කිරිඇල්ල රත්කරන හැටි ඩයනා කියයි | සිළුමිණ

කිරිඇල්ල රත්කරන හැටි ඩයනා කියයි

- අපිට ඕනෑ සුන්දර සයිබර් අවකාශයක්
- බරපතළ තත්ත්වය මහපාරට ඇවිත් තියෙන්නේ

ළාත් පාලන මැතිවරණ සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු පක්ෂ නායක රැස්වීම් වලදී උණුසුම්කාරී තත්ත්වයන් ඇති විය.

විපක්ෂයේ ඉල්ලීමට ආණ්ඩුවෙන් උත්තර

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයෝ පසුගිය (28) කථානායකවරයා මුණගැසී ඉල්ලීම් කර තිබුණේ මෙවර අය වැයෙන් වෙන් වූ මුදල් පළාත් පාලන මැතිවරණයට භාවිතා කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඊට අමතරව මේ සම්බන්ධයෙන් විමසීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙසට විපක්ෂයේ පක්ෂ නායකයෝ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා කියා තිබුණේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි.

ඒ අනුව කථානායකවරයා ඇමැති ප්‍රසන්න ඇමතුවේය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් හමුවීමට අවශ්‍ය බව කීවේය.

අනතුරුව ඇමැති ප්‍රසන්න අගමැති දිනේෂ් ගුණවර්ධන ඇමතුවේ කථානායකවරයාගේ ඉල්ලීම අනුවය.

“ඔව්... අපිත් කථානායකතුමා හම්බවෙලා මේ ගැන කතාකරමු. ” අගමැතිවරයාද එකඟවිය.

ආණ්ඩුවේ පක්ෂ නායකයෝ අගමැති හමුවට

පසුදා (01) දහවල් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලුම පක්ෂ නායකයෝ කථානායක මහින්ද යාපා අබේවර්ධන මුණ ගැසී විපක්ෂයේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කළහ.

එහිදී අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ පක්ෂ නායකයෝ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙවර අය වැයෙන් වෙන්වූ මුදල් පළාත් පාලන මැතිවරණයට ලබාදෙන ලෙසට විපක්ෂය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසයි.

“ මැතිවරණ කොමිසමෙන් මට ලියුමක් එවල තිබුණා. මැතිවරණයට මුදල් දෙන්න කියල පාර්ලිමේන්තුවට බලකරන්න මට බැහැ. හැබැයි ඉල්ලීමක් කරන්න පුළුවන් කියල” කථානායකවරයා කීය.

“අපි මෙතනදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරමු” ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කටහඬ අවදි කළේය.

තමන්ට නැති බලය ගැන කථානායක කියයි

“පාර්ලිමේන්තුව කැඳවන්න කියල විපක්ෂය ඔබතුමාගෙන් ඉල්ලීමක් කරල තිබුණා?” වජිර ඇසීය.

“ඔව්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා පාර්ලිමේන්තුවට කැඳවන්න කිව්වා. පාර්ලිමේන්තුව කැඳවන්න කියලත් මගෙන් ඉල්ලීමක් කළා. ඒ දෙකම කරන්න මට බලයක් නැහැනේ.”කථානායකවරයා පිළිතුරු දුන්නේය.

මයන්තට තර්ජනද?

මෙහිදී මුදල් කමිටු සභාපතිධුරයෙන් මයන්ත දිසානායක ඉල්ලා අස්වීම ගැනද පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.

“මයන්ත ඉල්ලා අස්වෙලා තියෙන්නේ තර්ජන නිසා. මේක මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක්. ” මහින්ද අමරවීර ප්‍රශ්න කළේය.

“ඔව් අපේ අයත් ඒක දැකල තිබුණා” මෙතෙක් වෙලා නිහඬව සිටි ඇමැති ප්‍රසන්න හඬ අවධි කළේය.

“ ඒක මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක්නම් කතානායකතුමාට පැමිණිල්ලක් කරන්න. ඊට පස්සේ ඒ ගැන කථානායකතුමාට ඒ ගැන හොයල බලන්න පුළුවන්. ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කීය.

“මේක අපිට අයිති තනතුරක් කියල විපක්ෂය පාර්ලිමේන්තුවෙදි ඩෙඟා නටාවි.” ඒ මහින්ද අමරවීරය.

“පාර්ලිමේන්තුවෙ මුදල් කමිටුව කියන්නේ ඉතාම වැදගත් තනතුරක්. ඒ නිසා සෙල්ලම් කරන්න දෙන්න බැහැ.” ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ තිර හඬිනි.

