ගෙදරට පහර දීලා අලාභ හානි කරලා බඩුමුට්ටුත් හොරකම් කරගෙන ගිහින් | Page 5 | සිළුමිණ

ගෙදරට පහර දීලා අලාභ හානි කරලා බඩුමුට්ටුත් හොරකම් කරගෙන ගිහින්

- ගෙදරට පහර දෙන්න එනවා කියලා දැනගත්තාම පළාත භාර යුද හමුදාවේ ජෙනරාල් සහ පොලිස් ස්ථානාධිපතිතුමා දැනුම්වත් කළත් ඒ කිසිම තැනකින් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැහැ
- හොඳ වෙලාවට එදා ගෙදරට පහර දෙනකොට අපේ ගෙදර කවුරුත් හිටියේ නැහැ
- 88,89 කාලෙත් මේ වගේම භීෂණයකට මුහුණ දුන්නා. මගේ සහෝදරයෙකුගේ ජීවිතයත් ඒ භීෂණය විසින් බිලි ගත්තා

2022 මැයි 09 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ දිනයකි. අරගලය නමින් මහපාරට බැස පුරවැසියා සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනිසි ලෙස භාවිත කරමින් රටම භීතියට පත් කළ ඇතැම් පිරිසකගේ ක්‍රියාකලාපය හේතුවෙන් එදා රටේ කීර්ති නාමයට ද බලවත් කැළලක් සිදු විය. මහජන නියෝජිතයන් සතු පෞද්ගලික දේපළ පමණක් නොව පොදු දේපළ රැසකට ද අලාභ හානි සිදු කළ ඒ දිනය කුඩා දරුවාගේ සිත තුළ පවා රටේ දේශපාලන සදාචාරය සම්බන්ධයෙන් කැලඹීමක් ඇති කළාට සැක නැත. මහජන නියෝජිතයන් 70කට අධික පිරිසකගේ නිවෙස් ඇතුළු දේපළ විනාශ කරමින් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ජීවිතය ඉතා සාහසික ලෙස මහමඟදී විනාශ කරමින් කළ විනාශය තවත් කාලාන්තරයක් යනතුරු මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සෑම පුරවැසියකුගේම සිත් තුළ සන්තාපය ඇති කරනු නිසැකය. 

මැයි 9 වැනිදා මුහුණු දීමට සිදුවූ ඒ අව­ාසනාවන්ත සිදුවීම ගැන ආවර්ජනය කරන්නට මෙවර අප සමඟ එක් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර ය.

"මැයි 9 වැනිදා මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා ධුරයෙන් සමුගන්න තීරණය කරලා තිබුණු නිසා මමත් එදා උදේ 9.00ට විතර අරලියගහ මන්දිරයට ගිහින් එතුමාට සුබ පැතුවා. ඊටපස්සේ මම එම ස්ථානයෙන් පිටත් වෙලා දවල් විවාහ උත්සවයකට සහභාගි වීමට ගියා. ඒ ගිහින් මම රෑ වෙලා පෙරමුණුගම අපේ මහගෙදරට ආවා. ඒ වෙද්දි රෑ අට පහුවෙලා. රෑ 8.45ත් 9.00ත් අතර වගේ මට අපේ ගෙදර වටපිටාවේ පිරිසක් කෝල් කරලා කිවුවා, පිරිසක් ඇවිත් මගේ ගෙදරට ගහනවා කියලා. ඊට ටික වෙලාවකට කලින් ඈගල්ඔය දෙනිකඩේ පැත්තේ කට්ටිය කිහිපදෙනෙකුත් කෝල් කරලා කිවුවා, මගේ නම කියාගෙන කෑගහගෙන පිරිසක් මගේ ගෙවල් පැත්තට එනවා කියලා."

එසේ පැමිණි ප්‍රචණ්ඩකාරීන් මන්ත්‍රීවරයාට අයත් නිවෙසට පහර දී විශාල අලාභයක් සිදු කර තිබිණ. මන්ත්‍රීවරයා පැවසුවේ වාසනාවකට මෙන් ප්‍රචණ්ඩකාරීන් නිවෙසට පහර දෙන විට සිය පවුලේ සාමාජිකයන් කිසිවකු නිවෙසේ නොසිටි බවයි.

