පිටකොටුවේදී වෙඩි කෑ එප්පාවල ලක්ෂිත | Page 3 | සිළුමිණ

පිටකොටුවේදී වෙඩි කෑ එප්පාවල ලක්ෂිත

 

සමාජය පුරා අසන්නට දකින්නට ඇත්තේ ගහ මරා ගැනීම් ය. තවකකු ඝාතනය කිරීමට තරම් සැහැසි මනසකින් යුතු වීම ම මේ සමාජයේ කඩාවැටීම පෙන්නුම් කරන්නකි. පසුගිය දිනෙක පිටකොටුවේ සිදු වූ වෙඩි තැබීම ද එවැන්නකි.

 

පිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ පසුගිය 30දා උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අංක 285, කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇත.

තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ලක්ෂිත විරාජ් මීට පෙර කමාන්ඩෝ සෙබලකු ලෙස සේවය කර නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වී කොළඹ ප්‍රදේශයේ සුපිරි අවන්හලක සේවය කර ඇත. එහිදී වැටුප් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඔහු ඝාතනය කරන්නට ඇතැයි සැක කරන බව පවුලේ ඥාතීහු පවසති.

අදාළ වැටුප් ආරවුල සම්බන්ධයෙන් ලක්ෂිත විරාජ් හා අදාළ අවන්හලේ සේවකයන් පිරිසක් වෙත කුරුඳුවත්ත පොලීසිය මගින් නඩු පවරා ඇති අතර, අදාළ නඩුවට පෙනී සිටිමට ගොස් නැවත එමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ලක්ෂිත විරාජ් ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලක්ෂිත විරාජ්ගේ වැඩිමල් සොයුරා වන සමීර දිනේෂ් පවසන්නේ මෙවැන්නකි.

‘මේ මිය ගිහින් ඉන්නේ මගේ බාල සහෝදරයා, එයා රැකියාවක කළ තැන, එයා ඇතුළු සේවකයෝ 04 -05 දෙනෙකුට වැටුප් ගෙවලා තිබ්බේ නෑ, නැවත පඩි ගෙවන්න එන්න කියලා දැනුම් දීලා තිබ්බා. එදා එතනදී ආරවුලක් වෙලා කුරුඳුවත්ත පොලීසිය නඩු පවරලා තිබ්බා. මගේ සහෝදරයා ඇතුළු පිරිසකට අයුතු ඇතුළු වී අනර්ථයක් කළා කියලා. ඒ නිසා පුද්ගලික ආරවුලක් තිබුණා. ඒ සිද්ධිය නිසා සිදු වූ දෙයක් කියලා තමයි මම හිතන්නේ. එයාට වෙන ප්‍රශ්න තිබුණේ නෑ, ඔය සිදුවීම පමණයි තිබුණේ.

පසුගිය 30 දා උදේ 2.00 ට පමණ තමයි නි‌ෙවසින් ගියේ නඩු කටයුත්තට සහභාගී වෙන්න බස් රථයෙන්. නඩු කටයුත්ත ඉවර වෙලා එද්දී තමයි ඔය සිද්ධිය සිදු වෙන්නේ. තර්ජන ගර්ජන තියෙන බවක් නම් අපිට දැනුම් දුන්නේ නෑ. කොළඹ රැකියාවේ ගැටලුවෙන් පස්සේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනක සේවය කරමින් තමයි හිටියේ යැයි ඔහු පැවසීය.

 

   තිසර සමල්, අනුරාධපුර

Comments