වර්ජකයන්ගේ එකම අරමුණ IMF වැඩපිළිවෙළ කඩා බිඳ දැමීමයි | සිළුමිණ

වර්ජකයන්ගේ එකම අරමුණ IMF වැඩපිළිවෙළ කඩා බිඳ දැමීමයි

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන

  • රස්සාවට දේශපාලනය කරන අයයි ඡන්දයක් ඉල්ලන්නේ
  • ජනාධිපතිකමට තිබුණ නුසුදුසුකම තමයි, ඔහු ඒ සඳහා සුදුස්සකු වීම
  • නීතිය තුළ මිස ත්‍රස්තවාදය තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නැහැ

මේ රට වැටෙන සෑම අවස්ථාවලදී එය නැවත ඔසවා තැබීමේ කාර්ය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ඉටු කළත් ඒ සෑම අවස්ථාවේදීම ඊට බලපෑම් එල්ල වුණා. වර්තාමානයේදීත් දැකිය හැකිවන්නේ එයමද...?

ඔව්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට වැටුණු සෑම අවස්ථාවකදීම ඔසවා තැබුවා. 1993 ජනාධිපති ප්‍රේමදාස මිය ගිය අවස්ථාවේ රට අරාජික වී ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්ත්වයක් ඇතිවීමට තිබූ අවස්ථාවේ ප්‍රජාතන්තුවාදි රාමුවකට රට එකතු කළා. 2000 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී රජය වසරකින් කඩා වැටුණා. ගුවන් තොටුපළවල, වරායට අධිභාර බද්ධ පැනවුණා. මහජනතාව අමාරු තත්ත්වකට පත්වුණා. ඒ අවස්ථාවේ අගමැති ධුරය භාරගෙන ටෝකියෝ සම්මේලනය කැඳවා ඩොලර් බිලියන ගණනක් ලංකාවට ලබා ගන්න කටයුතු කරන විට 2004 දි ජාතිවාදය, ආගම්වාදය අවුස්සා නැවත ඒ වැඩපිළිවෙළ කඩා බිඳ දැම්මා. 2014 මැතිවරණයෙන් පස්සේ රට නැවත ගොඩ නඟාගෙන යන විට පාස්කු ප්‍රහාරය හා දින 52 වැඩපිළිවෙළ සමඟ නැවත ජාතිවාදය ආගම්වාදය කුලවාදය අවුස්සා මේ රට විනාශ කළා. දැන් මේ ක්‍රියාත්මක වන්නේත් එයමයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අප විසින් මහජනතාව වෙත දුන් ලියවිල්ල පමණයි, මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා මහජනතාව තේරුම් ගත යුතුයි; රට වැටුණු සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකත්වය තමයි මේ රට ගොඩ ගත්තෙ කියලා. සමහර විට මේ රට මෝඩයෙක් පාලනය කළ යුතු යැයි ලෝක බලවතුනුත් විශ්වාස කරනවා ඇති. රනිල් වික්‍රමසිංහයන්ට ජනාධිපතිකමට තිබුණු නුසුදුසුකම තමයි, ඔහු ඒ සඳහා සුදුස්සෙකු වීම. ඒ නිසා රටේ ජනතාව කල්පනාවෙන් වැඩ නොකළහොත්, නැවතත් මේ රට ගොඩ ගැනීම පහසු නැහැ.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරන්න කටයුතු කළ පිරිස්, ගොඩනැඟෙන රට නැවතත් දෙකඩ කිරීමේ ගමනක නියැළෙන බව බොහෝ දෙනා පවසනවා. මෙය ඇත්තක්ද?

