විශිෂ්ටතම ජනමාධ්‍යවේදීන් අබිසෙස් ගැන්වූ වර්ණවත් සම්මාන සන්ධ්‍යාව | සිළුමිණ

විශිෂ්ටතම ජනමාධ්‍යවේදීන් අබිසෙස් ගැන්වූ වර්ණවත් සම්මාන සන්ධ්‍යාව

සම්මානයට පාත්‍ර වූ ලේක්හවුස් මාධ්‍යවේදීන් කණ්ඩායම ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි, සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න, සිළුමිණ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරානි ජයවර්ධන සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු

- ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් වන දයා ලංකාපුර, ඒ. ඩී. රංජිත් කුමාර, පී.මානික්කවාසගම්, චිත්‍රා වීරරත්න සහ පී.බී ඉලංගසිංහ දීර්ඝ සේවා සම්මානයෙන් පිදුම් ලබති
- ලේක්හවුස් ආයතනයට සම්මාන 6ක්, එයින් විශිෂ්ට සම්මාන 4ක්ම 'සිළුමිණ'ට
- වැඩිම විශිෂ්ටතා සම්මාන සංඛ්‍යාවක් හිමි කර ගත් සති අන්ත සිංහල පුවත්පත 'සිළුමිණ'යි

නමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සඳහා සම්මාන පිරිනමන වර්ණවත් සම්මාන සන්ධ්‍යාව 2022 දෙසැම්බර් 13 වැනි අඟහරුවාදා පස්වරුවේ ගල්කිස්ස මහ හෝටලයේ එම්පයර් බෝල්රූම් ශාලාවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ඊට සම්බන්ධ මාධ්‍ය සමිති, ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආදියේ සහයෝගය ඇතිව සම්මානය උලෙළ පැවැත්විණ. 

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා එකම ජනමාධ්‍ය සම්මාන උළෙල මෙය වන අතර, මෙවර මෙය පැවැත්වූයේ 23 වැනි වරටය. ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍යයන්හි විශිෂ්ටයන් හඳුනා ගෙන ඔවුන්ට සම්මාන පිරිනැමීම සහ දීර්ඝ කාලයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරමින් විශේෂ මෙහෙවරක් ඉටු කළ මාධවේදීන් සඳහා ජීවිත කාලයේ එක් වරක් පමණක් පිදෙන ස්වර්ණ මුද්‍රිත විශේෂ සම්මානය පිරිනැමීම මෙම සම්මාන උළේලේ අරමුණයි.

13 වැනිදා සන්ධ්‍යාවේ ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ කර්තෘ, ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී මනික් ද සිල්වාය. ජයසක් සහ මඟුල් බෙර හඬ මධ්‍යයේ ආරාධිත අමුත්තා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් උත්සව ශාලාවට සපැමිණි අතර චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා ජාතික ගීය ගායනා කොට මියගිය මාධ්‍යවේදීන් සිහිකර විනාඩියක නිහැඬියාවක් පැවැත්වීමෙන් පසු සම්මාන ප්‍රදානය ආරම්භ විය.

දීර්ඝ කාලයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරමින් විශේෂ මෙහෙවරක් ඉටු කළ මාධ්‍යවේදීන් වෙනුවෙන් පිරිනමන දීර්ඝ සේවා සම්මානයෙන් පිදුම් ලැබූයේ දයා ලංකාපුර, ඒ. ඩී. රංජිත් කුමාර, පී. මානික්කවාසගම්, චිත්‍රා වීරරත්න සහ පී. බී ඉලංගසිංහ යන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් ය. ඊට අමතරව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය තුන යටතේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදීන් 34 දෙනකුට පෑන සහිත ජය සංකේත සම්මාන සහ ජනමාධ්‍යවේදීන් 17 දෙනකුට කුසලතා සහතික පත් ද පිරිනැමිණ.

මෙවර සම්මාන උලෙළේ ලේක්හවුස් ආයතනයට සම්මාන 6ක් හිමි වූ අතර, 'දිනමිණ' පුවත්පතේ ප්‍රින්ස් ගුණසේකර විශිෂ්ටතම ක්‍රීඩා පුවත්පත් කලාවේදියා ලෙස ද, විශිෂ්ටතම සෞඛ්‍ය හා වෛද වාර්තාකරණය සඳහා වූ සම්මානය 'සිළුමිණ' පුවත්පතේ සුරේකා නිල්මිණි ඉලංකෝන් ද, විශිෂ්ටතම පාරිසරික පුවත්පත් වාර්තාකරණය සඳහා 'සිළුමිණ' පුවත්පතේ සුභාෂිණී ජයරත්න ද, විශිෂ්ටතම ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියා ලෙස දඹුල්ල ‘සිළුමිණ’ ප්‍රාදේශීය මාධ්‍යවේදී කංචන ආරියදාස ද, විශිෂ්ටතම පිටු සැකසුම් සඳහා වූ නිර්මාණාත්මකම පුවත්පත වෙනුවෙන් 'සිළුමිණ' පුවත්පතේ පිටු සැකසුම් අංශයේ මහේෂ් විදානපතිරණ, ප්‍රියන්ත බිබිලදෙනිය සහ තිළිණ පතිරගේ ද, 'තිනකරන්' පුවත්පතේ මර්ලින් මරික්කාර් විශිෂ්ටතම පාරිසරික පුවත්පත් කලාවේදියා (දෙමළ) ලෙස ද එහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.