" එදා රෑ පිරිස ඇවිත් ගෙදරට පහර දෙනකොට වාසනාවකට වගේ අපේ ගෙදර කවුරුත් හිටියේ නැහැ. ඒ සිදු වීමෙන් දවස් දෙක තුනකට පස්සෙයි මම ගෙදර ගියේ. ඒ, මගේ ආරක්ෂාව ගැන හිතලා. ඒ පහර දීම කළේ කවුද කියලා මම නම් වශයෙන් නිශ්චිතව කියන්න දන්නෙ නැහැ. නමුත් මගේ අසල්වැසියන් සහ පාක්ෂිකයන් ඒ අතර හිටියේ නැහැ. පැමිණි පිරිස අතර බෝතලේගම, දෙනිකඩේ සහ බුලත්සිංහල ප්‍රදේශවල අය සිටි බව තමයි මට දැනගන්න ලැබුණේ. ඒ ආපු පිරිස මගේ ගෙදර දොර ජනෙල් කඩලා හානි සිදු කරලා තිබුණා. ජනෙල් පහළොවක විතර වීදුරු කඩලා විනාශ කරලා. කාර්යාල කාමරයෙත් වීදුරු ජනෙල් හතරක් පහක් කඩලා දාලා. ගෙදර තිබුණු පුටු මේසවලට පහර දීලා ඒවා විනාශ කරලා. ඒ විතරක් නෙවෙයි ගෙදර තිබුණු බඩුමුට්ටුත් හොරකම් කරලා තිබුණා. මගේ කාර්යාල කාමරයේ තිබුණු ලැප්ටොප් දෙකක්, ලොකු කැමරාවක්, ස්මාර්ට් ෆෝන් දෙකක් ඒ අය සොරකම් කරගෙන ගිහින්. වෙච්ච අලාභය තක්සේරු කළාට පස්සේ ලක්ෂ එකහමාරක මුදලක් තමයි අලාභය විදියට නියම කළේ. ඒක හරිම අසාධාරණ තක්සේරු කිරීමක්. ඒ නිසා මම ඒ ගැන තවදුරටත් හොයන්න බලන්න ගියේ නැහැ. "

මැයි 9 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර පසුතැවෙන්නේ සිය නිවෙසට සහ දේපළට සිදුවූ අලාභය ගැන නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තම ආරක්ෂාව පිළිබඳ වගකියන්නට කිසිදු වගකිව යුතු නිලධාරියකු සමත් නොවීම සම්බන්ධයෙනි.

" එදා මගේ ගෙදරට පිරිසක් පහර දෙන්න එනවා කියලා දැනගත්තාම මම ඒ සිදුවීම වෙන්න පැයකට විතර කලින් මේ පළාත භාර හමුදාවේ ජෙනරාල් පුස්සැල්ල මහතා දැනුම්වත් කලා. නමුත් ඒ කිසිම තැනකින් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැහැ. ඊටපස්සේ පොලිස් ස්ථානාධිපතිතුමාගේ නිල දුරකතන අංකයට කතා කරලා මේ ගැන දැනුම්වත් කළා. එතකොට කිවුවා ජීප් එකකින් නිලධාරින් පිරිසක් එව්වා කියලා. නමුත් කිසිම කෙනෙක් ඇවිත් තිබුණේ නැහැ. ගෙදරට පිරිස ඇවිත් පහර දෙනවා කියලා දැනගත්තට පස්සේ මම නැවත ස්ථානාධිපතිතුමාගේ නිල අංකයට කතාකළාම වැඩ බලන නිලධාරියා කිව්වා පොලිස් නිලධාරින්ට ජිප් එකෙන්වත් එළියට එන්න විදිහක් නැහැ කියලා. ඒ වෙද්දි රට පුරාම කලබල ඇතිවෙමින් තිබුණේ."

රට පුරා ඇවිළී ගිය ඒ ප්‍රචණ්ඩත්වයේ ගින්න ඇවිළූ බවට බොහෝ දෙනකු චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන්ටය. ඒ පිළිබඳ ලලිත් වර්ණකුමාර මන්ත්‍රීවරයා දැක්වූයේ මෙවැනි අදහසකි.

