COVID-19 නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනපතිට | සිළුමිණ

COVID-19 නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනපතිට

COVID-19 ව්‍යාප්තිය වැළැක්වීමට සෞඛ්‍ය නිර්දේශයන් සහිත වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබ තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව ඊයේ රැස්විය.

ඒ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය.

මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කෙරෙන අතර දින 2 කට වරක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

රට විවෘත කිරීමත් සමග COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ ජනතාව විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ඇතුළත් වාර්තාවක් කමිටුව විසින් සකස් කොට ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉදිරියේදී මෙම වාර්තාවේ කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා මාධ්‍ය මගින් සිදු කෙරේ.

මෙම වාර්තාවේ ඇතුළත් කරුණු ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය හා පරිපාලන කේෂ්ත්‍රයේ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතය.

මෙය පළාත් මට්ටමින් අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම සතියකට වරක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ජනතාව දැනුවත් කිරීම සඳහාත්, සෞඛ්‍ය පණිවුඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ද සකස් කරන ලෙසට එම කාර්යාංශයේ නිලධාරීන්ට ද අමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇති බව සඳහන් විය.

Comments