ආසියානු කුසලානයේදී විස්කම් පෑ අපේ ප්‍රවේගකාරී පිතිකාරිනිය මෙන්න... | Page 3 | සිළුමිණ

ආසියානු කුසලානයේදී විස්කම් පෑ අපේ ප්‍රවේගකාරී පිතිකාරිනිය මෙන්න...

- වැටුණු හැම මොහොතකම මම නැගිට්ටා. දැන් මගේ එකම බලාපොරොත්තුව ලකුණු අතරේ ඉන්න ක්‍රීඩිකාවක් වීමයි. ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබීම මට ලොකු අවස්ථාවක්
- ශෂිකලා සිරිවර්ධන හා චමරි අතපත්තු කියන්නේ බ්‍රෑන්ඩ් නේම්. ක්‍රීඩා ලෝලීන් මාව එතරම්ම දන්නේ නැහැ. ඒ වාසනාව උදාකර ගන්න මම උත්සාහ කරනවා
- මම ඉස්සර හඳහන ගොඩක් විශ්වාස කරපු කෙනෙක්. ජාතික කණ්ඩායමට එකතු වෙන්න බැරි වුණු කාලේ නිතරම හඳහන බැලුවා. හැබැයි දැන් මම දුවන්නේ කැපවීම එක්කයි
- තරගයකට සහභාගි වෙන්න කලින් බෙල්ලන්විල පන්සලට යන එක පුරුද්දක්
- තාත්තයි අම්මයි අපිට ඕන විදිහට ජීවිතේ ගෙවන්න උදවු කළා. කෙල්ලෙක් වුණාට මට ක්‍රිකට් ගහන්න එපා කියලා කවදාවත් නීති දැම්මේ නැහැ. පුළුවන් දේ කරන්න ඉඩ දුන්නා

පිරිමි ළමුන් නැති නි‍ෙවසක ගැහැනු දරුවන් බොහෝ විට හැසිරෙන්නේ පිරිමි ළමුන් සේය. එහෙත් නිවෙසේ වැඩිමල් සහෝදරයෙක් සිටියදී පවා කුඩා කල සිට පිරිමි දරුවකු සේ හැසිරුණු ඇය අද විදෙස් රටවලට ගොස් පිත්තෙන් හපන්කම් පාන්නීය. සුන්දර සිනහවකින් නිතර මුව සරසාගෙන සිටින ඇය නමින් හර්ෂිතා මාධවී සමරවික්‍රම ය. 

වර්ෂ 1998 ජුනි මස 29 වැනිදා කොළඹදී ජයන්ත සමරවික්‍රම සහ චන්ද්‍රානි ගුණවර්ධන යුවළගේ දෙවැනි දරුවා ලෙස උපත ලබන හර්ෂිකා මාධවී සමරවික්‍රම, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වන්නේ 2016 වසරේ මාර්තු මස 20 වැනිදාය. ඒ, පිත්තෙන් හා පන්දුවෙන් හපන්කම් පාන්නටය.

“මම මුලින්ම ජාතික කණ්ඩායමට එකතු වෙලා එක් දින තරගයකට සම්බන්ධ වුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමත් එක්ක. ක්‍රිකට් සෙල්ලම් කරන්න හිතුවට කවදාවත් ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරන්න ඕනේ කියන ආසාව තිබ්බේ නැහැ. ඒ ආසාව එන්නේ 2013 අවුරුද්දේ මම රූපවාහිනියෙන් ලෝක කුසලාන තරගය බලද්දි ලංකාව ඉන්දියාව එක්ක සුපර් සික්ස් වටයට තේරුණා. එදා තමයි මම හිතුවේ කවදා හරි මමත් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා කියලා. මම ඒ හීනේ පස්සේ දිව්වා. ලොකු කැපවීමකුත් කළා. අවසානයේ ඒ කැපවීමේ ප්‍රතිඵලය මට ලැබුණා. ඒ සිතුවිල්ල ඇති වෙලා අවුරුදු තුනකට පස්සේ මම ජාතික කණ්ඩායමට තේරුණා. ඒක මගේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම කියන්න ඕන මම ඉස්සර හඳහන ගොඩක් විශ්වාස කරපු කෙනෙක්. නිතරම හඳහන බලනවා. මට ජාතික කණ්ඩායමට එකතු වෙන්න බැරි වුණු කාලයක් තිබ්බා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතලා හඳහන බලලා තියෙනවා. ඊට පස්සේ මම හිතුවා ආයේ ජීවිතේට ඕවා පස්සේ යන්නේ නැහැ, මගේ මහන්සියෙන් විතරක් මේ ගමන යනවා කියලා. දැන් මම දුවන්නේ මගේ කැපවීම එක්කයි. කැපවීම හා මහන්සිය නැත්නම් මේ ගමන යන්න බැහැ කියලා මම තේරුම් ගත්තා. වෙනදාට වඩා ඒ ගැන හිතලා වැඩ කරනවා. ඒ නිසා වෙන්න ඇති ආසියානු කුසලාන තරගයට යන්න බැරිවෙයි කියලා හිතපු මට ඒ අවස්ථාව ලැබුණේ.”

හර්ෂිතා එසේ පවසන්නීය. ඇය වරක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව ලෙස ද කටයුතු කළාය. එමෙන්ම ලෝක කුසලාන තරගාවලි දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය ළාබාලම ක්‍රීඩිකාව වීමට ද ඇයට හැකි විය. හඳහන බලන පුරුද්ද පසෙක දැමුවත් සම්බන්ධ වීමට නියමිත තරගයකට ප්‍රථම හර්ෂිතා යන්නේ බෙල්ලන්විල පන්සලටය. ආගමට දහමට ලැදි ඇය ක්‍රිකට් තෝරා ගන්නේ අනාගතය ගැන නොසිතාය. ඇයට ක්‍රීඩිකාවක වන්නට අවශ්‍යම වුයේ ද නැත. ඇයට අවශ්‍ය වූයේ හොඳින් ඉගෙන ගෙන කුමක් හෝ රැකියාවක නිරත වීමය. කොළඹ සංඝමිත්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන හර්ෂිතා ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වන්නීය. පසුව ගෝතමී බාලිකාවට ඇතුළත් වූ හර්ෂිතා, එම විද්‍යාලයෙන් අනුලා විද්‍යාලයට ගියේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණ නිසා බව ද හර්ෂිකා පැවසුවාය.

“මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ මට අවුරුදු 11ක් විතර වයසෙදි. එතකොට නම් හිතුවේ නැහැ කොහොමහරි ජාතික කණ්ඩායමට එකතු වෙන්න ඕන කියලා. මගේ පළමු පුහුණුකරු ලලංග රාජපක්ෂ සර්. සර් තමයි මගේ හැකියාව හඳුනා ගෙන මට ඉස්සරහට යන්න හයියක් වුණේ. ඊට අමතරව මට උදවු කළ හැම පුහුණුකරුවෙක්ම මේ වෙලාවෙදි ගෞරවයෙන් මතක් කරනවා. විශේෂයෙන්ම ශෂිකලා සිරිවර්ධන හා ඇයගේ සැමියා නාමල් සෙනෙවිරත්න සර්. මම මානසික පීඩනයෙන් හිටපු කාලයක් තිබුණා. ජාතික කණ්ඩායමෙන් පිට හිටපු කාලේ මම මානසිකව ගොඩක් පහළට වැටුණා. ආයෙමත් මම ගොඩ යන්නේ කොහොමද? ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න මොනවද කරන්න ඕන? ඒ දේවල් අවබෝධ කර දෙමින් යථා තත්ත්වයට පත් වෙන්න නාමල් සර් මට ගොඩක් උදවු කළා. ඒක මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ.” 

එලෙස සිය අතීතය ආවර්ජනය කළ හර්ෂිතාගේ ප්‍රියතම ක්‍රීඩිකාව ජාතික කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ය. කුමාර් සංගක්කාර ඇයගේ ප්‍රියතම ක්‍රීඩකයා වෙන අතර, මිතාලි රාජ් ද තමා වැඩිපුර ප්‍රිය කරන ක්‍රීඩිකාවක් බව හර්ෂිකා පැවසුවාය.

හර්ෂිතා මාධවී සමරවික්‍රම යනු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සන්නාමයක් ද යන්න අපි විමසුවෙමු. “බ්‍රෑන්ඩ් එකක් වෙන්න නම් තව කැපී පෙනෙන්න ඕන. ශෂිකලා සිරිවර්ධන හා චමරි අතපත්තු කියන්නේ බ්‍රෑන්ඩ් නේම්. නමුත් මාව ක්‍රීඩා ලෝලීන් එතරම්ම දන්නේ නැහැ. ඒ වාසනාව උදාකර ගන්න මම උත්සාහ කරනවා..” ඇය පිළිතුරු දුන්නේ නිහතමානීවය.

