ලෝකයම කම්පා කළ තුර්කි ඛේදවාචකයේ මානුෂීය මෙහෙයුමට එක් වූ අපේ දිල්හානි | සිළුමිණ

ලෝකයම කම්පා කළ තුර්කි ඛේදවාචකයේ මානුෂීය මෙහෙයුමට එක් වූ අපේ දිල්හානි

දිල්හානි චන්ද්‍රකුමාර්

හා අභිලාෂ සහිතව කා කොටා ගනිමින් මේ සරසන්නට හදන ජීවිතය මොන තරම් නොවටිනා පඩංගුවක් දැයි සිතේ. සොබාදහම විසින් ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන ජීවිත ධර්මතා හි නිරුවත් ඇත්ත තිගස්වන සුලුය. 

පසුගිය 6 වැනිදා සඳුදා අලුයම තුර්කියේ ගාසී අන්ටෙප් නගරය ආසන්නයේ ඇති වූ රිච්ටර් මාපකයේ 7.8 ක කම්පනය සහ ඊට පැය 09කට පසු ඇති වූ මුල් කම්පනය තරම් ප්‍රබල රිච්ටර් පරිමාණයේ 7.5ක කම්පනය තුර්කිය සහ සිරියාව සමතලා කළේය. තවමත් පසු කම්පන සිදුවෙමින් ඇත. මේ ලිපිය ලියමින් ඇති මොහොතෙත් ප්‍රබල භූ කම්පන 2ක් තුර්කි සීමාවෙන් වාර්තා වුණේය. තුර්කියේ සහ සිරියාවේ මේ ලියන මොහොත වන විට 44,000ක් මිය ගොස් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය ශාඛාවේ අධ්‍යක්ෂවරයාට අනුව, මෙය ශත වර්ෂයකින් කලාපයේ සිදු වූ දරුණුතම ස්වාභාවික විපතය. 21 වැනි සියවසේ පස්වැනි බිහිසුණුම ඛේදවාචකය ය. අධිමානී මිනිසුන්ගේ මහා හීන කුඩු වී යන්නට තත්පර ගණනකට පොළොව දෙවරක් සෙලවීම පමණක් ප්‍රමාණවත් වී තිබේ.

දැන් ඒ ඛේදවාචකය සිදු වී හමාරය. තවත් දස දහස් ගණනක් නම් නොකියැවුණු මිනිස්සු මේ සුන්බුන් තුළ සදාකාලික නින්දේ පසුවෙති. එහෙත් ලියා තැබිය යුත්තක් වේ. ඒ මේ මහා මානුෂික ඛේදවාචකය තුළ උතුරා ගලා යන මනුස්සකම මතුවෙමින් තිබීමය.

දේශ සීමා මායිම්, ජාති, ආගම් කුල වර්ණ භේද නොසලකා විපතින් අවතැන් වූ අසරණයන්ට කොන්දේසි විරහිතව උපකාර කිරීමට මිනිස්සු කැපවෙමින් සිටිති. එවන් උතුම් මිනිසුන් අතර ලාංකේය තරුණ මවක් ගැන ද වාර්තා වෙමින් ඇත. ඇය තුර්කියේ නිවාස අහිමි වූ අසරණ පවුලකට සිය නිවෙසේ දොර විවර කළාය. ඒ කැමැති දවසක් කැමැති ලෙස ජීවත් වී කැමැති දිනෙක පිටවී යෑමේ අවස්ථාව ඒ සරණාගත පවුල වෙත ලබා දෙමිනි.

ඇය දිල්හානි චන්ද්‍රකුමාර්ය. දිල්හානි 26 හැවිරිදි තරුණ එක් දරු මවකි. ශිෂ්‍යත්වයක් ලැබ තුර්කියට පැමිණි ඇය ආර්ථික විද්‍යා විෂයයෙන් උපාධිය සම්පූර්ණ කර තුර්කියේ ව්‍යාපෘති කළමනාකාරිනියක ලෙස සේවය කරන්නීය. දැන් ඇගේ නිවෙසේ ජීවිතය හැර සියල්ල අහිමි වී ඇති සිඟිති දරුවෙක් ඇතුළු 06 දෙනකුගෙන් යුතු පවුලක් ජීවත් වෙමින් ඇත්තේය. මේ අසීමිත හිතක් සහිත තරුණ වෘත්තීයවේදිනිය සමඟ කෙටි පිළිසඳරකට අවස්ථාව සොයා ගතිමි.

