රාජ්‍ය සේවය දින 04 ක් කිරීම ගැන වෘත්ති­කයන් කියන කතා | සිළුමිණ

රාජ්‍ය සේවය දින 04 ක් කිරීම ගැන වෘත්ති­කයන් කියන කතා

බ්‍රිතාන්‍ය තුළ සිවුදින රාජකාරි සතියක නියමු ව්‍යාපෘතියක් ආරම්භ වී තිබේ. වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින දරුණු ආර්ථික අවපාතය හමුවේ ජනතාවගේ ජීවන තත්ත්වය යම් ආකාරයකින් හෝ යහපත් මට්ටමකින් පවත්වාගෙන යෑමේ අරමුණින් සිව්දින රාජකාරි සතිය ආරම්භ වී තිබෙන්නේ වසර 40කට පසුව බ්‍රිතාන්‍යයේ ඇතිවූ දරුණුම උද්ධමනය නිසාය. ඒ අනුව සේවකයන්ගේ වැටුප් 100%ක්ම ලබා දෙමින් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් මෙම කටයුත්ත සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මේ දිනවල ලංකාවේ ද සිවුදින රාජකාරි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් වී ඇතත් තවමත් කැබිනට් අනුමැතිය හිමි වී නැත. එයට අනුමැතිය හිමි වුවහොත් රාජ්‍ය සේවකයන්ගේ දින 5ක සේවා සතිය දින 4ක් දක්වා අඩු වනු ඇත.

"විදේශීය රටවල් දෙස බලන විට සාමාන්‍යයෙන් සතියකට පැය 40ක් වැඩ කිරීමේ ක්‍රමයක් තිබෙන්නේ. ඩෙන්මාර්කය, ස්විඩනය, පින්ලන්තය වැනි රටවල් වැඩ කරන්නේ පැය තිස් ගණනක් පමණයි. අද ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතර ප්‍රමුඛස්ථානයේ තියෙන්නෙත් ඒ රටවල්. අනික ඒ රටවල් ආර්ථික වශයෙන් ස්ථාවර රටවල් නිසා වැඩ කරන පැය ගණන අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. අද ආර්ථික වශයෙන් දියුණු වී සිටින ඇමෙරිකාව, චීනයේ සතියකට පැය 40ක් වැඩ කරනවා. මෙතනදි අපි විශේෂ අවධානය යොමු කළ යුතු වෙන්නේ වැඩ කරන පැය ගණනට නෙමෙයි. සේවකයාගේ ඵලදායිතාව නිසි ආකාරයට ලැබෙනවාද කියන කාරණාවටයි. පැයකට අපි උපයන්නේ මොනවාද කියන කාරණාව ගැන අපි සැලකිලිමත් විය යුතුයි. පිටරටවල්වල ස්වයං විනයක් තිබෙනවා. සේවයට ළැදියාවක් තිබෙනවා.

ඔවුන් රාජකාරියට අවංකයි. ඒත් අපේ රටේ රාජ්‍ය සේවයේ ඒ කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. අපේ රටේ සේවා ස්ථාන දෙස බලපුවාම කිසිම ප්‍රතිපත්තියක් නැහැ. අවිධිමත්, අත්තනෝමතිකයි, අවිනීතයි. රාජ්‍ය සේවය දළ වශයෙන් පවත්වාගෙන යනවා, නඩත්තු කරනවා. ඵලදායිතාව වැඩි කරගන්න සැලසුමක් නැහැ. රාජ්‍ය සේවකයන් අධීක්ෂණය කෙරෙන්නේ නැහැ. අධීක්ෂණය කෙරුණත් කෙරෙන්නේ පුද්ගලානුබද්ධව පමණයි. නිලබල ක්‍රමය අනුව පහළ නිලධාරින් ගැන ඉහළ නිලධාරින්ගේ වගවීමක් නැහැ. ඔවුන්ගේ වගවීම තිබෙන්නේ දේශපාලනඥයන්ට පමණයි. රාජ්‍ය සේවයේ පවතින මෙම ගැටලුකාරි තත්ත්වයන් තුළ ඵලදායිතාව උපරිමයෙන් ලබා ගන්නේ කොහොමද?" යනුවෙන් ප්‍රශ්න කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්තා සුබසිංහ ය.

