මහින්දට සපෝට් කරන්න ගිහින් චන්ද්‍රිකාගෙන් අහගත්තු සජබ ලොක්කා | Page 5 | සිළුමිණ

මහින්දට සපෝට් කරන්න ගිහින් චන්ද්‍රිකාගෙන් අහගත්තු සජබ ලොක්කා

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රය වඩාත් උණුසුම් වෙමින් පැවතීමට එක් හේතුවක් වන්නේ 2023 අය වැය කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත් වීමයි.

ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් මේ දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන අතර ඔවුහු මැතිසබය තුළදීත් ඉන් පිටතදීත් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කතා කිරීමට අමතක නොකරති.

කිරිඇල්ල පෙරහැරකින්ම මහින්ද පිළිගනී

පාර්ලිමේන්තුවේ ආලින්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයාට පසුගිය දිනක හමු වුයේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමඟි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ය.

“මෙන්න ඔබතුමාව නුවරදී පිළිගන්න පෙරහැරකුත් සංවිධානය කරපු කිරිඇල්ල මන්ත්‍රීතුමා” යනුවෙන් කියා සිටියේ එම ස්ථානයේ සිටි මාධ්‍යවේදියෙකි.

“ඔව් ඔව් මොකද මතක නැත්තේ ශ්‍රී රෝහණ ජනරංජන ගෞරව නාමය හාමුදුරුවන්ගෙන් ලබා ගෙන නුවර ටවුන් එකට එනකොට ලක්ෂ්මන් බෙර ගහන කට්ටියයි නටන කට්ටියයි දාලා ලොකු පෙරහැරක් සංවිධානය කරලා තිබුණා” යනුවෙන් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ලක්ෂ්මන් කිරිඇල්ලගේ උරහිසකට අතක් ද තබා ගෙනය.

“ඔබතුමාට ඒක තාමත් මතක තියෙන එක ගැන ස්තූතියි. මං නුවරදී ඔබතුමාව පිළිගන්න කියලා චන්ද්‍රිකා මැඩම්ට මාත් එක්ක හොඳටම කේන්ති ගිහිල්ලා තිබුණේ" යනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ ලක්ෂ්මන් කිරිඇල්ල ය.

“මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිගන්න එපා කියලා චන්ද්‍රිකා මැඩම් නුවර හිටපු ශ්‍රී ලංකා එකේ කට්ටියට දැනුම් දීලා තිබුණේ. ඒත් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා විතරක් ලොකු පිළිගැනීමක් සංවිධානය කරලා තිබුණා” යනුවෙන් එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිහිපත් කළේය.

‍රනිල් බෞද්ධ දර්ශනයෙන් අනුරට පිළිතුරු දෙයි

තෙදින උතුරු පළාත් සංචාරය නිම කළ ජනපති රනිල් අඟහරුවාදා පාර්ලිමේන්තු පැමිණියේ අය වැය විවාදය පැවැති බැවිනි. එම පාර්ලිමේන්තු සතියේ දින තුනක් පාර්ලිමේන්තු පැමිණි ජනපතිවරයා ජනතාව අතර කතාබහට ලක්වන කතා කිහිපයක්ම කරමින් සතියේ වීරයා බවට පත් වූවේ නිතැතිනි. ජනපති පාර්ලිමේන්තු පැමිණෙන විට සභාවේ අදහස් දක්වමින් සිටියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ය.

ඔහු තමා විවේචනය කරමින් අදහස් දක්වනු පාර්ලිමේන්තු ජනපති නිල මැදිරියේ රූපවාහිනියෙන් දුටු ජනපති රනිල් ඔහු හමුවට පැමිණ සිටි පිරිසට ද ටික වේලාවක් රැඳී සිටින ලෙස කියමින් වහාම සභාව වෙත ගොස් සිය අසුනේ අසුන් ගත්තේ ඔහුගේ කතාවට ප්‍රතිචාර දැක්වීමටය.

