Lady Boss කෙනෙක් වෙන්න කැමති ඔබ ළඟ තිබිය යුතුම ගුණාංග | Page 4 | සිළුමිණ

Lady Boss කෙනෙක් වෙන්න කැමති ඔබ ළඟ තිබිය යුතුම ගුණාංග

සෑම කාන්තාවක්ම විටින් විට විවිධ වූ භුම්කාවන් තුළ කටයුතු කරනවා. විටෙක දියණියක්, සහෝදරියක්, මිතුරියක්, මවක් මෙන්ම ඇතැම් වෙලාවට ගුරුවරියක්, ඒ වගේම ඔබ තවත් වෙලාවකට නායිකාවක් වෙනවා. ඒ කාටද, කොහොමද, කොතනදී ද කියන එක වැදගත් නැහැ. ඒ මොන අවස්ථාවකදී වුණත් සාර්ථක නායිකාවක් වෙන්නේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. වෘත්තීය ජීවිතයේදී මෙන්ම පවුල් ජීවිතය තුළදීත් ඔබ තුළ වර්ධනය කර ගත යුතු නායකත්ව ගුණාංග බොහොමයක් තිබෙනවා. මේ දේවල් පියවරෙන් පියවර ඔබ තුළ වර්ධනය කර ගනිමින් ඔබේ සාර්ථකත්වය ළඟා කර ගන්න. මන්ද කාන්තාවක් තවදුරටත් දුර්වල චරිතයක් වෙන්නේ නැහැ. අද වන විට ලොව පුරා කාන්තාවන් පිරිමින් සමඟ උ‍ෙරනුර ගැටෙමින් සාර්ථකත්වය හඹා යනවා. ඒ ගමනේදී මේ දේවල් ඔබට ශක්තියක් වෙන්න පුළුවන්. 

හිතකර වටපිටාවක් නිර්මාණය කර ගැනීම

ඔබගේ නිවස තුළත්, වෘත්තිය පරිසරය තුළත් ඔබට නිදහසේ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනඟා ගැනීම වැදගත්. අපි හැමෝම දන්නවා සාර්ථක වෘත්තීය තත්ත්වයකට වගේම පවුල් ජිවිතයක් ඇතුළු සෑම කාර්යකදීම නිවැරදි ගැලපීම් තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා ඔබට ඔබේ අරමුණු හඹා යාමට හැකි වන අයුරින් හිතකර පරිසරයක් අදාළ ස්ථානයන්වල ගොඩනඟා ගැනීමට කටයුතු කරන්න. එමෙන්ම නිදහසේ වැඩ කළ හැකි වටපිටාවක් නිර්මාණය කරගන්න.

යහපත් සන්නිවේදනයක් පවත්වා ගැනීම

හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීම වැදගත්. හේතුව සන්නිවේදනය දුර්වල නම් අපිට එකිනෙකා සමඟ සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගෙන යන්න බැරිව යනවා. සාර්ථක කාන්තාවකගේ වැදගත් ලක්ෂණයක් ලෙස ශක්තිමත් ජාලගත සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීම සැලකිය හැකියි. පවුල තුළදීත්, රැකියා ස්ථානයේදීත් එසේත් නැතිනම් ඔබේම ව්‍යාපාරික කටයුත්තකදී වුවත් කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සියලුම කටයුතු සාර්ථක කරගන්න වෙන්නේ එකිනෙකා අතර හොඳ සන්නිවේදනයක් පවත්වා ගෙන ගියොත් විතරයි.

වෙලාවට වැඩ කරන්න 

අපිට බොහෝ වෙලාවට මදි වෙන දෙයක් තමයි මේක. ඒ කොහොම වුනත් වෙලාවට වැඩ නොකළොත් ඔබට නායිකාවක් වුණත් සාර්ථක නායිකාවක් නම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ කාල කළමනාකරණය පිළිබදව වැඩි අවදානයක් දැක්වීම වැදගත්. අද කළයුතු වැඩ තව දවසකින් දෙකකින් කරන්න වෙන විදියට වැඩ එකතු කර ගන්න එක, වැඩ කල් දාන එක එච්චර හොඳ පුරුද්දක් නම් නෙවෙයි. ඒ නිසා ඔබේ වටිනා කාලය කළමනාකරණය කර ගැනීමට උනන්දු වෙන්න.

රුචිකත්වයන්ට මූලිකත්වය දෙන්න

සෑම දෙයකටම වඩා ඔබේ දක්ෂතාවයන්, හැකියාවන් හා රුචිකත්වයන්ට මූලිකත්වය ලබා දෙන්න. එයින් ඔබට සාර්ථක හා දිගු කාලීන ගමනක් යන්නට හැකියාව ලැබෙනවා. නායකත්වයක් දරන විට ඔබේ දක්ෂතාවයන් පිළිබදව මෙන්ම ඔබ එක්ක කටයුතු කරන අනෙක් පාර්ශවයන්ගේත් රුචිකත්වයන්ටත් අවධානය දෙන්න. ඒ දේවල් ගැනත් සංවේදී වෙන්න.

Comments