2021 වසර වෙනුවෙන් පැවැති මෙම සම්මාන උලෙළේදී වැඩිම විශිෂ්ටතා සම්මාන සංඛ්‍යාවක් හිමිකර ගත් සති අන්ත සිංහල පුවත්පත 'සිළුමිණ' වන අතර, 2020 වසරේ පැවති ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී ද වැඩිම සම්මාන ගණනක් හිමි වූයේ ලේක්හවුස් ආයතනයටය. එහිදී දිනාගත් විශිෂ්ටතා සම්මාන 9න් 7ක්ම එනම්, ඉරිදා සිංහල පුවත්පත් අතර වැඩිම විශිෂ්ටතා සම්මාන සංඛ්‍යාවක් හිමි වූයේ 'සිළුමිණ' පුවත්පතටය. මෙවර සම්මාන උලෙළ සඳහා පුවත්පත් ආයතන 9කින් යොමු කර තිබූ අයදුම්පත් 251ක් අතරින් විශිෂ්ටයන් තෝරා ගනු ලැබුවේ 8 දෙනකුගෙන් යුත් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මඟිනි.

වසරේ හොඳම කාටුන් ශිල්පියාට හිමි සම්මානය (සිංහල) 'අරුණ' පුවත්පතේ ප්‍රසාද් හසන්ත විජේනායක, (දෙමළ සහ ඉංග්‍රීසි) 'ටැමිල් මිරර්' පුවත්පතේ නාමල් මධුශංක අමරසිංහ විසින් දිනාගත් අතර, වසරේ හොඳම ඡායාරූප ශිල්පී මාධ්‍යවේදියා වූයේ 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ ඒෂාන් ප්‍රනාන්දුය. වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා කුසලතා සම්මානය 'අරුණ' පුවත්පතේ චතුර ඉන්ද්‍රජිත් සුබසිංහට හිමි විය. වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍යවේදියා (දෙමළ) තමිලන් පුවත්පතේ රවී වර්මා සහ (ඉංග්‍රීසි) සිලෝන් ටුඩේ පුවත්පතේ අංජන කළුආරච්චි හිමි කරගත්හු.

වසරේ හොඳම තීරු ලිපි රචකයාට හිමි සම්මානය (සිංහල) 'දේශය' පුවත්පතේ කපිල කුමාර කාලිංගටත්, (දෙමළ) 'විඩිවේලි' පුවත්පතේ අබ්දුල් රහීම්ටත් හිමි විය. වසරේ හොඳම ව්‍යාපාර හා මූල්‍ය කටයුතු පිළිබඳ මාධ්‍යවේදියාට හිමි සම්මාන (දෙමළ) 'වීරකේසරී' පුවත්පතේ රොබට් ඇන්තනී, (ඉංග්‍රීසි) සහ 'සන්ඩේ මෝර්නින්' පුවත්පතේ මධූෂා අතපත්තු හිමි කර ගන්නා ලදී. හොඳම විශේෂාංග රචකයාට හිමි උපාලි විජයවර්ධන සම්මානය 'වීරකේසරී' පුවත්පතේ රොබට් ඇන්තනී, සිවලිංගම් සිවකුමාර් සහ 'මෝර්නින්' පුවත්පතේ සුමුදු චාමර විසින් දිනා ගත්හ.

වසරේ හොඳම තරුණ මාධ්‍යවේදියාට හිමි ඩෙන්සිල් පීරිස් සම්මානය 'අනිද්දා' පුවත්පතේ හේෂානි අමන්දිකා කුරේටත් වසරේ හොඳම මාධ්‍යවේදියාට හිමි මර්වින් ද සිල්වා සම්මානය 'සන්ඩේ මෝර්නින්' පුවත්පතේ ආසිරි ප්‍රනාන්දුටත් හිමි විය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, ඩයලොග් ආසියාටා, LOLC, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සහ ඕලු බෝතල් කළ ජලය සමාගම සහා ශ්‍රී ලංකන් එයාර්ලයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඉන්සි සිමෙන්ති සමාගම ඇතුළු ආයතන රැසක ප්‍රධාන දායකත්වය සහ අනුග්‍රාහකත්වය ඇතිව ගල්කිස්ස මහ හෝටලයේ සත්කාරකත්වයෙන් සාර්ථකව පැවැත්වූ 2021 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ නිමාවට පත් වූයේ වර්ණවත් සම්මාන සන්ධ්‍යාවක මිහිරි මතක ශේෂ කරමිනි.




ඡායාරූප : නිශ්ශංක විජේරත්න / සුලෝචන ගමගේ

Comments