අනුර කතාව අවසන් කළේ බුදු දහමේ සමානාත්මතාව ගැන කියමිනි. අනුර මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනපති ද බුදු දහමෙන්ම කතාව අවසන් කළේ බුද්ධ දර්ශනයේ මූලික හරය චතුරාර්ය සත්‍යය බව කියමිනි. කතාව අවසන් කරමින් පිටතට පැමිණෙන ජනපතිට ඉස්පාසුවක් නැති වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම කතාවට ප්‍රශංසා කරන්නට වීම නිසාය.

“සර් මොකක්ද ඒ කිව්වේ.” ප්‍රසන්න රණතුංග ඇම­ැතිවරයා විමසුවේ ජනපති සභාවෙන් පිටතට එද්දීය.

“සමානාත්මතාව ගැන බුදු දහමේ කියවෙන්නේ සතර සංග්‍රහ වස්තූන්වලදිනේ. හැබැයි බුදු දහමේ මූලික හරය චතුරාර්ය සත්‍යය. දුක සහ දුක නැති කිරීමේ මාර්ගය ගැනයි. ඉතින් දැන් අපටත් තියෙන්නේ ජනතාවගේ දුක නැති කරන්නයි.” ජනපති රනිල් ධර්ම කරුණු පැහැදිලි කළේ එලෙසිනි.

අය වැය විවාදයේ කාරක සභා අවස්ථාව හෙවත් අමාත්‍යාංශ වැය ශිර්ෂයන් පිළිබඳ විවාදය ආරම්භ වූවේ ඉකුත් බදාදාය. පළමු දිනය වෙන් කෙරුණේ ජනාධිපති කාර්යාලය ඇතුළු ඒ ය‍ටතේ ඇති ආයතන ගැන සාකච්ඡාවට බැවින් ජනපති රනිල් එදින ‍කාටත් පළමුව පාර්ලිමේන්තුවේ ජනපති කාර්යාලයට පැමිණියේය.

පාර්ලිමේන්තු ජනපති කාර්යාලය වෙත ඒ වන විටත් පැමිණ සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නට කාර්යාල දො‍රටුව අබියසදී මුණ ගැසුණු බැවින් ජනපති ඔහු ද කැඳවා ගෙන නිල මැදිරිය‍ට ගියේය.

ඩින් ඩියම් ගැන ජනපතිගෙන් විමසයි

පසුව ඔහු පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ගියේ වැය ශිර්ෂය ගැන කතා කරන්නටය. අරගලය ගැනත් ප්‍රචණ්ඩත්වය ගැනත් කතා කළ ජනපතිවරයා රට යළිත් ඒකාධිපතිත්වයට ගෙන නොයන බව කීවේ වියට්නාමයේ ඩීන් ඩියෑම් ගැන ද සිහිපත් කරමිනි.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු රටේම කතා බහට ලක්වූ තැනැත්තා වූවේ ඩීන් ඩියෑම් ය. ඔහු කවුදැයි විමසීමට මන්ත්‍රීවරු කිහිප දෙනකුම පාර්ලිමේන්තු නිල මැදිරිය වෙත පැමිණියෝය. ඒ අතර ඇමැති චාමර සම්පත් ද විය. ජනපති ලේකම් සමන් ඒකනායක, ජනපති පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ ද ඒ අවස්ථාවේ ජනපති අසල වූහ.

“සර් අර කවුද ඩීන් ඩියම් කියන්නේ” යැයි විමසද්දී එහි සිටි සැමට සිනහව නවත්වාගත නොහැකි වූවේ ඔහු එය විමසූ ආකාරය නිසාවෙනි.

“ඩීන් ඩියම් කියන්නේ ඒකාධිපතියෙක් නේද?” මහාචාර්ය ආශු කීවේ ජනපති රනිල්ගේ මුහුණ බලමිනි.

