ඖෂධ මාරයා | සිළුමිණ

ඖෂධ මාරයා

කෝප් කමිටු සභා­ප­ති­ මහාචාර්ය චරිත හේරත් ඉන්දීය ණය ආධාර භාවිත නොකි­රීම පිළි­බ­ඳව කරුණු විම­ස­මින්
කෝප් කමිටු සභා­ප­ති­ මහාචාර්ය චරිත හේරත් ඉන්දීය ණය ආධාර භාවිත නොකි­රීම පිළි­බ­ඳව කරුණු විම­ස­මින්

 

ටේ ඇතිව තිබෙන වත්මන් ආර්ථික ගැටලුවට වගකිව යුත්තේ රටේ දේශපාලන අධිකාරිය බවට බොහෝ සමාජ විචාරකයන්ගේ මතයයි. එහෙත් රටේ කිසිදු දේශපාලකයකුට අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ප්‍රධාන ගණකාධිකාරිවරයාගේ අනුදැනුමකින් අනුමැතියකින් තොරව කිසිවක් කළ නොහැකිය. එමෙන්ම නිලධාරීන්ගේ දූෂණය හා නොසැලකිල්ල රාජකාරිය පැහැර හැරීම වැනි කරුණුද සමස්ත ආර්ථිකයටම බලපානා බව අමුතුවෙන් පෙන්වා දිය යුතුද නැත.

මේ කරුණු විශේෂයෙන්ම සිහි ගැන්වීමක් පසුගිය මැයි 31 වෙනිදා කෝප් කමිටුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය හා සම්බන්ධ ආයතන ගැන සිදු කළ විමර්ශනයකදී හෙළි විය.

එහිදී හෙළි වු කරුණුවලින් අපට පෙන්නුම් කෙරුණේ රටේම ජනතාව ජීවත් කරවන්නට පූර්ණ සහාය ලබා දිය යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඊට අදාළ ආයතනවල ඇතිව තිබෙන නොසැලකිලිමත්භාවය හා නොසලකා හැරීම් මෙන්ම වගවීම හා වගකීම යන සිද්ධාන්ත පසෙකට විසිකර ඇති බවයි.

කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගන්නා එමෙන්ම එපා වූ විට තලගොයාද කබරගොයකු යැයි පවසා පැත්තකට දමන්නට තරම් මේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පහත වැටී ඇති බව පෙනෙන ලදී.

ජාතික ධනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම කළ යුතුය යන කරුණ ඒ ඇතැම් නිලධාරීන්ට කිසිදු වගේ වගක් නොමැති බව අපට පසක් වූ කරුණක් විය. විශේෂයෙන්ම මෙරට සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීටම ඉන්දීය රජයෙන් ලැබුණු ඇමරිකන් ඩොලර් මිලියන 200න් මේ දක්වා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 92.9කි. ඒ අතර අපේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ දහස් ගණනක හිඟයක් පවතී. ඒ ජීවිතය රැක ගන්නට පොර බදන ළමා වැඩිහිටි ජනතාවක් සිටියදීය.

ඉන්දියානු ණය ආධාර මෙන්ම අනෙකුත් ආධාර භාවිත කරමින් මෙරට ඖෂධ හිඟය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් විසින් එහිදී නිර්දේශ විසින් ලදී.

කෝප් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණ ද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යාංශ ඖෂධ උප කමිටුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් පිරිවැය වූ වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් නිර්දේශ ලබා දී තිබූ බවයි. එය ඒ ආධාර මුදලින් 28% ක් වූ බවත් පසුගිය මැයි 18 දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ ඉන්වොයිස් පමණක් නිර්දේශ කර තිබූ බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

අත්‍යවශ්‍ය ඖෂධ හිඟය යනු ජනතාවගේ ජීවිත රැක ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් වන බැවින් තොග ශූන්‍ය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු අයිතමයන් වෙනුවෙන් කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස කෝප් කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමෙන්ම ඉන්දියානු ණය ආධාරවලට අමතරව ඖෂධ ලබාගැනීමට මේ වන විට ලැබී ඇති ලෝක බැංකු ණය ආධාර ක්‍රමය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ආසියානු සංවර්ධන බැංකු ආධාර සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර කඩිනමින් යොදවා නොගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.

විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවන බවද ඒවා තවමත් වැයකොට නොමැති බවද මෙහිදී අනාවරණය විය. කමිටුවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ හැකි ඉක්මනින් අවශ්‍ය පරිපාලන තීරණ සහ අවශ්‍ය අනුමැතිය ලබාගැනීම් කටයුතු සිදු කර මේ මුදල් යොදවා ඖෂධ මිලදීගතහොත් 2023 වසරේ මැද වන තෙක්ම ඖෂධ හිඟයක් ඇති නොවන බවයි.

වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම සහ භාවිත නොකිරීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය.

ඖෂධ නීතිගත සංස්ථාවේ ලිඛිත පිටපතක් සංස්ථාවේ ආනයන අංශයට ලැබෙන තෙක් අදාළ ඖෂධ ඇණවුම් නොකරන බව ද මෙහිදී හෙළි විය. ඒ අනුව ඊට දින 18 සිට මාස 6 දක්වා කාලයක් ගතවන බවද මෙහිදී හෙළි වූ විශේෂ කරුණකි. ඒ ගැන කමිටුව විමසා බැලීමේදී දැන ගන්නට හැකි වූයේ අදාළ පරිගණක පද්ධතියට සම්පූර්ණ ඇණවුම ඇතුළත් කළ නොහැකි (Upload) බවයි. ඒ අනුව කිසිදු රෝහලකට අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීමට හෝ වෙනත් සෞඛ්‍ය ආයතනයට දත්ත ඇතුළත් කළ නොහැකි තත්ත්වයක් පවතින බවද වාර්තා විය.

විශේෂයෙන්ම මෙහිදී හෙළිවූයේ මෙම පද්ධතිය සැකසීම සඳහා රුපියල් මිලියන 644ක් එක්තරා පෞද්ගලික සමාගමකට ලබා දී ඇති බවයි. එමෙන්ම එහි නඩත්තු කටයුතු සඳහා යැයි පවසමින් මසකට රුපියල් මිලියන 5ක් ලබා දෙන බවද අනාවරණය විය. එම පද්ධතිය සැකසීම ආරම්භ කර ඇත්තේ 2008 වසරේ දී බවත් වැඩ කටයුතු අවසන් කර ඇත්තේ 2015 වසරේදී බවත් අනාවරණය විය. එසේ වුවද එම පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවද හෙළි විය. අවශ්‍යතාව නිසි පරිදි ඉටු නොවුණද මසකට නඩත්තු වියදම් ලෙස රුපියල් මිලියන 5ක් බැගින් 2015 වසරේ සිට මේ දක්වා ආසන්න වශයෙන් රුපියල් මිලියන 330ක් ගෙවා ඇත.

එම පද්ධතිය නිසි පරිදි ස්ථාපනය කර වෛද්‍ය සැපයීම් අංශය, ඖෂධ නියාමන අධිකාරිය හා ඖෂධ නීතිගත සංස්ථාවත් ඊට අමතරව අනෙකුත් සියලු වෛද්‍ය අංශවල අවශ්‍යතාවන්ටත් සරිලන පරිදි සකස් කිරීමට රුපියල් මිලියන 7,000ක් වැය වන බවට ගණන් බලා ඇතැයි මෙහිදී පැමිණි සිටි නිලධාරීන් විසින් කෝප් කමිටුවට පවසා සිටි අතර එහිදී කෝප් කමිටු නිලධාරීහු ඒ ගැන විමතිය පළ කළහ.

රුපියල් මිලියන 644ක් වැය කර ස්ථාපිත කළ පද්ධතියට තවත් රුපියල් මිලියන 330ක් පමණ නඩත්තු වියදම් ලෙසද ගෙවා එය යළිත් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කිරීමට රුපියල් මිලියන 7,000ක් වැය කරන්නට නිර්දේශ ලබා දුන්නේ කවුදැයි යන්න මන්ත්‍රීවරු විමසා සිටියහ. එමෙන්ම කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය හර්ෂද සිල්වා හා නීතිඥ මධුර විතානගේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ පරිගණක විද්‍යාව හදාරන සරසවි සිසුන් හෝ වෙනත් දස්කම් ඇති අය මෙරට සැලකිය යුතු පිරිසක් සිටින බවත් මේ සඳහා අවශ්‍ය මෘදුකාංගයක් නිර්මාණය කර ගැනීම නොමිලේම ඔවුන්ට කර දිය හැකි බවයි. එමෙන්ම කමිටුව ඒ සඳහා විවෘත ආරාධනාවක්ද කර සිටින ලදී.

කෙසේ වෙතත් අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමට මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බවද ඊට වැය වන්නේ මිලියන 101ක් පමණක් බවද නිලධාරීහු පෙන්වා දුන්හ. එහිදී අදාළ ඕනෑම ආයතනයකට විනිවිද ලෙසින් දත්ත ඇතුළත් කිරීමට මෙන්ම තම අවශ්‍යතාවය ඉටු වන්නේ කවදාද? එහි ප්‍රගතිය යන කරුණු දැක බලාගත හැකි බවද මෙහිදී යෝජනාවට බඳුන් විය.

එමෙන්ම එවන් පද්ධතියක් හරහා ඖෂධ සුරැකීමට පියවර ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ පැවසුවේය. ඔහු පෙන්වා දුන්නේ කෝට්ටේ බල ප්‍රදේශයේ පමණක් අනුමත ආරෝග්‍ය ශාලා 14ක් ඇති නමුත් ඒවාට රෝගීන් පැමිණෙන්නේ ඉතාම අවම වශයෙන් බවත් එසේ වුවත් ලැබෙන ඖෂධවලට සිදුවන දෙයක් නොදන්නා බවත්ය.

එසේම ඖෂධ අවශ්‍යතාව ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර මෙවැනි ක්‍රමවේදයක් වඩාත් නිවැරදිව පවත්වාගෙන යාමට කටයුතු කිරීමේ වැදගත්කමද කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම ක්‍රමවේදය මගින් එදිනෙදා ඖෂධ අවශ්‍යතාවය සහ ඖෂධ හිඟය කලින්ම හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වන බවද පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.‍ මෙහිදී හෙළි වූ විශේෂ කරුණක් වූයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වසර 2018 සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකර තිබීමයි. ඒ සඳහා කිසිදු ආකාරයක පිළිගත හැකි සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නට නිලධාරීන්ට නොහැකි වූ අතර මසක කාලයක් තුළ 2018, 2019, 2020 හා 2021 වාර්තා ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව විසින් උපදෙස් ලබා දුන්නේය. ඒ සඳහා වෙනමම කාර්ය මණ්ඩලයක් පත් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා විසින් උපදෙස් ලබා ‍ෙදන ලදී.

මෙහිදී හෙළි වූ කරුණක් වූයේ ඖෂධ සැපයුම් අංශයේ තිබිය යුතු ඖෂධ හා අයිතම 8316කින් 5054ක් තොග ශුන්‍ය වී ඇති බවයි. ඒ අතර ශල්‍යකර්ම, රසායනාගාර හා X කිරණ පරීක්ෂණ සඳහා අවශ්‍ය ඖෂධ හා අයිතම විශේෂත්වයක් ගනු ඇත.

මේ වන විට තොග ශුන්‍ය ඖෂධ අතර ශල්‍යකර්ම සඳහා භාවිත කරන ඖෂධ හා අයිතම වර්ග 2721වෛද්‍ය සැපයීම් අංශයේ නොමැත. එමෙන්ම රෝහල් තුළ එවන් ඖෂධ හා අයිතම 2153ක් තොග ශුන්‍ය වී ඇති බවත් රසායනාගාර ඖෂධ හා අයිතම 3900ක් තොග ශුන්‍ය වී ඇත. X කිරණ පරීක්ෂණ සඳහා අවශ්‍ය අයිතම 44ක්ද තොග ශුන්‍ය වී තිබේ.

ඊට අමතරව මේ වන විට අතිවිශාල මුදලක් සියලු සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති බවද අනාවරණය විය. ඒ අනුව රුපියල් කෝටි 3,400ක් මේ වන විට සැපයුම්කරුවන්ට ගෙවීමට ඇත. එයින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පමණක් රුපියල් බිලියන 4.2ක් ගෙවීමට සිදුව තිබේ. ආනයනික සැපයුම්කරුවන් වෙනුවෙන් රුපියල් කෝටි 310ක් මහජන බැංකුවට රුපියල් මිලියන 917ක් ලංකා බැංකුවට රුපියල් මිලියන 247ක් ගෙවීමට තිබේ.

එසේම වෛද්‍ය සැපයීම් අංශයේ ද අතිවිශාල මුදලක් ගෙවීමට ඇති අතර මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් කෝටි 1600ක බැංකු අයිරාවක් යටතේ සිටින බද හෙළි විය.

විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාර යටතේ ඩොලර් මිලියන 1000ක් මෙරටට ලැබුණු බවත් එයින් සෞඛ්‍යයට ලබා දුන් මුදල් මේ දක්වා නිසි පරිදි කළමනාකරණය නොකිරීම ගැන කෝප් කමිටු සාමාජිකයන් වන පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, නීතිඥ මධුර විතානගේ ප්‍රේම්නාත් සී . දොලවත්ත, ආචාර්ය නාලක ගොඩහේවා මහින්දානන්ද අලුත්ගමගේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ.

ඉන්දියානු ණය ආධාර යටතේ ජනතාවට අඩු මිලට අවශ්‍ය ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සතොස ආයතනය මඟින් ගෙන්වා ජනතාවට ලබා දී අවසන් බවත් සෞඛ්‍යයට ලැබුණු මුදල් සම්බන්ධව තවමත් අතපත ගාමින් සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ. ජීවත්වීමට අවශ්‍ය සාධකයට මෙසේ කටයුතු කිරීම ගැන ඔවුහු දැඩි දෝෂාරෝපණ එල්ල කළහ.

එසේම එම ණය ආධාර යෝජනා ක්‍රමය කල් ඉකුත්වීමට පෙර අදාළ ඖෂධ ගෙන්වීම සිදු නොකළහොත් එය මහා අපරාධයක් බවද ඔවුහු පෙන්වා දුන්හ. අතිවිශාල ඖෂධ හිඟයක් තිබියදී ප්‍රසම්පාදන කමිටුවෙන් අනිසි ප්‍රමාදයක් වන බවද කමිටුව පෙන්වා දුන්නේය.

2020 හා 2021 වසරවල ඖෂධ ආනයනයේදී බරපතළ ගැටලු මතුව ඇත. විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධ දැඩි ගැටලු මතුව තිබේ.

එමෙන්ම මේ වන විට ජලභීතිකාවට ලබා දෙන ඇන්ටි රිබේස් සේරම් ඖෂධය තොග ශුන්‍ය වී තිබේ. එයට හේතුව වී ඇත්තේ 2020 හා 2021 වසරවල එම ඖෂධයේ ඇණවුම් කර පසුව එම ඇණවුම අත්හිටුවීමයි. පෙර වසරේ සිදු කළ ඇණවුම් ප්‍රමාණවත් බවට කළ අනුමාන නිසා මේ තත්ත්වය ඇතිව තිබේ. ජලභීතිකාව වැනි භයානක මාරාන්තික රෝගයක් සම්බන්ධයෙන් වෛද්‍ය දැනුමැති නිලධාරීන් මෙසේ කටයුතු කිරීම සැබැවින්ම කනගාටුදායකය.

එමෙන්ම 2021 වසරට අදාළව නිර්වින්දන එන්නත් 70,000ක් ඇණවුම් කර මාස 24ක් ගොස් 2022 අප්‍රේල් 22 වන විටත් ඒවා ලැබී නොතිබුණි. මේ ගැන නිලධාරීන්ගේ අවධානය ඉතාම මන්දගාමීය.

කෝප් කමිටුවට පැමිණ සිටි නිලධාරීන් අතර සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්. කේ රත්නායක, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩබලන සභාපති වෛද්‍ය ඩී.එස් සමරසිංහ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසික විජේවන්ත, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මහාචාර්ය භවන්ත ගමගේ ඇතුළු නිලධාරීන් රැසක් කෝප් කමිටුවට පැමිණ සිටියහ.

මෙවන් නිලධාරීන් රැසක් සිටියදී මෙරට සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙන යන්නට බැරිනම් එහි වරද දේශපාලකයන්ට බෝලය පාස් කර දමා නිහඬවීමට ඔවුන්ට හැකියාවක් නැත. විශේෂයෙන්ම අවශ්‍ය වූ විට දින දෙක තුනකින් අනුමැතිය ලබා දී අලුත්ම ඖෂධ ලබා ගන්නට මේ අංශයන් විසින් කටයුතු කර ඇත. එහෙත් ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට වසර ගණන් බලා සිටිය යුතුය. අවම වශයෙන් එහි නිර්දේශය ලබා ගැනීමට සෞඛ්‍ය ක්‍රමවේදය අනුව දින 300ක් බලා සිටිය යුතුය.

එමෙන්ම ලියාපදිංචි සැපයුම්කරුවන් නොමැති විට විරෝධතාවක් නොමැති බවට ඖෂධ නියාමන අධිකාරියෙන් ලබා දෙන ලිපියක් හරහා ඖෂධ ආනයනය කිරීමේ හැකියාවක් ඇති කර ඒ හරහා අතිවිශාල දූෂණයක්ද සිදු ව ඇති බවද පැහැදිලිය. ඉදිරි කෝප් කමිටුවකදී ඒ සම්බන්ධව විමසා බැලෙනු ඇත. විශේෂයෙන්ම මේ වන විට විරෝධතා නොමැති ලිපි හරහා ගෙන්වා ගත් ඖෂධ වර්ග කොපමණද? ගෙන්වා ගත් අවස්ථා කොපමණද ? යන්න ගැන වාර්තා සැපයීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකියාවක් ලැබී නොමැත. එහෙයින් ඉදිරි කෝප් කමිටුවකදී ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදු කෙරෙනු ඇත.

මැයි 31 පැවැති කෝප් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ මධුර විතානගේ සහ ගරු එස්. එම්. මරික්කාර් යන මහත්වරු සහභාගී වූහ.

කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී වැදගත් කරුණක් උපුටා දක්වන ලදී. ඒ ඖෂධ හිඟය මැඬ පවත්වා ගැනීම සඳහා ලැබී ඇති ණය ආධාර නිවැරදිව කළමනාකරණය කර කඩිනමින් යොදවා නොමැති බවයි. ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් හිඟය බල පා නොමැති බවත් කළමනාකරණය ඉක්මනින් සිදු නොකිරීමේ ගැටලුක් මෙහිදී නිරීක්ෂණය වන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අසමත් කළමනාකරණයෙන් වන්දි ගෙවන්නේ කවුරුන්ද? අසරණ පිළිකා රෝගීන්ය, ජලභීතිකා රෝගීන්ය, ජීවිතයත් මරණයත් අතර සිටින අනෙකුත් රෝගීන්ය, හෘද රෝගීන්ය. මෙවන් නිලධාරීන් සෞඛ්‍ය අංශයේ සිටීමෙන් ඇති ඵලය කුමක්දැයි ජනතාව නොඅසන්නේ ඔවුන් ඒ සියල්ල වසා ගෙන සියල්ල දේශපාලකයාට යොමු කර ඇති හෙයිනි.

 

Comments