
ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන අපනයනය ඉලක්ක කර ගත් රාජාංගණය ඇඹුල් කෙසෙල් වගා වැඩසටහන මේ වන විට ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම කෙසෙල් වගා වැඩසටහන මඟින් දේශීය වෙළෙඳපොළට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 152,264ක් සපයනු ලබයි. එමෙන්ම විදේශීය රටවල් කීපයකටම මෙම ඇඹුල් කෙසෙල් සපයන අතර එහිදී කෙසෙල් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 600-700 අතර මිල ගණන් යටතේ අලෙවි කිරීම විශේෂත්වයකි. මෙම වසරේ මුල් මාස හය තුළදී පමණක් මෙලෙස ඇඹුල් කෙසෙල් අපනයනය මඟින් ඇමරිකානු ඩොලර් 28,000ක මුදලක් රටට උපයා දීමට රාජංගණයේ ඇඹුල් කෙසෙල් වගා කරන ගොවීන් සමත්ව තිබේ.
රාජාංගණය ඇඹුල් කෙසෙල් වගා වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ කෘෂිකර්මාන්තයේ නව දැනුම හා තාක්ෂණය, නව බීජ යොදා ගැනීම මඟින් ගොවින්ට සීමිත ඉඩකඩකින් පවා ඉහළ ආදායමක් ලබා ගැනීමට ඇති හැකියාව රාජාංගණය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය තුළින් මනාව විද්‍යමාන වන බවයි.
කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන්ද මෙහිදී අදහස් දැක්වූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ 2017 වසරේදී මෙම ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යෙදූ බවයි. ඒ යටතේ රාජාංගණය පුරාම කෙසෙල් වගා කරන ගොවීන් 642ක් මෙම වගා වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින බව ද අනාවරණය කර සිටි ඔහු 2021 වසරේ සිට ඔවුන් වගා කරන කෙසෙල් අස්වැන්න විදේශ රටවලට අපනයනය කිරීම ආරම්භ කළ බවද සඳහන් කළේය.
විදේශිකයන් බොහෝ පිරිසක් Baby Banana,Small Banana ලෙස හඳුන්වන එම කුඩා කෙසෙල් ආහාරයට ගැනීමට හා රස විඳීමට ප්‍රියතාවක් දක්වති.
කෙසේ වුවත් කෙසෙල් අස්වනු අපනයනය කිරීමේදී එම කෙසෙල් ගබඩා කරන උෂ්ණත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දින 14 ක කාලයක් පමණ එම කෙසෙල් ගබඩා කර තැබිය යුතුය. කෙසෙල් අස්වැන්න මඟින් ඇමෙරිකානු ඩොලර් 33,000 ක මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබීමම ජයග්‍රහණයකි. එළැඹෙන ඔක්තෝබර් මස අවසාන සතියේ සිට කෙසෙල් කැන් 1500 බැගින් අඩංගු කන්ටේනරයක් සෑම සතියකම අපනයනය කිරීමටද කටයුතු යෙදේ. ඉන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල් වෙත අපනයනය කෙරෙනු ඇති බවද ආචාර්ය රොහාන් විජේකෝන් පැවසීය.
මෙම කෙසෙල් වගා ව්‍යාපෘතියේ මෙහෙයුම් හා ඇගයුම් විශේෂඥ ආර්.එම්.එල්. රත්නායක ද අදහස් දැක්වීමට අප එක් කර ගත් අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙම කෙසෙල් වගා ව්‍යාපෘතිය යටතේ ඇඹුල් කෙසෙල් කැන් 33,688 ක ප්‍රමාණයක් මේ වන විට විදේශ රට වලට අපනයනය කර ඇති බවයි. එලෙස අපනයනය කෙරෙන කෙසෙල් නිසි ප්‍රමිතියකට නිෂ්පාදනය වීම හා අපනයනය කිරීම සිදු කෙරෙන බවද කී ඔහු රටට අවශ්‍ය විදේශ විනිමය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට මෙවැනි අලුත් වැඩසටහන් අතිශය ප්‍රයෝජනවත් වන බවද පැවසීය.
"මේ වගාවේදී අපි හැම විටම අලුත් අත්හදා බැලීම් කරනවා. අලුත් තාක්ෂණය යොදා ගන්නවා. රාජාංගණයේ මෙම කෙසෙල් වගාව හා සම්බන්ධ 642 අතරින් ගොවීන් 94 ක් ඉතා සාර්ථක ලෙස හඳුන්වා දුන් නව තාක්ෂණික වගා වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටිනවා.
රාජාංගණය ප්‍රදේශයේ අක්කර හයක භූමි ප්‍රමාණයක ඉතාමත්ම සාර්ථකව මෙම කෙසෙල් වගාව සිදු කරන රනිල් සමින්ද ද ඉතාම ප්‍රසාදයෙන් යුතුව සිය අදහස් දැක්වීම සිදු කළ අතර එහිදී ඔහු පැවසුවේ තම ප්‍රදේශයේ සිදු කරන මෙම ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය රට පුරාම ජනප්‍රිය වී ඇති බවයි.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වැඩ බලන ක්‍රීඩා පෝෂණවේදිනි උපුලි නිලේශා දහනායක සඳහන් කර සිටියේ මෙවන් අදහසකි. ඇඹුල් කෙසෙල් මඟින් ආහාර ජීරණය පහසු කරන අතර මළ පහ පිටකිරීම ද පහසු කරයි. සෝඩියම්, පොටෑසියම්, වැනි ඛනිජ ලවණ බහුල අතර මෙහි අඩංගු කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය මත ඉතා මිහිරි පැණි රසක් සමඟින් කුඩා ප්‍රමාණයක අඹුල් රසයක් ද ඇති බැවින් අනුභව කිරීමට රුචි බවක් ගෙන දෙයි. බී කාණ්ඩයේ විටමින් සහ විටමින් සී වලින් පිරිපුන් නිසා යහපත් සෞඛ්‍ය තත්ත්වයකට මඟ පාදයි.