අය - වැයට විරුද්ධ වුණු අය සල්ලි ඉල්ලනවා

“මේක මාර වැඩක්නේ. අය වැයට විරුද්ධව ඡන්දෙ දීපු අය දැන් සල්ලිත් ඉල්ලනවනේ” එම සාකච්ඡාව අවසන් කර එළියට පැමිණෙමින් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ කීවේය.

“ඔයා ඔය කතාව මාධ්‍යයට කියන්න.” රාජ්‍ය ඇමැතිනියගේ කතාව ඇසුණු ඇමැති ප්‍රසන්න රණතුංග යෝජනා කළේය.

ඒ අනුව මධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය ඇම­ැතිනිය පැවසුවේ අය වැයට විරුද්ධව ඡන්දය දුන් විපක්ෂය නැවත අය වැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම විහළු සහගත බවයි.

“අපි අය වැයට පක්ෂව ඡන්දය දුන්නා. විපක්ෂයේ සියළුම දෙනා අය වැයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ කියන්නෙ මහා භාණ්ඩාගාරයෙන් අය වැයට මුදල් වෙන්කරන එකට ඒ අය විරුද්ධයි කියන එකනේ. අය වැයට විරුද්ධව ඡන්දය දුන්නනම් ඇයි ඡන්දයට මුදල් දෙන්න කියල කෑ ගහන්නේ. එහෙම කරන්න එයාලට අයිතියක් නැහැ.” රාජ්‍ය ඇමැතිවරිය කීය.

“මේ වෙලාවේ ඡන්ද තියල මැජික් පෙන්වන්න බැහැ. විපක්ෂනායකතුමාට කවුරු හරි ඩොලර් දෙනවද රට ගොඩ දාන්න. මේ විදියට පාරට බැහැල දඟලන කොට රටට මිනිස්සු ඒවිද? ” ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරිය නැවත කීය.

මෙහිදී මාධ්‍යවේදියෙකු ඩයනා ගමගේගෙන් විමසා සිටියේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙය පිළිනොගන්නා බවයි.

“කිරිඇල්ල මන්ත්‍රීතුමාට මම ලබන සතියේ පාර්ලිමේන්තුවේදී පෙන්වන්නම් මොකක්ද හරි දේ කියලා. එදා අය වැයට විරුද්ධව ඡන්දය දීලා දැන් කියනවා අය - වැයෙන් වෙන් වුණු මුදල් දෙන්න කියලා. කිරිඇල්ල මන්ත්‍රීතුමාට රත්වෙන්නම මං ලබන සතියේදී කතා කරන්නම්” යනුවෙන් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

ජනපති රනිල් විශාඛාවේ තාප්පයෙන් පැන්න හැටි

කොළඹ ප්‍රසිද්ධ පාසලක් වූ විශාඛා විද්‍යාලයේ තාප්පයෙන් පැන පාසල් ශිෂ්‍යයකු ලෙස එහි ගිය හැටිත්, විදුහල්පතිනිය තමන් ඇතුළු පිරිස පිටමං කළ හැටිත් ජනපති රනිල් කීවේ සිය මිතුරන් ඉදිරියේදීය. ඒ කොළඹ දී පැවැති රාජකීය විද්‍යාලයේ නීති සංගමයේ සැමරුමකට එක් වෙමිනි. කොළඹ හිල්ටන් හෝටලයේ ඉකුත් 25 වැනි සෙනසුරාදා පැවැති මෙම හමුව අති උත්කර්ෂවත් එකක් වූවේ පාසල් දිවියේ පැරණි රස මතකයන් පිටතට පැමිණි අවස්ථාවක් වූ නිසාවෙනි.

ජනපති රනිල් පාසල් අවදියේ කළ කෙළිකවටකම්වලින් සාදය විනෝදබර වූවේ රනිල් ද සාමාන්‍ය පුරවැසියෙකු බවට එහිදි පත්වීම නිසාවෙනි. පාසල් දිවියේ කළ ඇට්ටරකම් රැසක් මෙහිදි එළි බැස්සේය. සුළු වේලාවකට එහි පැමිණිය ද ජනපතිවරයා සාදය නිමවන තෙක්ම එහි රැඳී සිටියේ අතීත මතක සිහිපත්වීම නිසාවෙනි.

අනුර කඩේකට රිංගීම ගැන ඇමැතිවරුන් කතා කළේ මොනවාද?

