
මෙරට තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බිම් මට්ටමේ දැඩි කැපවීමකින් යුත් රාජකාරියක නිරත වෙමින් ජනතාව සමඟ කරටකර ගැටෙන පිරිසක් ලෙස සෞඛ්‍ය අංශයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) හැඳින්විය හැකිය. වෙලාවක් කලාවක් නොමැති රැකියාවක නිරත වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෑත කාලීන මෙරට ඉතිහාසය තුළදී රාජකාරිමය වශයෙන් මෙතරම් කැපී පෙනුණු යුගයක් වත්මන් සමාජයේ බොහෝ දෙනෙකුට අත්දැකීම් නැති වනවාට සැක නැත.
සියලු විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍යයන්හිද නිතරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය අගය කරන්නේ මේ මොහොතේ කොරෝනා මාරයාට එරෙහිව මෙකී කණ්ඩායම රටේ සෑම අස්සක්-මුල්ලක් නෑර පීරමින් නිවෙස් කරා ගොස් වසංගතය ගැන දැනුම්වත් කරමින්, රෝග විමර්ශනය කරමින්, පුද්ගලයන් නිරෝධායනයට ලක්කරමින් කරන සේවය නිසායි.
සාමාන්‍යයෙන් කොරෝනා අසාදිතයකු, ළඟින්ම ඇසුරු කළ පිරිස් මෙන්ම කොරෝනා ශීඝ්‍ර ලෙස පැතිරුණු රටවලින් පැමිණි අයවලුන්ගේ නිවෙස්වලටද මුලින්ම ගොඩ වන්නෙ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ය. ඇතැම් දෙනා අලුත් අවුරුදු සමයේ මුහුණු පොතෙහිද පළ කර තිබුණේ ‘අලුත් අවුරුද්දට සිය නිවෙසට මුලින්ම පැමිණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා‘ යනුවෙන් වැකි ලියමිනි. එය සත්‍යය, අසත්‍ය හෝ උපහාසයකින් යුතු වුවද ඇතිවී තිබෙන තත්ත්වය අනුව ගත් කල මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරුන් කරන කාර්යභාරයට එය කදිම නිදසුනකි. ඒ ඔවුහු නිවෙස්වලට ගොඩ වන්නෙ මෙකී මාරයාගෙන් රටවැසියා ගලවා ගැනීම වෙනුවෙන් කරන අපමණ සේවය වෙනුවෙන් නිසාවෙනි.
කොරෝනා අසාදිතයෙක් හෝ සමීප ආශ්‍රිතයෙක් ළඟින්වත් යෑමට බොහෝ දෙනෙක් බිය වෙද්දී මෙකී පිරිස් එම නිවෙස්වලට ගොස් අවැසි සියලු විමර්ශන සිදු කරමින් වයිරසය තවෙකෙකුට යාම වළක්වන්නෙ අපූරු ආකාරයෙනි. ඒ සඳහා ඔවුනට බෝවන රෝග පාලනය පිළිබඳ විශේෂඥ දැනුමක් සිය වසර දෙකක පුහුණු කාලයේදී ලැබෙන බව අප සමඟ කතාබහ කළ සියලු මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවැසූහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රට වෙනුවෙන් කරන සුවිසල් කාර්යභාරය ගැන මුලින්ම අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණය.“මෙහෙමයි, අපි මේ වයිරස ව්‍යාප්තිය පාලනයට බිම් මට්ටමෙන් උපරීම දායකත්වය සපයනවා. මිනිස්සු දැනුවත් කරනවා... නිරෝධායනය කිරීමට කටයුතු කරනවා. රෝගයෙන් වැළකෙන ආකාරය තාක්ෂණික ක්‍රමවේද මඟින් කියලා දෙනවා... සාමාන්‍යයෙන් ගම්වල රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට තිබෙන පෞද්ගලික සබඳතා හරහා ක්ෂණයෙන් දැනගන්න ලැබෙනවා අසාදිතයෙක් හෝ අසාදිතයෙක් සමීපව ඇසුරු කළ අයෙක් සිය බලප්‍රදේශයේ සිටියහොත්... යම් යම් ප්‍රශ්න අඩුපාඩු තියෙනවා... ඒත් අපේ පැත්තෙන් මේ මොහොතේ මොන අඩුපාඩු තිබුණත් වයිරසයෙන් ජනතාව මුදා ගැනීමටයි කැපවී සිටින්නෙ... බේරුවල... අටුලුගම... මහනුවර අකුරණ... පුත්තලම... වර්තමානයේ බණ්ඩාරනායකපුර වැනි පොකුරු ලෙස පිරිස් හමුවන්නට වූ පෙදෙස්වලින්ම ඒ තත්ත්වය මඟහරවා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වුණේ අපේ පිරිස්...“
එසේ කොරෝනාවට එරෙහි වත්මන් රාජකාරිය ගැන පැවැසූ සභාපතිවරයාගෙන් අප විමසූයේ මෙවැනි වයිරසයක් ව්‍යාප්ත වීමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුළුල් කාර්යභාර ක්‍රමවේදය ගැනයි.