වමේ සිට, රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශයේ ලේකම් ප්‍රියන්ත මායා­දුන්නෙ, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය වසන්තා සුබ­සිංහ, කොළඹ සහ අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්න­න්ගර, ලංකා බැංකු සේවක සංග­මයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනා­නා­යක, ලංකා පෞද්ග­ලික බස්රථ හිමි­යන්ගේ සංග­මයේ සභා­පති ගැමුණු විජේ­ර­ත්න

ඇය පවසන ආකාරයට වඩා වැදගත් වන්නේ නි‌ෙවසේ සිටීම හෝ සේවා ස්ථානයේ සිටීම නොවේ. වැඩ කරන පැය ගණනේ ඵලදායිත්වයයි. වැටුණු රටක් ගොඩ නැඟීමට නම් වැඩ වැඩියෙන් වැඩ කිරීමට සිදුවේ. එහෙත් සේවකයන්ගේ ඵලදායිතාව උකහා ගැනීමට නම් ඔවුන්ගේ යටිතල පහසුකම් ද වැඩිදියුණු විය යුතුය. පැය 3ක් පමණ මහමඟට දිය කරමින් තෙරපෙමින් මිරිකෙමින් කාර්යාලයට පැමිණෙන සේවකයන්ගෙන් උපරිම ඵලදායිතාවක් ලබා ගන්නේ කෙසේද? එවැනි පසුබිමක බොහෝවිට සිදු වන්නේ කාර්යාලය ඔවුන්ගේ විවේකස්ථානය බවට පත්වීමයි. එවිට වැඩි පැය ගණනක් සේවයේ යෙදී සිටියත් ඔවුන්ගෙන් ඉලක්කගත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන්නේ නැත. ඇමෙරිකාව, ජර්මනිය වැනි සංවර්ධිත රටවල් වැඩ කරන පැයකට ඇමෙරිකානු ඩොලර් 70 - 75 ප්‍රමාණයක් උපයන විට වැඩි පැය ගණනක් සේවය කරන මෙක්සිකෝවේ වැඩ කරන පැයකට ඇමෙරිකානු ඩොලර් 20ක් උපයන්නේ එමනිසාය.

"අද අපේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. අපි පිළිගත යුතු කටුක සත්‍යය එයයි. සේවකයන් වැඩට එනවිට ප්‍රවාහන වියදම් වැඩි වෙනවා. ඉන්ධන දහනය වැඩි වෙනවා. විදුලිබලය පරිභෝජනය ඉහළ යනවා. එක දවසක් හෝ සේවයට නොපැමිණියහොත් ඉන්ධන, විදුලි ඉතිරි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් ඉතිරි කරගන්න පුළුවන් කියන එක. ඒ වගේම සේවකයන්ගේ වියදමුත් යම් මට්ටමකින් ඉතිරි කරගන්න ලැබෙනවා. ඒ නිසයි අපි දින 5 වෙනුවට දින 4ක් සේවයට කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන්නේ. හැබැයි එහි අර්ථය එක දවසක් නිවාඩු දෙනවා කියන එක නෙමෙයි.

ඒ දවස කෘෂිකාර්මික වැඩවලට යොදා ගැනීමටයි රාජකාරියෙන් ඉවත්වීමට ඉඩ දෙන්නේ. සිකුරාදා දවස රාජකාරියෙන් බැහැර වුණොත් එක දිගට දවස් 3ක් කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන්න පුළුවන්. අද ගම් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් වගා වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ගොඩාක් දෙනා තමුන්ගේ ගෙවත්තේ මොනවා හරි දෙයක් වගා කරනවා. අපේ රටට කඩිනම් ආහාර පිළිවෙළක් අත්‍යවශ්‍යයි. ඒ සඳහා සේවකයන් රාජකාරිවලින් මුදා හැරීම තමයි මෙයින් බලාපොරොත්තු වෙන්නේ." යනුවෙන් පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ ය.

එය ඉතාමත් කාලෝචිත පියවරකි. මන්ද අනාගතයේදි රට මුහුණදෙන බරපතළ ආහාර හිඟයට යම් සහනයක් සහ විසඳුමක් එයින් ලබා ගත හැකි නිසාය.

එහෙත් මෙහිදි යම් යම් ගැටලු කීපයක් ද අපට නිරාකරණය කර ගැනීමට සිදුවේ. රටේ සමස්ත රාජ්‍ය සේවකයන් දින 4ක් සේවයේ යෙදීමෙන් ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට හැකිවේද යන්න ඉන් ප්‍රධාන වේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන දින 7ම වැඩ කළත් සේවාවන් සපුරාලීම ඉතා අසීරුය. තවමත් විෂය නිර්දේශ උගන්වා අවසාන කළ නොහැකි පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දින 5, දින 4 කළහොත් ඇති විය හැකි ගැටලු සුළුපටු නැත. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය, බැංකු ක්ෂේත්‍රය තුළ දින 4ක රාජකාරි සතියක් ක්‍රියාත්මක කළ නොහැකිය.

"දින 4 රාජකාරි සතිය අපි සියලුම රාජ්‍ය සේවකයන්ට ක්‍රියාත්මක කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා සඳහා ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැමෝම දින 4 රාජකාරියට කැඳෙව්වොත් රටේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය නොවන සේවාවන් සඳහා පමණයි මෙය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනික මෙය නිවාඩුවක් ලබා දීමක් නොවෙයි කියලා මම මතක් කරන්න කැමතියි." යනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ ඊට පිළිතුරු දුන්නේය.

දින 5ක් වෙනුවට දින 4ක් සේවයට කැඳවා ඉතිරි දවස වගා කටයුතු වෙනුවෙන් වෙන් කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් හොඳ පියවරකි. එහෙත් එය ප්‍රායෝගික වශයෙන් කොතෙක් දුරට සාර්ථක වේදැයි අපට සිතන්නට සිදු වන්නේ ඇතැම් රාජ්‍ය සේවකයන්ගෙන් සේවය ලබා ගැනීමේදි ජනතාව පත්වන අපහසුතාව හා පීඩාව ගැන අප හොඳින් දන්නා නිසාය. සේවා ස්ථානයේ රාජකාරි කිරීමේ තත්ත්වය එසේ නම් නිවෙසේ සිට ඵලදායි අයුරින් අවංකව රාජකාරි ඉටු කිරීම සම්බන්ධයෙන් දෙවරක් සිතන්නට සිදු වන බව අමුතුවෙන් කිව යුතු නැත.

"දැන් රටේ පවතින අර්බුදය සමඟ වැඩ කරන දින ගණන වෙනස් කළාට කමක් නැහැ. අද එක දවසක් වැඩට එන එකත් සේවකයන්ට ලොකු ගැටලුවක්. හැබැයි වැඩ කරන දවස්වල වැඩ කරන පැය ගණන දීර්ඝ කරනවා නම් හොඳයි. මොකද රාජ්‍ය සේවකයන් ඉන්නේ ජනතාවට සේවය කිරීමට. දවසක් අඩු වෙනවා කියන්නේ ජනතාවට සේවය ලබා ගත හැකි අවස්ථාව අඩු වෙනවා කියන එකයි.

ඒ නිසා දවසට පැය 8 බැගින් සතියට පැය 40ක් මුළුල්ලේ සලස්වන සේවය දවසට පැය 10ක් දක්වා දීර්ඝ කරලා දින 4කින් ලබා දීමට පිළියෙල කරනවා නම් හොඳයි. එහෙම නැතිනම් වැටුප් කප්පාදුවකට යන්න වෙනවා. උදේ 7.30 සිට සවස 5.00 වගේ වේලාවක් සකස් කර ගන්නවා නම් හොඳයි" යනුවෙන් අදහස් ඉදිරිපත් කළේ කොළඹ සහ අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර ය.

