
මේෂ ලග්නය
•නව ව්‍යාපාර-විදේශ ආයෝජන
මේෂ ලග්නයට අනුව ඔක්තොබරයේ ග්‍රහ තත්ත්වය පිළිබඳ මධ්‍යස්ථ පිළිවෙතක සිට සිතා බැලිය යුතුව තිබේ.
එක් අතකින් සුබ වනවිට තවත් අතකින් අසුබ පල ද එළැඹීම වළකාලනු නොහේ. ඒ අනුව බුධ පිටරට යෝග පිටරට ගමන් බිමන් යෙදෙන නමුත් ඒ වෙනුවෙන් විශාල ධනයක් වැය කිරීමට වියදම් කිරීමට සිදුවනු ඇත. රැකියා තත්ත්වයේ යම් යම් බාධක එළඹුන ද තමා විසින් නව ව්‍යාපාර කටයුතු අරඹන බව ද පෙනෙන්නට තිබේ. උගුරේ ආසාදිත සෙම ගතිය බහුල කෙරෙනු ඇත.
වෘෂභ ලග්නය
•යුග දිවියේ අභිවෘද්ධිය
වෘෂභ ලග්නයට අනුව මෙම වකවානුව ඔබට ඉතා සුබයි. බුධ 5 වැන්නේ සිකුරු 7 වැන්නේ සිට ඇරඹෙන මාසය තම අදහස් උදහස් සපල කෙරෙනු ඇත.
කලාකාමී කටයුතුවල ප්‍රගතියක් ද - අවිවාහක අයට මංගල යෝග හා විවාහ වී ගැටලු රැසකට මුහුණදී සිටි අයට යහපත සෞභාග්‍යය උදා වෙයි. තවද දරුවන් බලාපොරොත්තුව සිටි අයට වාසනාවන්ත දරු සම්පත් ද උදා කෙරේ. පෙර පුණ්‍ය මහිමය නිසා උරුම වන්නට තිබූ සම්පත් හිමිකම් ද සහිතයි. සිතේ සතුට අභිවෘද්ධිය උදා වේ.
මිථුන ලග්නය
•නිවාස ලැබීම්
මිථුන ලග්නයට අනුව ඔක්තෝබරය ඉතා සුපරීක්ෂාකාරී විය යුතුවෙයි. තම වාසස්ථානයෙන් බැහැරව යාමට දුර පෙදෙසක විසීමට පවා සිදුවනු ඇත. විශේෂයෙන් තම නිවස අලංකාරය සඳහා වැඩි කැපවීමක් කිරීමට සිදුවන අතර නව නිවාස ලැබීම් මතු කෙරේ.
විදේශයක සිට පැමිණි ඥාතියකුගෙන් ලැබෙන මූල ධනයක් යහපත් ආයෝජනයකට යොමු කිරීමට ඔබට හැකිවන නමුත් ඒ වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. තුනටියේ ආපදා මතු කෙරෙනු ඇත.
කටක ලග්නය
•දේපළ උරුමකම්
කටක ලග්නයට අනුව ඉදිරි මාසය ඔබට සුබයි. විශේෂයෙන් තමාට හිමි වන්නට තිබී ප්‍රමාද වූ ඉඩමක හිමිකම නිරතුරුවම හිමි වෙයි. කලක් පැවැති නීති ගැටලුවකින් නිදහස් වීමට ද ඔබට හැකිවෙයි. විශේෂයෙන් තම දරුවකු නිසා සිතට අභිමානය ගෙන දෙන තත්ත්වයක් උදාවනු ඇත.
විවාහ ස්ථානගත විවිධ බාධා සතුරු කරදර බොරු චෝදනා නිසා සිතට නොසතුට උදා විය හැකි වුව ද එය බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් විසඳා ගැනීමට හැකිවෙයි.
සිංහ ලග්නය
•රැකියා යහපත
සිංහ ලග්නයට අනුව ඔබට ඉතා සුබ තත්ත්වයකි. එළැඹෙන ඔක්තෝබර් මාසයත් සමඟ හදිසි ධනයකට උරුමකම් කියයි. විශේෂයෙන් රැකියාවේ නව නැම්මක් ප්‍රවර්ධනයක් උදාවනු ඇත. තවද යහපත් ආයෝජනයකට සමාජ සේවාවකට යොමුවනු පෙනේ. සමාජයේ ප්‍රසාදය වරප්‍රසාද හිමිවනු ඇත. තමා සැලසුම් කරගෙන ආ කටයුත්තක් ක්‍රියාවට නැංවීමෙන් ආර්ථික වශයෙන් ඉහළට යාමට ඔබට හැකිවෙයි. එඩිතර තීන්දු තීරණ අනෙක් අයගේ ප්‍රසාදයට හේතුවෙයි. පපුවේ සෙම වැඩිවන ලකුණු පෙනෙන නිසා ප්‍රවේශම් වන්න.
කන්‍යා ලග්නය
•පෙර පින් මහිම මතු වේ
කන්‍යා ලග්නයට අනුව ඔක්තෝබර් මාසය එළඹීමත් සමඟ ඔබට ඉතා යහපත් වෙයි. සිතේ සතුට, අභිවෘද්ධිය කා අතරත් ප්‍රචලිත වීම භෞතික සම්පත් හිමිවීම මෙන් ම පෙර පින් මහිමය නිසා විවිධ ආර්ථික සම්පත් උදාවනු ඇත. නිවසේ විවිධ පින්කම් සිදු කෙරෙන පසුබිමක් දක්නා ලැබෙන අතර නැති බැරි අයවලුන් වෙනුවෙන් කෙරෙන පරිත්‍යාගයන් ද බහුල වෙයි.
තම සිතැඟි අනුව කළ කී දෑ තුළින් සමාජයේ ප්‍රමුඛත්වය හිමි වනු ඇත. රෝගී අයට උවටැන් කිරීම මවුපියන්ට විවිධ අයුරින් සංග්‍රහ කිරීමට ද ඔබට හැකි වෙයි.
තුලා ලග්නය
•පිටරට ගමන් බිමන්
තුලා ලග්නයට අනුව ඔබට කිසියම් බාධා රැසකට මුහුණදීමට සිදු වුව ද ඒවා විසඳා ගැනීමට ඔබට අන් අය සහාය වෙයි. විශේෂයෙන් පිටරට යෝග උදාවන අතර පිටරට ආයෝජනයකට ද ඔබට වාසනාව මතුවෙයි.
කෙනෙකුට දී තිබූ ණය මුදලක් යළි ඔබ අතට පත්වීම තුළ සිතට සතුට හා අනාගත බලාපොරොත්තුවක් මුඳුන්පත් කර ගැනීමට ද හැකිවෙයි. තම ස්වඋත්සාහය නිසා යහපත් ලැබීමකට අත පෙවීමට අවස්ථාව උදාවේ. ජීවිතය සවිමත් කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන අතර විටින් විට තුනටියේ ආපදාවක් මතුවිය හැක.
වෘශ්චික ලග්නය
•දරුවන්ගේ කටයුතු සාර්ථක වේ
වෘශ්චික ලග්නයට අනුව ඔක්තෝබරය ඔබට සුබයි. හදිසි ධන සම්පත්, යුගදිවියේ අභිවෘද්ධිය දූ දරුවන්ගේ කටයුතු සාර්ථක වීම නිසා ඇතිවන මානසික සුවය මෙන් ම තමාට හිමි වස්තු සම්පත් දරුවන් වෙනුවෙන් වෙන්කර දීමෙන් ඇතිවන මානසික සුවය උසස් වේ. තමා කරන වැඩකටයුතුවලට සෙසු අයගේ සහයෝගය නොඅඩුව ලැබෙනු ඇත. අන් අය වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමට අවස්ථාව උදාවීමෙන් පොදු වැඩකටයුතු සාර්ථකවීමට හේතුවේ. උත්සව ගණනාවකට සහභාගිවීමට ඔබට සිදුවන අතර වස්තු සම්පත් උරුමයකට ද හිමිකම් කියයි.
ධනු ලග්නය
•වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ
ධනු ලග්නයට අනුව එළඹෙන ඔක්තෝබරය ඔබට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන මාසයකි. විවිධ බාධා කිරීම් හමුවේ ජීවිතය ජය ගැනීමට සිදුවේ. බුධ 10 වැන්නට සම්ප්‍රාප්තවීම නිසා වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ රැසකි. නව නිලතල හිමිවීම ආර්ථික අභිවෘද්ධිය යුග දිවියේ තිබූ ගැටලු නිමා වීම නව මාර්ගවලින් ධනය ඉපයීමට හැකිවීම ඒ අතර වෙයි. ආගමික කටයුතු කෙරේ මුදල් වියපැහැදම් කිරීමට සිදුවන අතර බොහෝ ශාරීරික අපහසුතා වෙහෙසකාරී බව මතු කෙරෙනු ඇත.
මකර ලග්නය
•කලා කටයුතු සාර්ථක වේ
මකර ලග්නයට අනුව ඔක්තෝබරය ඔබට සුබයි. යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කිරීමට ඔබට හැකිවන අතර තම ආගමික සංස්කෘතික මට්ටමේ ක්‍රියා රැසක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තම අධ්‍යාත්මික ඥානය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය නිදහස හුදෙකලා බව තහවුරු වෙයි. පෙරට වඩා ඉදිරිය සාර්ථක ලෙස ඇරඹීමට ද තම ඥාති සබඳතා වැඩි දියුණු කර ගැනීමට ද ඔබට හැකිවෙයි. කලාකාමී අදහස් ඇති අයට සිය කලා කටයුතු කෙරෙන් ආර්ථික ලාභ උපයා ගැනීමට ද ඔබට හැකිවෙයි. හිසේ අමාරු සෙම් කෝපවීම් බහුල වේ.
කුම්භ ලග්නය
•නව ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවේ
කුම්භ ලග්නයට අනුව එළඹෙන ඔක්තෝබරය ඔබගේ දිවියේ නව ක්‍රියාමාර්ග තහවුරු කෙරෙනු ඇත. පිටරට ගමන් බහුල වන අතර නිතර නිතර සිතට වද දුන් ගැටලුවකින් නිදහස ලැබේ. තම අසල්වැසියන් සමඟ හොඳ හිත දිනා ගැනීමට හැකිවන අයුරින් කටයුතු කිරීමට ඔබ සමත්වේ.
ආර්ථික ලාබ හා භෞතික සම්පත් උරුම අතර නිවාස ලාභ වාහන ලාභ නව රැකියා ලාභ ද ඔබට හිමිවෙයි. ඔබ මීට පෙර ආරම්භ කර තිබූ ව්‍යාපාරයක ප්‍රතිඵල අත් විඳින්නට ඔබට හැකි වේ.
මීන ලග්නය
•ආර්ථික ප්‍රතිලාභ
මීන ලග්නයට අනුව ඔබට එළඹෙන ඔක්තෝබරය ඉතා සුවිශේෂී බවක් හිමි වේ. යන එන තැන කැපී පෙනෙන අන්දමේ ජයග්‍රහණ හිමි වේ. විවාහ ස්ථානගත සතුට අභිවෘද්ධිය මෙන් ම අවිවාහක අයට මංගල යෝග උදා වේ. අධ්‍යාපනය හදාරන දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. දේපළ හිමිකම් මෙන් ම ආර්ථික ප්‍රතිලාභ හිමිවන ලකුණු පෙනේ. බොහෝ විට ඔබ කරගෙන ආ ව්‍යාපාර නව මුහුණුවරකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට හැකිවේ. දූ දරුවන්ගේ අභිවෘද්ධිය උදාවන අතර ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය ආර්ථිකය ද උසස්වේ.