වැඩිමල් සහෝදරයෙක් සිටියදීත් පිරිමි දරුවකු සේ හැසිරුණු කතාව ඇත්තක් දැයි විමසද්දී හර්ෂිතා ඊට පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. “මගේ අයියා ළහිරු සමරවික්‍රම. එයා මුල්‍ය ආයතනයක සේවය කරන්නේ. පුංචි කාලේ ඉඳලා ගෙදර දඟ මමලු. අයියා එක්ක තමයි මම ඉස්සර හැමදාම ක්‍රිකට් ගැහුවේ. ඉස්කෝලේ යද්දී බැඩ්මින්ටන් ගැහුවා. දෙකම එකට කරන්න බැරි නිසා බැඩ්මින්ටන් ගහන එක නතර කරලා ක්‍රිකට් ගහන්න ගත්තා. දැන් අයියා විවාහකයි. අයියගේ බිරිය තිලිණි. දැන් ඉස්සර වගේ අයියා එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන්න බැරි වුණත් අයියා මට ගොඩක් උදවු කරලා තියෙනවා. එයා මට ආදරෙයි. මේ වෙලාවේ මගේ අම්මා සහ තාත්තාවත් මතක් කරන්න ඕනේ. ඔවුන් දෙදෙනාම සේවය කරන්නේ පොලිසියේ. ඔවුන් කවදාවත් මටයි අයියටයි නීති දාලා නැහැ. අපේ ජීවිතේ අපිට ඕන විදිහට ගෙවන්න උදවු කළා. මම කෙල්ලෙක් වුණත් ක්‍රිකට් ගහන්න එපා කියලා නීති දැම්මේ නැහැ. පුළුවන් දේ කරන්න කිව්වා. වැරදි මඟ නොයා හරි මඟ යන්න තමන් දැනගෙන ඉන්න ඕනේ කියලයි ඔවුන් හැමදාම අයියටයි මටයි කිවුවේ.”

හර්ෂිතා චමරි අතපත්තුගෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සිටින ප්‍රවේගකාරීම ආරම්භක පිතිකාරිනියයි. තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරණය ඇගේ අනාගතය මොනවට කියා පායි. පසුගියදා අවසන් වුණු කාන්තා ක්‍රිකට් ආසියානු කුසලාන තරගාවලියේදී දෙවැනි වැඩිම ලකුණු ලාභිනිය වූ හර්ෂිතා ශ්‍රී ලංකා පිලේ ඉහළම ලකුණුලාභිනිය ද වූවාය.

ප්‍රතික්ෂේප වීම හොඳම උත්ප්‍රේරණය සහ දිරිගැන්වීම යන ප්‍රකට අදහසට අනුව හර්ෂිතා සමරවික්‍රම ද ප්‍රතික්ෂේප වීම් නිසාම හිතට හයිය ගත් යුවතියකි. උප නායිකාව ලෙස කටයුතු කරමින් සිටියදී ඇය එයින් ඉවත් කර ඒ තනතුර වෙනත් ක්‍රීඩිකාවකට දුන් අවස්ථාවේදී තමා ඒ බර හිසින් නිදහස් කර ගත්තේ සතුටින් බව හර්ෂිතා කීවාය. 

“උප නායිකා තනතුර මගෙන් අයින් කරලා දුන්නේ ජ්‍යේෂ්ඨ කෙනෙකුට. මම ඒක දකින්නේ හොඳ දෙයක් හැටියටයි. මගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක බලපාන්නේ මට වඩා සමස්තයක් විදිහට කණ්ඩායමටයි. ඒක නොවිය යුතුයි. ඒ නිසා කවදාවත් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. වැටුණු හැම මොහොතකම මම නැගිට්ටා. දැන් මගේ එකම බලාපොරොත්තුව ලකුණු අතරේ ඉන්න ක්‍රීඩිකාවක් වීමයි. ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබීම මට ලොකු අවස්ථාවක්.”

ජාතික කණ්ඩායමෙන් පිටත සිටි ඇයට යළි ඒ අවස්ථාව ලැබෙන්නේ ආසියාතික තරගාවලි නියෝජනය කිරීම සඳහායි. එහිදී ඇය ලංකාවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව වූවාය.

“ආසියානු කුසලානයේ අවසන් මහා තරගය නියෝජනය කරන්න ලැබීම මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන සිදුවීමක්. මම හරිම ආසාවෙන් ක්‍රීඩා කළා. පිටියේ ඇතුළේ කොතරම් පීඩනය තිබ්බත් ඒවා එළියට නොදා ප්‍රතිවාදී ඉන්දියානු කණ්ඩායමට හොඳ තරගයක් දුන්නා. මට නම් අනුශූරතාව ලබා ගැනීමත් ප්‍රමාණවත්. නමුත් කුසලානය ගන්න තිබුණා නම් ඊටත් වඩා සතුටු වෙන්න තිබුණා.”

හර්ෂිතා කතාව අවසන් කරමින් කීවාය. පන්දු වාර විස්සයි විස්ස තරග විස්සක් හා එක්දින තරග 21ක් ක්‍රීඩා කර ඇති ඇයට ඊට වඩා තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට වාසනාව උදාවේවා යැයි අපි ද සුබ පතමු.

Comments