ඇමැති මණ්ඩල හමුවෙන් පසු ජනපති රනිල් සමඟ ඇමැතිවරු පිරිසක් සුහද සාකච්ඡාවක නිතරවූ අතර එහිදි පෙරදින පැවැති ජ.වි.පෙ උද්ඝෝෂණය ගැනද කතා බහක් ඇති විණි. කදුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව ඒ අසල පැවැති කඩයක අකුලන දොරක් කඩා ජ.වි.පෙ නායකයා ඇතුළට රිංගා ගත් ආකාරය ගැන ද ඇමතිවරු කියන්නට වූහ. මේ සියලු කතා අසා සිටි ජනපති රනිල් හැමට අපූරු කතාවක් කීවේය.

කොල්වින් ගුටිකෑව හැටි රනිල් සිහිපත් කරයි

“අසූව දශකය මුල ආචාර්ය කොල්වින් ආර්. සිල්වා ඇතුළු සම සමාජ නායකයෝ හයිඩ්පාක් පිටිය ආසන්නයේ ඔය වගේම උද්ඝෝෂණයක් කළා පාර වහගෙන. මෙතනට පොලිසියෙන් ඇවිල්ලා කඳුළු ගෑස් ගහලා, මේ අයට හොදටම පහර දුන්නා. කොල්විනුත් හොඳටම ගුටි කෑවා. කකුලට වැදුනු පහරක් නිසා කකුල ආබාධයකට ලක්වුණා. එය ඔහු මැරනෙකම්ම තිබුණා.” ජනපති අතීත කතාවක් සිහිපත් කළේය.

කොල්වින්, පිලිප්, ජේ.ආර්. ගැන බන්දුල කිව්වේ මොනවාද? 

“ඔව් මටත් මතකයි ඔතන සම සමාජ පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල ඉස්සරහා තමයි ඔය උද්ඝෝෂණය තිබ්බේ. එදා නායකයෝ තමන්ගේ සාමාජිකයෝ එක්ක මැරෙන්න වුණත් හිටියා. කොල්වින්, පිලිප්, ජේ.ආර් එහෙම තමයි. පරණ වාමාංශික නායකයෝ තමන්ගේ පාක්ෂිකයෝ දාලා දිව්වේ නෑ. ගහද්දී ගුටි කාගෙන හිටියා.” ඇමැති බන්දුල ද කතාවට ඌණ පූරණයක් එක් කළේය.

“ඒකට දැන් වාමාංශික නායකයෝ කඩවල් අස්සේ හැංගිලා එළියට ඇවිල්ලා වීරයෝ වගේ කෑ ගහනවා. තමන්ගේ පාක්ෂිකයෝ විතරක් අසනීප වෙලා රෝහල්ගත වෙනවා.” ඇමැති ප්‍රසන්න ද කතාවට එක් වූවේය.

“අසනීප තියෙන අය මේ වගේ උද්ඝෝෂණවලට ගේන එක සම්පූර්ණයෙන්ම වැරදියි. අනෙක අද කොල්වින් මහත්තයා හිටියා නම් අනේ අනුර මගෙන්වත් ඉගෙන ගන්න කියලා කියයි.” ඇමැති මනූෂ කියද්දී කාටත් සිනහව නතර කර ගැනීමට නොහැකිවිය.

විරෝධතාකරුවෙකු මිය ගිය සිද්ධිය ගැන ජනපතිගේ කණස්සල්ල

විරෝධතාවයට සහභාගී වී පිටත්ව යද්දී අසනීපව රෝහල්ගත කළ අයෙකු මිය ගොස් ඇති බවට පණිවුඩය රැගෙන ආවේ ජනපති ලේකම් සමන් ඒකනායකය. එම පුවත අසා සංවේදී වූ ජනපති රනිල් කීවේ මෙය ඉතාම ශෝක ජනක පුවතක් බවයි. ඔහු හෘද රෝගියෙකු බව ද මෙහිදි හෙළිදරව් වූවේය.

“හෘද රෝග වැනි බරපතළ රෝගාබාධ තිබෙන පුද්ගලයින් මෙවැනි උද්ඝෝෂණවලට ගෙන ආ යුතු නෑ. නායකයොත් මේ ගැන බලන්න ඕනේ. මේ මරණය ගැන ඇත්තටම මට කනගාටුයි.” ජනපති කීවේ බිඳුනු ස්වරයෙනි.