ජීවිතයේ යථාව ස්පර්ශ කරමින් සිටින මේ පැණවත් තරුණ මව ගේ කතාව අසා සිටියෙමි. ඇය සැලෙන හඬින් තුර්කිය මළගෙයක් කළ ඒ කම්පිත මොහොත අප හමුවේ ආවර්ජණය කළාය.

“ මා ජීවත් වුණේ බත්තරමුල්ලෙ. තවමත් අපේ ගෙදර බත්තරමුල්ල. පවුලේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි ඉන්නේ. පළමු වසරේ ඉඳන් හය වැනි වසර වෙනකම් බොරැල්ලේ ඕල්සෙන්ස් බාලිකාවෙන් ඉගෙන ගත්තා. 6 සිට 12 වසර වෙනකම් ජාත්‍යාන්තර පාසක අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළින් පස්සේ මා රටවල් ගණනකට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව අයදුම් කළා. මගේ ශිෂ්‍යත්වය මුලින්ම අනුමත කළේ තුර්කියෙන්. මා 2014 දි තුර්කියට ආවා. අන්කරාවල හිජිතපි විශ්වවිද්‍යාලයට බැඳිලා වර්ෂ 2018 දි ආර්ථික විද්‍යා විෂයෙන් උපාධිය ලැබුවා. 2019 අග ඉඳන් මා පෞද්ගලික ආයතනයක ව්‍යාපෘති කළමනාකාරිය වශයෙන් රැකියාව කරන්න ගත්තා. මා දැන් විවාහකයි. මට අවුරුදු එක හමාරක දුවෙක් ඉන්නවා. දුව හොසන්නා...

එදා... 09 වැනි සඳුදා උදේ... අන්කාරාවල ඉන්න අපිට ආරංචි වුණා ලොකු භූමි කම්පාවක් වෙලා... නගර දහයක් විතර විනාශයි කියලා. ගාසියාන්ටේප්, කහමරන්මාර්ෂ්, හාටයි, ඔස්මානියේ, ආඩියාමාන්, මලටියා, ෂාන්ලුර්ෆා ,ඩානා, ඩියාර්බකා සහ කිලිස් නගරවලට ඉතාම විශාල හානියක් වුණා කියලා. මේ නගර තියෙන්නෙ තුර්කියෙ ගිනිකොන දිගට වෙන්න.

දවසින් දවස පවුල් පිටින් නිදි පැදුරෙ මැරිලා. දහස් ගණනක් පොඩි ළමයි නැතිවෙලා. මුළු පවුලම නැති වෙච්චි තාත්තලා. මවුපියන් හා සහෝදරවරු නැති වුණු පුංචි පැටවු. දවස් දහයෙ, විස්සේ, මාස තුනේ පුංචි පැටවු බේර ගත්තා. ඔවුන්ගේ මවුපියන් බේරගන්න බැරි වුණා. මේවා දකිද්දි මට දරා ගන්න බැරි වුණා. පළවෙනි දවස් තුනේ මට කන්න බෑ. අර අසරණ මිනිස්සු මතක් වෙනවා. මේ දවස්වල තුර්කියට හරිම සීතලයි. ඒත් මට බ්ලැන්කට් එක පොරවගන්න බෑ... පොඩි උන් කී දාහක් මේ වෙලාවෙ සීතලේ ඇද්ද කියලා මතක් වෙනවා.