රට විනාශ කරන්න නම් එක්සත් ජාතික පක්ෂය නමැති දැවැන්ත ව්‍යාපාරය විනාශ කළ යුතුමයි. වමේ, දකුණේ දේශපාලන පක්ෂ සියල්ල එකතු වී තමයි, 1948 පෙබරවාරි 4 නිදහස ලබාගත්තේ. නැවත එය භේද භින්න කළා. 1952 බණ්ඩාරනායකයන් වෙන්වීමත් සමඟ නැවතත් භේද භින්න වුණා. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව විදේශීය අතපෙවීම්වලට හසු වෙනවා. ලංකාව විනාශ වෙලා තියෙන්නේ මේ බේදීම නිසා. මේවායෙන් මිදී ලංකාව ගොඩ ගත යුතුයි. තමන්ගේ නිවෙස ගිනි තිබ්බ මොහොතේ පවා ජනාධිපතිතුමා ඉල්ලුවේ සියල්ලටම එකතු වී රට හදන්න එන්න කියලා. අපි වෙන්ව සිටින තාක් නොයෙකුත් විෂබීජ ඇතුළු වෙනවා. ඒ විෂබීජ අපි අතර ඇන කොටා ගන්න තත්ත්වයකට පත්වෙනවා. ඉතිහාසය පුරාවට සිදුවුණේ ඒ දේයි. දේශපාලන නායකයන් අතර ගැටීම් ඉතිහාසය පුරාවට සිදු වුණා. එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ගැටුණා. මේ ගැටුමේ වාසිය ලැබුණෙ ආසියාවේ අනිකුත් රටවලටයි. අපි ජාතික එකමුතුවකට යා යුතුයි. ජනාධිපතිවරයා පවසන පරිදි ජාතියට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවකට එකඟ වීමට තිබෙනවා. නැතිනම් අපි දේශපාලනය කිරීමේ කිසිම තේරුමක් නැහැ. මේ ජාතික ප්‍රතිපත්තිය අවුරුදු 25කට වෙනස් කළ නොහැකියි. සියල්ලම එකට එකතුවී ගමනක් යා යුතුයි. එවිට ආණ්ඩු මාරු වුණත් ලංකාව ආසියාවේ ඉහළම තැනකට ගෙන ආ හැකියි. එසේ නොකරන තාක් අපිට අනාගතයක් නැහැ.

පසුගියදා පැවැති වර්ජනය පිටුපස ප්‍රධාන දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වන බව පැහැදිලියි. ඔවුන්ගේ මේ වර්ජනයේ සැබෑ අරමුණ කුමක්ද?

මේ ක්‍රමයට වර්ජනය කරන රටවල් ලොව නැහැ. මේක මහ අවාසනාවන්ත තත්ත්වයක්. අපේ දේශපාලඥයන් පාර්ලිමේන්තුවට ඇවිත් ලංකාව සිංගප්පූරුවක් කරන හැටි කතා කරනවා. එසේ නම් සිංගප්පූරුවේ නීති පද්ධතිය මෙහාට ගෙනා යුතුයි. ලංකාව ජපානයක් කරන්න නම් ඒ නීතිය මෙහෙ ක්‍රියාත්මක විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වල්බූරු නිදහසක් නෙමෙයි. ලංකාව ආසියාවේ ඉහළ රටක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් නීතිය අකුරට ක්‍රියාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදයේ වල්බූරු නිදහස පාලනය කර රට ගොඩනැඟිය යුතුයි.

රටේ කාටත් ප්‍රශ්න. නමුත් මේ අවස්ථාවේ වර්ජනය කිරීම සුදුසුද?

