දෛව අංක 4 හිමි ඔබ යුරේනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ඔබ සිහින ලෝකවල ජීවත් වන්නකු නොවේ. ඉතා ප්‍රායෝගික ගති පැවතුම් ඇති පොළොවේ පය ගසා ජීවත් වන පුද්ගලයෙකි. ඔබට හොඳින් හොඳ නරක තෝරා බේරා ගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති අතර, හොඳ දේ හොඳ ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් නිර්භයව කවුරුන් තරහ වුවද ප්‍රකාශ කිරීම ඔබේ සිරිතයි. ඔබ තුළ ප්‍රබල අදහස් පවතින අතර ජීවිතයේ සෑම දෙයක් පිළිබඳවම යම් ආකාරයක පිළිවෙළකට කටයුතු කිරීම ඔබේ ස්වභාවයයි.
ඔබගේ පාලකයා ඔබම මිස අන් කිසිවකු නොවේ
ඔබ සෑම දෙයක්ම සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන අතර, ඉතා හොඳින් ක්‍රමානුකූලව ඒ කටයුතු සැලසුම් කරයි.
තම චිත්තවේග පාලනය කිරීමේ දක්ෂතාවයක් ඇති අතර ඔබගේ පාලකයා වන්නේ ඔබමයි. ජීවිතය කෙසේ හෝ සාර්ථක කරගැනීමට ඔබට හැකියාව පවතින අතර, ඒ වෙනුවෙන් සියලු කැපකිරීම් කරයි. පියවරෙන් පියවර තමන්ගේ ගැටලු නිරාකරණය කරගෙන ක්‍රමානුකූලව පියවරෙන් පියවර සාර්ථකත්වය කරා ගමන් කරයි. ඔබ යම් කාර්යක් කිරීමේදී ඒ වෙනුවෙන් සැලකිය යුතු තරම් කාලයක් ගන්නා අතර කරන කාර්යට කොපමණ කාලයක් ගියත් එය නිවැරදිව පිළිවෙළකට කිරීම ඔබගේ ස්වභාවයයි. ඒ වෙනුවෙන් උපරිම මහන්සි වී වැඩ කිරීමට ඔබ කැප වෙයි.
ඉතා නීතිගරුක පුද්ගලයකු වන ඔබ අසාධාරණයට එරෙහි වෙයි. තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන කටයුතු කිරීමට ද ඉතා උනන්දු වෙයි. විශේෂයෙන් ඔබ යම් ආයතන ප්‍රධානියෙක් යටතේ කටයුතු කිරීමේදී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ප්‍රධානීන් සමඟ ගැටුම්කාරි තත්ත්වයන් ඇතිවීමට වැඩි ඉඩක් පැවතියද ඔබ ස්වභාවයෙන් කා සමඟවත් ප්‍රශ්න ඇති කර ගැනීමට කැමති අයකු නොවේ. ලෝකය තුළ යහපත් පුද්ගලයන් ලෙස ජීවත්වීම ඔබගේ එකම අරමුණයි.
ආර්ථිකමය වශයෙන් හොඳ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හැකියාව පවතින අතර මුදල් පරිහරණය කිරීමේදී වඩාත් සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි. අනවශ්‍ය වියදම් පාලනය කළ යුතුය. ඔබ උපයන මුදල් ඔබට නොදැනිම වාගේ වියදම් වී යන ස්වභාවයක් පවතී. තම පවුල, දරුවන් සහ මවුපියන් වෙනුවෙන් ඔබ ඔබගේ යුතුකම නොපිරිහෙලා ඉටු කිරීමට උත්සාහ දරයි. ඔබ පවුලට ඉතා ළෙන්ගතු ආදරණීය පුද්ගලයකු ලෙස ක්‍රියා කළද ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධව ඉතා සැලකිලිමත් විය යුතුය.
පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමටත් විවාහ ජීවිතය වැඩිය හිතට බරක් කර නොගැනීමටත් සිතේ තබා ගැනීම සුදුසුය. මැදි වයසට පත්වන විට සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, දියවැඩියාව, රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව පහසුවෙන් ඇතිවිය හැකිය. මානසික සහ කායික සුවය රැකගැනීම සඳහා අවශ්‍ය තරම් විවේක ගැනීම ද වැදගත් වේ.
දෛව අංක 5 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
දෛව අංකය සොයාගන්නා අයුරු
ඔබේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් වන ලෙස එකට එකතු කරන්න. මෙම උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය
පහසුවෙන්ම සොයාගත හැකිය.
උදාහරණයක් ලෙස ඔබේ උපන්දිනය 1985.03.14 නම්,
1+9+8+5+3+1+4 = 31
3+1 = 4