පස් වසකට පසු පොසොන් අසිරිය මවන කහවත්තේ පොසොන් තොරණ | Page 3 | සිළුමිණ

පස් වසකට පසු පොසොන් අසිරිය මවන කහවත්තේ පොසොන් තොරණ

ප්‍රථම වරට 1964 දී ඉදි­කළ කහ­වත්තේ පොසොන් තොරණ

පොසොන් සඳ වෙනදා මෙන් පෑයුවද ඒ සිරිය අසිරියක් කරගෙන සැනසෙන්නට ඉකුත් සිවු වසර මුළුල්ලේම ශ්‍රී ලාංකිකයන්ට හැකි වූයේ නැත. 2019 වසරේ අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් භීතියටත් සංවේගයටත් පත්වූ ශ්‍රී ලාංකිකයන්ට වෙසක් මෙන්ම පොසොන් උත්සව අසිරිය සිතින් මකා දමන්නට සිදු විය. ඒ භීතිය කෙමෙන් පහව යද්දී ලෝකය ආක්‍රමණය කළ කොවිඩ් වසංගතය 2020 වසරේ ලංකාවටත් පැමිණියේ ජන ජීවිතය උඩුයටිකුරු කරමිනි. නිරෝධායන ඇඳිරි නීතිය, සංක්‍රමණ සීමා ආදිය ඉකුත් වසර දෙක පුරා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ බොහෝ දේවල් අහිමි කළේය. 

ඒ සියලු සීමා මායිම් මැද ගෙවුණු ජීවිතවලට යම් අස්වැසිල්ලක් උදා කරමින් දැන් වසංගතය ඉසඹු ලන්නට පටන් ගෙන ඇත. ඒ සමඟ රට යළි සක්‍රීය වෙමින් තිබීම සියලු සිත්වලට සැනසීමකි. මෙවර පොසොන් පොහොය උදා වන්නේ ඒ සැනසුම අතරය.

රටේ පැවති තත්ත්වයන් මත වසර පහක කාලයක් ප්‍රදර්ශනය නොවූ කහවත්තේ ගුරුගේ මැණික් පොසොන් තොරණ මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් ප්‍රදර්ශනය කරන බව ගුරුගේ මැණික් ආයතනයේ අධ්‍යක්ෂ ගයාන් ගුරුගේ පැවසීය. ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ පරලොව සැපත් වූයේ මීට මාස නවයකට පෙරය. තම පියා අඛණ්ඩව වසර පනස් දෙකක් සිදු කළ එම සංස්කෘතික සේවාව ඉදිරියට ගෙන යෑමට ගුරුගේ පවුලේ එකම පිරිමි දරුවා වන ගයාන් ගුරුගේ ඉදිරිපත් ව සිටී.

“මාගේ පියා වසර පනස් දෙකක් තිස්සේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් කහවත්තෙන් රටටම පොසොන් අසිරිය බෙදමින් ප්‍රදර්ශනය කළ පොසොන් තොරණ, බාධක සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද මෙවර පැවැත්වීමට අපේක්ෂා කළේ ජනතාවට මාගේ තාත්තා ලබා දුන් පොසොන් තිළිණය අඛණ්ඩව ලබා දීමේ බලාපොරොත්තුවෙන්. ජූනි 14 සිට 20 වැනිදා දක්වා තොරණ පැවැත්වෙනවා. 14 වැනිදා දහවල ගුරුගේ මැණික් බත් දන්සල පැවැත්වෙනවා. එදින සවස 6.00 සිට කහවත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී " කුහක ජාතකය " විදහා දැක්වෙන පොසොන් තොරණ ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. එය 20 දින දක්වා පැවැත්වෙන අතර, 19 වැනිදා රාත්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් සමඟින් ගායක ගායිකාවන් ගී ගයන මහා සංගීත ප්‍රසංගයත් 20 වැනිදා රාත්‍රී බොරැල්ල අතුල දස්සනාරාමාධිපති පූජ්‍ය බොරැල්ලේ අතුල හිමිපාණන් වහන්සේ විසින් ධර්මදේශනාව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සමහර විට මේ වගේ කාලයක මෙවැනි සන්දර්ශනාත්මක වැඩක් කරන එක හරිද කියලා සමහරු ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් මිනිස්සු ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් පීඩාවට ලක් වෙලා සිටින මොහොතක බුද්ධිමත් ව කටයුතු කරන්න ඕන කියලා මම හිතනවා. කොච්චර සල්ලි තිබුණත් මානසික සුවය තියෙන්නෙ එතන නෙවෙයි. කහවත්ත අවට ජනතාවට ජීවිතය වඳින්න තියෙන අවස්ථා ඉතාම අඩුයි. මේ නිසා ඔවුන් විවිධ වැරදි වලට පෙලඹෙන්න ඉඩ තියෙනවා. මේ තුළින් ඒ අයට මානසික සුවයක් ලබා දීමට හැකියාව ඇති බව අප විශ්වාස කරනවා.මිනිස්සු සංගීතයට, කලාවට, කවියට ඉතාම කැමතියි. එදා මාර්ග පහසුකම් ප්‍රවාහන පහසුකම් කිසිවක් නැති කාලේ හුළු අතු පත්තු කරගෙන තොරන් බලන්න කිලෝමීටර් දහය පහළොව පයින් ආපු මිනිස්සු ගැන මම අහලා තියෙනවා. තාත්තා සංගීත ප්‍රසංග තියනකොට අද රෑ ආරම්භ කරපු ප්‍රසංගය හෙට දහවල් තමයි අවසන් වෙන්නෙ. ලංකාවේ ගුරුගේ මැණික් සංගීත ප්‍රසංගයක සින්දු නොකියපු පැරණි එකම ගායකයෙක්වත් නැතුව ඇති. සංගීත කණ්ඩායම් අතින් බැලුවත් එහෙමයි. ලංකාවේ අංක එකේ කවි මඩුව වුණෙත් ගුරුගේ මැණික් කවි මඩුවයි. කහවත්ත ජාත්‍යන්තරයට ගෙනගිය මගේ තාත්තට ජනතාව ගොඩක් ආදරෙයි. ගුරුගේ මැණික් නිර්මාතෘ මගේ පියා මියගොස් මාස නවයක් වෙනවා. මම මගේ අම්මත් සහෝදර සහෝදරියන් සමඟත් කතා කරලා මේ වසරේ සිට නැවත පොසොන් තොරණ පවත්වන්න තීරණය කළා. මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. නමුත් කිසිකෙනෙකුගෙන් ශත පහක්වත් අය කිරීමක් නොකර නොමිලේම සියලු දේ නරඹන්න රස විඳින්න අවස්ථාව ලැබෙනවා” ගයාන් ගුරුගේ අප සමඟ පැවසීය.

පනස් දෙවසරක් තුළ අඛණ්ඩව පැවැත්වූ ආ කහවත්ත පොසොන් තොරණේ ඉතිහාසය පිළිබඳව කතා කිරීමට සුදුසුම පුද්ගලයා වන්නේ ගුරුගේ මැණික් පොසොන් තොරණේ ආරම්භක අවස්ථාවේ සිට අද දක්වා ම එහි සම්බන්ධීකරණ කටයුතු කල විශ්‍රාමලත් විදුහල්පති ධර්මදාස කොස්තා ය.

“ඉස්සර අම්ලන්ගොඩ ප්‍රදේශයේ තමයි තොරන්වලට ප්‍රසිද්ධ වෙලා තිබුණේ. 1964 කහවත්තේ තොරනක් ඉදිකරමු කියලා ගුරුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි කීපදෙනෙක් එකතු වුණා. ඒ අතර වැල්ලදුර පහලකඩේ ආරියදාස,ටීසී එකේ වැඩ කරපු විජේ, කහවත්තේ කුරේ , තැපැල් කන්තෝරුවෙ වැඩ කරපු බෙන්තර පැත්තේ විමලදාස වගේ කණ්ඩායමක් මහජන සහයෝගයෙන් තමයි තොරණ පටන් ගත්තේ. තොරණේ චිත්‍ර ශිල්පියා අම්බලන්ගොඩ මානම්පිට එස්.කේ.පියදාස. තොරණේ කතාව පරාභව සූත්‍රය. එදා තොරණට වියදම රුපියල් පන්දාහයි. ජෙනරේටරය ගෙනාවේ දෙනියායේ සිල්වර්ඩේල් ආයතනයෙන්. අද මේවා තියෙනවද දන්නෙත් නෑ. එදා හරි දුෂ්කරයි. පහසුකම් අවමයි.