සේවක අයිතීන් ගැන සවන් දෙන්නේ නැතිනම් ඒ ගැන හඬක් නැඟීම වැදගත්. නමුත් මේක එහෙම නෙමෙයි. ජනාධිපතිතුමා සමඟ කතා කරනවා. අපිත් එක්ක කතා කරනවා. පසුව තමන්ගේ සාමාජිකයන්ට කරුණු පැහැදිලි කර නොදී මෝඩකමට වර්ජනය කරනවා. මෙහෙම රටක් ගෙනියන්න බැහැ. වෘත්තීය සමිති නායකයන් පවා තම සාමාජිකත්වයට සත්‍ය තේරුම් කර දිය යුතුයි. මේ අවස්ථාවේ ඔවුන් ඉල්ලන දේ කාගෙන්ද දිය යුත්තේ. මහා භාණ්ඩාගාරය හිස්. දෙන්න වෙන්න ඔබගේ හා අපගේ සල්ලිවලින්. දෙකෝටි විසි ලක්ෂයෙන් ඇසිය යුත්තේ ඔබේ තේ කෝප්පයෙන් අර විසි ලක්ෂයට දිය හැකිද කියා. මහජනතාව සිටින්නේ නොදිය යුතු ස්ථාවරයේ. මේ අවස්ථාවේ රට බංකොලොත් නිසා දෙකෝටි විසි ලක්ෂයටම තිබෙන අයිතිය සමාන විය යුතුයි. බංකොලොත් වූ රටක වැඩවර්ජන කරන්නේ දේශීය වුවමනාවට නොව විදේශීය වුවමනාවටයි. ඇඟලුම් කම්හල් පටන් ගත් පසු විදේශීය රටවලට යට ඇඳුම් මහනවා කියලා ඊට විරුද්ධව පෙළපාළි ගියා. පස්සේ ඒවායේ රස්සාවලට ඇවිත් වෘත්තීය සමිති පිහිටුවා ගෙන එය ජාතික වස්තුවක් කියමින් වහන්න එපා කියා කෑ ගහනවා. අද පවතින ඇඟලුම් කම්හල් වෙනස් විය යුතුයි. නැව් ගුවන් යානා, වාහන අපි හැදිය යුතුයි. නව ගමනකට යායුතු කාලය එළඹිලා. අපි යමක් පටන් ගන්න විට බෝඩ් අල්ලා ගෙන කෑ ගසනවා. පස්සේ ඒවා වැලඳ ගෙන ජාතික වස්තු කියනවා. පරණ ක්‍රමයට රට ගොඩ ගන්න බැහැ. ජනාධිපතිවරයා කියන පරිදි රට ගොඩ ගන්න නම් නව ක්‍රමයකට අපි මුහුණ දිය යුතුයි . අද නව පරම්පරාවට විශ්වාසය බිඳිලා තියෙන්නේ. ගමේ ළමයට විදේශයට යන්න පාර කැපුවේ එ.ජා.ප යයි. රනිල් වික්‍රමසිංහ වැනි නායකයකුට වසර 12 ක් මේ රට පාලනය කරන්න දෙනවා නම් ඉදිරියේදි කිසිම සැකයකින් තොරව ලොව රස්සා නැති බොහෝ පිරිස් ලංකාවට ඒවි. වෙනස ඇත්තේ එතැනයි.

වර්ජනයෙන් සිදු වූ පාඩුව රටට කොයි ආකාරයෙන් බලපායිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නවා මෙන් ඩොලර් ට්‍රිලියන ගණනාවක් වැඩ වර්ජනවලින් විනාශ කර තියෙනවා. මෙ රටේ තිබුණු වටිනා සම්පත් විනාශ කළේ වැඩ වර්ජනවලින්. මේ රටේ වානේ සංස්ථාව, කැලණි ටයර් සංස්ථාව විනාශ කළේ වැඩ වර්ජනවලින්. ඒ නිසා ලංකාවේ අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය සම්පූර්ණයෙන්ම ව්‍යාපාරවලින් ඉවත් විය යුතුයි. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න ඉඩ දිය යුතුයි. ආණ්ඩුව කළ යුත්තේ ඒ කටයුතු නියාමනය කරන කොමිසම් සභා බවට පත්වීමයි.

IMF ණය සම්බන්ධයෙන් වූ මුලික එකඟතා ලබන සතියේ අවසන් වෙනවා. මේ වර්ජනය ඊට බලපාවිද?