“දකුණු වියට්නාමයේ එදා හිටපු රජතුමා අයින් කරලා බලය ගන්න ඇමරිකා - ප්‍රංස හමුදාවල සහායත් අරගෙන බලයට ආපු කෙනෙක් ‍තමයි ඩීන් ඩියම් කියන්නේ. 1950 – 1960 කාලයේ තමයි මෙයා බලයට ආවේ. හැබැයි මෙයා එහි හිටපු කාදිනල් කෙනෙක් එක්ක එකතු වෙලා බෞද්ධයෝ විශාල සංඛ්‍යාවක් ඝාතනය කළා. විකිපීඩියා බලන්න, තව ගොඩක් තොරතුරු හොයා ගන්න පුළුවන් වෙයි.” ජනපති කියද්දී එහි සිටි මන්ත්‍රීවරු දෑස් විශාල කර ගත්හ.

ප්‍රේමදාස විකුණු ලැයිස්තුව රනිල් සභාගත කරයි

එදින දිනය පුරාම මාධ්‍යවේදීන්, විද්වතුන් ඇතුළු පිරිස සොයන්නට වූවේ ජනපති රනිල් කී ඩීන් ඩියම් කවුද කියාය. ඩීන් ඩියෑම් ගැන පසුව මාධ්‍යයේ පළ වූවේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ජනපති රනිල් එදින කතාවේදී ජනපති ප්‍රේමදාස විසින් විකුණා දැමූ ලාබ ලබන රාජ්‍ය ආයතන ගණනාවක ලැයිස්තුවක් ද සභාගත කළේය.

ඒ ගැන ජනපති නිල මැදිරියේදි විමසා සිටියේ ඇමැති සුසිල් ය. “එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාව බේර ගත්තට මෙදා ඒක අතහැරියා නේද?” ඇමැති සුසිල් විමසද්දී ජනපති කීවේ “මම හැමදාම පෙනී සිටියේ සත්‍යය වෙනුවෙන්” කියාය.

“ටෙලිකොම් ලාබ ලබන ආයතන කියලා මෙයාලා බොරු කියන්නේ. මම සභාවෙදිත් මේ ගැන කිව්වා. මෙයාලා දේශපාලන වාසි ගන්න බොරු කියනවා.” වජිර ද කතාවට එකතු විය.

මානව හිමිකම් චෝදනාවලට රනිල්ගෙන් පිළිතුරු

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට ද ජනපති රනිල් එකතු වූවේ ත්‍රිවිධ හමුදාවට එල්ල වන මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු දීමටය. ආරක්ෂක හමුදා හා පොලීසිය රාජ්‍ය ආරක්ෂා කිරීමට කටයුතු කරද්දී මානව හිමිකම් චෝදනා එල්ල කරන්නේ නම් ඉන් ගලවා ගැනීමට අවශ්‍ය නීති ගෙන එන බව ද ජනපති කීවේය.

එදින පෙරවරුවේ පාර්ලිමේන්තු සංකිර්ණයට ජනපති පැමිණි පසු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ද පැමිණියේ ඉල්ලීමක් කිරීමටය. ඒ පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට කිරි වීදුරුවක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා ගැනීමටය.ජනපති රනිල් කීවේ මේ සම්බන්ධයෙන් අරමුදල් සොයා ගැනීමට අවශ්‍ය සහාය දෙන බවයි. එහිදී ජනපති රනිල් ජනපති ලේකම් සමන් ඒකනායකට හා මහාචාර්ය ආශු මාරසිංහට කීවේ ජනපති අරමුදලෙන් අවශ්‍ය මුදල් ගැනීමට හැකියාව තිබේ දැයි සොයා බලන ලෙසටය.

ජනපතිගේ කතාවට ඉහළ ප්‍රතිචාර

මේ අවස්ථාවේ ජනපති පාර්ලිමේන්තු නිල මැදිරියට පැමිණියේ ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංගය. “සර් ඊයේ කරපු කතාව ගැන අපේ මිනිස්සු නම් සතුටින් ඉන්නේ. ජනතාව දන්නවා රට ආර්ථික වශයෙන් ගොඩ එද්දී පෙරටුගාමීන් ඒක කඩාකප්පල් කරන්න හදනවා කියලා.” ප්‍රසන්න කී විට ජනපති සිනාසී හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.