එදා කුඩාවට ආරම්භ කරපු කහවත්තේ පොසොන් තොරණ පසුව වසර කීපයක් කහවත්ත සැෆයර් ක්‍රීඩා සමාජය නමින් තමයි සිදු කළේ. ක්‍රීඩා සමාජයේ සභාපති ගුරුගේ මැතිතුමා, ලේකම් මම. භාණ්ඩාගාරික අද ඌව පළාතේ ආණ්ඩුකාරවර ගරු ඒ.ජේ.ඇම් මුසම්මිල්.

මෙහෙම වසර කීපයකට පස්සේ ගුරුගේ මහත්තයා සිය තනි වියදමින් තොරණ ඉදිරිපත් කරන්න පටන් ගත්තා. එදා ලොකු වේදිකා නෑ. කුඩා ටකරන් මඩුවක තමයි ඔක්කොම කළේ. එදා නිවේදකයන් වුණේ ධර්මසේන ගොඩගේ සහ මහින්ද අබේකෝන් යන දෙදෙනායි. එදා කහවත්ත නගරයේ අද වාගේ වීථි පහන් නෑ. ආලෝකමත් කළේ තැනින් තැන කුලුනු මත තැබු පැට්‍රොමැච් වලින්. සංගීත සංදර්ශන, ගුරුගේ කවි මඩුව, මල්වෙඩි සංදර්ශන හා මල්වෙඩි තරග, විශ්වවිද්‍යාල සංස්කෘතික ප්‍රසංග, හමුදා ප්‍රසංග ආදී විශේෂාංග රැසක් කහවත්තේ ගුරුගේ මැණික් තොරණේ නිතරම දක්නට ලැබුණා.” 

ගුරුගේ තොරණ සඳහා කතාවස්තු තෝරාගත් ආකාරය පිළිබඳ ද ඔහුට ඇත්තේ අපූරු මතකයකි.

“ඉස්සර ගුරුගේ මහත්තයා එක්ක වෙසක් එකට කොළඹ ප්‍රදර්ශනය වන තොරන් සියල්ලම බලන්න මම යනවා. ඒ අතරින් ඉතාම ලස්සන හා වටිනා අර්ථවත් කතාවක් ඇතුළත් තොරණ තෝරා ගන්නවා. තොරණේ කතාව ලංකාවේ දක්ෂතම කවියෙකු ලවා ලියලා නැවත පටි ගත කරනවා.වැඩි පුරම කතාව ලියලා තියෙන්නෙ කලාශූරි මර්වින් සේනාරත්න. සමහර වෙලාවට තොරණ ප්‍රදර්ශනය ආරම්භ වෙන කිට්ටුව තමයි කැසට් පටය හදල ඉවර වෙන්නෙ. ඒ වගේ හරි සුන්දර ඉතිහාසයක් කහවත්තේ ගුරුගේ මැණික් පොසොන් තොරණට තිබෙනවා“.

කහවත්ත පුරාණ විහාරාධිපති සිව්කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කහවත්තේ සේනින්ද හිමිපාණන් වහන්සේ කහවත්තේ ගුරුගේ තොරණ ගැන තවත් මතක ආවර්ජනය කළහ.

