![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/07/22/Untitled-1_0.jpg?itok=6XmOzGIf)
රංජිත් අමරකීර්ති පලිහපිටිය, දිවංගත ලලිත් ඇතුළත්මුදලිගේ "නොනිමි මෙහෙවර" විරචිත කතුවරයාය. හේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර පුස්තකාලයාධිකාරිවරයකු ලෙස සිය සේවා දිවිය ඇරඹීය. ලලිත් ඇතුළත්මුදලිගේ ආරාධනයෙන් දේශපාලනය ඇරඹි ඔහු, 1993 - 1999 දක්වා දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරයෙක් විය. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ ප්‍රථම පූර්ණකාලීන සභාපතිවරයා විය. හේ, වත්මන් ජනාධිපති පදවිප්‍රාප්ත රනිල් වික්‍රමසිංහයන්ගේ ජීවිතය සහ මෙහෙවර අළලා කතුවරයා ග්‍රන්ථ ද්වයක් රචනා කළේය. ඉන් පළමුවැන්න " හේ රනිල් නම් විය" වු අතර දෙවැන්න " රනිල් මංපෙත" නම් විය.
රනිල් වික්‍රමසිංහයන්ගේ ජීවිතය සහ මෙහෙවර පිළිබඳව පාඨකයා දැනුම්වත් කිරීම පිණිස රචිත ලිපියකි මේ.
රනිල් වික්‍රමසිංහ මහතා පදවිප්‍රාප්ත වීමට මඳ කලකට පෙර සිය නිහැඬියාව බිඳිමින් හෙතෙම එක්තරා රූපවාහිනි නාළිකාවක සාකච්ඡාවකට එක් විය. එහිදි ඔහුගේ වත්මන් දිවි පෙවෙත හා තීරණ අළලා නිවේදිකාව ප්‍රශ්නයක් විචාලාය.
"දැන් මේ දවස්වල විවේකයෙන් සිටින ඔබතුමා කරන කටයුතු මොනවාද?"
"මම මේ දවස්වල පොත්පත් කියවනවා. Netflix බලනවා."
"වත්මන් දේශපාලනය හා ඔබේ දායකත්වය ගැන දැන ගැනීමට කැමතියි."
"ඔබ අහලා තියෙනවාද මානවම්ම රජ්ජුරුවන් ගැන. මම මේ දවස්වල මානවම්ම රජ්ජුරුවන් ගැන හදාරමින් සිටිනවා."
මානවම්ම රජු යනු කවරේදැයි නිවේදිකාව නොදත් බව ශ්‍රාවකයන්ට හැඟුණි.
" දේශපාලන අනාගතය ගැන ඔබේ පරිකල්පනය කුමක්ද?"
"දෛවය කියා දෙයකුත් තියෙනවානේ. අපි බලාගෙන ඉමු."
එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා තමා පත්වීමට නායක රනිල් තීරණයකට එළඹෙනු ඇත්තේ ඉනික්බිතිව බව මගේ හැඟීමයි.
"හේ රනිල් නම් විය" ග්‍රන්ථය රචනා කිරීමේදී විපක්ෂ නායක රනිල් මුණගැසීමට යොදා ගත්තේ 5 වැනි පටුමගේ පිහිටි පසුගියදා පුස්තකාලය ගිනිබත් කළ ඔහුගේ පාරම්පරික නිවසයි. එම කාර්යය මගේ ජීවිතයට නැවුම් අත්දැකීමක් විය. බොහෝ දේශපාලකයන්ගේ පිළිවෙත තම දේශපාලන ජීවිතය අත්තුක්කංසනයෙන් සහ පරවම්භනයෙන් පුම්බා දැක්වීමයි. රනිල් කිසිවිටෙකත් එසේ නොකළේය. නිදසුනක් ලෙස ගතහොත් රනිල් වික්‍රමසිංහ පරපුරේ ජාත භූමිය මා දැනටත් වෙසෙන බද්දේගමයි. ඔහුගේ ආදිතම මුතුන්මිත්තෝ කතෝලිකයෝ වූහ. ලක්දිව ප්‍රථම ඉඩම් කොමසාරිස්වරයා වූ ගොවි ජනපද නිර්මාණය කිරීමෙහිලා ඩී. ඇස්. සේනානායකයන්ට මහත් ශක්තියක් වූ සී. එල්. වික්‍රමසිංහ ඔහුගේ මුත්තණුවන්ය. එහෙත් කිසිදු වේදිකාවක හෝ වේවා සාකච්ඡාවක හෝ වේවා රනිල් බද්දේගම ඥාතිත්වය සහ සම්බන්ධය පිළිබඳව සඳහන් කිරීමට උනන්දු නොවූයේ ඇයි දැයි අදත් මට නොවිසඳුණු ගැටලුවකි.