එය මහජනතාවගේ පාර්ශ්වයෙන් යහපත් විසඳුමකි. එහෙත් වේලාසනින් සේවයට වාර්තා කිරීමේදීත් රෑ බෝවී නිවෙස්වලට යෑමේදීත් සේවකයන් මුහුණ පාන දුෂ්කරතා පිළිබඳ අප සිතා බැලිය යුතුය. නැතහොත් වැඩ කරන පැය ගණන වැඩි කිරීමෙන් පමණක් සේවා ඵලදායිතාව ලබා ගැනීම අසීරුය.

"අද රාජ්‍ය සේවකයන්ගේ අතිරික්තයක් තිබෙනවා. රටේ ජන අනුපාතයට අනුව රාජ්‍ය සේවකයන් වැඩියි. ඒ නිසා සල්ලි අච්චු ගහලා පඩි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයන්ව විකල්ප සේවාවන්ට යොමු කළ යුතුයි. දැන් හමුදාවේ අය ගැන බලන්න. යුද්ධෙ ඉවර වුණාම ඒ අය ගොවිතැන් කටයුතු ඉදි කිරීමේ කටයුතු වලට යොමු කර තිබෙනවා.

දවසක් නිවාඩු දීම නෙමෙයි මේකට උත්තරය. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය නවත්වන්න හොඳ නැහැ. නිවාඩු දුන්නාම ඵලදායිතාවක් නැහැනේ. " යනුවෙන් වෙනස්ම ආකාරයේ අදහස් දැක්වීමක් සිදු කළේ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නය.

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පැවසුවේ සිව් දින රාජකාරි සතිය පිළිබඳ පැති 2 කින් විමසා බැලිය යුතු බවයි. සේවකයන්ගේ පැත්තෙන් සලකා බැලීමේදී එක් දවසක් සේවයට පැමිණීම පවා අද අතිශයින් දුෂ්කර වී ඇති බැවින් මෙය යහපත් පියවරකි. නමුත් සේවාවන් පැත්තෙන් සලකා බලන විට ජනතාවට යම් යම් ගැටලු මතු විය හැකිය.

"සේවකයන්ගේ වැඩ කරන දින ගණන අඩු කරලා ඔවුන්ගේ දීමනා සහ ගෙවීම් කපා හරින්න ගියොත් දිගුකාලීන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා වෘත්තීය සමිතියක් විදිහට අපි මේ දිහා පුළුල්ව විමසා බැලිය යුතුයි. අද තිබෙන අර්බුදයට විසඳුමක් හැටියට මෙය ඉදිරිපත් කරනවා නම් මෙය පැලැස්තර ඇලවීමක් හැටියටයි මට නම් කියන්න වෙන්නේ. අපේ රටේ නිසි කළමනාකරණයක් නැහැ. මේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් හොයන්න උත්සාහ කරන්නේ නැහැ. අද පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කළ යුතුයි. වැඩිපුර බස්, කෝච්චි යෙදෙව්වොත් සේවකයන්ට කරදරයක් නැතිව වැඩට එන්න පුළුවන්.

සමහර සේවාවන් විමධ්‍යගත කරන්න පුළුවන්. එහෙම නැතිව දින 4 සේවයට කැඳවීම සහ සේවය කරන පැය ගණන දීර්ඝ කිරීම මේ ප්‍රශ්නයට විසඳුම් නෙමෙයි." යනුවෙන් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සඳහන් කළේය. (රාජ්‍ය සේවකයන් ) සතියට දින 4ක් රාජකාරී කිරීම තවමත් තිබෙන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් පමණි. ඊට අනුමැතිය හිමි වී නැත. ඊට අනුමැතිය ලැබේද නොලැබේද කියා අපි බලා සිටිමු.

 

 

Comments