
රත්නපුර බළංගොඩ ඉපිද, රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් මොරටුව සරසවියට පා තබන ඔහු ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධරයකු ව එයින් පිට වෙන්නේ ය. මූල්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද හදාරන ඔහු ඔස්ට්‍රේලියාව බලා යන්නේ සිය මිතුරකුගේ මාර්ගයෙනි. එහිදී සිය දියුණුවේ අඩිතාලම සකස් කරගැනීම සඳහා දිවා රෑ හේ වෙහෙසෙන්නේ අතිශය දුෂ්කර කාලයක් ගෙවමිනි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා දිවා කාලයේ වෙහෙසෙන ඔහු මුදල් උපයා ගැනීම සඳහා නන්විධ රැකියා රැසක් කරන්නේ ස්වකීය අනාගතය වෙනුවෙනි. විටෙක ඔහු හෝටලයක වේටර්වරයෙකි. තවත් විටෙක පිරිසිදු කරන්නෙකි. ඒ කිසිවක උස් පහත් රේඛාව ගැන ඔහු සිතුවේ නැත. අනාගත සුබ සිහින වෙනුවෙන් වෙහෙසීම අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහස විය. නමින් අනුරාධ වාසලමුදලි වන හේ වර්තමාන ලාංකේය පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෘත්තිකයන් බිහි කරන දිවයිනේ ප්‍රධානතම ආයතනයක් වන අයිවා පැරා මෙඩිකල් කැම්පස් ආයතනයේ ආයතන ප්‍රධානියා සහ ප්‍රධාන කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙයි. ඔස්ට්‍රේලියාවේ පදිංචි ඔහු කිසිදු ගැටලුවකින් හෝ ආයාසයකින් තොරව මෙකී ව්‍යාපාරය කරගෙන යන්නේ සිය සේවක මඬුල්ලේ නොමඳ සවිය ගැන කෘතඥතා පූර්වක ව සිහිපත් කරමිනි. මේ ඔහු මෙතෙක් ආ ගමන ගැනත් දුෂ්කරතා ජයගන්නේ කෙසේද යන්නත් ගැන ඔහුගේ දිවිසැරියේ මතක සටහන් ඇසුරෙන් සම්පාදිත ලිපියකි.
සම්පූර්ණ නම
නුවන් අනුරාධ බුද්ධික වාසලමුදලි
උපන්දිනය
1986 සැප්තැම්බර් 10 වැනිදා
ගම් පළාත
මම උපදින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බළංගොඩ නගරයේ.
අම්මා තාත්තාගේ නම් සහ වෘත්තීන්
අම්මා සුනේත්‍රා මල්කාන්ති. ඇය වෘත්තියෙන් ගුරුවරියක්. තාත්තා සුනිල් ශාන්ත වාසලමුදලි. බදුල්ල පළාත් සභාවේ රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් කටයුතු කළා.
සහෝදර සහෝදරියන්
මට බාල සහෝදරයන් දෙදෙනෙකු සහ බාල සහෝදරියක් ඉන්නවා. මම තමයි පවුලේ වැඩිමලා
ඔබ ඉගෙන ගත් පාසල
මූලික පාසල් අධ්‍යාපනය ලබන්නේ බළංගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ ද්විතීයීක අධ්‍යාපනය සඳහා රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයට යන්න මට ලැබුණා.
මොනවද උසස් පෙළට කළේ
උසස් පෙළ සඳහා තෝරා ගත්තෙ ගණිත විෂයයන්. ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වෙලා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙන්න මට පුළුවන් වුණා. පන්තියේ හිටිය මගේ යාළුවෝ 42න් 38ක් ම රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යන්න සුදුසුකම් ලැබුවා.
මොරටුව විශ්වවිද්‍යාලයට එන්න ඔබ කොළඹ එනවා. කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ?
