මිනිස් වෙළෙඳ ජාවාරමට වැට බඳින්න නව සැලසුමක් | සිළුමිණ

මිනිස් වෙළෙඳ ජාවාරමට වැට බඳින්න නව සැලසුමක්

සාපරාධී මිනිස් වෙළෙඳ ජාවාරමට වැට බඳින නව සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් සහ මැදපෙරදිග කලාපයේ ඉරාකය, ඕමානය, ඩුබායි සහ අබුඩාබි වැනි රටවල් ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර කරගනිමින් සිදුවන මෙම ජාත්‍යන්තර මිනිස් ජාවාරම පිළිබඳ මෑත කාලයේ මාධ්‍ය ඔස්සේ අනාවරණය වූ කරුණු සහ විශේෂ විමර්ශන කාර්යයන් ඔස්සේ හෙළිදරව් වන තොරතුරු පදනම් කරගෙන මෙම වැඩපිළිවෙළ සකස් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රධානතම පියවරක් ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ මඟපෙන්වීම යටතේ එම අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව වහාම ක්‍රියාත්මක වන පරිදි වඩාත් ක්‍රමවත් හා උපායමාර්ගික දැනුම්වත් කරන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සමඟම, දිනෙන් දින රහසිගතව ව්‍යාප්ත වෙමින් පවතින මිනිස් ජාවාරමට වැට බැඳිය හැකි සියලු ක්‍රියාමාර්ග හා ක්‍රමවේද කඩිනමින් බලගැන්වීමටද අපේක්ෂිතය.

විදෙස් රැකියා සඳහා එතෙර ගිය ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් පසුගිය වසර ගණනාවක් පුරා මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වී තිබිණි.

Comments