මේ වැඩ වර්ජකයන්ට පැහැදිලි අරමුණක් තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ කඩා කප්පල් කිරිම. මේ වර්ජනයෙන් සිදුවූ අලාභය අය කර ගන්නේ කාගෙන් ද? මහජනතාවගෙන් ද? නැතිනම් ඊට සම්බන්ධ වුවන්ගෙන් ද? එය ප්‍රශ්නාර්ථයක්. ලොව බංකොලොත් වූ සමහර රටවල් අවුරුදු ගණනාවක් ගිහිනුත් ගොඩ ගන්න බැරි වුණා. අපි වාසනාවන්තයි. වසර 50 දේශපාලන පලපුරුද්දක්, ජාත්‍යන්තරය පිළිබඳ අත්දැකීම් ඇති ඉන්දියාව, චීනය, යුරෝපය, ජපානය, ඇමරිකාව එකඟ කරගත හැකි සුවිශේෂි නායකත්වයක් අපිට තිබුණා. ජාතියට තිබූ ඒ සම්පත දැන් ක්‍රියා කරනවා. 2022 මැයි 12 අගමැතිකම බාරගන්න කිසිවක් නොවූ අවස්ථාවේ අගමැතිකමත් අනතුරුව පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ එක් ආසනයක් පමණයි තිබියදි ජනාධිපතිකමත් බාර ගත්තා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිකමට ආසන 42 ක් තිබුණු විපක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පවා පරාජය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා.

ඔවුන් දැන් කියනවා රනිල්- රාජපක්ෂ ආණ්ඩුව කියලා. රනිල් - රාජපක්ෂ ආණ්ඩුව ආවෙ නැත්නම් එන්නේ සජිත් - රාජපක්ෂ ආණ්ඩුවක්. අනුර කුමාර - රාජපක්ෂ තරග කර පරාජයට පත්වුණා. කාගේ ඡන්ද ගන්න ද ඔවුන් තරග කළේ. රාජපක්ෂ ඡන්ද පමණයි ගන්න තිබුණේ. දැන් පැරදුණු අය කියනවා හොරු එක්ක එකතු වෙලා කියලා. හැමෝම උත්සාහ කළේ ඔවුන්ගේ ඡන්ද ගන්න තමයි. බැරි වූ පසු වෙන කතාවක් කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කරන විට ජනාධිපතිතුමා වගවීම පිළිබඳ නීති පද්ධතියක් පාර්ලිමේන්තුවට ගෙනෙයි. නීතිය තුළ ක්‍රියාත්මක වීමට මිස ත්‍රස්තවාදය තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නැහැ. වර්ජනයේ හානිය IMF එකෙන් ලබා ගන්නා මුදලට වඩා ඩොලර් ට්‍රිලියන ගණනක්. වැඩවර්ජන නිසා ජාතියට අහිමි වූ දේ ජනතාව දැනගත යුතුයි. ඒවා වැසී ගිය විට ආසියාවේ ඒ හා සමාන සමාගම් ඉදිරියට යනවා. මේවාට නොදැනුවත්ම අපේ වෘත්තීය සමිති නායකයන් හසුවෙනවා. ඒ නිසා නීතිය ආරක්ෂා කළ යුතුයි.

පසුගිය කාලයේ රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් බදුවලට ඇතුළත් වුණා. නමුත් මේ වන විට උපයන විට බදු ගසන්නේ රාජ්‍ය සේවයෙන් 3% ක සීමිත පිරිසකටයි. වර්ජනයට එක්වූ බහුතරයකට මෙය අදාළ නැහැ නේද....?

අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අපි වෙනදා කළ කටයුතු අද කරන්න බැහැ. ඒ නිසා සෑම දෙයක්ම යම් යම් සීමා කිරිම්වලට අපිම ලක්කළා. තම තමන්ගේ තරම අනුව සියලු දෙනා අවශ්‍යතා සීමා කර ඇති අවස්ථාවක මහජන පීඩනය වැඩි කර නැවත මහජනතාවගෙන් එක්තරා පිරිසක් සුවිශේෂ අනුග්‍රහයක් ඉල්ලනවා නම් එය දිය නොහැකියි. මහජනතාව ඒ සඳහා අනුමැතියක් දෙන්නේ නැහැ.

ඉදිරියේදී වැඩවර්ජන සඳහා නීතිය තවත් දැඩි වෙයිද?

මේ රට ගොඩනඟන්න බලාපොරොත්තු වෙනවා නම් නීතිය ඉතා වැදගත්. නීතිය අකුරට ක්‍රියාත්මක විය යුතුයි. ජනාධිපතිතුමා එ් සඳහා නායකත්වය ලබා දිය යුතුයි.

IMFණය ලබා ගැනීමේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ සිදුවන්නේ කුමනාකාරයෙන්ද?

ඉතාම කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගත්තා. 2019 වන විට පැවැති පාලන යන්ත්‍රය දේශීය ආදායමේ ස්ථාවරත්වයට මරු පහරක් වුණා. ආදායම් බදු ලිපි ගොනු ලක්ෂ 15 ක් තිබුණා. ජාතිය නඟා සිටුවීමේ බදු ලිපි ගොනු 1,22000 ක් තිබුණා. සම්පූර්ණ බදු ගොනු ලිපි ලක්ෂ 16 ක් තිබුණා. නමුත් බදු අඩු කළ පසු ආදායම් ලිපි ගොනු ලක්ෂ 4 ට බැස්සා. ජාතිය නඟා සිටුවීමේ බදු ලිපි ගොනු 9976 කට බැස්සා. මේ තත්ත්වය නිසා තමයි රට විනාශ වුණේ. මේ අවස්ථාවේ රටක් ඉදිරියට ගෙන යාමේ ගැටලුවලට මුහුණ දුන්නා. ඒ නිසා රටක් ලෙස යම් කැපවීමක් නොකළේ නම් ජනතාවගේ බදු මුදලෙන් සහය දීම් දුෂ්කර බව සියලු ණය හිමියන් ප්‍රකාශ කළා. ලංකාවේ තීරු බදු ආදායම 26.3% ක් වන නමුත් ආදායම් බදුවලින් ලැබුණේ 17.7% ක් පමණයි. මේ තත්ත්වය තුළ රජය විශාල අභියෝගයකට මුහුණ දුන්නා. දැන් IMF අරමුදලේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරන්නේ මේ කඩාකප්පල්කාරීනුයි. මේ බදු ප්‍රතිපත්තිය ස්ථාවර ප්‍රතිපත්තියක් නෙමෙයි. ජනාධිපතිවරයා සිය කතාවේදීත් ප්‍රකාශ කළේ ජනතාවගේ අමාරුකම් තමන් දන්නා බවත්, හැකි ඉක්මනින් මේ තත්ත්වය වෙනස් කර දෙන තෙක් ඉවසා සිටින ලෙසත්. එය කරන විට එක් දිනකට රුපියල් බිලියන 45 ක් පාඩු කරනවා නම් එය අය කළ යුත්තේ කාගෙන්ද? පාඩු කළ අයගෙන් අය කර ගන්නවාද? නැතිනම් එදා දවසේ වැඩ කළ අයගෙන් අඩු කර පාඩු කළ අයට ලබා දෙනවාද? මෙය තීරණය කළ යුත්තේ මහජනතාවයි. සමස්ත රටේ මහජනතාව මේ ගැන කල්පනාවෙන් සිටිය යුතුයි.