රනිල්ගේ පියා විශ්වවිද්‍යාල සමයේදී උග්‍ර වාමාංශික මතධාරියෙක් විය. සී. එල්. වික්‍රමසිංහ ඇසුරු කළ ඔහුගේ හිතවත්තු එස්මන්ඩ්ගේ දේශපාලන පරස්පරතාව ගැන විමසු කල්හි ඔහු ලබා දී ඇත්තේ මෙවැනි පිළිතුරකි. "එයා දැන් වියදම් කරන්නේ මගේ සල්ලි. එයා තමුන්ගේ සල්ලි වියදම් කරන කාලෙක ඕක වෙනස් වේවි."
එස්මන්ඩ් අතිනත ගත්තේ ලේක්හවුස් නිර්මාතෘ වන ඩී. ආර්. විජයවර්ධනයන්ගේ දියණියක වූ නාලිනි මෙනවිය සමඟය. කැලණි විහාරය පුනරුත්ථාපනය සහ ප්‍රතිෂ්ඨාපනය පිණිස මහත් ධනස්කන්ධයක් හා කැප කිරීමක් කළේ රනිල්ගේ මිත්තණියයි. බෞද්ධ පරිසරයක හැදී වැඩුණු නාලිනි වික්‍රමසිංහ මැතිනිය සිය දරුවන් පස්දෙනා හැදුවේ වැඩුවේ බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුගතවය.
"සර් බෞද්ධ වුණේ කොයි කාලෙද?" මම විචාලෙමි. මක්නිසාද යත් විරුද්ධ පාක්ෂිකයන් ඇතැමකු ඔහු බෞද්ධාගම වැලඳ ගත් අබෞද්ධයකු යැයි ව්‍යාජ ප්‍රචාරය ප්‍රචලිත කොට සමාජගත කර තිබූ හෙයිනි.
"මම ඉපදුණාම අපේ අම්මා කැලණිය රජමහා විහාරයට රැගෙන ගිහින් එහි බුදු සසුනට පුදන අසුනේ තබා ආශීර්වාද කළා. කවුරුන් කෙසේ කීවත් මා උපතින්ම බෞද්ධයෙක්. මට අත්පොත් තැබුවේ හුණුපිටිය ගංගාරාමාධිපති රාජකීය පණ්ඩිත දෙවුන්දර වාචිස්සර නායක හාමුදුරුවෝ. ගංගාරාමයත් කැලණියේ රජමහා විහාරයත් අපේ ආගමික කටයුතුවලට තෝතැන්නක් වුණා. " හේ පිළිතුරු දුන්නේය.
1949 මාර්තු 24 වැනිදා වික්‍රමසිංහ දෙමහල්ලන්ට එක් වූ දෙවන දරුවාට අම්මා දුන් නම රනිල් ශ්‍රියාන්ය. ෂාන්, ෂානිකා, නිරාජ් හා චන්න වික්‍රමසිංහ යුවළගේ සෙසු දූ පුත්තු වුහ.
1954 ජනවාරියේදි කොළඹ රාජකීය විදුහලට ඇතුළත් කළ රනිල් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමු වූයේ සිංහල භාෂා මාධ්‍යයෙනි. එවකට විපක්ෂ නායක ධුරය දැරූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පුත් අනුර ප්‍රියදර්ශන ද ලක්දිව සමාජවාදි පියා යැයි හැඳුනුම් ලද පිලිප් ගුණවර්ධනගේ පුත් දිනේෂ් ද රාජකීය විද්‍යාලයේ බාලාංශයේ වූහ. ඔවුන්ගේ පන්තිභාර ගුරුතුමිය වූයේ නව ඉගෙනුම් ක්‍රමයක් සඳහා වෙහෙස වූ නවමග පාසල් පොත් පෙළෙහි කතුවර එස්. ඩබ්ලිව්. සුගතපාල මහතාගේ බිරියයි. සුගතපාල යුවළගේ ඇසුර ළමා රනිල්ගේ සිත බාහිර ක්‍රියාකාරකම් හා විෂයභාර කටයුතු කෙරෙහි නැඹුරු කරවීය. ඔවුන්ගේ මෙහෙයවීම පරිදි එක් එක් විෂයන් සඳහා විෂයමාලාවෙන් පරිබාහිර දැනුම වෙසෙස් රැස් කළ යුතු විය. ඇමෙරිකා එක්සත් ජනපදය ගැන තොරතුරු එක්රැස් කළ ගොනුවක් පාසලේ පැවරුමක් අනුව කළ බවට රනිල්ට තවමත් මතකය. එස්. ඩබ්ලිව්. සුගතපාල ගුරු යුවළ රනිල්ගේ ළමාවියෙහි අධ්‍යාපන ක්‍රියාවලියේදී සත්ප්‍රයෝජන කාර්යභාරයක් ඉටු කළහ.