"මටත් දැනගන්න ලැබුණු විදිහට මගේ ගෙදරට ගහන්න ඇවිල්ලා තිබුණෙත් ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂයේ අය. නමුත් මම ඒ ගැන වැඩිදුර හොයන්න ගියේ නැහැ. මොකද මට ඒ ගැන අහන්න ආස හිතුණේ නැහැ. මගේ ගෙදරට අලාභ හානිය වෙලා ඉවරයි. ඒක කළේ කවුද කියලා දැනගත්තා කියලා මට වෙච්ච පාඩුව නැති වෙන්නෙ නැහැනේ. ඒ නිසා මම මට පුළුවන් විදිහට ගෙදර කඩලා බිඳලා විනාශ කරපු දේවල් අලුත්වැඩියා කරගත්තා. තවම බිඳපු ජනෙල් වීදුරු ටික නම් දාගන්න බැරිවුණා. මට තියෙන වේදනාව මේක මම දේශපාලනය කරලා හදාගත්ත ගෙයක් නෙවෙයි. දේශපාලනයට එන්න කලින් මම ව්‍යාපාර කළා. ඒ නිසා මට හොඳ ආර්ථික තත්ත්වයක් තිබුණා. ඒ නිසාම රටේ හෝ මහජන මුදල් කොල්ලකාලා දේශපාලනය කරන්න මට අවශ්‍ය නැහැ. නමුත් ප්‍රචණ්ඩකාරීන් මහජන නියෝජිතයන් 225 දෙනාම හොරු කියලා සමාජගත කළ මිථ්‍යාව නිසා ජනතාව නොමඟ ගියා. ඒ නිසයි අපේ දේපළත් මේ විදිහට විනාශ කළේ. "

ඒ සිදුවීම ඔහුට දේශපාලනය අත්හරින්නට තරම් ප්‍රබල සිදු වීමක් විණි දැයි මම ඔහු විමසුවෙමි.

" එහෙම කිසිම එපාවීමක්, කලකිරීමක් නම් සිදු වුණේ නැහැ කියලා පැහැදිලිවම කියන්න ඕනේ. මොකද මේවා අපිට නුහුරු දේවල් නෙවෙයි. 88, 89 කාලෙත් අපි මේ වගේ භීෂණයකට මුහුණ දුන්නා. මගේ සහෝදරයකුගේ ජීවිතයත් ඒ භීෂණය විසින් බිලිගත්තා. මුල ඉඳලම මම දේශපාලනය එක්ක හිටපු කෙනෙක් නිසා මේ වගේ දේවල් දරා ගැනීමේ ශක්තිය තියෙනවා. අපි කුඩා කාලයේ අපේ අම්මා දීර්ඝ කාලයක් විදේශගත වෙලා හිටියේ. ඒ නිසා ජීවිතයේ දුෂ්කරතාවලට මුහුණ දීමේ ශක්තිය, දරාගැනීම වගේ දේවලට හුරුවෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න, කරදර සහ අභියෝග ජීවිතයට පන්නරයක් කරගන්නවා මිසක් ඒ දේවලින් කලකිරිලා දේශපාලනය අත්හරින්න කිසිවිටෙකත් සූදානම් නැහැ."