ජීවිතයේ පසු කරපු සුන්දර ම කාල වකවානුව තමයි මොරටුව විශ්වවිද්‍යාලයේ මා ගත කළ ජීවිතය. මොරටුව විශ්වවිද්‍යාලයේදි ලබාගත් අත්දැකීම් ඔස්සේ ධනාත්මක පන්නරයක් ලබන්න මට හැකි වුණා. එහි දී මට මුණ ගැහුණු ආචාර්ය මණ්ඩලය සහ මිතුරන් මට සුන්දර සහ වටිනා මතක රාශියක් මගේ ජීවිතයට එක් කළා. ඒ වගේ ම මගේ නායකත්ව ගුණාංග හඳුනගන්නත් ඒවා වැඩිදියුණු කර ගන්නත් හැකි වුණේ මොරටුව විශ්වවිද්‍යාලය නිසා.
රත්නපුරේ ඉඳන් කොළඹ එන ඔබ විශ්වවිද්‍යාලෙට ගියේ විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරයේ ඉඳගෙන ද?
මුල්ම අවුරුදු තුන හිටියේ බෝඩිමක. අපිට අන්තිම අවුරුද්දේ තමයි හොස්ටල් දුන්නේ. බෝඩිමේ හිටියෙ රත්නපුරෙන් කැම්පස් ආව අය විතරයි, මිණිපුර පැලස් කියලා තමයි අපේ බෝඩිමට කිව්වේ. ඒ කාලවකවානුව ඉතාමත් මිහිරියි. ජීවිතයට ගොඩක් අත්දැකීම් එකතු වුණු කාලයක්.
රැකියා ජීවිතයේ ආරම්භය කොහොමද? මොකද්ද පළමු වැනි රැකියාව?
මම පළමුවෙන් ම රැකියාවකට කියලා බැඳුණේ මාවතගම මාස් හෝල්ඩින්ග්ස් ආයතනයට. එහි නිෂ්පාදන අංශයේ විධායක නිලධාරිවරයෙක් වශයෙන් වසරක කාලයක් මම කටයුතු කළා.
ඊට පස්සෙ කලින් කලට මොනවද කළ රැකියා
මධ්‍යම පාන්තික පවුලකින් ආව කෙනෙක් විදිහට දැන් ඉන්න තත්ත්වයට එන්න බොහොම අසීරු කාලයක් ගත කරන්න මට සිද්ධ වුණා. මම 2013 නොවැම්බර් මාසේ මෙල්බර්න්වලට එන්නෙ ඔස්ට්‍රේලියාවේ අයියා කෙනෙක් මට දුන්න අනුග්‍රහයක් නිසා. මම ලංකාවෙන් එන්නෙත් ණය වෙලා. ඒ ණය ගෙවන්න ඔස්ට්‍රේලියාවේදී රැකියාවන් කිහිපයක් කරන්න මට සිද්ධ වුණා. ඇත්තට ම විවිධ රැකියා ගොඩක් මම කළා. මහන්සිය ගැන හිතුවෙ නැහැ. වැඩිදුර අධ්‍යාපන කටයුතුත් කරන අතරතුරේ ම තමයි මම මේ රැකියා කළේ. මම එක වෙලාවකට පිරිසිදු කරන්නෙක්; තවත් විටෙක වේටර්වරයෙක්; ඒවගේම කර්මාන්ත ශාලා රැසක විවිධ අංශයන්ගේ විවිධ අමාරු රැකියා කිහිපයක් මම එකවර කළා. මට ඕන වුණේ මුදල් හම්බ කරන්න. තැනකට එන්න මට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණා. හැබැයි මම ඒ හැම රැකියාවක් ම ඉතාමත් කැපවීමෙන් ආසාවෙන් අවංක ව කළා. කරන ඕනෑම දෙයක් උපරිමයෙන් ම කරන්න ගන්න මගේ මහන්සිය නිසයි මම සාර්ථක වුණේ. කොහොමත් අපි කරන්නේ මොකද්ද, ඒක ඉතා ම අවංක ව හා කැපවීමෙන් කිරීම අපේ වගකීමක්. එය කවදාහරි අප ඔසවා තබනවා.
එහෙම ඉඳපු ඔබ ව්‍යාපාරිකයෙක් විදියට සාර්ථකත්වයට පත්වෙන්නෙ කොහොමද?
