ප්‍රංශයේ යකඩ ගැහැනිය පරදා මැක්‍රෝන්ට දෙවැනි ජයක් හිමි වේවිද? | සිළුමිණ

ප්‍රංශයේ යකඩ ගැහැනිය පරදා මැක්‍රෝන්ට දෙවැනි ජයක් හිමි වේවිද?

ප්‍රංශය මේ වන විට යුරෝපයේ නිල නොලත් නායකයාය. මෙතෙක් කල් බ්‍රිතාන්‍යයට එම ස්ථානය නිතැතින්ම හිමිවී තිබුණද යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමත් සමඟ ප්‍රංශයට එම ස්ථානය හිමිවී ඇති බවක් පෙනේ. ජර්මනිය ඇන්ජෙලා මර්කල් යටතේ බ්‍රිතාන්‍යයටද අභියෝග කළ හැකි මට්ටමක පැවතියද නව චාන්සලර් ඕලාෆ් තවමත් කළාපය වෙනුවෙන් පෙනී සිටීමට තරම් පරිණත නොමැත.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් බලයට එන විට ඉතාමත් තරුණ වියේ සිටි අතර ඔහුට ප්‍රංශය වැනි රටක් පාලනය කිරීමට හැකියාව ඇතිදැයි ලොවම විමසිලිමත් විය. එහෙත් ජනාධිපති ලෙස තේරී පත්වන විට හතළිස් හැවිරිදි වියේ පසු වූ මැක්‍රෝන් තමන් කෙරෙහි ප්‍රංශ ජනතාව තැබූ විශ්වාසය ආරක්ෂා කිරීමට සමත් වූයේය.

කොවිඩ් වංසගතය මෙන්ම යුක්රේන රුසියා යුද්ධයද ඔහුගේ ධූර කාලය අතර ඔහුට මුහුණ දීමට සිදුවූ අභියෝග ලෙසින් ඉතිහාස ගත වූ නමුදු මැක්‍රෝන් ඒවාට මුහුණ දුන්නේ ඉතා පරිණත නායකයකු වශයෙන් යැයි පැවසිය හැකිය.

දැන් එම්මානුවෙල් මැක්‍රෝන් යළිත් වරක් ප්‍රංශ ජනතාව හමුවට පැමිණ තිබේ. ඒ දෙවැනි ධූර කාලය සඳහා ජනවරමක් ඉල්ලමිනි. මේ වන විට ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමුවැනි වටය පැවැත්වෙමින් තිබේ. බොහෝ දේශපාලන විචාරකයන් අනුමාන කරන්නේ මැක්‍රෝන්ට දෙවැනි වරටත් ප්‍රංශය පාලනය කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවයි. එහෙත් අපේක්ෂකයන් 12 දනෙකු තරග බිමේ සිටින ප්‍රංශ ජනාධිපතිවරණයේ ජය තීරණය වන්නේ කෙසේදැයි දැන ගැනීමට තවත් දින කිහිපයක්ම ඉවසා සිටීමට සිදු වනු ඇත.

එම්මානුවෙල් මැක්‍රෝන් බලයට පැමිණෙන්නේ ජනාධිපති ෆ්‍රැන්කොයිස් ඕලන්ඩේගෙන් පසුවය. ප්‍රංශ ජනතාව යනු ඉතා නිදහසේ සිතන පතන ජනතාවක් වන අතර රැඩිකල් මතධාරීන්ද වෙති. කලක් ප්‍රංශ ජනතාව අතර ඉතා ඉහළින්ම ජනප්‍රියත්වය පවත්වාගෙන ගිය ජනාධිපති නිකලස් සාර්කෝසි අල්ලා හිරේ දැමීමට පවා ප්‍රංශ ජනතාව පසුබට වූයේ නැත. ඔවුන් වංචාව දූෂණය ඉතා තදින් පිළිකුල් කරන අතර තමන් පාලනය කරන පාලකයා වැටුප් ලබනා පුද්ගලයකු පමණක් බව ඉතා හොඳින් මතකයේ තබාගෙන සිටිති.

එම්මානුවෙල් මැක්‍රෝන් ඔවුන්ගේ සිතුම් පැතුම්වලට ඉතා හොඳින් ගැළපුණු නායකයකු වූ අතර ඔහු කිසියම් විවේචනයට ලක් වූයේ කොවිඩ් වසංගතයට මුහුණ දීමේදී පමණි. කොවිඩ් වසංගතයට මුහුණ දීමේදී ජනතාවගෙන් විවේචන නොලැබුවේ කිනම් රටක නායකයා දැයි අමුතුවෙන් විමසා බැලිය යුතුය. කොවිඩ් වසංගතය හමුවේ බොහෝ රටවල රාජ්‍ය නායකයෝ විවේචනයටන් පාත්‍ර වූ අතර එයට ඉතා ශක්තිමත්ව මුහුණ දුන්නේ ජර්මනියේ එවකට චාන්සලර් ධූරය හෙබවූ ඇන්ජෙලා මර්කල් පමණක් යැයි සිතිය හැකිය.

එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රංශ ජනතාව අතර කිසියම් ප්‍රමාණයකට අප්‍රසාදයට ලක් වූවා නම් ඒ කොවිඩ් එන්නත් අනිවාර්ය කිරීම හේතුවෙනි. ඉතා නිදහස් අදහස් සහිත ප්‍රංශ ජනතාව වීථි බසිමින් විරෝධතා දැක්වූයේ එන්නත් ලබා ගැනීම හෝ නොගැනීම තමන්ගේ අභිමතය මිස රජයේ අභිමතය නොවිය යුතු බව පවසමිනි. එහෙත් යුක්රේන - රුසියා යුද්ධයේදී ප්‍රංශය ගත් තීන්දු තීරණ මත යුක්රේන ජනතාව කෙසේ වෙතත් ප්‍රංශ ජනතාව නම් යළිත් වරක් මැක්‍රෝන් සම්බන්ධව සතුටු සිතින් සිතූ බව පැහැදිලිය. ඒ වන විට යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වී සිටි අතර ජර්මනියේ චාන්සලර් ඕලාෆ් කලාපය නියෝජනය කරමින් තීරණවලට එළඹීමට තරම් පරිණත නායකයකු ලෙස සැලකීමට සාධක නොවීය. එබැවින් යුරෝපා සංගමයේ නායකත්වය එම්මානුවෙල් මැක්‍රෝන් වෙත නිතැතින්ම යොමු වී තිබිණි. යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටි අතර යුක්රේන මායිමේ යුරෝපා රටවල් වෙනුවෙන් තීරණ ගනිමින් නේටෝ සාමජිකත්වය නොදීමටත්, යුදමය සහයෝගයක් යුක්රේනයට ලබා නොදීමටත් ගත් තීරණයට මැක්‍රෝන්ගේ ප්‍රභල දායකත්වය වූ බව අනුමාන කළ හැකිය. ඒ හේතුවෙන් ලෝක යුද්ධයක් වැළකී ගිය අතර එය පරිණත නායකත්වය ලක්ෂණයක් සේ සැලකිය හැකිය.

කෙසේ වුවද දැන් එම්මානුවෙල් මැක්‍රෝන් යළිත් වරක් පංශ ජනතාව අභියසට පැමිණ සිටී. ඒ ජනාධිපති අපේක්ෂකයකු වශයෙනි. සිහිපත් කළ යුතු වන්නේ නිකලස් සාර්කෝසිට පසුව කිසිදු ජනාධීපතිවරයකු ප්‍රංශය තුළ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට අපොහොසත් වූ බවයි. එය මේ දක්වා සාර්ථක කර ගැනීමට සමත් වූයේ මැක්‍රෝන් පමණකි. එහෙත් මැක්‍රෝනට මේ අවස්ථාවේදී ඔහුගේ ආසන්නතම තරගකාරියගෙන් එල්ල වෙමින් පවතින තර්ජනයද අවතක්සේරු කළ යුතු නොවේ.

එම්මානුවෙල් මැක්‍රෝන් සමග තරග වැදී සිටින සමස්ත අපේක්ෂකයන් දොළොස් දෙනා අතරින් වඩාත්ම අභියෝගයක් එල්ල කරමින් සිටින්නේ මරීන් ලෙ පෙන්ය. 1968 උපත ලබා ඇති මරීන් ලෙ පෙන් මේ වන විට 53 හැවිරිදි වියේ සිටින්නීය. මැක්‍රෝන් මෙන්ම තරුණ වියේදීම දේශපාලනයට ප්‍රවිශ්ට වූ ලෙ පෙන් ද ප්‍රංශ දේශපාලනයේ අත්දැකීම් බහුල චරිතයකි. කෙසේ වුවද මීට පෙරද පංශ ජනාධිපතිවරණය සඳහා කාන්තාවන් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවක් දැක ගත හැකි වුවද මේ දක්වා කාන්තාවන් කෙරෙහි විශ්වාසය තැබීමට ප්‍රංශ ජනතාව කටයුතු කර තිබුණේ නැත.

ඒ අනුව මෙවරද ලෙ පෙන් මැක්‍රෝන් සමග කරට කර සිටියද ජයග්‍රහණය හිමි වීමේ වැඩි අවස්ථාවක් පවතින්නේ මැක්‍රෝන්ට බව විචාරකයන්ගේ අදහස වී තිබේ.

ජනාධීපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ පසුගිය 10වැනිදා දහවල් වන විට සියයට 27ක පමණ ප්‍රතිශතයකින් ඡන්දය භාවිත වී තිබූ බව ප්‍රකාශ විය. භාවිත වූ ඡන්ද අතරින් සියයට 27- 29 අතර ප්‍රමාණයක් මැක්‍රෝන් වෙනුවෙන් භාවිත වී ඇති බවට විචාරකයන් අනුමාන කරන අතර එ හා ආසන්නව එනම් සියයට 23- 24 අතර ප්‍රමාණයක් ලෙ පෙන් වෙනුවෙන් භාවිත වන්නට ඇතැයි විචාරකයෝ අනුමාන කරති.

ඒ කෙසේ වුවද සමස්ත ඡන්ද ප්‍රතිඵලය දැන ගැනීමට නම් අප්‍රේල් 24වැනි දින ජනාධිපතිවරණයේ දෙවැනි වටයද අවසන් විය යුතුය. එවිට මෙවර ප්‍රංශ ජනතාව ප්‍රංශයේ වගකීම ලබා දුන්නේ එම්මානුවෙල් මැක්‍රෝන්ටද නැතහොත් මරීන් ලෙ පෙන් ට දැයි නිශ්චිතව දැන ගත හැකි වනු ඇත.

Comments