“ඕනෑම වෛද්‍ය වෘත්තිකයෙක් තමා ළඟට පැමිණෙන පුද්ගලයා ඕනෑම බෝවන රෝගයකින් පෙළෙන බව හඳුනාගත් සැණින් 544 අංකයෙන් යුත් මුද්‍රිත පෝරමයෙන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (MOH) දැනුවත් කරනවා. එසැණින් ඒ පෝරමය අපේ නිලධාරින්ට ලැබෙනවා. ඔවුන් එය රැගෙන අදාළ පුද්ගලයාගේ නිවෙස සොයා යනවා. නිවෙසේ පුද්ගලයන්, සමීපතමයන් ඇතුළු සියල්ල විමර්ශනය කොට 411 ලෙසින් යුත් තවත් මුද්‍රිත සෞඛ්‍ය විමර්ශන පත්‍රිකාවක් පුරවනවා. ඒ හරහා අවශ්‍ය කටයුතු කරමින්, පිටත අයට ඒ රෝගි තත්ත්වය බෝවීම වැළැක්වීමට එරෙහිව නිරෝධායන කටයුතු ඇතුළු සියලු දේ කරනවා. ඒ වගේම ඒ නිවෙස පිළිබඳව දෛනිකව අපේ නිලධාරින් සොයා බලනවා.“
කොරෝනා වසංගතයත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසාදිතයන් ඇතුළු අසාදිතයන්ගේ ස්පර්ශකයන් සොයා ස්වයං නිරෝධායනයට මෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටද කටයුතු කෙරිණි. 1897 අංක 03 දරන නිරෝධායන සහ රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ පනත යටතේ ඕනෑම පුද්ගලයකු නිරෝධායනයට ලක්කිරීමේ බලය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හිමිව ඇත.
රටපුරා පිහිටි 345ක් වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට මෙන්ම වෙනත් සෞඛ්‍යමය ආයතනගතව රාජකාරි කරන සමස්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ප්‍රමාණය 2750කි. අතිබහුතරයක් පිරිමි පුද්ගලයන්ගෙන් සමන්විත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අතර කාන්තා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියන් දෙදෙනෙක්ද සිටින බව දන්නෙ අතළොස්සකි. මේ සියලු දෙනාගෙන් ගම්දනව් සිසාරා ඇවිදිමින් බිම් මට්ටමේ රාජකාරියේ නිරත වන්නෙ 2500ක වැනි ප්‍රමාණයකි. එය මෙවැනි අතිභයානක වසංගත තත්ත්වයක් පාලනය කිරීමේදී ඉතාම අවම මට්ටමකි.
එහෙත් ලෝකයේ දියුණුවේ හිණිපෙත්තෙ සිටින රටවලටත් ආදර්ශ සපයමින් මෙරට සිදුකළ කොරෝනා ව්‍යාප්තිය පාලනයට මෙකී කණ්ඩායමෙන් සිදු වූයේ අමිල සේවයකි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ පිළිබඳව මෙසේ පැවසීය.
“අපි කොවිඩ් පාලනයට මුලින්ම සම්බන්ධ වෙන්නෙ පසුගිය ජනවාරි 26 වැනිදා සිට. ඒ කටුනායක ගුවන් තොටුපොළේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා. එහිදී ගුවන් මඟින් මෙරටට එන අය ගැන විමර්ශනය කිරීම ආරම්භ කළා. මුලින්ම චීනෙන් එන පිරිසගෙන් ආරම්භ වුණේ. එහිදී චීනෙන් එන මගීන්ගෙන් පෝරමයක් පුරවා ගන්නවා. ඒ පෝරමය එම පුද්ගලයා මෙරටට පැමිණෙන අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ඊමේල් මඟින් ක්ෂණිකව දැනුම් දෙනවා. පසුව එම පෝරමය ප්‍රදේශයේ පීඑච්අයි රැගෙන අදාළ නිවෙස සොයා යනවා. විදේශයේ සිට එන පුද්ගලයා නිවෙසට ඒමටත් පෙර අපේ පීඑච්අයි මහත්තුරු නිවෙසට ගොස් විමර්ශනය කොට අදාළ පුද්ගලයා නිරෝධායනයට අවශ්‍ය වැඩ කටයුතු සියල්ලම සිදු කළා. ඒ වැඩපිළිවෙළ අපි දිගින් දිගටම සිදු කරමින් පසුව ඉතාලිය, කොරියාව, ඉරානය වැනි රටවල සිට පැමිණෙන පිරිස දක්වා වැඩි කළා. නමුත් වෙනත් රටවලින් එන පිරිසට ඒ දේ කරන්න අපට බලය දුන්නෙ නෑ. ඒක සිදුවූ අඩුපාඩුවක්...‘
එසේ සාර්ථක වැඩපිළිවෙළක් කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉකුත් සමය තුළ කර තිබිණි. අනතුරුව එම වැඩපිළිවෙළ තව තවත් පුළුල් වෙමින් දඹදිව සිට පැමිණ පිරිස් මෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවෙස් කරා පැමිණෙන පිරිස් වගේම අසාදිතයන්ගේ සමීප ඇසුරට පත්වූවන් ඇතුළු පුද්ගලයන් 14568 පමණ සංඛ්‍යාවක් රටපුරා ගෘහාශ්‍රිත ස්වයං නිරෝධායනයට ලක්කොට මේ වන විට සමාජයට මුදා හැර ඇත. එසේම මේ වන විටත් රට තුළ තවත් 3500කට ආසන්න සංඛ්‍යාවක් ගෘහාශ්‍රිත ස්වයං නිරෝධායනයට ලක්කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කටයුතු කර තිබේ.