“පොසොන් පොහොය දවසට මිහින්තලේ අසිරිය කහවත්තට ලැබෙන්නෙ ගුරුගේ මැණික් පොසොන් පින්කම නිසයි. ලංකාවේ තියෙන විශාලතම තොරණ, දින ගණනාවක් තිස්සේ බෙදෙන බත් දන්සල, මල්වෙඩි සංදර්ශන ඇතුළු විශාල උත්සවශ්‍රීයක් කහවත්තට එකතු වුණේ ගුරුගේ තොරණත් එක්කයි. ඒ විතරක් නෙවෙයි එන ඕන පිරිසකට කුසගින්න නිවාගන්න දිවා ආහාර පමණක් නොවෙයි රාත්‍රියට රත්නපුර හැමතැනම තියෙන පාන් බනිස් ටික වාහන යවලා ගෙනල්ලා බෙදුවෙ ගුරුගේ මහත්තයා. පන්සල් පාසල් ගොඩ නගමින් ගංවතුර, නියඟය, සුනාමිය ආදී ස්වාභාවික විපත්වලදී රට හැමතැනටම උදවු කරන පිළිවෙත කහවත්තට කියා දුන්නෙ ගුරුගේ තොරණත් සමඟයි. දන්දීමේ පුරුද්ද මිනිස්සු අතරට වැඩියෙන්ම ගියේ මේ මහා සංස්කෘතික මංගල්‍යය නිසා කියන එක රහසක් නෙවෙයි.ඒ ඉතිහාසය යළිත් අලුත් කරන්න ගයාන් ගුරුගේ ඉදිරිපත් වීම ඔහු තම සිය පියාගේ මඟ යන හොඳ පුරුද්දක් බව පැහැදිලියි.”

කහවත්ත ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලයේ සභාපති, සබරගමු ලලිත කලාපති දයාතිස්ස ලියනගුනවර්ධන ද අප සමඟ අදහස් දැක්වීය. 

“අද රට මුහුණ දෙන ආර්ථික සමාජීය හා සංස්කෘතික අර්බුද හමුවේ කුඩාම දරුවාගේ සිට වැඩිම වයස්ගත පුද්ගලයා දක්වාම දැඩි මානසික පීඩනයකයි ජීවත් වෙන්නෙ. ඔවුන් ක්‍රීඩාවෙන්, රසවින්දනයෙන් ඈත් වෙලා. පාසල් වේදිකාව පවා දරුවන්ට දැන් කාලෙක ඉඳලා අහිමි වෙලා. එවැනි තත්ත්වයක් තුළ මනස දැඩි ප්‍රකෝපකාරී මට්ටමක තිබෙන බව අහන්න ලැබෙන සිදුවීම්වලින් වැටහෙනවා. සැහැල්ලු මනස මිනිසා සුවපත් කරනවා. ඒ නිසා කහවත්තේ ගුරුගේ මැණික් පොසොන් තොරණ සංගීත ප්‍රසංගය ඇතුළත් මෙම සංස්කෘතික උත්සවය කහවත්තට පමණක් නොව රටම සුවපත් කරන අවස්ථාවක් වන බව අපට විශ්වාසයි.”

කහවත්ත සහ අවට ජනතාවට ඒ මානසික සුවය, සැනසුම ලබාදීම සඳහා පැවැත්වෙන ඒ සංස්කෘතික, ආගමික උත්සවය පිළිබඳ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති, වජිර දර්ශන ද සිල්වා අදහස් දැක්වූයේ ද පැහැදුණු සිතිනි.

“ගුරුගේ මැණික් පොසොන් තොරණ කහවත්ත ට හොඳ අවස්ථාවක්. වටිනා ධර්මාවබෝධයක් ලබා ගැනීමට මෙයින් අවස්ථාව සැලසෙනවා. කහවත්ත බැබළෙන්නෙ පොසොන් කාලයටයි කියල ඉස්සර ඉඳලා අහලා තියෙන්නෙ. පසුගිය වසර පහක කාලය තුළ ගංවතුර, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය ආදී හේතු නිසා සංවිධානය කිරීමට නොහැකි වුණත් මෙවර පොසොන් තොරණ ප්‍රදර්ශනය සිද්ධ කිරීමට නායකත්වය දුන් ගුරුගේ මැණික් අධ්‍යක්ෂ ගයාන් ගුරුගේ ට අපේ ස්තුතිය පුද කරනවා. පුද්ගලිකව විශාල මුදලක් වැය කරල මේ වගේ අමාරු කාලයක මෙහෙම දෙයක් කරන එක ලොකු අභියෝගයක් වගේම පුණ්‍යකර්මයක්.”

තුෂාර හෙට්ටිආරච්චි, කහවත්ත

Comments