ජනපති රනිල් එදින දිනය පුරාම පාර්ලිමේන්තුවේ රැඳී සිටියේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට ඡන්දයක් ඉල්ලන බව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දැනුම් දීමත් සමඟය. ජනපති රනිල් වහාම ආණ්ඩු පක්ෂ සංවිධායක හා සභානායක කැඳවා ගත යුතු පියවර ගැන උපදෙස් දුන්නේය. ජනපති කාර්ය මණ්ඩල ප්‍රධා‍නි සාගල රත්නායක ද ඊට සහාය දැක්වීය.

සති අන්තයේ ජනපති සිටියේ වවුනියාවේ හා මන්නාරමේය. එහි සංවර්ධන කටයුතු ගැන සොයා බැලූ ජනපති රනිල් එහි ජනතාව සමඟ කතා බස් කිරීමට ද අමතක නොකළේය. “ඔබතුමන්ලාගේ මහජන නියෝජිතයෝ ඉල්ලන්නේ ඡන්ද තියන්න කියලායි. ඔබතුමන්ලාට ඕනේ ඡන්දයක්ද?” ජනපති විමසුවේ පැමිණ සිටි ජනයාගෙනි.

“නෑ. සර් අපිට ඕනේ අපේ ප්‍රදේශය සංවර්ධනය කරලා අපිට රස්සාවල් හම්බ වෙන මුදල් හම්බ වෙන වැඩසටහන්.” ජනතා ප්‍රතිචාරය එය වූහ.

ඇමැති කාංචන, ඇමැති හරීන්, ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් ඇතුළු පිරිසකට කදිම උත්සවයකට සහභාගී වීමට ඉකුත් සතියේ අවස්ථාව උදා විය. ඒ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මැරීන් බළකා සෙබළුන්ගේ 247 වැනි වාර්ෂික උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීමය. මෙරට ආරක්ෂක ප්‍රධානීන් ද ඊට එකතුවී සිටියහ. කොවිඩ්වලින් පසු මෙම උත්සවය පැවැත් වූ පළමු අවස්ථාව මෙය විය.

සාගලගෙන් අලුත් වැඩක්

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඉකුත් සතියේ අලුත් වැඩකට අත ගැසුවේය. ජනාධිපති කාර්යාලයට සතියට ලිපි විශාල සංඛ්‍යාවක් ලැබෙන අතර ඒවා බොහෝමයක අන්තර්ගතය ජනතා අවශ්‍යතාය. තාක්ෂණය යොදා ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ප්‍රමාදය මග හරවා ගැනීමට ඔහු පියවර ගත්තේය.

ඔහු ජනාධිපති කාර්යාලයේ සියලු අංශ ප්‍රධානීන් ඔහුගේ කාර්යාලයට කැඳවා දුරකතන සම්බන්ධතා 3ක් ද පසුව ගෙන්වා ගත්තේය. ලැබී තිබෙන ලිපි ගෙන්වා ඒවා අදාළ නිලධාරීන්ට ලබා දී අවශ්‍ය ආයතන වෙත යොමු කොට දුරකතන මඟින් ද එම ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමට කටයුතු කළේය. එදින පැයක කාලයක් තුළදී පමණක් ජනතා ගැටලු 35ක් විසඳා අවසන් කිරීමට කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල පියවර ගත්තේය.