සාගලට දෙපැත්තෙන්ම සුබ පැතුම්

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ උපන් දිනයදා ඔහුට සුබ පැතීමට ද ජනපති අමතක නොකළේය. එදින ඔහු කාර්ය මණ්ඩලයට කේක් පිරිනැමූ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ඔහුට සුබ පතා තිබුණි.

එදින ඔහු කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ක්‍රියාත්මක වන ප්‍රජා මූලික මුළුතැන්ගේ වැඩසටහනට සහභාගී වී අසරණ පවුල් වෙත දිවා ආහාරය ද පිරිනමනු ලැබූවේ මේ අවස්ථාවේ ජනතාව ඉතා අමාරු ජිවන වටපිටාවක සිටින බැවිනි.

ජනපතිට ලැබුණු රහස් වාර්තාව

එදින සවස ජනපතිට ලැබුණු රහස් වාර්තාවකින් කියවුනේ බදු ප්‍රතිපත්තියට එරෙහිව පැවැති වැඩවර්ජනය ප්‍රාදේශීය වශයෙන් අසාර්ථක වී ඇති බවටය. මේ අතර ජනපති රනිල් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවනු ලැබූවේ රජයේ මූල්‍ය කටයුතු ගැන තීරණයක් ගැනීමටය.

මුදල් ඇමැති ලෙස ඔහු ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කළ පත්‍රිකාවෙන් කියවුනේ බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට වර්ජනය හේතුවෙන් රාජ්‍ය බැංකු පද්ධතියෙන් බාධා පැමිණුනොත් පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට රාජ්‍ය ආයතනවලට අවසර ලබාදීමය.

“රාජ්‍ය බැංකු සේවකයෝ මේ විදියට කටයුතු කරන්න ගියොත් අවසානයේ පෞද්ගලික බැංකු සමඟ කටයුතු කරන්න රාජ්‍ය ආයතන ක්‍රියාකරාවි. එහෙම වෙලා බැංකු කඩා වැටුනොත් මේ වර්ජනය කළ සේවකයෝ ඊට වගකියන්න ඕන.” ඇමැති බන්දුල කීවේ එවැන්නකි.

“හුගක් අය වර්ජනයට ඇවිල්ලා නෑ. වෘත්තීය සමිති ඒකාධිකාරය මේකෙන් බිඳ වැටෙනවා. රාජ්‍ය සේවයෙන් 9% ට විතරයි මේ බදු ප්‍රශ්නය බලපාන්නේ. ඉතින් තමන්ට බලනොපාන කාරණයක් වෙනුවෙන් සේවකයෝ මේ වෘත්තීය සමිති එක්ක හිට ගන්නේ නෑ.” ඇමැති ප්‍රසන්න කීවේය.

“ලක්ෂ එකහමාරකට වඩා පඩි ගන්න අයට ගහපු බද්දට ලක්ෂයක්වත් පඩි නැති ගුරුවරු එකතු වෙන්නේ ඇයි කියලා තමයි මට ප්‍රශ්නය.” ඇමැති දේවානන්දා ද කීවේ එවැන්නකි.

රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට සජිත් සැරසෙයි

මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් රට පුරා උද්ඝෝෂණ දියත් කිරීමට සමගි ජනබලවේගය තීන්දු කළේ පසුගිය සතියේදීය.

මේ අතර පසුගියදා මාලිමාවේ විරෝධයට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළාදැකීමට සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය.

විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බව සජිත්ට සැලවිය.

ඒ පිළිබඳව සොයා බැලූ ඔහු වහාම ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය.

"කිසිම නායකයෙක් හෝ පක්‍ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත., ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි.

අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනෙකුට බරපතළ තුවාල සිදුවිය. මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලිය.ආණ්ඩුව කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය."

ඉන් අනතුරුව ඔහු සිය මාධ්‍ය අංශයට උපදෙස් දුන්නේ මේ ප්‍රහාරය හෙළා දැක විශේෂ නිවේදනයක් නිකුත් කරන ලෙසය.

"මේක දරුණු මර්දනයක්.සාමූහිකව මුහුණ නොදුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි" සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට එහෙම කීවේය.

විරෝධතාවයෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊට පසු දින මිය යෑමේ පුවත සජිත්ට පැළ වන විට ඔහු සිටියේ නලින් බණ්ඩාර විසින් සංවිධානය කළ රැලියක සභාව අමතමිනි.

"ආරම්භයේදීම ඉතාම කනගාටු දායක පුවතක් සිහිපත් කරන්න වෙනවා.

