනි.