පන්දුවෙන් විස්කම් පාන ක්‍රිකට් පිටියේ අලුත්ම පෙරළිකාරයා | සිළුමිණ

පන්දුවෙන් විස්කම් පාන ක්‍රිකට් පිටියේ අලුත්ම පෙරළිකාරයා

- මම සති දෙකෙන් සිංහල කතා කරන්න ඉගෙන ගත්තා. දැන් නම් මට කියන දේ තේරෙ­නවා. කතා කර­න්නත් පුළු­වන්
- මුලින්ම මම බය වුණා සිංහල කතා කර­න්න­වත් බැරුව සිංහල ක්‍රීඩ­කයෝ, සිංහල මිනිස්සු ගොඩක් ඉන්න ඒ සමා­ජ­යට මට යන්න පුළු­වන්ද කියලා
- වාහන, ගෙවල් ගන්න කලින් මම අම්මා තාත්තා ගැන බලන්න ඕන. ඒ නිසා මම ඒ සල්ලි මගේ අම්මට දුන්නා. තවම මට බස් එකේ යන්න එන්න පුළු­වන්
- තව දෙයක් කිය­න්නම ඕනේ, මම නොකා නොබී ක්‍රිකට් ගැහුවේ. ඒ කන්න බොන්න නැති නිසා නෙමෙයි, ක්‍රිකට් ගහන්න තිබුණු ආසා­ව­ටයි. මම ඒ වෙනු­වෙන් ලොකු කැප­වී­මක් කළා. උදෙන්ම මම ප්‍රැක්ටිස් ගියා. උඩට යන්න ඕනේ නම් නිකන් ඉඳලා බැහැ කියලා තේරුම් ගත්තේ එල්.පී.එල් ගහන්න ලැබු­ණට පස්සෙයි.
- මම මුල අම­තක කරන කෙනෙක් නෙවෙයි. යාප­න­යට හිර වෙලා හිටපු මම දඹු­ල්ලට ගෙනත් අන්තර් පළාත් තර­ග­ව­ලට ක්‍රීඩා කරන්න අව­ස්ථාව ලැබුණෙ රන්ජන් පර­ණ­වි­තාන සර් නිසයි

විජයකාන්ත් වියස්කාන්, මේ නම මේ දිනවල වැඩි වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන නමකි. යාපනය වැනි අති දුෂ්කර පළාතකින් ආ ඔහු ක්‍රිකට් පිත්තට වඩා විකට්ටුවට තට්ටු කරන්නට මාන බලන අතිදක්ෂ පන්දු යවන්නෙකි. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියෝජනය කළ ඔහු පිතිකරුවන්ට අභියෝගයක් වූ වග අමුතුවෙන් කිව යුතු නැත. කෙසඟ සිරුරක් තිබුණද මේ තරුණයාගේ ගතේ හයිය මෙන්ම සිතේ හයිය ද අඩුවක් නැත. කර්කෂක පොළොව සමඟ ඔට්ටු වෙන මේ කොල්ලාට පිටියේ උණුසුම ද නොදැනෙනා බවකි. පසුගිය දිනවල එල්. පී.එල් තරග නැරඹූ ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනකු පැවසුවේ ශ්‍රී ලංකා පිලට තවත් වනිඳු හසරංග කෙනකු බිහි වුවා කියාය.

එසේ කතාබහට ලක්වූ ඔහු උපත ලැබුවේ 2001 වසරේ දෙසැම්බර් මස 05 වැනිදා යාපනයේදීය. ඔහුට උපත දුන්නේ වෘත්තියෙන් හෙදියක වූ වල්ලි නායගී හා කාර්මිකයකු වූ විජයකාන්ත් ය. තමා උපත දුන් දරුවා පිරිමි දරුවකු බව දැනගත් පියා වැඩියෙන් සතුටු වූයේ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු කිරීමට පුළුවන යැයි හීන දකිමින්ය. එනිසාම බහ තෝරන්නටත් මත්තෙන් ඔහුගේ අතට මවුපියෝ පිත්ත හා පන්දුව හුරු කළහ.

“මම ක්‍රිකට් ගහන්නේ මගේ තාත්තා නිසා. මේ එයාගේ හීනයක්. මම ඉගෙන ගත්තේ යාපනය සෙන්ට්‍රල් විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කළා. තාත්තා මාව ක්‍රිකට් ගහන්න යොමු කළේ මම හය වසර ඉන්නකොට. 13න් පහළ පාසල් කණ්ඩායමටයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඊට පස්සේ දිගටම පාසල් කණ්ඩායම්වලට සෙල්ලම් කළා. තාත්තා ක්‍රිකට් ගහන්න දැම්මෙම පුතා ඔයා කවදා හරි මුරලි වගේ නැෂනල් කණ්ඩායමට ගහන්න ඕන කියලයි. මොකද මුරලි වගේ ම මමත් දමිළ. මුලින්ම මම බය වුණා සිංහල කතා කරන්නවත් බැරුව සිංහල ජනතාව ගොඩක් ඉන්න ඒ සමාජයට මට යන්න පුළුවන්ද කියලා...”

කැඩිච්ච සිංහලෙන් වචන හසුරුවමින් විජයකාන්ත් කීවේය. දැන් නම් යම්තාක් දුරට ඔහුට සිංහල භාෂාව කතා කළ හැකිය. එහෙත් වචන අහුලමින්ය. ඒ ගැන ඔහු කතා කළේ ආඩම්බරයෙනි.

“ක්‍රිකට් ගහන්න නෙමෙයි ඇත්තටම මම බය වුණේ මම දමිළ නිසා සිංහල ජනතාව මාව කොහොම පිළිගනියිද කියලයි. කැපිලි කෙටිලි එයිද කියන දේ ගැන වගේම සිංහල ජනතාව වගේම ක්‍රීඩකයන් එක්ක කොහොමද මම කතා කරන්නේ කියලයි. මුලින් කෝච් කියන දේ මට තේරෙන්නේ නැහැ, මම කියන දේ කෝච්ට තේරෙන්නේ නැහැ. ක්‍රීඩකයන් වුණත් මට මුලින්ම උදවු කළේ නැහැ. ඒකට හේතුව මම දමිළ නිසා නෙමෙයි, මට එයාලා එක්ක කතා කරන්න බැරි නිසයි. පස්සේ මම හිතුවා මේ ගමන යන්න නම් මම සිංහල කතා කරන්න ඕනේ කියලා. 19න් පහළ ක්‍රිකට් ගහන්න පටන් ගත්තම යාළුවෙක් මට සිංහල කතා කරන්න ඉගැන්නුවා. සාමාන්‍ය විදිහට සිංහල කතා කරන්න මට සති දෙකක් ඉගෙන ගන්න වුණා. දැන් නම් මට කියන දේ තේරෙනවා. කතා කරන්නත් පුළුවන්. ඒ ගැන හරිම සතුටුයි. හැමෝම උදවු කරනවා. ඉතින් මුරලිට වගේ අපේ ජනතාව මටත් ආදරේ කරයි. දැනටත් ෆේස්බුක් එකෙන් මට ගොඩක් ප්‍රතිචාර දක්වනවා…”

ඔහු කීවේ සතුටිනි. මුලින් ඔහු යාපනයට පමණක් සීමා වී සිටියේය. අන්තර් පළාත් තෝරා ගැනීම් සිදු කරන විට එහි තේරීම් කමිටුවේ සිටි පිරිසගෙන් කෙනකු වූයේ රංජන් පරණවිතාන ය. ඔහුගේ ඒ තේරීම කදිම තේරීමක් බව අද විජයකාන්ත් ගේ දක්ෂතා දකිද්දී පෙනී යයි.

ඇතැම් අය ඉහළට යන්න යන්න මුල අමතක කරනවා, ඔබටත් මේ වෙද්දී මුල අමතක වෙලාද? මගේ ඒ ප්‍රශ්නයට විජයකාන්ත් දුන්නේ අපූරු පිළිතුරකි.

“කොහෙත්ම නැහැ, මම මුල අමතක කරන කෙනෙක් නෙවෙයි. යාපනයට හිර වෙලා හිටපු මම දඹුල්ලට ගෙනත් අන්තර් පළාත් තරගවලට ක්‍රීඩා කරන්න අවස්ථාව නොදුන්න නම් අද මාව එල්.පී. එල්වල දකින්න ලැබෙන එකක් නැහැ. රන්ජන් පරණවිතාන සර් තමයි මාව තෝරාගෙන තියෙන්නේ. ඒක මම දැනගත්තේ පස්සෙයි. එතුමා තමයි දඹුල්ල තේරිම් කමිටුවේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා එතුමාට ස්තූතියි කියනවා මගේ හැකියාව හඳුනා ගත්තාට. ඊට පස්සේ මට එල්.පී.එල් තුන් පාරක් සෙල්ලම් කරන්න පුළුවන් වුණා. දැන් මම ටැමිල් යුනියන් ක්ලබ් එකට ගහනවා. ඒ හැම අවස්ථාවක්ම මට ලැබුණේ රන්ජන් සර් එදා මාව තෝරා ගත්ත නිසයි. මම මුලින්ම ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට සෙල්ලම් කරද්දී තිසර හා වනිඳුගෙන් එහෙම උදවු තිබ්බේ නැති වුණත් දැන් මට එයාලා හරි ආදරෙයි. ගොඩක් උදවු කරනවා . ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරපු එක වටිනවා. ඒ නිසා මට මුල මතකයි. මම තවම පාරේ බස් එකේ ප්‍රැක්ටිස් යන්නේ එන්නේ. මගේ ආච්චි අම්මා ඉන්නේ කොච්චිකඩේ. එහේ ඉඳලා තමයි මම මැච්වලට, ප්‍රැක්ටිස්වලට යන්නේ. තවම මට වාහනයක් නැහැ. මම ආඩම්බර වුණා නම් මාව වෙනස් විදිහට දකින්න පුළුවන්. මම ඒකට කැමති නැහැ.”

ඔහුගේ වදන් තුළ වූයේ නිරහංකාර බවකි. කතාව මඳකට නතර කළ විජයකාන්ත් අමතක වූ දෙයක් සිහි කරමින් යළිත් හඬ අවදි කළේය.

“තව දෙයක් කියන්නම ඕනේ, මම නොකා නොබී ක්‍රිකට් ගැහුවේ. ඒ කන්න බොන්න නැති නිසා නෙමෙයි, ක්‍රිකට් ගහන්න තිබ්බ ආසාවටයි. මම ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. උදෙන්ම මම ප්‍රැක්ටිස් ගියා. උඩට යන්න ඕනේ නම් නිකන් ඉඳලා බැහැ කියලා තේරුම් ගත්තේ එල්.පී.එල් ගහන්න ලැබුණට පස්සෙයි. ඉස්කෝලේ ක්‍රිකට් ගහද්දි වෙස්ලි විද්‍යාලයේ සහ ශාන්ත ජෝන් විද්‍යාලවල ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ කැපවීම දැක්කා. මාත් ඒක හදාගත්තා. මම ආසම ක්‍රිකට් ක්‍රීඩකයා, කුමාර් සංගක්කාර. ඒ වගේම දෝනි. සංගක්කාරව නම් මට හමුවෙලා තියෙනවා. දෝනිව හමුවෙන්නත් ආසයි. ඒ වගේම මගේ ලොකුම හීනේ ඉක්මනින්ම ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන එකයි. ඒකට අවශ්‍ය සුදුසුකම මම හදාගන්න ඕනේ…” 

ජාතිය, භාෂාව පමණක් නොව ක්‍රිකට් පිටියේ හතර කොණ ද අභියෝගයක් කර ගත් විජයකාන්ත් ඒ අභියෝග සියල්ල අභියෝග සේ නොතකා ඔහුගේ ගමන එළිපෙහෙළි කරගෙන අවසන්ය.

බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ තරග කිහිපයක් ක්‍රීඩා කර ලැබෙන මුදලින් වාහන, ඉඩම්, ගෙවල් මිලදී ගනිති. මේ වන විට එල්.පී.එල් තරග තුනකට ක්‍රීඩා කර තිබෙන විජයකාන්ත් එංගලන්තයේ ප්‍රාන්ත තරග සඳහා ද සම්බන්ධ වී ඇත. ඒවායින් ලැබුණු මුදල්වලට කුමක් කළා දැයි අසද්දී ඔහු දුන්නේ ඉතා අව්‍යාජ පිළිතුරකි.

“මගේ අම්මා නර්ස් කෙනෙක්. එයා මගේ තාත්තාට ගරාජ් එකක් දාලා දෙන්න ලෝන් එකක් ගත්තා. මට වාහන, ගෙවල් ගන්න කලින් මගේ අම්මා තාත්තා ගැන බලන්න ඕන. ඒ නිසා මම ඒ සල්ලි මගේ අම්මට දුන්නා. ලොකු මුදලක් ලැබුණේ නැහැ . ලැබිච්ච සල්ලි දුන්නා, ඒ ලෝන් එකට ගෙවන්න. තවම මට බස් එකේ යන්න එන්න පුළුවන්. මේ කතාව එක්කම යාපනේ ඉන්න මගේ යාළුවෝ සියලු දෙනාවම මතක් කරන්න ඕනේ. මාව එයාලගේ බයික්වලින් ප්‍රැක්ටිස් ගිහින් දැම්මේ. ඒ වගේම පුහුණුකරු සමන් ජයන්ත සර් ඇතුළු හැම පුහුණුකරුවකුම ගෞරවයෙන් සිහිපත් කරනවා.”

විජයකාන්ත්ට විශ්මි නමින් කුඩා නැඟණියක ද සිටී. කෙදිනක හෝ වනිඳුගේ හිඩැස පුරවන්නට ඔහුට හැකි වේද?, ඔහුගේ දක්ෂතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වේවිද? යන්න ප්‍රශ්නාර්ථයකී,

“වනිඳු ළඟින්වත් මට ඉන්න බැහැ, එයා මාර දක්ෂයිනේ. එල්.පී. එල් සෙල්ලම් කරපු නිසා ගොඩක් අය එහෙම කියනවා. ඇත්තම කිව්වොත් එයා හිටපු නැති නිසා තමයි මට මේ පාර මැච් අටක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ. කලින් මැච් දෙකයි සෙල්ලම් කළේ. එයා ගොඩක් දක්ෂයි. එයාගේ තැන දැන්ම මට ගන්න බැහැ. ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඒ වගේම එයා දන්නවා අනිත් ක්‍රීඩකයන්ගේ පැට්න් එක. මමත් එයාව ස්ටඩි කළා. එයා කොහේ දැක්කත් මට ඇවිත් කතා කරනවා. එච්චර හොඳ කෙනෙක්...”

විජයකාන්ත් සතුට මුසු වු වචන එලෙසින් පිට කළේය. පාසලේ තුන් ඉරියව් ක්‍රීඩා කළ ඔහු දැන් පන්දු යවන්නෙකි.ඔහුගේ පන්දුවට මුලින් හයේ පහරක් ප්‍රතිවාදී ක්‍රිඩකයා එල්ල කළහොත් ඔහු ඊළඟ පන්දුවෙන් ඔහු දවා ගැනීමට උත්සාහ කරයි. සිය පන්දුවේ දක්ෂතා වෙනස් කරගත්තේ කෙසේද යන්න විමසූ විට ඔහු පැවසුවේ " මම වේගයෙන් බෝලේ දාන්නේ, එංගලන්ත ප්‍රාන්ත ගහන්න ගියාට පස්සේ එහේ කෝච් කිව්වා ඔයා බෝලේ හයියෙන් දාන්න එපා, හිමින් දාන තරමට ඔයාට වාසියි. හයියෙන් දාද්දී ලකුණු වේගයෙන් ගන්නවා කියලා . ඒ කතාවම ටැමිල් යුනියන් ක්ලබ් එකේ කෝච් කිව්වා. මම ඒ වැරැද්ද හදා ගත්තා. ඒ වගේම තිසර පෙරේරා කියන්නේ මහත්මා ගති තියෙන කෙනෙක්. වැරදි කියන්නේ නැහැ, ඔයා හොඳට බෝල් කරනවා, තව හොඳට දාමු කියලා මම බෝල් කරද්දී නිතරම කියනවා. ඒ වගේම මම යූටියුබ් එකෙන් ජාත්‍යන්තර ස්පිනර්ස්ලා සෙල්ලම් කරන්නේ කොහොමද කියලා නිතරම බලනවා. එයාලාව ෆලෝ කරනවා. මගේ වැරදි හදාගන්නේ එහෙමයි. එල්.පී.එල් කිව්වම මොකක්ද කියලා මුලින් මට තේරුමක් තිබ්බේ නැහැ. පිටරට හොඳ ක්‍රීඩකයෝ එනවා, එල්. පී. එල් තරම්ම හොඳයි කියලා දැනගත්තේ ඒකට ගියාම. ජාත්‍යන්තර ක්‍රීඩකයන් පවා මට උදව් කළා. මගේ ක්ලබ් එක ටැමිල් යුනියන්. ක්ලබ් එක ඇතුළේ දක්ෂතා දක්වලා ජාතික කණ්ඩායමට කොහොම හරි ඇතුළත් වෙන එක කමයි මගේ බලාපොරොත්තුව...”

එල්.පී.එල් හී විජයකාන්ත්ගේ ප්‍රථම කඩුල්ල වුයේ අති දක්ෂ පිතිකරුවෙක් වූ ඇන්ජලෝ මැතිව්ස් ය. ඒ සමඟම වියස්කාන් ගැන බොහෝ දෙනා හොයන්නට පටන් ගත්තේය. ඉකුත් දා ඔහු බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලියට ද තෝරා ගනු ලැබිණ. ඔහු සමඟ කතාබහට සමු දුන් අපි ඔහුව යාපනයෙන් එළියට ගෙනා වසර තුනකට පෙර දඹුල්ල තේරීම් කමිටුවේ සිටි රන්ජන් පරණවිතාන සමඟ කතා කළෙමු. ඔහු විජයකාන්ත් ගැන කිව්වේ මෙලෙසිනි.

“අවුරුදු තුනකට විතර කලින් 19න් පහළ ජාතික කණ්ඩායමේ අන්තර් පළාත් තරග තිබුණා. ඒකට යාපනයෙන් තෝරා ගැනීමක් කරන්න නෙමෙයි හිටියේ. මොකද අනිත් පළාත්වල වගේ දක්ෂතා ඇති අය අඩු නිසා. නමුත් විජයකාන්ත් හා දිනෝෂන් කියන දෙන්නව තෝරා ගත්තා ඔවුන් දක්ෂ නිසාම. විජයකාන්ත් කියන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ඕන ක්‍රීඩකයෙක්. එල්.පී.එල් වගේම ටැමිල් යුනියන් ක්ලබ් එකටත් හොඳට සෙල්ලම් කළොත් ඉක්මනින් එයාට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් හිමි වෙයි. එයාගේ දක්ෂතා එදා අපි දැක්කා. ඒ විශ්වාසයට තමයි ඔහුව තෝරා ගත්තේ. ඔහු දැන් ඔහුගේ ගමන හදාගනිමින් යනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.”

Comments