ධීවරයන්ට භූමිතෙල් අවශ්‍ය පරිදි ලබා දීමට නව සැලසුමක් සකස් කිරීමට ද ඇමැති කාංචන හා සාගල එක්ව පියවර ගත්හ. ඊට නාවුක හමුදාව ද සම්බන්ධ කර ගැනීමට තීන්දු වූ අතර නාවුක හමුදාපතිවරයා ද සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීමට ඔවුහු පියවර ගත්හ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුලික වටයේ යෝජනා සියල්ල සම්පූර්ණ කිරීමට රජය පැත්තෙන් කළ යුතු දෑ කර අවසන් බව ද කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල ජනපති රනිල් දැනුම්වත් කළේය. මේ අතර 2015 යහපාලන රජය සමයේ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ඉල්ලීමකට අනුව මෙරටට හිමි වූ සමුද්‍ර ආරක්ෂක නෞකාව නාවුක හමුදාවට බාර දීමේ උත්සවය පැවැතියේ ඉකුත් සතියේ අඟහරුවාදාය.

රුවන් විජයවර්ධන ඉකුත් සතියේ සිකුරාදා ගම්පහ දිස්ත්‍රික්කයට ගියේ උත්සව කිහිපයකට සහභාගී වීමටය. එහිදී ජනතාව විමසන්නට වූවේ නැවත ගම්පහට එනවාද යන්නයි. “බලමු බලමු” කීවා විනා රුවන් වැඩි යමක් කියන්නට ගියේ නැත.

ඇමැති ප්‍රසන්නට සඳුදාට කරන්නම ඕන දේ

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. එස් සත්‍යානන්ද වැඩ බාර ගත්තේ පසුගිය සඳුදාය. ඇමැති ප්‍රසන්න රණතුංග මෙන්ම අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

“සඳුදා මගේ මහජන දිනය. මම මහජන දිනය පවත්වන්නේ අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් එක්කයි. ඒක නිසා සඳුදා උදේ 8.30 ඉඳල සවස 1.30 වෙනකම් නිලධාරීන්ට වෙන වැඩ දාන්නෙපා”

වැඩ බාර ගැනීමටත් පෙර ඇමැති ප්‍රසන්න ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

“ඇමැතිතුමා, ලේකම්තුමා දැන්ම බය කරනවනේ”නිලධාරියකු කීවේ සිනාසෙමිනි.

“මගේ වැඩ එහෙමයි. එතකොට අපිට ප්‍රශ්නයක් නැතුව සුහදව වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මම හිටියත් නැතත් සඳුදට මහජන දිනය අනිවාර්යයි.”ඇමැතිවරයා යළි කීය.

චමින්ද - ලාන්සා ගැටුමේ සුල-මුල

සමඟි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිමල් ලාංසා මන්ත්‍රිවරයාට පහර දීමට උත්සාහ දැරීම හේතුවෙන් පසුගිය බඳාදා දින පාර්ලිමේන්තු රැස්වීම උණුසුම් විය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කතා කරමින් නිමල් ලාංසා මන්ත්‍රීවරයා පැවසුවේ මැතිවරණ කල් දැමීමට රජයට කිසිම වුවමනාවක් නැති බවයි.

එයට චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා දැඩි ආවේගයෙන් යුතුව පිළිතුරු දෙමින් සිය අසුනින් නැඟිට ඉදිරියට ආවේ නිමල් ලාන්සා මන්ත්‍රීවරයාට පහර දීමටය. ඔහුට අසුන් ගන්නා ලෙස කථානායකවරයා කිහිප විටක්ම චමින්ද චිජේසිරි මන්ත්‍රීවරයාට පැවසුවද ඔහු එයට අවනත නොවී ඉදිරියට ආවේය.

“මට ඕන තැනක ඉඳගෙන මම කතා කරනවා.” චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කීය.

“චමින්ද මන්ත්‍රීතුමා මාර චණ්ඩියෙක්නේ” ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු පැවසීය.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ මෙම ආවේගශීලී හැසිරීම නිසා ඔහු සභාවෙන් පිට කිරීමට කථානායකවරයා පියවර ගත්තේය.

