
ප්‍රවෘත්ති පළ කරනවා නම් සල්ලි ගෙවන්න
- රජය කියයි
අපි කරන්නේ නොමිලේ සේවයක්
- ෆේස්බුක් කියයි
ඕස්ට්‍රේලියානු රජය විසින් පනවා ඇති නව නීතියකට විරෝධය දක්වමින් ඉදිරියේදී එරට කිසිදු ප්‍රවෘත්තියක් තම සමාජ ජාලයේ පළවීමට ඉඩ නොදෙන බව ෆේස්බුක් ජාලය පවසා තිබේ. ඕස්ට්‍රේලියා රජය පැනවීමට නියමිතව ඇති නව නීතියට අනුව එරට දේශීය මාධ්‍යවලින් උපුටා ගනිමින් තම වෙබ් අඩවිවල සහ සමාජ ජාලවල පළ කරන ප්‍රවෘත්ති සඳහා එම ආයතන වසින් නිශ්චිත මුදලක් එම ප්‍රවෘත්තියේ මුල් අයිතිය සහිත දේශීය මාධ්‍ය ආයතන වෙත ලබා දිය යුතුය. මේ නීතිය මූලිකව පැනවීමට නියමිතව ඇත්තේ ෆේස්බුක් සහ ගූගල් ආයතන සම්බන්ධයෙනි.
මේ නීතිය සම්බන්ධව තම මතය දක්වමින් ෆේස්බුක් සමාජ ජාලය පවසා ඇත්තේ තම සමාජ ජාලයේ පළ කරන ප්‍රවෘත්තිවලට මුදල් ගෙවීමට තමන්ට නියම කරන්නේ නම් තමන් කිසිදු ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්තියක් තම සමාජ ජාලයේ පළ කිරීමට ඉඩ නොදෙන බවයි.
මේ සම්බන්ධව ආයතනයේ මතය මාධ්‍ය වෙත ගෙන එමින් ෆේස්බුක් සමාගමේ ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත දෙරටේ කළමනාකාර අධ්‍යක්ෂක විල් ඊස්ටන් පවසා ඇත්තේ තම සමාගම දේශීය මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති උපුටා නොදක්වන බවත් බොහෝවිට සිදුවන්නේ එම මාධ්‍ය ආයතන තම සමාජ ජාලයේ තමන්ගේ ප්‍රවෘත්ති පළ කරමින් ඒවා ජනප්‍රිය කර ගැනීමට උත්සාහ දරන බවත්ය. ඒ අනුව රජය විසින් පැනවීමට නියමිත මේ නව නීතිය තනිකරම අනවබෝධය මත පදනම් වූ එකක් බවද ඔහු පවසා තිබේ.
අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඕස්ට්‍රේලියානු රජයට නිශ්චිත දැනුමක් නොමැති බවත්, මේ නීතිය පනවන්නේ නම් තම සමාජ ජාලයේ මින් ඉදිරියට කිසිදු ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්තියක් පළ නොකරන බවත්, ඒවා උපුටා දැක්වීමට හෝ කිසිවකුට අවකාශ ලබා නොදෙන බවත් විල් ඊස්ටන් පවසා ඇත. ඒ අනුව මේ නීතියෙන් වැඩි හානිය තමන්ට නොව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනවලටම බවද ඔහු පෙන්වා දී තිබේ.
විල් ඊස්ටන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ඕස්ට්‍රේලියානු නීති සම්පාදනයේදී සහය දක්වන ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම මේ සම්බන්ධව නිසි අධ්‍යයනයක් කර නොමැති බවයි. එමෙන්ම ඔවුන් ඉතා වැදගත් කරුණු නොසලකා හැර ඇති බවයි. ඔහු මේ සඳහා උදාහරණ ලෙස මේ වසරේ ගත වූ මාස පහක කාලය ඇතුළත ඕස්ට්‍රේලියානු පුවත් වෙබ් අඩවිවලට ෆේස් බුක් ඔස්සේ ලැබී තිබුණු ප්රවිෂ්ටයන් සංඛ්‍යාව පෙන්වා දේ. ගත වූ මාස පහක කාලය තුළ එම ප්රවිෂ්ටයන් සංඛ්‍යාව බිලියන 2.3කි. ඒ අනුව ෆේස් බුක් හි ප්‍රවෘත්ති පළ කිරීම සැබවින්ම වාසිදායක වන්නේ කාටද යන්න අමුතුවෙන් පැවසිය යුතු නොවන බව ඔහුගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් ගුගල් සමාගමද පවසා ඇත්තේ ‘ඕස්ට්‍රේලියානුවන්ගේ ගූගල් භාවිතය අනතුරේ‘ බවයි.