සාර්ථකත්වය ගොඩනැඟෙන්න ප්‍රධාන ම හේතුව තමයි තමන් කරන හැම දෙයක් ම නිවැරදි ව හා කැපවීමෙන් කිරීම. ඒ වගේම ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කර ගන්න ඕනි. අනිත් ප්‍රධාන කාරණාව ගොඩක් අය ව්‍යාපාරයක් ආරම්භ කරද්දී බලන්නේ තමන් අධ්‍යාපනය හෝ අත්දැකීම් ලබපු විෂයන්ට අදාළ ව ව්‍යාපාරයක් පටන් ගන්න. මම උපාධියට කළේ ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව, පශ්චාත් උපාධියට කළේ මුල්‍ය කළමනාකරණය. දැන් ව්‍යාපාරය කරන්නේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ. ව්‍යාපාරිකයෙක්ට හැමවෙලේම අලුත් දෙයක් ගැන ඉගෙන ගන්න ආසාව තියෙන්න ඕන.
මොනවද ඔබට ජීවිතේ ආ අභියෝග
විදෙස් රටක ඉඳන් ලංකාවේ ව්‍යාපාරයක් පාලනය කරන එකම විශාල අභියෝගයක්. මම තවම මගේ ආයතනය සැබැවින් දැකලා නෑ. ලොකු ම අභියෝගය වුණේ විශ්වාසවන්ත සේවක පිරිසක් ගොඩනඟා ගැනීම. ඒ වගේම එයාල ළඟ මම නැති අඩුව ඒ කියන්නේ නායකත්වය පුරවන එක.
ඒ වගේම ආයතන ප්‍රධානියා ඔවුන් සමඟ සිටින පුද්ගලයෙක් ලෙසට ම ඔවුන්ට හැඟෙන්න කටයුතු කරන්නේ කොහොමද; ආයතන ප්‍රධානියා ළඟ නැති අඩුව පුරවන්නේ කොහොමද; ආයතනයේ වැඩ කටයුතු අධීක්ෂණය කරන්නේ කොහොමද... මේ දේවල් තමයි මේ ව්‍යාපාරය පවත්වා ගෙන යද්දී මට ඇතිවුණු ලොකුම අභියෝග.
ඔබ විදෙස්ගත ව සිටියදී ආයතනයේ සේවකයන් සමඟ ක්‍රමවත් සන්නිවේදනයක් පවත්වා ගන්නේ කොහොමද?
මම මුලික වශයෙන් කළේ සාමාන්‍ය ව්‍යාපාරයකට වඩා හොඳ සන්නිවේදන මාධ්‍යයක් හදපු එක. දැන් අපිට ඉතාමත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්ත අපේ ආයතනයට ම හදපු Institute Management System එකක්, phone app එකක්, CCTV කැමරා 100 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම නිරන්තර zoom meeting මේකට ගොඩක් උදවු වෙනවා.
ආයතනය පරිපාලනයට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ පියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හැබැයි එයා වැඩ කරන්නෙත් වැටුපකට. ඒත් එයාටත් වඩා වැඩි වැටුපක් ගන්න ගොඩක් අය සේවය කරනවා.
හැරවුම් ලක්ෂ් ය මොනවද ජීවිතේ?
උසස් පෙළ සමත් වීමත් සමඟ මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව උදා වීම නිසා "The Motivator" හි නිර්මාතෘ, මොරටුව සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ වරලත් ඉංජිනේරු ආචාර්ය රනිල් සුගතදාස මුණගැසීමත් ඔහුගේ දේශනවලට සවන්දීමට අවස්ථාව ලැබීමත් මගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂ්‍යයක්. මගේ හොඳ ම අභිප්‍රේරකයා ඔහු. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මගේ පළමු රැකියාවේ ආයතන ප්‍රධානියා සහ මගේ ඥාතියකු වන අනුරුද්ධ ඔගස්ටස් සහෝදරයාගෙන් තමයි මම ව්‍යාපාරයක් කරද්දී කැපවීම කියන දේ හරියට කරන්නෙ කොහොමද කියන එක හඳුනා ගන්නේ. ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ආකාරය අඩිතාලමේ සිටම මා හඳුනා ගත්තේ ඔහුගෙන්.
තමන්ගේ සේවකයන් එක්ක ගනුදෙනුව කොහොමද
මට ඉතා ම වටිනා අවංක හොඳ සේවකයන් පිරිසක් ලැබිලා තියෙනවා. ආයතනයේ සෑම කටයුත්තකදී ම ඔවුන්ගේ කාර්යයන් හොඳින් අධීක්ෂණය කරන නිසා ඔවුන් සමඟ පහසුවෙන් ව්‍යාපාරය පවත්වා ගෙන යන්න පුළුවන්. ක්‍රමවත් තාක්ෂණික ක්‍රම වගේම තවත් විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ ඔවුන් ව අධීක්ෂණය කෙරෙන නිසා මගේ යටතේ සිටින සේවකයන් දිනෙන් දින ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ගන්නවා. එය මගේ දියුණුවේ එක රහසක්. ඒ වගේ ම මම නිරන්තරයෙන් ම සෑම සේවකයෙක් සමඟ ම ඉතාමත් සමීප ව සුහදශීලී ව කටයුතු කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔවුන් සහ මා අතර පවතින දුරස්ථභාවය නැති කරන්න වගේම හොඳ සන්නිවේදනයක් පවත්වා ගන්න මට හැකියාව ලැබිලා තියෙනවා කියලා.
අනාගත පරම්පරාව වෙනුවෙන් මොනවද කියන්න තියෙන්නෙ
මගේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ විදෙස්ගත ව සිට ලංකාවේ පදිංචියට යන්න බලාපොරොත්තු වෙන සහ විදෙස්ගත ව සිට ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයන්ට. විදෙස්ගත ලාංකික බහුතරයකට ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්න කැමති වුණත් ඒ ව්‍යාපාරය භාර දෙන්න විශ්වාසවන්ත කෙනෙක් නැති නිසා ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙයි කියන ආකල්පය තියෙනවා. මම කළේ ඒ ආකල්පය නැති කර ගන්න එක.විශ්වාසවන්ත පරිසරයක් ගොඩනඟා ගන්න පුළුවන් නම් ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්න එක හොඳ ආයෝජනයක්. ඒකට ප්‍රාග්ධනය හොයා ගත්තට විතරක් මදි. හොඳ සැලැස්මක් වගේම විදේශයක සිට ව්‍යාපාරය පාලනය කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගන්න නිසි ක්‍රමවේදයක් හදාගන්න ඕනි. ඒ වගේ ම කෙතරම් ඉහළ පුද්ගල සබඳතා තිබුණත් අමතක නොකළ යුතු වැදගත් ම කාරණය ආයතනයකදී වැඩ කළ යුත්තේ තමාගේ යටතේ සිටින සේවකයන් සමඟ බව. එ් නිසා මිනිසුන්ගේ වචන සහ විශ්වාස මත පදනම් නොවී හරියට තම සේවකයන් තාක්ෂණික ව අධීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදා ගන්න පුළුවන් නම් එදාට ඔබ ලංකාවේ හොඳ ව්‍යවසායකයෙක් වෙන එක අසීරු නැහැ.
සාර්ථකත්වයේ රහස මොකද්ද?
මුදල් අරපිරිමැස්මෙන් භාවිතය සහ අවශ්‍ය දේට අවශ්‍ය ප්‍රමාණයෙන් වියදම් කිරීම තමයි ප්‍රධාන දේ. ඒවගේම සේවක විශ්වාසය මත පමණක් නොසිට ඔවුන් තාක්ෂණික ව අධීක්ෂණය කිරීම සහ ඔවුන් සමඟ නිවැරදි සන්නිවේදනයක් පවත්වා ගෙන යෑමත් වැදගත්.
කවුද ඔබේ ජීවන සහකාරිය? කොහොමද ඇගෙන් ඔබට ලැබෙන සහය?