ප්‍රසන්න, චමින්ද සොයා ගෙන යයි

මේ අතරදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග සිය අසුනින් නැඟිට විපක්ෂයේ දොරටුව දෙසට ගියේය. එය දුටු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉදිරියට පැන ඇමැතිවරයාගේ ගමන වැළැක්වීය.

“ඔබතුමා කොහේද යන්නේ”එහිදී මන්ත්‍රීවරු ඇමැතිවරයාගෙන් විමසීය.

“මට පොඩ්ඩක් චමින්ද මන්ත්‍රීතුමා හම්බවෙන්න ඕන” ඇමැතිවරයා කීය.

“ඒ වගේ කෙනෙක් එක්ක මොන කතාද, අපි යමු ඇමැතිතුමා”එසේ කියමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඇමැති ප්‍රසන්නව නැවත ආණ්ඩු පක්ෂය දෙසට කැඳවාගෙන ආහ.

මහින්දගේ ඩොලර් බිලියනය ගැන රනිල් කිව්වේ මොනවාද?

“ඩුබායි බැංකුවේ රාජපක්ෂලාගේ මුදල් ගැන සාක්කි නැහැ” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ය.

රාජපක්ෂවරුන් ඩුබායි රාජ්‍යයේ තැන්පත් කළ බව කියන ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් සෙවීමට කණ්ඩායමක් එම රටට පිටත් කළද ඒ පිළිබඳ සාක්ෂි නැතැයි එම කණාඩායම තමන්ට පැවසූ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඩුබායි රාජ්‍යයේ බැංකුවක ඇමෙරිකානු ඩොලර් බිලියනක මුදලක් තැන්පත් කර ඇති බව කියන පුවත සත්‍යයක් දැයි සෙවීමට ජේ. සී. වැලිඅමුණ, දිල්රුක්ෂි ඩයස්, රවී විද්‍යාලංකාර යන අය ඇතුළු පිරිසක් ඩුබායිවලට යැවූ බවත් එහිදී හෙළි වූයේ කුමක්ද? යන්න කියාත් අනුර කුමාර දිසානායක විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් විමසන ලදී.

“අපේ යහපාලන ආණ්ඩුව සමයේ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඩුබායිවලට ගිහින් ඒ ගැන සොයා බලා ආපහු ලංකාවට ආවා. ඒ අය කිව්වේ ඒ ගැන සාක්ෂි නෑ කියලා. ඉතින් ඊට වඩා මට දෙයක් කරන්න නැහැ” යනුවෙන් ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

තිලංගගේ පත් කිරීමට මෛත්‍රීට විරෝධයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තිලංග සුමතිපාල පත්කර ඇතැයි ඉකුත් සතියේ පුවත්පත් වාර්තා කර තිබිණි.

මෙම පුවත් වාර්තාව දුටු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂ වික්ෂිප්තව තිබිණි. මෙතෙක් කාලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීන්දු තීරණ ගැනීමේදී සන්ධානය නියෝජනය කරන පක්ෂවලින් සැදුම් ලත් විධායක සභාව විමසීමේ සම්ප්‍රදාය කඩ කර තිබීම ඊට හේතු විය. මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයෝ යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූහ.

අය වැය විවාදය පාර්ලිමේන්තුවේ පැවැත් වෙන අතරතුර මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මහ ලේකම් ඩග්ලස් දේවානන්ද, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ. එල්. එම්. අතාවුල්ලා, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් පී. කලන්සූරිය පාර්ලිමේන්තුවේදී රැස්වූයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

" මේ විදියට සාකච්ඡාවකින් තොරව එන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයට සදාචාරාත්මක අයිතියක් නැහැ" නිතීඥ තිස්ස යාපා කීය.

" මේ තීරණය මාධ්‍යයට නිකුත් කරන්න කලින් එක පක්ෂයක් හරි දැනගෙන හිටියද?" කලංසූරිය විමසීය. සෙසු පක්ෂ නායකයන් සඳහන් කළේ එවැන්නක් තමන් දැන නොසිටි බවයි. මේ අතරතුර මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න මේ සාකච්ඡාව පැවති ස්ථානයට විටින් විට පැමිණ යනු ද දක්නට ලැබිණි. 

