නැව­තත් හිස ඔස­වන කොවිඩ් මාරයා | සිළුමිණ

නැව­තත් හිස ඔස­වන කොවිඩ් මාරයා

 

කොවිඩ් 19 නැවතත් කරළියට පැමිණ සිටින බව අපට සිහිපත් වන්නේ කොවිඩ් වැලඳුණ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමත් සමඟිනි. මේ දිනවල කොවිඩ් රෝගින් 100 කට වැඩි පිරිසක් දිනපතා හමුවන අතර සෑම දවසකම කොවිඩ් හේතුවෙන් කීප දෙනකු මරණයට පත්වේ. කොවිඩ් රෝගයට ගොදුරු වී මරණයට පත් වීමේ පුවතට එදා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රධාන තැනක් ලැබුණද. අද එයට හිමි වන්නේ ඉතා අවැදගත් ස්ථානයකි. අනෙක, එම පුවත් අසා අද ජනතාව කලබලයට පත් වන්නේ නැත. කවුරු කවුරුත් මුව ආවරණ පැලඳගෙන රාජකාරි සඳහා පිටත්ව යති. දරුවෝ පාසල් යති. සමහරු මුව ආවරණ පලඳිති. සමහරු එය නිකටේ දමාගෙන සිටිති. සමහරු විෂබීජනාශක දියර දමා අත් සෝදති. ඇතැමුන්ට නම් එහෙම දෙයක් තිබුණාද කියාවත් මතක නැත. ඇතැම් ස්ථානවල අත් සේදීමේ පහසුකම් පවා මේ වන විට ඉවත් කරගෙන ඇත. මීටපෙර ඇතැම් ස්ථානවලට ඇතුළුවන විට උෂ්ණත්ව මාපකය නළලට තබා උණ බැලුවද අද වන විට එයද පෙනෙන්නට නැත. අද කොවිඩ් 19 රෝගය, පැපොල සරම්ප තරමට සාමාන්‍යකරණය වී තිබේ.

 

ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ගැන සලකා බැලීමේදී පළමු කොවිඩ් රෝගියා හමු වූයේ 2020 ජනවාරි 27 වැනිදාය. හේ මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවකි. ඉන් අනතුරුව ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රථම වරට වාර්තා වූයේ සංචාරක මාර්ගෝපදේශකයකුට කොවිඩ් 19 වැලඳීමෙනි. ඔහු සුවය ලබා නිවසට ගියේය. ලංකාවේ ප්‍රථම කොවිඩ් මරණය ලෙස වාර්තා වූයේ මාරවිල ප්‍රදේශයේ පදිංචි වී සිටි සංචාරක මාර්ගෝපදේශකයකුගේ මරණයයි. එතැන් සිට කොවිඩ් රෝගයට ගොදුරු වන පිරිස දිනෙන් දින වර්ධනය විය. කොවිඩ් මරණ ද වාර්තා විය. 2020 ජනවාරි 27න් ආරම්භ වු කොවිඩ් ව්‍යාප්තිය ලංකාවේ පළමු කොවිඩ් රැල්ල ලෙස සැලකේ. මෙය 2020 ඔක්තෝබර් 03 දක්වා බල පැවැත්විණි. මෙම කාලය තුළ වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් අතර කොවිඩ් පැතිරීමක් සිදු වු බැවින් එය නාවික හමුදා පොකුර ලෙස ප්‍රචලිත වූ අතර කන්දකාඩු පොකුරක් ඇති වුයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ කොවිඩ් ව්‍යාප්ත වු බැවිනි. මාස 08 ක් පමණ කාලයක් පුරා පළමුවැනි කොවිඩ් රැල්ල පැවැති කාලය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගින් ගණන 3,396 ක් විය. කොවිඩ් මරණ සංඛ්‍යාව 13කි.