1956 දී මහ මැතිවරණයෙන් රාජ්‍ය බලය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පක්ෂයට හිමි වූ අතර නව රජයේ අගමැති වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකය. එසේ වුවද අගමැති පුත් අනුර විවේක අවස්ථාවන් හී වික්‍රමසිංහ නිවසට අවුත් කෙළිදෙළෙන් පසුවිය. රනිල් අනුර මුණගැසී ක්‍රීඩා කටයුතුවල යෙදීමට රොස්මිඩ් පෙදෙසෙහි බණ්ඩාරනායක වලව්වට ගියේය. එස්මන්ඩ් වික්‍රමසිංහ පසුකලෙක උග්‍ර දක්ෂිණාංශිකයකු හා එක්සත් ජාතික පාක්ෂිකයකු වුවද අනුර - රනිල් මිත්‍ර සම්බන්ධයට එය බාධාවක් වූයේ නැත. බොහෝවිට පන්ති කාමරයේදී එකට කල්ලි ගැසුණේ රනිල්, අනුර හා දිනේෂ් ය.
පාසල් විෂය භාර ක්‍රියාකාරකම් කෙරෙහි රනිල් වැඩි නැඹුරුවක් නොපෑවද කලක් පාසලේ පෝතක බාලදක්ෂ කණ්ඩායමේ හා රයිෆල් සමාජයේ ක්‍රියාකාරිකයෙක් විය. බාලදක්ෂ වැඩ සතිය ඔහුගේ ළමාවියට අයත් රසබර අත්දැකීමකි. දැසි දස්සන්ගෙන් කිසිදු අඩුවක් නොමැති මහගෙදරින් නික්ම මෝටර්රථ සෝදමින්, මල්ගස්වලට වතුර දමමින්, ගෙමිදුල් අමදිමින් කළ සේවාවන් මහත් ආස්වාදජනක විය. රයිෆල් සමාජයේ සාමාජිකයකු වුවද ඔහුගේ ආදරය දිනා ගත්තේ පියානෝවයි.
දරුවන් සිංහල බෞද්ධ පරිසරයකට ළමා කල පටන් හුරුපුරුදු කරවීම අම්මාගේ ප්‍රයත්නය හා අධිෂ්ඨානය වී තිබිණි. හිතමිතුරු හා ඥාති පවුල්වල සමවියේ දරුවන් හත්අට දෙනකු සමඟ බම්බලපිටියේ වජිරාරාමයට ගොස් රනිල් සංඝයාවහන්සේ ඇසුරේ බුදු දහම උගත්තේ අම්මාගේ මෙහෙයවීමෙනි.
රනිල් අම්මා කැටුව ඇගේ කටයුතුවලට සහභාගි වූයේ මහත් උනන්දුවකිනි. සිංහල සංස්කෘතික ආයතන සහ තරුණ බෞද්ධ සංගමයේ විවිධ තනතුරු දැරූ නාලිනි වික්‍රමසිංහ මැතිනිය ඒ කටයුතුවලට යද්දී මද්දුම පුතා වන රනිල් ද කැටිව ගියාය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ හා සිංහබාහු නාට්‍ය දර්ශන ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පැවැත්වෙද්දි නාලිනි වික්‍රමසිංහ මැතිනිය ඒ කටයුතුවලට නොමද සහයෝගය දැක්වූවාය. එහි රංගගත සිංහල, ඉංග්‍රීසි නාට්‍ය නැරඹීමට ඇය ගියේ රනිල් ද කැටුවය. නාඩගම් ගී තනු, මද්දල් වාදනය, සින්දු රාග, සිංහයාගේ රංගනය, සුප්පා දේවියගේ ගී ඛාණ්ඩ, බෙර හඬ රනිල්ගේ ළමාවියේ විසිතුරු අත්දැකීම් විය. නාට්‍ය අවසානයේදී කරළියෙන් පිටුපස නේපථ්‍යාගාරයට පිවිස මහාචාර්ය සරච්චන්ද්‍රයන් හා පිරිස අතර පසුවන අම්මාට සහ නාට්‍ය ශිල්පීන්ට ඔහු සවන් දුන්නේ අභිරුචියෙනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, චිත්‍රසේන, පනීභාරත, අමරදේව ආදී කලා ශිල්පින් මුල්වරට රනිල්ට දැනගන්නට ඉඩ සැලසුණේ සුදර්ශියේදීය.