අවසානයේ සියලු දෙනාම එකඟතාවකට පැමිණියහ‍. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම්වරයා ලෙස ප්‍රකාශයට පත් කෙරුණු තිලංග සුමතිපාල සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස හවුල්කාර පක්ෂ විසින් පිළිනොගන්නා බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරුණේ ඒ අනුවයි.

ජනපතිගේ කතාවට සජබ කියන්නේ මොනවාද?

මේ දිනවල ජනාධිපතිවරයා විසින් කරනු ලබන ඇතැම් ප්‍රකාශ පිළිබඳ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය.

"ජනාධිපති කතා කරන්නේ මේක ඒකාධිපති රටක් කියලා හිතාගෙන. ආයෙ අරගලයක් කරන්න ආවොත් හමුදාව, පොලිසිය දානවා කියලා එයා කරන තර්ජනය සුළුපටු නැහැ"ගයන්ත කීවේය.

" එතුමගෙන් ඔය ඇහෙන්නේ රාජපක්ෂලාගේ වොයිස් එක. අනික ඒක මට ජනතා පරමාධිපත්‍ය ගැන හැඟීමක් නැහැ. මොකද එතුමා පත් වුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්" චමින්ද විජේසිරි කීවේය.

"එතුමා හිට්ලර් කියලා එතුමම කියනවා. හැබැයි ඇත්ත කතාව කීවේ දුමීන්ද නාගමුව"බුද්ධික කීවේය.

"ඒ මොකක්ද ?"එහෙම ඇසුවේ හේෂා ය.

"එතුමා හිට්ලර් නෙවේ එතුමා චාලි චැප්ලින්ලු" බුද්ධික සිනාසෙමින් කීය.

පාර්ලිමේන්තුවේ වැදගත්කම ගැන අජිත් රාජපක්ෂගෙන් දේශනයක්

“පසුගිය ජූලි 13 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විනාශ කළා නම් අය වැය විවාදය පවත්වන්න වෙන්නේ කුඩාරම්වල තමයි” යනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟය.

“නියෝජ්‍ය කථානායකතුමා අය වැය විවාදයේදී පාර්ලිමේන්තුව රැක ගැනීමේ වැදගත්කම ගැන දේශනයක් වශයෙන් කරුණු ඉදිරිපත් කරපු එක හරිම වැදගත්” යනුවෙන් පැවසුවේ සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයාය.

ජනපතිගේ කතාව වජිර සංඝරත්නය වෙත ගෙන යයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් පරිවෙණාධිපති මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර නාහිමියන් අතර විශේෂ හමුවක් පසුගිය සෙනසුරාදා සවස පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී සිදු විණි. නාහිමියන්ගේ සුව දුක් විමසා බැලීමෙන් අනතුරුව රටේ පවතින වත්මන් තත්ත්වය සහ වැටුණු රට ගොඩ ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති පියවර පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා ආචාර්ය පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් ද වැඩම කොට සිටියහ.

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අය වැය ගැන මෙන්ම, ජාතික ප්‍රතිපත්තියක් තුළින් සියලු දෙනාම එකට එකතු වී රට ඉදිරියට ගෙන යෑමේ වැදගත්කම ද මෙහිදී වජිර උන්වහන්සේ හමුවේ පැහැදිලි කළේය.

“අපි සියලුදෙනාම එකට එකතු වී ක්‍රියා කළොත් මේ අර්බුදයෙන් රට ගොඩගැනීමට හැකි වේවී. ඒ නිසා රටේ සිටින සමස්ත මහජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා, කලබල නොවී ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්න කියලා” යැයි කඹුරුගමුවේ වජිර නාහිමියෝ එහිදී ප්‍රකාශ කළහ.

Comments