ලංකාවේ 1 වැනි කොවිඩ් රැල්ල මුල් කාල වකවානුවේ රටම අඟුළු දමා නිරෝධායන ඇඳිරි නීති පනවා ජනතාව නිවෙස්වලටම කොටු කර තිබු යුගය අමතක නැත. දිනපතාම කොවිඩ් රෝගින් ගණන, මරණ ගණන වාර්තා කළේ ඊට ප්‍රමුඛත්වය දෙමිනි. එපමණක් නොවේ. කොවිඩ් රෝගයට ගොදුරු වු අය රෝහල් කරා රැගෙන යන ආකාරයත් ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යන ආකාරයත්, මිය ගිය අයව ආදාහනය කරන ආකාරයත් රූපවාහිනි නාළිකා ඔස්සේ ප්‍රදර්ශනය කෙරුණේ ජනතාව භීතියට පත් කරවමිනි. කොවිඩ් රෝගියකු බස්රථයක ගමන් කර තිබුණේ නම් එම බස් රථයේ ගමන් ගත් මගීන්වද සුපිරි වෙළෙඳසැලකට ගොස් තිබුණේ නම් එකී වේලාව තුළ එහි ගිය අයවද සොයා නිරෝධායනය කිරීමට යුහුසුළු විය. ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන්ව නිවෙස් තුළ නිරෝධායනය කෙරිණි. 1වැනි කොවිඩ් රැල්ල පැවැති කාල සීමාව තුළ රෝගීන් 3,396 කටත් කොවිඩ් මරණ 13කටත් සීමා කර ගැනීමට හැකියාව ලැබුණේ සෞඛ්‍ය අංශය ගත් දැඩි පියවර නිසාමය.

මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවිකාවන් කීපදෙනකුගෙන් රැල්ලක් බවට පත් වු නිසාම 2වැනි කොවිඩ් රැල්ල බ්‍රැන්ඩික්ස් පොකුර ලෙස හඳුන්වනු ලැබිණි. මෙම කාලයේදී පෑලියගොඩ මාළු වෙළෙඳසැල ආශ්‍රිතව කොවිඩ් ව්‍යාප්ත වු අතර එය ජනප්‍රිය වූයේ පෑලියගොඩ පොකුර ලෙසිනි. තවද බන්ධනාගාර රැඳවියන් ආශ්‍රිතව පැතිරුණු කොවිඩ් පොකුර බන්ධනාගාර පොකුර ලෙස හඳුන්වනු ලැබීය.

2020 ඔක්තෝබර් 04 වැනිදා සිට 2021 අප්‍රේල් 14 වැනිදා දක්වා අයත් කාල පරිච්ඡේදය දෙවැනි කොවිඩ් රැල්ලට අයත් විය. 2වැනි කොවිඩ් රැල්ල පැවැති කාලය තුළ කොවිඩ් රෝගින් 92,341 ක් වාර්තා වු අතර මිය ගිය ගණන 591 ක් විය. මෙම කාලය තුළ කොවිඩ් රෝගින්ගේ වාර්තා වීම් අනුව පොලිස් බල ප්‍රදේශ අඟුළු දැමිණි. රටම අඟුළු දැමීමක් සිදු වුයේ නැත. වෛද්‍යවරුන් විසින් රටම වසා දැමිය යුතු බවටත් සංචරණ සීමා පැනවිය යුතු බවටත් රජයේ වගකිව යුතු නිලධාරින්ට දන්වා සිටියේ එම නිසාය. 2වැනි කොවිඩ් රැල්ල, 1 වැනි කොවිඩ් රැල්ල මෙන් පාලනය නොකළ නිසා වැඩි දෙනකුට රෝගය වැලඳුණු බවත් මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවත් බොහෝ දෙනකුගේ අදහස විය. එහෙත් ඒ වන විට ඇඟලුම් කර්මාන්තශාලා සුපුරුදු පරිදි කටයුතු කරගෙන ගියේ රටේ අපනයන ආදායම පහත දමා ගත නොහැකි නිසාය. ඉදි කිරීමේ ව්‍යාපෘති, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු අඛණ්ඩවම පවත්වාගෙන ගියේ රටේ ආර්ථිකය බංකොලොත් වීමෙන් මුදවා ගැනීමටය. මේ වන විට කොවිඩ් මර්දනය කිරීමේ අරමුණින් එන්නත්කරණ කටයුතුද ආරම්භ කෙරිණි.

කොවිඩ් එන්නත් ලබා දීමත් නිරෝධායන නීතිරීති ලිහිල් වීමත් සමඟ ජනතාවට කොවිඩ්වලට තිබූ බිය සැක දුරු වී ගිය බවක් පෙනුණේ බොහෝ දෙනකුගේ සාමාන්‍ය හැසිරීම් නිසාය. බොහෝදෙනකුට දුරස්ථභාවය අමතක විය. මුව ආවරණ පැලඳීම අත් සේදීම අමතක විය. රංචු ගැසී සාප්පු සවාරියේ යෙදුණේ ළඟ ළඟ එන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සූදානම් වීමටය. ඇතැම් අය නුවරඑළියේ වසන්ත සැණකෙළියට සහභාගි වීමට ගියේ කොවිඩ් රෝගය ලෝකයෙන්ම තුරන් වී ගියා සේ සලකමිනි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ තවත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වීමයි. තෙවැනි කොවිඩ් රැල්ල වු එය හඳුන්වනු ලැබුවේ අවුරුදු පොකුර නමිනි.

තෙවැනි කොවිඩ් රැල්ල ඉතා දරුණු තත්ත්වක් ඇති කළ බව සඳහන් කළ යුතුය. ඊට හේතුව ඒ වන විට කොවිඩ් වෛරසය අනුප්‍රභේද ගණනාවකට විකාශනය වී තිබීමයි. BA5, BA4 යනාදි වශයෙන් විභේදනය වන කොවිඩ් වයිරසය ඇල්ෆා, ඩෙල්ටා, බීටා, ආදි වශයෙන් හැඳින්වෙද්දි ලංකාවේ 3 වැනි කොවිඩ් රැල්ලේදී ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වන බව දැක ගත හැකි විය. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ වේගවත් බව හා දරුණු බව නිසාම මෙම කාලය තුළ රෝගින්ගෙන් රෝහල් පිරී ඉතිරි ගියේය. රෝහල් තුළ ඉඩකඩ නැති විය. රෝහල් පරිශ්‍ර තුළ නව ගොඩනැඟිලි ඉදි කිරීමට සිදු විය. කොවිඩ් මරණ වේගයෙන් ඉහළ ගියේය. කොවිඩ් මෘතදේහ ආදාහනය කිරීම සඳහා ආදාහනාගාර අසල පෝලිම් ගැසිණි. රෝහල් ධාරිතාව ඉක්මවා රෝගින් වාර්තා වීම නිසා රෝහල් කාර්යය මණ්ඩලයේ උපරිම සේවාවට පවා ගැටලු මතු විය. කොටින්ම සඳහන් කළහොත් 3වැනි කොවිඩ් රැල්ල පාලනය කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත් විය.

තෙවැනි කොවිඩ් රැල්ල ඇති වු කාලසීමාව 2021 අප්‍රේල් 15 සිට 2021 ජුනි 30 ලෙස දැක්විය හැකිය. එයින් සිදු වූ බලපෑම සුළුපටු නැත. තෙවැනි කොවිඩ් රැල්ල පැවැති කාලය තුළ වාර්තා වූ රෝගින් සංඛ්‍යාව 1,63,352 කි. මිය ගිය සංඛ්‍යාව 2473 කි. තෙවැනි කොවිඩ් රැල්ලෙන් සිදු වු ව්‍යසනය දුටු ජනතාව කඩිනමින් එන්නත්කරණයට යොමු වීමෙන් කොවිඩ් රැල්ල පාලනය කර ගැනීමට හැකි වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුමය. වැඩිහිටියන් මෙන්ම පාසල් ළමුන් සඳහා ද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක විය. විශේෂයෙන් වයස අවුරුදු 60 ට වැඩි අය සහ ගර්භණී කාන්තාවන් වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් කිරීම සිදු විය. ලොව පුරා ව්‍යාප්ත වු කොවිඩ් වෛරසයයේ ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වීම වැළකුණේ එන්නත්කරණයට පින් සිදු වන්නටය.

කොවිඩ් එන්නත්කරණය ගැන කතා කිරීමේදී 1වැනි සහ 2වැනි මාත්‍රා ගැනීමට දැක්වු උනන්දුව 3වැනි සහ 4 වැනි මාත්‍රා කෙරෙහි නොදැක්වීම කනගාටුවට කරුණකි. පසුගිය සති අන්තය වන විට 1 වැනි මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව 1,91,09,153ක් ලෙසත් 2වැනි මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව 1,45,67,132 ක් ලෙසත් 3වැනි මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව 80,76,917 ක් ලෙසත් 4 වැනි මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව 1,37,130 ක් ලෙසත් සටහන් විය.

කොවිඩ් රෝගින් සහ කොවිඩ් මරණ වාර්තා නොවීමත් සමග මුව ආවරණය අත්‍යවශ්‍ය නොවන බවට සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් වැඩි පරිස්සම කෙරෙහි සැලකිලිමත් වන අය මුඛ ආවරණ පැලඳුහ. සැනිටයිසර් යොදා අත් සේදුහ. සියල්ල එසේ සිදු වෙද්දි රටේ ජනතාවට කොවිඩ් අමතක වුයේ කුසගින්න හා දරිද්‍රතාව ඊට වඩා දරුණු ආකාරයට බැට දෙන නිසාය. තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල පීඩාවට පත්වන ජනතාව කොවිඩ් ගැන මායිම් කළේ නැත. බඩු මිල අහස උසට නඟිද්දි ජනතාව සිතුවේ දරුවන්ට බිත්තරයක් කිරි කෝප්පයක් දෙන ආකාරය මිස සැනිටයිසර් මිල දී ගැනීම නොවේ.