IMFණය ලබා ගැනීමෙන් පසු රජයේ ඉදිරි වැඩපිළිවෙළ කුමක් වේද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ මම දන්න නිසා කියන්නේ එතුමාට කරදර කරන්න එපා. කරුණාකර ඔහුට මේ කටයුත්ත අවුරුදු 12 ක් කරගෙන යාමට ඉඩ දෙන්න. එවිට අපේ දරුවෝ ආසියාවේ ඉහළ තැනකට යයි. ලොව රස්සා නැති අය ලංකාවට ඇවිත් රස්සා කරයි. ඉතිහාසයේ රට වැටුණු සෑම අවස්ථාවකදීම ඔහු රට ඔසවා තැබුවා. ඔහුට කරන්න ඉඩ දෙන්න. කිසිම සැකයකින් තොරව ඩොලරය රුපියල් 200 දක්වා ගෙන ඒවි.

වරක් ඔබ පවසා තියෙනවා මේ වසර අගවන විට අපිට බංකොලොත් භාවයෙන් මිදිය හැකි බව? ඒ සඳහා රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග කවරේද?

එදා තෙල් තිබුණේ නැහැ. විශාල මුදලක් දී ගෑස් ගත්තා. පුටුව කඩලා ලිප පත්තු කළා. අද මේ තත්ත්වය වෙනස්. ඒ නිසා ඉදිරිය ගැන යහපත් බලාපොරොත්තු තබා ගන්න.

පසුගිය දිනවල ඩොලරය අඩු වුණා. රුපියල ශක්තිමත් වුණා. නමුත් මෙය ඉතා තාවකාලික බව විපක්ෂය පවසනවා. ඉදිරියට මේ තත්ත්වය කෙසේ වෙයිද?

මේ වගේ අවාසානාවන්ත පිරිසක් එක්ක තමයි අපි ජීවත් වන්නේ. ඒ අය ගැන කලබල විය යුතු නැහැ. වෙනත් අයගේ අවශ්‍යතාවන් මත, හොඳ දැනුමකින් යුතුව කුහකත්වය වැපිරීමක් තමයි මේ කරන්නේ.

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කවදාද?

ඡන්ද තියලා තියලානේ අපි මේ තත්ත්වයට පත්වුණේ. මන්ත්‍රීන් 8000 කට අපි වැටුප් ගෙව්වා. ජාතියම මේ මන්ත්‍රී ප්‍රමාණය අඩු විය යුතු යැයි විස්වාස කරනවා. ජේ. ආර්. මනාප ගෙනාවේ නැහැ. මනාප ගෙනාවේ ප්‍රේමදාස. මේ නිසා ජාති, කුල ආගම් බෙදුණා. දැන් බෙදුණු ජාතියක් විනාශ වෙනවා. මේ වසංගත මනාපය ඉවත් කළ යුතුයි. ඒ නිසා මේ වසංගත මනාප ක්‍රමය ඉවත් කර රට ගොඩනඟන මැතිවරණ ව්‍යාපාරයක් ඇති විය යුතුයි. මැතිවරණයක් ජනතාව ඉල්ලන්නේ නැහැ. රස්සාවට දේශපාලනය කරන අයයි ඡන්දයක් ඉල්ලන්නේ. ජනතාව ඉල්ලන්නේ යහපත් ලංකාවක්. මේ කාලයේ දේශපාලඥයන් පත්වෙනවා නම් වැටුප් නැති දේශපාලඥයන් පත්වීම රටට හොඳක්.

වර්තමානයේ වැටුණු රට පාලනය කරන්නේ සාමාන්‍ය නායකත්වයක් නොවන බවත්, ඊට වෙනත් විකල්පයක් නැති බවත් ඔබ පවසනවා. ඔබ ජනතාවගෙන්, වෘත්තීයවේදින්ගෙන් ඉල්ලා සිටින පණිවිඩය කුමක්ද?

මම ජනතාවට වැඳලා කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවුරුදු 12 ක් රට පාලනය කරන්න ඉඩ දෙන්න. පාර්ලිමේන්තුව වහලා දැම්මත් කමක් නැහැ. එතුමා තනියම රට ගොඩනඟයි.

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments