වත්තල මාබෝල නගර සභාවේ කාන්තා හිංසනය | සිළුමිණ

වත්තල මාබෝල නගර සභාවේ කාන්තා හිංසනය

නාගරික ලේකම්වරිය කළුතෙල් ප්‍රහාරයකට ලක් වු අවස්ථාව

ත්තල මාබෝල නගර සභාවේ නාගරික ලේකම්වරිය ගීතා ලොකුවැල්ල පසුගිය 28 වැනිදා කළුතෙල් ප්‍රහාරයකට ලක් වන්නීය. ඒ පිටතදී නොවේ. ඇය සේවය කරන නරගසභා සභා, ශ්‍රවණාගාරය තුළදීය. වැදගත්ම කාරණාව වන්නෙ ශ්‍රවනාගාර තුළ නගර සභා වාරයක් පැවැත්වෙමින් ඇති අතරතුර ඇය මේ ප්‍රහාරයට ලක් වීමය. 

ඒ අශිෂ්ට ප්‍රහාරය සිදු කරන්නේ නාඳුනන්නේ යැයි කියන පුද්ගලයෙකි. එහෙත් ලා නිල් පැහැයට හුරු කොවිඩ් ආරක්ෂක ඇඳුමක් වැනි බාච්චු උඩුකය වැස්මක් සහ කළුපැහැයට හුරු කලිසමකින් සැරසුණු ප්‍රහාරකයා යැයි සැක කරන පුද්ගලයා ටින් එකක් රැගෙන එන අකාරය, ශ්‍රවණාගාරය තුළට ඇතුළු වන ආකාරය, කළුතෙල් ප්‍රහාරය සිදුවී බව කියන අවස්ථාවට විනාඩි කීපයක් අතුළත පළා යන ආකාරය චිත්‍රපටයක දසුන් සේ රූප රාමු සහිතව සී.සී.ටී.වී දර්ශනවල පැහැදිලිව පෙනෙන්නේය. මේ ලියන මොහොත වනවිටත් පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන බව කියන්නේය. ප්‍රාදේශීය ජනතා නියෝජනයක් සහිත ගෞරවනීය යැයි සැලකෙන පාලන ආයතනයක් තුළ, ජනතා නියෝජිතයන් සහිත සභා වාරයක් පැවත්වෙමින් ඇති අවස්ථාවක කාන්තාවක් විෂයෙහි මුදා හැරුණු මේ හිංසනය මේ වනවිට සමාජයේ දැඩි පිළිකුළක් ඇති කර තිබෙන්නේය.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. අප්‍රේල් 28 දා වත්තල මාබෝල නගරසභාවේ මහා සභාවරය අරඹන්නේ උදෑසන 9.30 ට ය. සභාව ආරම්භ කර පැය කාලයක් ගත වුණේ නැත. ශ්‍රවණාගාරයේ වේදිකාවේ තිරය අතරින් නාගරික ලේකම් ගීතා ලොකුවැල්ලගේ හිසට කළුතෙල් බාල්දියක් නාඳුනන පුද්ගලයෙක් විසින් වත් කරන්නේය.

“ හරියටම මගෙ ඔළුවට දැම්මෙ. ඇස්වලටත් තෙල් ගියා. ඇස් දැවිල්ල ගන්න ගත්තා. ඔළුවෙන් බේරිලා ඇඳන් හිටිය ඇඳුම් කළුතෙල් වලින් තෙත් වුණා. මට ඒ මොහොත මම හිටියෙ මහා කම්පනයකින්. මගෙ ළඟ හිටිය සභාවෙ කටයුතු කළමනාකාරිණී සඳුනි සිල්වගෙ ඇඳුම්වලටත් නරග සභා සභාපති මාර්ක් ගුණසේකරගෙ ඇඳුම්වලටත් කළුතෙල් විසිවෙලා තිබුණා. ඒ වෙලාවෙම පොලිස් හදිසි ඇමතුම් අංශයට කතා කළා. පොලිස් නිලධාරින් පැමිණ පරීක්ෂා කරනකොට සැකකරු පළා ගිහින්. “ ඇය එම සිද්ධිය විස්තර කළේ එසේය.

සිද්ධියෙන් අනතුරුව නාගරික ලේකම්වරිය කොළඹ අක්ෂි රෝහලට ඇතුළත්ව දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය. සිද්ධිය සම්බන්ධව බොහෝ කාරණා දැන් ඉදිරිපත් වන්නේ යම් තාර්කික අදහස් සමුදායක් මතය.

මූලිකම තර්කය වන්නේ වැටුප් ලබන පෞද්ගලික ආරක්ෂක සේවාවක් සහිත, පැය 24 පුරාම ආරක්ෂිත කැමරා ක්‍රියාත්මකවන වත්තල මාබෝල නගර සභාවට පිටතින්ම පැමිණෙන පුද්ගලයෙක් කළුතෙල් රැගෙන මහා සභාව පවතින ශ්‍රවණාගාරයට ඇතුළු වී මෙවැනි ප්‍රහාරයක් හුදෙකලාව එල්ල කරන්නේ නම් එය කළ හැක්කේ අභ්‍යන්තර සහායක් සහිතව බවය. “ බොහෝ විට මෙය කාගෙ හරි කොන්ත්‍රාත් එකකට කළ වැඩක් විය හැකියි.“ නාගරික ලේකම්වරිය විශ්වාසයෙන් මාධ්‍යයට අදහස් පළ කළාය.

“2019 අප්‍රේල් 18 මම වත්තලට ආවේ. මා රාජකාරිය කරන්නේ නගර සභා ආඥාපනතට අනුව.ඊට පරිබාහිරව මා සේවය කරන්නේ නෑ. වත්තල කියන්නේ වාණිජ නගරයක්. මේ ප්‍රදේශයේ බොහෝ වෙලාවට අනවසර ඉදිකිරීම්, වරිපනම් නොගෙවීම් අනවසර ජාවාරම්, මස්කඩ පවත්වාගෙන යාමට බලපත්‍ර ඉල්ලීම් සිදුවනවා. 

“ අයුතු ලෙස ගසාකමින් වක්‍රව කළු සල්ලි හොයන පිරිසකට මා මේ පුටුවේ රැඳී සිටීම විශාල හිරිහැරයක්. එය මා දන්නවා. මේ මාව නිහඬ කරන්න කරන හදපු එක් අවස්ථාවක්. මෙවැනි දේවලින් මා නිහඬ කරන්න බෑ. සිද්ධිය සම්බන්ධව වත්තල පොලීසියට ආරක්ෂිත කැමරා දර්ශන සාධකත් එක්ක පැමිණිල්ලක් කළා. අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන,අධිකරණයට ඉදිරිපත් කරන තුරු මා බලා ඉන්නවා.“ නාගරික ලේකම් ලේකම්වරිය ගීතා ලොකුවැල්ල අප සමඟ කීවාය.

සිද්ධිය වූ අවස්ථාවේදීම සභාවේ සිටි සියලුම කාන්තා මන්ත්‍රීනියන් නාගරික ලේකම්වරියගේ සහායට පැමිණ සිටියහ. සිද්ධිය ඇසින් දුටු ඉනෝකා දිල්හානි මන්ත්‍රීවරි අපට කීවේ මෙය නිසැකවම සභාව තුළ එක් පාර්ශ්වයක මෙහෙයවූ ශිෂ්ට සමාජයකට නොගැළපෙන ප්‍රහාරයක් බවය. එහෙත් වත්තල මාබෝල නගර සභා සභාපති මාර්ක් ගුණසේකර මේ සිදුවීම සම්බන්ධව කතා කරන්නේ යම් අවඥා සහගත ස්වරයකිනි. අප ඔහුගෙන් කළ විමසීමක දී සිද්ධිය මුල් කරගෙන පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එය ඉවර වූ පසු කතා කරමු යැයි යෝජනා කරන්නේය. සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ලලිත් ධර්මසේන කියන්නේ මෙය රාජ්‍ය නිලධාරියකුට පමණක් නොව කාන්තාවකට එල්ල කළ හිංසනයක් බැවින් යළිත් මෙම සිද්ධිය දැඩි ලෙස හෙළා දකින බවත් මාධ්‍ය හරහා ප්‍රචාරය වී හෙළිදරව් වන මෙවැනි සිද්ධි සම්බන්ධව ඇතිකරන දේශපාලන බලපෑම නිසා විසඳුම් නොලැබෙන බවත්ය.

සිද්ධිය සම්බන්ධව පොලිස් විමර්ශනවල තත්ත්වය කෙසේදැයි අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව විමසුවෙමු.

“ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මකයි. සිසීටීවී පරීක්ෂා කරගෙන යන්නේ. නගරසභාවෙ හිටපු මන්ත්‍රීවරු සියලු දෙනාගෙ කටඋත්තර ගැනීම කළ යුතුයි. ඔවුන් තමන්ගෙ කට උත්තර 09 වැනිදා ලබා දෙන්න සූදානමින් ඉන්නේ. ඊළඟට තිබෙන්නේ මේ සීසීටීවී දර්ශනවල ඉන්න සැකකරු අත්අඩංගුවට ගැනීම. ඒ සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.“ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේය.

ඡායාරූප- රාගම සමූහ කේ එස් හැන්නදි

Comments