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර පවසන්නේ දශක දෙකකට අධික කාලයක් දේශපාලනයේ නියැළීමෙන් ලද පරිණතභාවය තුළිනි. අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු ව්‍යාපාරික කටයුතුවල නියැළෙන ඔහු දේශපාලනයට පිවිසෙන්නේ ව්‍යාපාරිකයකු ලෙස සාර්ථක වී සිටි පසුබිමකදීය. 2006 වසරේදී මදුරාවල ප්‍රාදේශීය සභාවෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ලලිත් වර්ණකුමාර, 2009 වසරේදී පළමු වරට බස්නාහිර පළාත් සභාවට තේරී පත් විය. 2014 වසරේ දෙවැනි වරටත් බස්නාහිර පළාත් සභාවට පත්වන ඔහු පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ 2020 වසරේදීය. එහිදී මනාප 46,361ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 9 වැනිදා බවට පත්වන ඔහුට පාර්ලිමේන්තුවේ අසුනක් හිමි නොවන්නේ එවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අවස්ථාව ලැබෙන්නේ පළමු 8දෙනාට වන නිසාය. එහෙත් වාසනාව යළිත් ඔහු සොයා එන්නේ 2021 වසරේ නොවැම්බර් 30 වැනිදාය. ඒ, කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ 2021 නොවැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමට ලලිත් වර්ණකුමාරට අවස්ථාව ලැබීම නිසාය‍. එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ නව ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස වැඩ බාර ගැනීම සඳහා මහින්ද සමරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම සිදු විය.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමට ලැබීම මට සතුටක්. නමුත් රටේ පවතින තත්ත්වය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් යමක් ඉටු කිරීමට නොලැබීම ගැන කනගාටුයි. ඒ අතින් බලන විට පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න කාලේ විශාල සේවයක් කරන්න අවස්ථාව ලැබුණා. පළාත් සභාව සුදු අලියෙක් කියලා ඇතැම් අය චෝදනා කළාට මගේ නම් අදහස පළාත් සභාවේ ඉන්නකොට බුලත්සිංහල ආසනය වෙනුවෙන් ඉතා විශාල වැඩ කොටසක් ඉටු කරන්න මට හැකියාව ලැබුණා. ඒ තත්ත්වය වෙනස් වුණේ 2015දියි. ඒ කාලේ පාසල් සහ දහම් පාසල් නඟා සිටුවන්න විශාල වැඩ කොටසක් කළා. දහම් පාසල් නොයන ළමුන් දහම් පාසලට ගෙන්වන්න, පන්සලට සමීප කරවන්න, අවුරුදු 5ක් ඉලක්ක කරගනිමින් හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. 2015දී ආණ්ඩුව වෙනස් වෙද්දි ඒවත් වෙනස් වුණා. ඒ වගේම ප්‍රාදේශීය සභාවේ ඉන්නකොටත් විශාල සේවයක් ඉටු කරන්න හැකියාව ලැබුණා. දේශපාලන ජීවිතය දිහා ආපස්සට හැරිලා බලද්දි ඒ දේවල් ගැන ලොකු සතුටක්, ආත්ම තෘප්තියක් විඳිනවා. දේශපාලනයෙන් උපයා ගත් ලොකුම ධනය ජනතා සේවය තුළින් ලැබූ ඒ ආත්ම තෘප්තියයි."මහජන නියෝජිතයකු වීමේ සතුට ඔහු එසේ පවසද්දී මැයි 9 වැනිදා ප්‍රචණ්ඩකාරී සිදුවීම් දාමයට හේතු වූ මහජන නියෝජිතයන් 225 දෙනාම හොරු ලෙස ඇතැමුන් සමාජගත කළ මතය පිළිබඳ ඔහුගේ අදහස විමසුවෙමි.

" බොහෝ දෙනා චෝදනා කරන්නේ දේශපාලනඥයන්ට. නමුත් ඇතැම් දූෂිත නිලධාරින් ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. දේශපාලනඥයෝ හොරකම් කරනවා කියලා චෝදනා කළාට ඔවුන් අඩුමතරමේ වවුචරයකටවත් චෙක් එකකටවත් අත්සන් කරන්නෙ නැහැ. ඒ සියල්ල කරන්නේ නිලධාරින්. දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් තොර රටක් සහ පාලනයක් බලාපොරොත්තු වෙනවා නම් දේශපාලනඥයන් වගේම නිලධාරීනුත් අවංක විය යුතුයි. ජනතාව මේ යථාර්ථය තේරුම් ගත යුතුයි."

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියා සතු වගකීම පිළිබඳ ද මෙසේ අවධාරණය කළේය.

" අපේ රටේ බොහෝ දෙනාගේ පුරුද්ද තමයි ඕනෑම දෙයක් හොඳ වුණත් නැති වුණත් මුලදි ඒකට විරුද්ධ වෙනවා. ඒ ගැන කවුරුහරි කියන ඕනෑම බොරුවක් පිළිගන්නවා. ඒ වගේම මහජන නියෝජිතයන් විදිහට අපි අවුරුදු ගණනාවක් ජනතාව වෙනුවෙන් මොන තරම් දේවල් කළත් එක් අවස්ථාවක ඔවුන්ගේ එක ඉල්ලීමක් ඉෂ්ට කරලා දෙන්න බැරි වුණොත් එතැනින් පස්සේ ඒ මහජන නියෝජිතයා එක්ක අමනාප වෙනවා විතරක් නොවෙයි කොහෙන්හරි දේශපාලනයට කඩාපාත් වුණු කෙනකුට ඡන්දේ දීලා ඔහුව පාර්ලිමේන්තුත් යවනවා. මේ දේ තමයි චක්‍රයක් වගේ හැමදාම කැරකෙන්නෙ. ඒක රැල්ලට යන දෙයක්. මැයි 9 වැනිදා වුණෙත් ඒ දේමයි. නමුත් අපි අපේ පෞද්ගලික වාසි වෙනුවෙන් පක්ෂ පාට මාරු කරන්නෙ නැහැ. ඉදිරියටත් හැකි අයුරින් ජනතාවට සේවය කරමින් දේශපාලනයේ නිරත වෙනවා."

Comments