එවකට එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ලේක්හවුස් හී කළමනාකාර අධ්‍යක්ෂවරයා විය. ඇතැම් දිනෙක රනිල් අම්මා හෝ තාත්තා කැටුව ලේක්හවුස් ගියේය. පුවත්පත් කලාවේ ප්‍රවීණයන් වූ පියසේන නිශ්ශංක, ටාසි විට්ටච්චි, එච්. එල්. ඩී. මහින්දපාල, එඩ්වින් ආරියදාස ආදී කලාවේදීන් රනිල් මුල්වරට දුටුවේ ලේක්හවුසියට ආ ගිය ගමන්වලදීය. තාත්තා හමුවීමට පැමිණි මාර්ටින් වික්‍රමසිංහ, ටී.බී. ඉලංගරත්න, ජී.බී. සේනානායක ආදී ලේඛකයන් ඔහුට මුණගැසිණි. 60 දශකයේ ඇරැඹි සරසවි සිනමා උලෙළට හා චිත්‍රපට සංදර්ශනයට රනිල් හිත මිතුරන් කැටුව නොවරදවාම සහභාගි විය.
දරුවන්ගේ රුචිඅරුචිකම් හා සහජාශාවන් දත් අම්මා රනිල් සංගීතයට හා නර්තනයට ප්‍රිය කළ බව වටහා ගත්තීය. නිවසට ගෙන්වා ගත් ගුරුවරියක මගින් ඔහුට පියානෝ වාදනය ඉගැන්වීමට කටයුතු යෙදිණි. නැටුම් ඉගෙනුම සඳහා ඔහු කලාගුරු ශ්‍රී ජයනා වෙත යවන ලදී. ඒ පන්තියේ හුන් තවත් එක් දැරියක් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. සංගීතය සහ පියානෝ වාදනය කෙරෙහි සිත ඇදී ගියද රනිල් නර්තනයේ ශූරයකු නොවීය. හේ මඳ කලකින් නැටුම් ශිල්පයෙන් සමු ගනී.
ශ්‍රීලනිප - වාමාංශික සභාග රජයේ පත්තර පනතට එරෙහිව 1964 දී ජන බලවේග කුළු ගැන්වෙන විට එහි ක්‍රියාකාරි තිරයෙන් පිටුපස හිඳ සුවිශාල කාර්යභාරයක් ඉටු කළ රනිල්ගේ පියාණන් එස්මන්ඩ් වික්‍රමසිංහ ත්‍රෛනිකායික භික්ෂු බලවේගය රජයේ පත්තර පනතට එරෙහිව පෙළ ගැසිණි. පත්තර පනතට එරෙහිව ජන රැළි බලන්නට 17 හැවිරිදි රනිල් ගියේ මහත් උද්දාමයෙනි.
රනිල් වික්‍රමසිංහ මුල්වරට 1993 අග්‍රාමාත්‍ය පදවියට පත් කල්හී මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්නයක් නැඟිණි.
"ඔබතුමා දේශපාලකයෙක් නොවුණා නම් කවුරුද වෙන්නේ?"
අධිනීතිඥයකු වනු ඇතැයි යන පිළිතුර බොහෝ දෙනා අපෙක්ෂා කළහ. එහෙත් ඔහු දුන් පිළිතුර ඊට බොහෝ වෙනස් විය.
"මමත් පත්තරකාරයෙක් වෙනවා." මාධ්‍යවේදින්ගේ මුහුණු විමතියෙන් ඇළලිණි.
"ඇයි පත්තරකාරයෙක් නොවුණේ?"
"සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අපේ පත්තර කන්තෝරුව ලේක්හවුසිය ආණ්ඩුවට ගත්තනේ. ඒ නිසයි මම පත්තරකාරයෙක් නොවුණේ".
අධිනීතිඥයකු ලෙස වෘත්තිය ජීවිතයට අත්පොත් තැබූ පියාණන් වැඩිකල් යා නොදී පුවත්පත් ලෝකයට ඇදී ගියද රනිල් තුරුණු වියේදී වඩාත් ප්‍රිය කළේ වෘත්තීය නීතිවේදියකු වීමටය. සම්භාව්‍ය නීති ග්‍රන්ථවලින් පිරුණු තාත්තාගේ පෞද්ගලික පුස්තකාලය හා අධ්‍යයනාගාරය මූලික අණපනත්, මූලාශ්‍ර ග්‍රන්ථ ආදියෙන් සපිරි කෝෂ්ඨාගාරයකි. ඉසිඹු ලද හැම විටෙකම පාහේ පියාණන්ගේ පොත්ගුල ඔහු සිතට නවාතැන් දුනි. කෙළිබිමට වඩා පතපොත ඔහු සිතට ආස්වාදනීය විය. රනිල් බහුල ලෙස පතපොත කියවීම හැරුණු විට ඔහු පෙරදිග හා බටහිර සංගීතයට නැඹුරු වූවෙකි. සුනිල් සාන්ත, අමරදේව, සී.ටී. ප්‍රනාන්දු, ආනන්ද සමරකෝන් ආදී ගායනවේදින්ගේ ගීත රනිල් අභිරුචියෙන් රස විඳිනු දිස් විය. රවිශංකර්, බිතෝවන්, මොසාර්ට්ගේ සංගීත ඛාණ්ඩ ඔහු කුටියෙන් පිටතට ගලා ආයේය. පතපොත අතර හිඳ මනස විඩාපත් වන කල්හී සංගීතයට සවන් දුනි.
නව යොවුන් වියට පත්වත්ම ඉරිදා, සෙනසුරාදා නිවාඩු දිනවල මුහුදු වෙරළේ නෑමට පියාණන් වෙතින් අවසර ලැබිණි. චරිත රත්වත්ත ආදි හිතවතුන්, පවුලේ ඥාති දරුවන් කැටිව රනිල් ගල්කිස්සේ මුහුදු වෙරළට යෑම සිරිතක් කර ගති.
හේ 1966 දෙසැම්බරයේදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට මුහුණ දුන්නේ සිංහල මාධ්‍යයෙන් ඉතිහාසය, භූගෝලය, දේශපාලන විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්ගෙනි. ඒ අතරතුර රනිල් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලන්ඩන් උසස්පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියේ ඉතිහාසය, භූගෝලය සහ දේශපාලන විද්‍යාව යන විෂයන්ගෙනි. 1967 ඔක්තෝබරයේදී ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පූර්ව සූදානමක් ලෙස ඉන්දියාවේ මදුරාසියේ කොනමරා හෝටලයේ නතර වූයේ විභාගය මදුරාසියේ පැවැතුණු බැවිනි.
ලංකාවේ උසස් පෙළ විභාගයෙන් සහ ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් රනිල් සාමාන්‍ය සාමාර්ථ ලද්දේය. රනිල් විදේශීය විශ්වවිද්‍යාලයකට යැවීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්, ආර්ථික ශක්තිය, සමාජ සම්බන්ධතා, විදේශගත ඥාති හිතවතුන් ආදි සියලු පහසුකම් තිබිණි. එහෙත් නිදහස් ලංකාවේ ඉපදුණු නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලද, සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම කළ පුද්ගලයකු පරිදි ලාංකික විශ්වවිද්‍යාලයකට පිවිසීම නොමැනවිද යන්න ඔහු කල්පනා කළේය. ස්වතන්ත්‍ර අධ්‍යාපනය හෙවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඔහුගේ තේරීම වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයයි. අම්මාත් තාත්තාත් එය අනුමත කළහ. රනිල් 1969 දී නීති පීඨයේ 1වන වසරට ඇතුළත් විය. එම වසරේ නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති පදවියට පත් වූයේ රනිල්ය. Colombo Law Review නමැති නීති සංහිතාවේ භාණ්ඩාගාරික ධුරයට රනිල් පත් කෙරිණි. නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කළ ඔහු එහි උප සභාපතිවරයෙක් විය.
විශ්වවිද්‍යාල අවදියේදී ඔහු වඩාත්ම ඇලුම් කළ දේශපාලන නායකයා වූයේ අගමැති ඩඩ්ලි සේනානායකය. ඩඩ්ලිගේ ප්‍රජාතන්ත්‍රවාදි මහත්මා ගුණය මෙන්ම උදාර මිනිස්කම්ද ඔහු වෙත සිත නතු කරවීය. ඩඩ්ලි සේනානායක රජයේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ඉදිරිපත් කළ අධ්‍යාපන පනත් කෙරෙහි විරෝධය පෑ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර දැඩි උද්ඝෝෂණ දියත් විය. රනිල් ද වූයේ රජය පැත්තේ නොව ශිෂ්‍යයන්ගේ පැත්තේය. අග්‍රමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළ ශිෂ්‍ය නායකයන් අතර රනිල් ද විය. එහෙත් ඔහු නියෝජනය කළේ රජයට ප්‍රතිපක්ෂ පාර්ශ්වයයි.
නීතිවේදි අවසාන විභාගයට ඉදිරිපත් වී ප්‍රතිඵල නිකුත් වන්නට මත්තෙන් ඔහු නීති විද්‍යාලයේ අධි නීතිඥ විභාගයට සූදානම් වීම පිණිස කොළඹ නීති විද්‍යාලයට ඇතුළත් විය. අධි නීතිඥ විභාගයද නීතිවේදී අවසාන පරීක්ෂණයද සමත් වූ රනිල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නේ අගවිනිසුරු එච්. එන්. ජී. ප්‍රනාන්දු ඉදිරියේය. සමගි පෙරමුණු රජය පැවැති සමයෙහිදී ජාතික රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් විය. විනිසුරු ටී. එස්. ප්‍රනාන්දු එහි සභාපතිවරයායි. ආගමික ස්ථාන ඉදිකිරීම් පනත් සහ පුවත්පත් මණ්ඩල පනතට එරෙහිව රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ පෙනී සිටියේය. එක්සත් ජාතික පක්ෂ නීතිඥ සංගමයක් පිහිටුවීමට පුරෝගාමි වූවන් අතර රනිල් ද විය. පක්ෂ නායක වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිත්වයට නිල බලයෙන් පත්විය. ලේකම් වූයේ කරුණාසේන කොඩිතුවක්කු ය. රනිල් භාණ්ඩාගාරික ධුරය දැරීය.
සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ පැවැති සියලු අතුරු මැතිවරණවලදි රනිල් අතිශය ක්‍රියාකාරි කාර්යභාරයක් ඉටු කළේය. සමගි පෙරමුණු රජයට බලය ලැබුණේ මුල්කිරිගල ආසනය පමණි. ජේ.ආර්. ජයවර්ධනයන් සමගි පෙරමුණු රජයට එරෙහිව දේශපාලන අරගල රැසක් කරළියට ගෙනාවේය. ලේක්හවුස් පත්තර වර්ජනය, සත්‍යග්‍රහ යනාදිය ඉන් කැපී පෙනේ. රනිල් ඒ සියලු කටයුතුවලදී ජේ.ආර්. ගේ හෙවණැල්ල සේ නොසැලී රැඳී සිටියේය.
රනිල් රාජ්‍ය නායකත්වයේ හිණි පෙත්ත කරා පැමිණ සිටියි. රනිල්ගේ දේශපාලන ප්‍රතිරූපය වැඩිමනක් වශයෙන් විනාශ කළේ විරුද්ධවාදින් නොව ඔහු වටා සිටි දේශපාලන භූමියේ යථාර්ථය ඔහුට වසන් කොට බඩ වඩාගත් අවස්ථාවාදීන් රැළකි.
‘‘අපේ දේශපාලන මතවාද කුමක් වුවත් අවසන් වශයෙන් ජුලියස් සීසර් විසින් කියන ලද චිරංප්‍රකට කියුමකින් මේ කෙටි නිබන්ධය සමාප්ත කරනු රිසියෙනි.
"මට මගේ සතුරන්ගෙන් ආරක්ෂා විය හැකිය. මාගේ මිතුරන්ගෙන් ආරක්ෂා කළ මැනවි දෙවියනි".
ජුලියස් සීසර්.
සකස් කළේ - හර්ෂා සුගතදාස