ලංකා­වම උණු­සුම් කළ 1953 හර්තා­ලය | Page 3 | සිළුමිණ

ලංකා­වම උණු­සුම් කළ 1953 හර්තා­ලය

දොම්පෙ හර්තාල් ස්මාර­කය

 

 

මෙයට වසර 68කට පෙර එනම් 1953 අගෝස්තු 12වැනිදා පැවැති හර්තාලයේ සිදුවීම් දෙකකි. එය වූ කලී ලාංකීය කම්කරු ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ තීරණාත්මක අවස්ථාවකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් 1948 මිදීමෙන් අනතුරුව ඇතිවූ ප්‍රථම බහුජන නැගිටීමද එය විය. යටත් විජිත ගහනයෙන් මිදුණු ශ්‍රී ලංකාව තුළ නැවත ආර්ථික සමාජීය සහ සංස්කෘතික නිදහස තහවුරු කිරීමවෙනුවට තවදුරටත් විදේශ මූල්‍යායතනවල යෝජනාවලට ගොදුරුවීම මෙම නැගිටීමට පාදක වූ ආසන්නම හේතුව වේ.

පනස් තුනේ හර්තාලය පැන නැග්ගේ රජය ජනතාවගේ සැබෑ වුවමනාවන් අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයන්ට යටකිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. එමෙන්ම එය නොදියුණු හා පරිහානියට පත්වෙමින් තිබූ යටත් විජිත ආර්ථික ක්‍රමයේ පිළිඹිඹුවක්ද විය. සහල් සලාකය ඉවත් කිරීම, පාසල් දරුවන්ගේ දිවා ආහාරය ඉවත්කිරීම, තැපැල් ගාස්තු සහ දුම්රිය ගාස්තු ඉහළ දැමීම, ජනතාව පීඩනයට ලක්කිරීමට හේතු විය.

ශත 25ට සපයන ලද හාල් සේරුව ශත 70 දක්වා වැඩිවීම ඇතුළු අතවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම, ප්‍රවාහන ගාස්තු වැඩිවීම ආදීය සෘජුවම බලපෑවේ නාගරික කම්කරුවන්ටය. එහෙත් හර්තාලයට එක්වූ පිරිස වන කම්කරුවන්, ලිපිකරුවන්, ගුරුවරුන්, ගොවින්, සිසුන්, නිලධාරින්, කාන්තාවන්, භික්ෂූන් ඇතුළු පිරිස එයට එක්වූයේ කිසිදු භේදයකින් තොරවය. කම්හලේ, ගොවිබිමේ, වැඩපොළේ, සරසවිය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි පිරිස් අතර විරෝධතා ව්‍යාපාර පැන නැඟුණේ සැලසුම් සහගත ලෙසින් නොවේ.

මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන විසින් 1953 ජූලි 23වැනිදා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට ඇරඹුණු විරෝධතාවන් 1953 ජූලි අවසානය වනවිට උණුසුම් ස්වරූපයක් ගෙන තිබිණි. කොළඹ, කැලණිය, අරකාවිල, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, වැලිගම, ගාල්ල, මාතර, රත්නපුරය, මඩකලපුව, යාපනය ආදී විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ, රැස්වීම්, කළුකොඩි දැමීම්, කෑම පැයේ විරෝධතා සහ පිකටින් වැනි දෑ පැවැත්විණි.

වෛද්‍ය එස්.ඒ වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ලංකා කොමියුනිස්ට් පක්ෂය, ආචාර්ය එන්.එම් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්ෂය, පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් විප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂය 53 හර්තාලයට නායකත්වය දුන්නේය. එජාප විරෝධී සකලවිධ බහුතර කොටස්ද අරගලයට එක්වූයේ කොන්දේසි විරහිතවය.

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු පවසා ඇති අන්දමට ඉර හඳ පවතින තුරු හාල්සේරුව ශත 25ට දෙනවා කියූ ආණ්ඩුව හිටි හැටියේ එය ශත 70 ක් කිරීම පාසැල් සිසුන්ගේ කිරි, බනිස් අහෝසි කිරීම වැනි දෑට එරෙහිව ආණ්ඩුවට එරෙහිව මෙම නැඟීසිටීම සිදුවූ බවයි.එම විරෝධතාවන්හි අවසාන ප්‍රතිඵලය අගෝස්තු 12 හර්තාලය වේ. හර්තාලය යනු ඉන්දියාවේ කෙරුණාක් මෙන් සිවිල් නීති කඩ කිරීමක් බව පසක් විය. වසර 1953ට පෙර ශ්‍රී ලංකාවේ එවැනි හර්තාලයක් දකින්නට නොලැබිණි.