කෙසේ හෝ දැන් මාසයක පමණ කාලයක සිට දෛනික කොවිඩ් රෝගින් සංඛ්‍යාව 100 ඉක්මවා තිබේ. කොවිඩ් රෝගින් 100 ඉක්මවා වාර්තා වෙද්දීත් සෞඛ්‍ය බලධාරින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ජනතාව චෝදනා කරති. මුව ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම, දුරස්ථභාවය පවත්වා ගැනීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු සඳහා රජය වහාම පියවර ගත යුතු බව ජනතාවගේ අදහසය.

"කොවිඩ් අපේ රටට විතරක් නොවෙයි, ලෝකයටම අලුත් ලෙඩක්. ඒ නිසා අපේ රට වගේම ලෝකයේ බොහෝ රටවල් අඟුළු දැමීම, සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළා. මුව ආවරණ පැලඳීම අනිවාර්ය කළා. සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් දැඩි නීති රීති දැම්මා. ඒත් හැමතිස්සේම නීතිරීති දාලා පාලනය කරන්න බැහැ. උදාහරණයක් විදිහට අපි ඩෙංගු ගැන බලමු. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිවෙස් තුළ හෝ ගෙවත්තේ තිබුණොත් නීතියට අනුව දඩ ගහනවා. ඒත් ඒ නීතිය පමණක් ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නැහැ. සියලු දෙනාම එකතු වෙලා ගෙවතු පිරිසිදු කරලා ඩෙංගු කීටයන් ඇති වන ස්ථාන නැතිවන විදිහට කටයුතු කරන්න ඕනෑ. කොවිඩ් රෝගයත් ඒ විදිහ තමයි. නීතිය විතරක් තිබිලා මදි. සියලු දෙනාගේම සහයෝගය සහ සාමුහික හැඟීම ඉතා වැදගත්. ගෙදරක එක් පුද්ගලයෙක් විතරක් මුව ආවරණ පැලඳගෙන අත් සෝදලා දුරස්ථභාවය රඳවාගෙන හිටියාට වැඩක් නැහැ ගෙදර අනිත් අය සෞඛ්‍ය පුරුදු අත් හැරලා නම්. හැමෝම කණ්ඩායම් හැඟීමෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕනෑ. එතකොට තමයි කොවිඩ් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ." යනුවෙන් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගන්නා ආකාරය පැහැදිලි කළේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ය.

රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින් විසින් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවය. විවාහ මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ වැනි විවිධ උත්සව සංවිධානය කිරීමේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බව පැවසූ රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ, යම් හෙයකින් එවැනි පොකුරක් බිහි වුවහොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසීය.

එහෙත් මේ වන විට බොහෝ ආයතනවල සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. අත් සේදීමේ පහසුකම් නැත. උණ බැලෙන්නේ නැත. පරිශ්‍රයට ඇතුළත් කරගන්නා පිරිස සීමා කර නැත. ආයතනවලට ඇතුළු වන විට නම හා දුරකතන අංක සටහන් කෙරෙන පොත්පත් නැත. නමුදු අප කොවිඩ් අමතක කළ යුතු නැත. පවුලක් වශයෙන් හෝ සංවිධාන වශයෙන් හෝ ආයතනික වශයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කොවිඩ් රෝගයට ගොදුරු නොවී සිටීමට වග බලා ගත යුතුය. මන්ද මේ වන විට ලංකාවේ බොහෝ රජයේ රෝහල් තුළ දක්නට ලැබෙන්නේ පුද්ගල බලය පමණක් වන බැවිනි. ඖෂධ හිඟය, පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ කට්ටලවල හිඟය වැනි අතොරක් නැති ගැටලු අද රජයේ රෝහල් තුළ පැනනැඟී තිබේ. ඒ අතරේදී වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයටද තෙල් ප්‍රශ්න තිබේ. ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රාජකාරි කටයුතු සඳහා යෑමට ඒමට ඉන්ධන ප්‍රමාණවත් නැත.

 

Comments