දවස් තුනක් දෙවියන්ට යාඥා කරමින් හඬා වැටි වැටි හිටියා. අපට ඕන වුණා දෙවියන් ගේ කැමැත්ත පරිදි මේ මිනිස්සුන්ට උදවු කරන්න. බයිබලයේ සඳහන් කරලා තිබෙනවා ප්‍රීති වෙන්නාත් එක්ක ප්‍රීති වෙන්න. ශෝක වෙන්නාත් එක්ක ශෝක වෙන්න කියලා. මම භූ කම්පන තියෙන පැත්තට යන්න ඕන කියලා මහත්තයට කිවුවා. ගොඩක් අය අපට කිව්වෙ “ඒ පැත්තට යන්න එපා. ඔයාලට කරන්න දෙයක් නෑ.. ගියත් ආපස්සට හැරිලා එන්න වෙයි. අපි පුළුවන් දෙයක් මෙහෙ ඉඳලා කරමු“ කියලා.

මටයි මගෙ මහත්තයටයි අවශ්‍ය වුණා අර්ථවත් විදිහට මේ මිනිස්සුන්ට උදවු කරන්න. අසරණ වුණු පවුලකට ගෙයක් හොයා ගන්න පුළුවන් වෙනකම් හෝ ඒ අය ඒ පැත්තේ යළි ගේ හදනකම් අපේ ගෙදර නවාතැන් දෙන්න පුළුවන් නේද කියලා අපි හිතුවා. යාච්ඤා කරද්දි තමයි මේ අදහස ආවේ.

මේ විපත වුණාට පස්සේ මුලින්ම මම “සැල්වේෂන් චර්ච් ඇසෝෂියේෂන්” එකත් එක්ක ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් ගත්තා. ඒ අය ඕන කෙනකුට විවෘතයි. මේ ව්‍යසනය වුණු දවසට පස්සේ මුල්ම අවස්ථාවේ දී ඒ අය අන්කරාවලින් ට්‍රක් එක්ක අරන් ඒ හානි වුණු නගරවලට ගියා. ඔවුන්ගෙ අදහස වුණේ විපතට පත් නගරවලින් ජීවිත බේරා ගත් මිනිස්සු මෙහාට ගෙනත් මූලික පහසුකම් දීලා තාවකාලිකව පදිංචි කරවන්න. පුළුවන් හැම කෙනෙක්ම තමන්ට ඇති ඉඩක් ගෙස්ට් හවුස් එකක් කළා. මිනිස්සුන්ට ඒ තැන්වලට එන්න කියලා කන්න බොන්න දුන්නා. ඒ වගේම තුර්කියේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරිය හසන්ති උරුගොඩවත්ත දිසානායක බොහොම වෙහෙස මහන්සියෙන් ලාංකිකයන් ගැන වගේම විපතින් අසරණ වු අය ගැන සොයා බලා උපකාර කරන්න ඉදිරිපත් වුණා.

මමත් ගිහින් ඒ අයට උදවු වෙන ගමන් කිවුවා අපේ ගෙදරත් පවුලක් නවත්ත ගන්න පුළුවන් කියලා. ඒ වෙන කොටත් ඔවුන් ළඟ වැඩ කරන කෙනකුගේ දුරින් ඥාති වෙන පවුලක් හිටියෙ යන්න එන්න තැනක් නැතිව අසරණ වෙලා.

මම යාච්ඤා කළේ බබෙක් ඉන්න පවුලක් අපේ ගෙදරට එවන්න කියලා. ඉල්ලුවා වගේම මගේ බබාගෙ වයසෙම බබෙක් ඉන්න පවුලක් අපේ ගෙදරට ආවා. අපි පුළුවන් තරම් ආදරෙන් ඔවුන් පිළි ගත්තා. මේ පවුලේ අම්මයි තාත්තයි දුවයි දුවගේ මහත්තයයි පුතෙකුයි ඉන්නේ. අවුරුදු 20න් උඩ 05යි. අවුරුදු එක හමාරක පොඩි බබෙකුයි. මේ භූමිකම්පාව සිදු වු පළාතෙ ජීවත් වුණේ ලොකු රස්සාවල් කරන අය නොවෙයි. අවම පඩියෙන් ජීවිතය ගත කරන සරල මිනිස්සු.

මේ ගත වෙන්නෙ එයාලට ඉතාම අමාරු කාලයක්. එයාලගෙ හැම දේම නැති වෙලා. එයාලගෙ මානසිකත්වය එන්න එන්න වැටෙනවා. මුල් දවස් කීපය තුළ එයාල හිටියෙ හරිම තිගැස්මක. ඔවුන්ට වුණු දේ ගැන හිතාගන්න බැරිව හිටියෙ. ගෙවල් දොරවල් විනාශ වෙලා, අසල්වාසීන්, යාළු මිත්‍රයො නැතිවෙලා. මගේ ගෙදර ඉන්න අම්මගෙ නංගි සහ ස්වාමිපුරුෂයා නැති වුණා. එයාලට ඉන්නවා අවුරුදු 09ක පුතෙක්. එයා ඉන්නෙ ආච්චි ගාව.

එයාලට ඉක්මනට එයාලගෙ ඉපදිලා හැදී වැඩුණු ගමට යන්න අවශ්‍යයයි. ඒ ගමේ සුවඳ, එළවළු පලතුරු ඒ අයට හරිම සමීපයි. ඉක්මනින් ආපසු යන්න ඒ අයගෙ හිත්වල තියෙනවා. ඒත් තවම යන්න පුළුවන් තත්ත්වයක් නෑ. සමහර වෙලාවට ඒ නගර ආපහු ගොඩනැඟෙන්න අවුරුදු 10 -15ක් ගත වේවි.

හැල්මේ ගලා ගෙන යන ඇගේ දීර්ඝ කතාව අසා සිටියෙමි. විටෙක ඇය හැඬුම් ගන්නීය. ඒ වේදනාවෙන් හඬ සසල වනු දැනෙන්නේය. මොහොතක විරාමයක දී ඇයව විමසුවෙමි.

“ ඔබ වගේ කොපමණ පිරිසක් තමන්ගේ නිවෙස් අසරණයන්ට විවෘත කර තියෙනව ද?” ඇය යළි හඬ අවදි කළාය.

“ මම දන්න හැමෝම පුළුවන් විදිහට මුදලින් කෑම බීමවලින් උදවු කරන්න පටන් අරන් ඉන්නෙ. පුදුමාකාර එකමුතුවක් මේ හැදිලා තිබෙන්නෙ. එතන කිසිම ජාති ආගම් වර්ණ භේදයක් නෑ. හැමෝම ඒ දුක බෙදා ගන්නවා. ගොඩ දෙනෙක් ඇස්වල කඳුළු පුරවගෙන ඉන්නේ.

මම විතරක් නෙමෙයි. අසරණන්ට තමන්ගෙ ගෙවල්වල දොරවල් අරින, කාර්යාල නවාතැන් බවට පත් කරලා දුන්න ගොඩාක් අය භූමිකම්පාවෙන් පීඩාවට පත් නොවුණු අන්කරාවල ස්ථානබුල්වල ඉන්නවා. සමහර අය ගෙවල් කුලියට අරන් ඒ ගෙවල්වලට බඩුත් අරගෙන ගෙවල් නැති අයට දෙනවා. අවුරුද්දක රෙන්ට් එකත් ගෙවලා. ඒ අතින් මම මේ කරන්නේ ගොඩාක් පොඩි දෙයක්. මගේ ඉඩක් දෙන එක ඉතාම සුළු දෙයක්. “ඇය කීවාය.

ඔවුන් සිය නිවෙස ආගන්තුක පිරිසක් වෙනුවෙන් දින නියමයකින් තොරව විවෘත කර තිබේ. කුටුම්බයේ පෞද්ගලිකත්වය සම්බන්ධව වූ මුද්‍රාව දැන් නැත. දිල්හානිගේ නිවෙස දැන් පුංචි ජනපදයකි. මේ වනවිට කොළඹ සිට පැමිණි ඇගේ මව සහ මලණුවන් ද නිවාඩුව ගත කරමින් සිටින්නේ ඇයගේ නිවෙසේ ය. මේ පරිසරය ඇගේ සැමියා පිළිගත්තේ කෙසේ ද? යන්න ඇයගෙන් අසුවෙමි.

“ මමත් මගේ මහත්තයත් ජීවත් වෙන්නෙ මේ ජීවිතයේ තාවකාලිකයි කියන අවබෝධයෙන්. මේ ජීවිතයේ අපට කරන්න පුළුවන් එකම ජේසුස් වහන්සේගේ ප්‍රේමය අනෙක් අයත් එක්ක බෙදා ගැනීම විතරයි.

මේ සිදුවීමත් එක්ක වුණේ ජීවිත ස්වභාවයේ මූලධර්ම තවත් තහවුරු වීමක් විතරයි. එක මිනිත්තුවකින් තත්ත්පරයකින් අපේ හැමදේම නැති වෙන්න පුළුවන්.

අපි ආදරය කරන දේවල්, පුද්ගලයෝ, නිවාස යාන වාහන, අපි අවුරුදු ගණන් හම්බකරපු දේපළ, දරුවන්ට එකතු කරන දේවල්... සියල්ල එක් තත්ත්පරයකින් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයේ ලෞකික දේවලට වැඩිය ලොකු දේවල් ගොඩාක් තියනවා. මේක තමයි අපිට හිතුණෙ. එක තත්ත්පරයකින් සියල්ල නැතිවෙන්න පුළුවන් ජීවිතයට අර්ථයක් දෙන්න අවශ්‍යයයි. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න අවශ්‍යයයි. ඒක අපට තව පාරක් ජීවිතයට සිහි කැඳවීමක් වුණා. ඇය කියන්නීය.

දීර්ඝ කතාවක් නිමා කරන්නට සුදුසු නිමේෂ එළඹෙමින් ඇත. මම ඇයව විමසුවෙමි.

“ දිල්හානි... ලංකාවට එන්නෙ කවද්ද?” මුල්ම වතාවට ඇය මා සමඟ සිනාසුණාය.

“ලංකාවට එන්න ඕන. බබාව දැකපු නැති, හස්බන්ඩ් හම්බවෙච්චි නැති ගොඩාක් අය ඉන්නවා. මම විවාහ වුණේ තුර්කියෙදි. මගේ ප්‍රෙගනන්සි එක, ජොබ් එක සහ කොවිඩ් එක්ක ලංකාවට එන්න බැරි වුණා. එත් මගෙ අම්මයි තාත්තායි මල්ලිලා දෙන්නයි මෙහේ ආවා. තාත්තයි ලොකු මල්ලියි කලින් ලංකාවට ගියා. ”

“ඒත් දැන් මේ විපතේදී ලංකාවට එන්න හිතෙන්නෙ නෑ. මේ මිනිස්සුන්ට හැකි තරම් උදවු කරන එක තමයි මගෙ අදහස. මේ රට පොඩ්ඩක් හොඳ තැනකට ආවට පස්සේ අපි ආසයි ලංකාවට පවුලක් විදිහට එන්න. ඒත් ඒ දිනය ,ඒ ගමන කවද වෙයිද කියලා තවම දන්නෙ නෑ.”

ජීවිතයේ බරසාර ගැඹුර ස්පර්ශ කරමින් අාධ්‍යාත්මික විවරණයක් සහිතව ජීවත්වන මේ ලාංකේය තරුණිය ගැන උපදින්නේ මහා ආදරයකි. ඇය අප බොහෝ දෙනකුට ජීවිතය කියා දෙන අයුරු හඟිමි.

“අන්තිම ප්‍රශ්නය අහන්නම්... ඔයාට ඔය විදිහට හිතන්න පුරුදු කළේ කවුද?.” ඇය නිහඬ වූවාය.

“ ජේසුස් වහන්සේගෙ දැක්ම. ඊළඟට මගෙ තාත්තා. 2004 සුනාමිය ආපු වෙලාවෙදි මගෙ තාත්තා මේ විදිහටම අසරණ වෙච්චි මිනිස්සු වෙනුවෙන් අපේ ගේ විවෘත කළා. හැකි උපරිම උදවු කළා. මමත් ඒවා ළමයෙක් විදිහට අත්වින්දා.”

“ අපි හැමෝටම මේ ජීවිතේ ගැන හරියට තේරෙනවා නම් ජීවිතේ හරිම ලේසියි...”

මම ඇයට සමු දුන්නෙමි.

Comments