හර්තාල් තීරණය ගනු ලැබුවේ ලංකා කම්කරු සමිති සම්මේලනය මෙහෙයවීමෙන් 1953 ජූලි 20 පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති සාකච්ඡාවකදීය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති වලට විරෝධය දක්වමින් එක්දින සංකේත වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් රටපුරා පැවැත්වීමට එහිදී තීරණය විය. මෙයට පෙරහුරුවක් ලෙස වරාය කම්කරුවන් දහස් ගණනක් 1953 ජූලි 21වැනිදා පැය 3ක සංකේත වර්ජනයක් කරමින් ප්‍රථම ප්‍රහාරය දියත් කළහ. රත්මලාන දුම්රිය කම්කරුවන් දහස් ගණනක්ද බලධාරින්ගේ කාර්යාලය වටලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් එදිනම දියත් කළහ. පෑලියගොඩ තරුණ සංගමය 60,000කගේ අත්සනින් යුත් පෙත්සමක් ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට භාර දුන්හ. සුපුරුදු පරිදි වර්තමානයේ මෙන් එදාද ආණ්ඩුවේ පුවත්පත් මෙම උද්ඝෝෂණ හැඳින්වූයේ රාජ්‍ය විරෝධී කඩාකප්පක්කාරි වැඩ ලෙසය.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහිව විපක්ෂයේ පක්ෂ සහ වෘත්තිය සමිතිවල රැස්වීමක් එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ගෝල්ෆේස් පිටියේ විශාල ජන සහභාගිත්වයකින් පැවැත්විණි. මෙදින පාර්ලිමේන්තුව වැටලුවායැයි කියමින් 10,000කට අධික පිරිසක් පොලිසිය මගින් කඳුළු ගැස් සහ බැටන් ප්‍රහාරයක් එල්ල කර පලවා හරින ලදී. මේ අතර රජයේ අයවැය යෝජනාව අගෝස්තු 7 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිමෙන් පසු පක්ෂව වැඩි ඡන්ද 23ක් ලැබීමෙන් දෙවන වර කියවා සම්මත කරගනු ලැබීය.

හර්තාලය වෙනුවෙන් කම්කරු සමිති කළ ආයාචනයේ මෙසේද සඳහන් විය. රෝහල්, ඩිස්පැන්සරි, සහ වෛද්‍ය ආයතනවල සේවය කරන්නන්ද, එම ආයතන වලට ආහාර සහ ඖෂධ සපයන්නන්ද, එදින වැඩ කළ යුතුය. ඔවුහු එසේ වැඩ කිරීමේදී කළු පටියක් පැලඳීමෙන් තම විරෝධය පළ කළ හැකිය.’ මවිබිම සහ සමසමාජයේ පුවත්පත් සටන මුවහත් කළහ. කොළඹ නගරයේ 1953 අගෝස්තු 11වැනිදා එන්.එම්, කෙනමන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් රැස්වීමක්ද පැවැත්විණි. පේරාදෙණිය සරසවි සිසුන් පොලිස් බැටන් ප්‍රහාර නොතකා මහනුවර නගරයේ පෙළපාළි ගියෝය.

අගෝස්තු 12වැනිදා හිමිදිරිය උදාවිය. වර්ජන, පෙළපාළි, සත්‍යග්‍රහ, උද්ඝෝෂණ, උපවාස ඇරඹිණි. විශේෂ සංචාරක පොලිස් බලඇණි 500කට අධික ගණනක් ජනතා ආරක්ෂාව සඳහා කැඳවූ බව රජය ප්‍රකාශ කෙරිණි. කඩසාප්පු වැසිණි. ඇතැම් ස්ථානයන්හි පොලිසිය ඒවා බලහත්කාරයෙන් කඩා විවෘත කරන ලදී. රජයේ සහ පෞද්ගලික කර්මාන්ත ශාලාද, බස්, දුම්රිය සේවාද ඇණ හිටිණි. දොම්පෙ, අම්බලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ, නුගේගොඩ, පානදුර තත්ත්වය වඩාත් නොසන්සුන් විය. මහාමාර්ගවල කාන්තාවන් ඉවුම් පිහුම් කරන්නට විය. මහාමාර්ග කිහිපයකට ගමනාගමනය කළ නොහැකි ලෙසින් අවහිර කර තිබිණි. ස්ථාන කිහිපයකට රේල් පීලි ගලවා දුම්රිය ධාවනය නතර කර තිබිණි. කිරුලපන පෙදෙසේ පෙට්ට්‍රල් බවුසරයක් ගිනිගෙන පිපිරිණි.

මේ සියලු හර්තාල්, උද්ඝෝෂණ, අතරතුරදී රටේ සිවිල් පාලනය මුළුමනින් ඇන හිටිණි. ආණ්ඩුවේ කැබිනට් රැස්වීම පවා තිබුණේ නැවකය. හර්තාලය සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස අගොස්තු 13 සහ 14 යන දිනවල හර්තාල් විරෝධතා ඇදී ගියේය. ඒ අතරතුර අගෝස්තු 13වැනිදා හර්තාලය තවදුරටත් ගෙනයෑම අනතුරක් වශයෙන් සලකමින් කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය සහ විප්ලවකාරි සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි නායකයින් වන පීටර්කෙනමන් සහ එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන හර්තාලය නතර කොට නැවත වැඩටගොස් තම තමන්ගේ කටයුතු කරගෙන යන ලෙසට ජනතාවට ආයාචනය කළෝය. හර්තාලය නිසා ජේ.ආර්. ජයවර්ධනට මුදල් ඇමති තනතුරින් ඉවත්වීමටද සිදුවිය.

සටන් මර්දනය කිරීමට යෙදූ පොලිස් සහ හමුදා සමඟ ඇතිවූ ගැටුම් තුළින් කිහිප දෙනෙක් මිය ගියහ. රජය මගින් එදින හවස හදිසි නීතිය පනවන ලදි. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතියද පැනවිය. මව්බිම සහ සමසමාජ පුවත්පත් මුද්‍රණය කරන මුද්‍රණාලවලට සීල්තබා පුවත්පත් පාලනයක් ඇතිකරන ලදී. හර්තාලයට සහභාගිවීමේ ‘වරදට’ ප්‍රාදේශීය නායකයින් සහ ක්‍රියාකාරිකයින් 499 දෙනෙකුට නඩු පැවරිණි.

පොලිස් වෙඩිතැබීම් නිසා විශාල පිරිසකට ජීවිත හානි සහ තුවාල සිදු විය. රජයේ හමුදාව සමඟ ඇති වූ ගැටුම් වලින් පළමු වරට මිය ගියේ පිටකොටුවේ එඩ්වින්ය. අගමැති ඩඩ්ලි සේනානායක 1953 අගෝස්තු 30 වැනිදා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ 1953 අගෝස්තු 12 සහ 13 මියගිය සංඛ්‍යාව 8ක් බවය. එහෙත් මියගිය සංඛ්‍යාව 11කි. ඔවුන් අතර පිටකොටුවේ කේ. එඩ්වින්, රත්ගම අල්මදුරගේ ඇල්ම්ස්, ඌරගහ එස්.එච් රූබල්, කිරුලපනේ පෙරියතම්බි, ටී. එම් පනාගොඩ, දොන්කටුවල ඒ. සාදිරිස්, සමූපකාර කළමනාකරුවෙකු වූ දොම්පෙ එස්. කේ. ඒ පියසේන, දොම්පෙ එස්. කේ. ඒ. වික්‍රමසිංහ පෙරේරා, කිරුලපන ටී. සිරිසේන, හික්කඩුවේ මාතුපාල සහ මෝදර ඩග්ලස් නිකලස් වේ.

මෙය 1915 න් මෙපිට 1953 අතර කාල සීමාව තුළ සිදුවූ විශාලතම මිනිස් ඝාතනය බවට හඳුන්වාදෙනු ලැබීය.

Comments