ඊයේ ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරයෙන් රෝහල්ගතව සිටි පුද්ගලයෙකු මිය ගිහින් තිබෙනවා.එතුම නිමල් අමරසිරි කියලා නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අපේ බලවත් ශෝකය එතුමන්ගේ පවුලට පිරිනමනවා.“

වජිර, ජනපති සමඟ හික්කඩුවේ ඇවිදියි

දකුණු පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව සිට්‍රස් (Citrus) හෝටලයේදී පැවැත්විණි.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක්වීමට සිදු වූ බවත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පා ගමනින්ම හික්කඩුව නගරයේ සංචාරයක නිරත වු ජනාධිපතිවරයා සහ වජිර ඇතුළු පිරිස එහි ව්‍යාපාරිකයින් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීය. වෙනත් කිසිඳු ජනාධිපතිවරයෙක් මෙලෙස පාගමනින්ම තමන්ගේ ගැටලු පිළිබඳ සොයාබැලීමට පැමිණ නැති බැවින් මෙම සංචාරයේදී ජනාධිපතිවරයාට ඉහළ පිළිගැනීමක් ප්‍රදේශවාසීන්ගෙන් හිමිවිය.

වජිරට ප්‍රසාදය

ඒ අතර මෙම වැඩකටයුතු සංවිධානය කොට තමන්ගේ ඇති ගැටලු සෘජුවම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසාදුන් තම ප්‍රදේශයේ දේශපාලන නායකයා වන වජිර අබේවර්ධනටද ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සිය ස්තූතිය පළ කර සිටියහ.

“ඇම­ැතිතුමා, ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි ජනාධිපතිතුමන්ව අපි ළඟටම ගෙනැවිත් අපේ ප්‍රශ්න පිළිබඳව සෘජූවම කතාබහ කරන්න සැලැස්සුවට. මමනම් දන්න විදිහට අපේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් මේ විදිහට අපේ ළඟටම ඇවිත් අපේ ප්‍රශ්න ගැන සොයා බැලුවේ නැහැ.

ඔබතුමා නිසා තමයි අපිට අද මේ අවස්ථාව උදා වුණේ, ජනාධිපතිතුමා සෘජුවම මැදිහත් වුණ නිසා මේ ප්‍රශ්න ඉක්මන්ටම විසඳෙයි කියලා අපිට දැන් විශ්වාසයි. ඔබතුමා ඉතින් රටේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වුණා වගේම අපේ ප්‍රශ්නත් ඉක්මනින්ම විසඳා දෙයි කියලා අපි විශ්වාස කරනවා” යැයි වජිරට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් පැවසීය.

ඔවුන්ගේ හඬට සවන් දුන් වජිර සිනාසෙමින් මෙසේ කීවේය,

“ඔව්, ඔව් අපි බලමුකෝ මේ ප්‍රශ්න ටික ඉක්මනටම විසඳාගන්න. මොකද සංචාරක ව්‍යාපාරය තුළින් තමයි අපිට දැනට තිබෙන විදේශ විනිමය ප්‍රශ්නය බොහෝ දුරට විසඳාගන්න පුළුවන් වෙන්නේ, ජනාධිපතිතුමාට ඒ සම්බන්ධව හොඳ සැලැස්මක් තිබෙනවා. එතුමා ඒක දැනටමත් ක්‍රියාත්මක කරගෙනයි යන්නේ.

ඒ සැලැස්මේ ප්‍රගතිය අපිට ඉක්මනටම බලාගන්න පුළුවන් වෙයි.” යනුවෙන් වජිර ඔවුන්ට පැවසීය.

මුදල් කාරක සභාවට වජිරගේ නමත් යෝජනා වේ

එසේම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා සවස පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවත්වුණු අතර මුදල් කාරක සභාවේ පත්වී සිටි සභාපති මයන්ත දිසානායකගේ ඉල්ලා අස්වීම සිදු වූ බැවින් ඒ සඳහා ස්ථාවර නියෝග අනුව තාවකාලික මන්ත්‍රීවරු පත් කර ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබිණි.

ඒ අනුව රාඝවන් මන්ත්‍රීවරයා විසින් චම්පික රණවක මහතාගේ නම සභාපති ධුරයට යෝජනා කළ අතර, එම නම වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විසින් ස්ථිර කරන ලදී.

එම අවස්ථාවේදී චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ අවස්ථාවේ මෙය ඔහු හට ඉටු කිරීමට නොහැකි බැවින් වෙනත් මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරගන්නා ලෙස ඉල්ලීමක් කරන ලදී.

ඒ අනුව නිමල් ලාන්සා මන්ත්‍රීවරයා විසින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර, ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කරන ලදී.

ඒ අනුව මුදල් කාරක සභාව රැස්වී ආනයන අපනයන පාලන රෙගුලාසි සහ සුරාබදු ආඥා පනතේ නව ගැසට් සංශෝධන සහ කොළඹ කොටුව ආර්ථික කොමිසමේ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ ඉදිරි කටයුතු වලට අවශ්‍ය කරන ලියකියවිලි සියල්ලක් අනුමත කළ අතර, නැවත මුදල් කමිටුව රැස්විමට ලබන අඟහරුවාදා සවස 02 : 00 ට කල්තබමින් සභාපතිවරයා වැඩ කටයුතු අවසන් කරන ලදී.

අජිත් රාජපක්ෂ හෙළි කළ රහස

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පසුගියදා මහනුවර මල්වතු විහාරස්ථානයේදී රහසක් හෙළි කළේය.

ඒ හෙළි කළේ මීට වසර 20 ගණනකට පෙර ඇතිවු සිදුවීමකට සම්බන්ධ රහසකි. එම රහස හෙළි කරන ලද්දේ පසුගිය දිනක මල්වතු විහාරයේ පැවති උත්සවයකදීය. මෙම උත්සවය පැවැත්වුණේ පුජ්‍ය පල්ලේගම වංගීස හිමියන්ට රුහුණු දොළොස්දහස් රට ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙනි. වංගීස හිමියන් දකුණු පළාත් පිරි‍වෙණේ අධ්‍යක්ෂ වශයෙන්ද කටයුතු කරයි.

මල්වතු මහ නාහිමි පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, මල්වතු අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාත්, අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයාත් සහභාගී වුහ.

මීට වසර 20 ගණනාවකට පෙර 90 දශකයේ අග භාගයේදී මහින්ද රාජපක්ෂ දේශපාලන නායකයාට මල්වතු විහාරය විසින්ම ශ්‍රී රෝහණ ජනරංජන ගෞරව නාමය පිරිනැමීම ගැන සිහිපත් කරන ලද්දේ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා විසිනි.

“එදා අපි රුහුණු රටේ පන්සල් මුල්කරගෙන පන්සල් 100ක නායක හිමිවරුන්ගේ ඉල්ලීමක් මල්වතු විහාරය ඉදිරිපත් කළා. දැනට අපවත් වී සිටින පුජ්‍ය පල්ලේගම ජිනරතන හිමියන්ද මෙහිදී සිහිපත් කළ යුතුයි.

අපි ඒ ඉල්ලීම අරගෙන එදා මල්වතු විහාරයට ආපු වෙලාවේ ලේඛකාධිකාරි වශයෙන් කටයුතු කළේ දැන් අනුනායක හිමි වශයෙන් වැඩ සිටින පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ය.

එදා අපි මේ යෝජනාව ගෙනාවම විජිතසිරි හාමුදුරුවෝ මේ යෝජනවා දිහා හොඳට බැලුවා” ධීවර ඇමැති මහින්ද රාජපක්ෂ මහතා කියලා ඇමැතිකම වෙනස් කරගන්න බැරිවෙයිද? කියලත් කිව්වා”

කොහොම හරි එදා මල්වතු විහාරය ශ්‍රී රෝහණ ජනරංජන ගෞරව නාමය ලබාදුන්නු නායකයා මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගෙන රට සංවර්ධනය කළා” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා අතීත කතාව සිහිපත් කරන ලදී.

නාමල්ගෙන් සුන්දර සයිබර්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සයිබර් අවකාශය මුල්කරගෙන නව ආරක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවට ඔහු පැමිණ අවස්ථාවේදී කිහිපදෙනෙක්ම මේ ගැන නාමල් රාජපක්ෂගෙන් විමසා තිබුණි.

“වෛරය,ක්‍රෝධය වෙනුවට මනුස්සකම, ආදරය, කරුණාව මුල්කරගෙන සයිබර් අවකාශය තුළ විශාල වැඩසටහන් ගණනාවක්ම සිදුකිරීමට අපි මැදිහත්වෙලා ඉන්නවා. මෙතන කිසිම දේශපාලනයක් නැහැ. අපිට ඕනෑ සුන්දර සයිබර් අවකාශයක්” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි.

Comments