අසාද් සාලිට මහාධිකරණයේ අධි චෝදනා | සිළුමිණ

අසාද් සාලිට මහාධිකරණයේ අධි චෝදනා

දේශපාලන කරළියේ වරින් වර මතුවන මාතෘකාවන් අතරට අලුතින්ම එක් වූ චරිතය වූයේ අසාද්සාලිය. අසාද් සාලි ගැන මෙරට බහුතර ජනතාවගේ ඇස් යොමු වන්නට වූයේ මාවනැල්ල බුදුපිළිමවලට හානි සිදු කළ අය අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමත් සමඟය. බුදුපිළිමවලට හානි කළ අය ගැන තමන් වගබලා ගන්නා බවට ඔහු විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය මෙන්ම ඒ හරහා බුදුපිළිමවලට හානි කළ අය සැඟවීමට ගත් උත්සාහයක් නිසා ඔහු ගැන සමාජයේ දැඩි කතා බහක් ඇති විය.

පසුව පාස්කු ප්‍රහාරයත් සමඟම ඔහුගේ නම යළිත් කරළියට ආවේය. ඔහුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවත් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කළ යුතු බවත් මත පළ වන්නට විය. අසාත් සාලි ඒ වෙනුවෙන් තමන්ගේ නිවැරදි භාවය පළ කරනවා වෙනුවට සමාජ ක්‍රියාකාරීන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂිදීම සඳහා කැඳවා තිබුණි. එහිදී ඔහු පෙන්වා දුන්නේ තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳව 1994 වසරේ සිට මුස්ලිම් ජනතාව විසින් රජය දැනුම්වත් කළ බවයි.

විශේෂයෙන්ම 2010 වසරේදී මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් පිඩාවට පත්වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා වන අතර ආණ්ඩුකාර ධුරයේ සිටියදී වුවද ඔහු විසින් ජාතිවාදී ප්‍රකාශ වරින් වර සිදු කිරීම ගැන සමාජයේ දැඩි කතාබහ ඇති විය.

විශේෂයෙන්ම මාවනැල්ල බුදුපිළිමවලට හානි පැමිණ වූ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ආගමික පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විරෝධයට ඔහු වාග් ප්‍රහාර එල්ල කෙළේ, ඔහු සියලු ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුකාරවරයකු බව පවා නොසලකමිනි.

ඔහු අන්තවාදය පතුරුවන බවත් ෂරියා නීතිය පතුරවමින් ‘පිටතට එකක් - ඇතුළට තවත් එකක්‘ පෙන්වමින් සිටින දේශපාලන වංචාවක නියැළුණු බවට චෝදනා එල්ල විය. ඒ පිළිබඳව භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ සමාජ ක්‍රියාකාරීන් ඔහුට විරුද්ධව පැමිණිලි පවා සිදු කරන ලදී. ඒ සම්බන්ධව ඔහුගේ කට යළිත් එළියට පැන්නේය.

ඔහු පසුගිය මාර්තු 9 හා 10 දිනවල ඒ සම්බන්ධව ඇඟ කිලිපොළා යන කතාවක් මාධ්‍යයට හෙළි කෙළේය.

එය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් විය. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මතභේදයට තුඩුදුන් ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වූයේ සමාජ ක්‍රියාකාරීන්ගෙන් පමණක් නොවේ. මාධ්‍ය මඟින් පවා ඔහු සිදු කළ ප්‍රකාශය ගැන දිගින් දිගටම විවේචන එල්ල කරන ලදී.

ඔහු අසාද් සාලි පැවසු කතාව ගැන ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පැවසුවේ තම සේවා දායකයා වන අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයා විසින් කළ ප්‍රකාශය ගැන සමාජයේ වැරැදි වැටහීමක් තිබෙන බවත් ඒ සම්බන්ධව නැවත කරුණු පැහැදිලි කිරීමට තම සේවා දායකයා සූදානමින් සිටින බවයි.

ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කුමන කරුණක් ඉස්මතු කළද අසාද් සාලි විසින් මාධ්‍ය හමුවේදීත් ඊට පසුවත් කළ එම ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි කරුණු රැසක් ගම්‍ය වේ.

මේ අසාත් සාලිගේ එම ප්‍රකාශයේ කොටසකි.

‘‘ ඔළුවට ජාතිවාදය ගැහුවහම ඉතින් එනව මුස්ලිම් නීතිය අල්ලගෙන. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් අපි වෙනස් කරන්නෙ නැහැ. අපේ නීතිය අපිට. ඕගොල්ලන්ගෙ නීතිය ඔයාලට. හරි වැරදි බලන්නෙ අපි. කුරාණයයි. හදීසියයි, ෂරියායි තමයි අපේ නීති රීති. අපි ඒක බලනව මිසක් රජයේ නීති බලන්නෙ නැහැ. රජයේ නීතිය රජයට, රටට. ඒක එක පැත්තක තිබිච්ච දෙන්. අපේ නීතිය කුරාණයේ හදීස්. ඒ ඇරෙන්න ඊට පිට නීතියක් අපට නැහැ. අපි ඒක තමයි ගරු කරන්නෙ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා ආව කියල අපිව වෙනස් කරන්න බැහැ. අපි වෙනස් වෙන්නෙත් නැහැ. සල්ලි තියෙන මිනිහෙක් හතර දෙනෙක් බැන්දහම කාටවත් මොකද? අපේ නීතිය ෂරියා නීතිය ඒක අපේ නීතිය ‘‘

මේ ප්‍රකාශය සෙසු ජනතාව අතර අන්තවාදය, ජාතිවාදය ඇවිලීමට මඟ පාදන්නකි. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය විසින් සොයා ගත් කරුණු අනුව ඉදිරි පියවර ගැනීමට සිදු විය.

සියලු දෙනා සමගි කරනු පිණිස යැයි පිහිටුවා ගෙන ඇති ‘ජාතික සමගි පෙරමුණේ‘ ඔහු නායකයාය. එසේ වුවත් අසාද් සාලි විසින් සිදු කරන්නා වූ ප්‍රකාශයක් හා ඔහුගේ හැසිරීම් නිසා ක්‍රමයෙන් අන්තවාදය හා ජාතිවාදය හිස එසවෙමින් පවතින බවට දිගින් දිගටම පැමිණිලි ගලා එන්නට විය.

ඒ අනුව අසාද්සාලි අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලැබී තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අසාද් සාලි කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මාර්තු 9 හෝ 10 වැනි දා ඔහු සිදු කරන ලැදැයි කියන ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දේශපාලන හා සිවිල් අයිතීන් පිළිබඳ සම්මුති නීතිය යටතේ වැරදි සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණි. අසාද් සාලි අත් අඩංගුවට ගත්තේ ඒ අනුවය.

 

අත්අඩංගුවට ගැනීම

 

අසාද් සාලි අත් අඩංගුවට ගත් පසු ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරයන්ගෙන් මාධ්‍ය විසින් කරුණු විමසන ලදී. එහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ‍ෙගන ඉදිරි විමර්ශන කටයුතු කරනු ලබන බවයි.

එමෙන්ම මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම ඇතුළු සිදුවීම් වලට අසාත් සාලි සෘජු හා වක්‍ර සම්බන්ධව බව හෙළි වී ඇතැයි ද ඔහු පැවසීය.

ෂරියා නීතිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවක් වන්නට ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාස 3ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමන් මුදාහරින ලෙස ඉල්ලමින් අසාද් සාලි විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කරන ලදී. ඒ පසුගිය මාර්තු 28 වැනිදා ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේය.

අසාද්සාලි අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්ද අත්අඩංගුවට ගන්නා ලදී.

විදේශීය රටවල භාවිත වන පිස්තෝලයක් වන එහි පතුරම් ගැබක් ද උණ්ඩ 9ක්ද එහි තිබී අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සම්බන්ධයෙන්ද මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කටයුතු සිදු කෙරේ. විමර්ශන කටයුතු සිදු කරන අතර තුර නීතිපතිවරයාගේ උපදෙස් අනුව අසාද් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ඉදිරියේදී අසාද්සාලිට මේ සියලු කරුණු කාරණාවලට මුහුණ දීමට සිදු වනු ඇත. විශේෂයෙන්ම මේ වන විට මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම හා පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවලින් අසාද්සාලිගේ කැරැට්ටුවෙ බොහෝ තැන් එළියට පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවෙන් දැක්වෙන්නේ අසාද් සාලි මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ අය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක මැදිහත්වීමක් නොකළ යුතුව තිබූ බවයි. එම නිසා එම මැදිහත්වීම සාපරාධී ක්‍රියාවක් බව සලකා දඬුවම් කළ යුතු බවද එම නිර්දේශයන්හි සඳහන්ය.

අසාද්සාලිට එරෙහිව අධිචෝදනා ගොඩ නැඟෙනු ඇත. එයින් මුල් තැනක් ගන්නේ මාවනැල්ල බුදු පිළිමවලට හානි කළ අය ආරක්ෂා කිරීමට කටයුතු යෙදීමයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද ඔහුට නැඟී ඇති චෝදනාද බැහැර කළ නොහැකිය. එමෙන්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඔහු කළ අභියෝගය මෙන්ම ජාතිවාදය ඇවිස්සෙන ලෙස කටයුතු කිරීම ඇතුළු අධි චෝදනා රැසක් ඔහුට ගොනු කෙරෙනු ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඔහු හෘද රෝගයක් වෙනුවෙන් රෝහල් ගත විය.

Comments