ඇය නිලංකා උදයංගනී මාරන්තොට. අපි විවාහ වෙන්නේ 2015දී. සරසවි යන කාලයේදී ඇති වූ ප්‍රේම සම්බන්ධයකින්. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී උපාධිධාරිනියක්. දැන් ඇය සත්ත්ව සුබසාධනය පිළිබඳ ළැදියාවක් දක්වන සමාජ ක්‍රියාකාරිනියක්. මගේ සාර්ථකත්වය පිටුපස සිටින සවිය ඇයයි. අපට මාස 6ක දියණියක් ඉන්නවා. ඇය අරෝරා හෝප්; ඉපදුණේ ඔස්ට්‍රේලියාවේ.
විවේක වෙලාවට මොකද කරන්නෙ
ජීවිතය ඉතා ම කාර්යබහුලයි. සෑම තත්පරයක් ම ව්‍යාපාරයක් සඳහා වැදගත්. මගේ විවේක කාලය මම වැය කරන්නේ මීළඟ සංවර්ධන සැලැස්ම පිළිබඳ හිතන්න.
සාමාන්‍යයෙන් සංචාරය කරන්න කැමැති කොහේද?
දැනට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පහක සංචාරය කරලා තියෙනවා. හැම අවුරුද්දක ම සති දෙකක නිවාඩු කාලයක් අරන් බිරියත් එක්ක සංචාරයක නියැළීම මගේ පුරුද්දක්. ඒ ප්‍රාන්තවල පරිසර පද්ධති එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. මම සංචාරය කළ සුන්දරම ස්ථානය ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය. ඒ පරිසරය ලංකාවට අතිශයින් සමානයි.
බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ.
විශේෂ තෝරා ගැනීමක් නෑ. බ්‍රෑන්ඩඩ් දේවල් වගේ ම එහෙම නොවෙන දේවලුත් මම පාවිච්චි කරනවා. මූලිකත්වය දෙන්නෙ බ්‍රෑන්ඩ් එකට වඩා කැමැත්තට.
හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරගන්න ඕන කියලා හිතපු දේවල් මොනවද?
මම සැලසුම් කරන්නෙ අනාගතය පිළිබඳ ව. අතීතයේ ගත් තීරණ පිළිබඳ ව පසුතැවිලි වීම නිෂ්ඵල වැඩක්. මම විශ්වාස කරන්නේ මම සැමවිට ම ගත් තීරණ ඒ මොහොතේ තිබූ හොඳ ම තීරණය කියලයි. ප්‍රතිඵලය වැරදුණාම තීරණය වැරදි කියලා හිතන අය ඒ වෙලාවේ ඒ තීරණය ගන්න හේතු වුණු වටපිටාව ගැන හිතන්නේ නෑ.
ලංකාවට එන්න කැමැත්තක් නැද්ද?
මම ආස ලංකාවේ ජීවත් වෙන්න. ඉක්මනින්ම ලංකාවට ස්ථිර ව ම එන්න බලාපොරොත්තු වෙනවා. මොන රටක ජීවත් වුණත් මම හදවතින් ශ්‍රී ලාංකිකයෙක්. ඒ නිසාමයි විදෙස්ගත ව වුණත් මගේ රටට මම සේවය කරන්නෙ.
අද විදෙස්ගත වීම රැල්ලක්. ඔබේ අත්දැකීම් එක්ක විදෙස් ගතවෙන තරුණ තරුණියන්ට මොනවද කියන්න තියෙන්නෙ?
විදෙස්ගත ව ලංකාවට සේවය කරනවා කියන්නේ ලංකාවට කෙළින්ම ඩොලර් එවන එක විතරක් ම නෙමෙයි. ලංකාව කියන්නේ හොඳ ආයෝජන අවස්ථා තියෙන රටක්. හොඳ සන්නිවේදන ක්‍රම පද්ධතියක් ගොඩනඟා ගන්න පුළුවන් නම් තමන්ගේ මවු රට තරම් ලේසියෙන් දියුණු වෙන්න පුළුවන් වෙන කිසිම තැනක් නෑ. තමන්ගේ අවශ්‍යතාව අනුව විදෙස් රටක ඉඳන් වුණත් උපන් රටට සේවය කරන්න පුළුවන්.