එලෙස කොරෝනා මාරයාගෙන් ජනයා ගලවා ගැනීමට බිම් මට්ටමේ රාජකාරියේ නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ මාතර දිස්ත්‍රික් ශාඛාවේ සභාපති මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවයෙහි නියුතු එම්.ඒ.සී. ප්‍රසාද් මහතා පවසන්නෙ මෙවන් අදහසකි.
“මාතර පැත්තෙ මුලින්ම අසාදිතයන් දෙදෙනෙක් වාර්තා වුණා. ඒ දෙදෙනාගෙන් ව්‍යාප්ත වීමට එරෙහිව අපි ක්ෂණිකවම ක්‍රියාත්මක වෙලා සමීපතමයන් නිරෝධායනයට ලක්කළා. අවට පිරිස් දැනුම්වත් කිරීම් දිගින් දිගටම සිදුකළා. මේ මොහොතේ දිස්ත්‍රික්කය තුළ පවුල් කීපයක් නිරෝධායනයට ලක් වෙනවා. ඒ නාවික හමුදාවේ නිලධාරින්ගේ. අපි මේ වෙලාවේ පීඑච්අයිලා ලෙස අපෙන් විය යුතු කාර්යභාරය කිසිදු අඩුවකින් තොරව ජනතාව වෙනුවෙන් සිදු කරනවා. යම් යම් අඩුපාඩු අපට තියෙනවා. නමුත් ඒවා කිසිවක් අපි මේ අවස්ථාවේ තකන්නෙ නැහැ. ඒ වගේම අපේ රාජකාරියට මාතර ජනතාවගෙන් වගේම සියලුම පළාත් පාලන ආයතනවලින් විශාල සහායක් ලැබෙනවා. බොහෝ වෙලාවට ප්‍රවාහන පහසුකම් සඳහා වාහන පවා අපට ලබා දෙන්නෙ ඒ අය.“
මාතර දිස්ත්‍රික්කයට නිවාඩු මත පැමිණි නාවික හමුදා නිලධාරින් 48 දෙනාගෙන් නව දෙනෙක් පීසීආර් පරීක්ෂණයටද ලක්කොට ඔවුනට රෝගය වැලඳී නොමැති බව තහවුරු කරගැනීමටද මාතර සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යුහුසුලුව කටයුතු කළ බව ප්‍රසාද් මහතා අපට කීවේය.
සමස්ත දිවයිනම ආවරණය කරමින් කොරෝනා ආසාදිතයන් මෙන්ම අසාදිතයන් සමීපව ඇසුරු කළ අයවලුන් සමඟ ගැටෙමින් රාජකාරියක නිරත වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතරින් එක් අයෙකුටද මේ වන විට කොවිඩ් ආසාදිතව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ඊට අමතරව කොළඹ මහ නගර සභාවට අනුයුක්තව රාජකාරි කරන තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 6 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීමට සිදුව ඇත්තෙ කොළඹ, කෙසෙල්වත්ත, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ රාජකාරියේ නිරත වද්දී අසාදිතයන්ට මෙන්ම අසාදිතයන්ගේ සමීපතමයන් සොයා යාමේදී ඔවුන් හා ගැටුණු හෙයිනි. මෙවන් රාජකාරියක් කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අතුරෙන් අයෙකුට පසුගියදා කෑගල්ල ප්‍රදේශයේදී පහර දීමක්ද සිදුකර තිබුණේ හිත්පිත් නැති පුද්ගලයකු විසිනි.
මේ අතර කොරෝනා අසාදිතයන් මෙන්ම සමීපතමයන් සෙවීමේ කාර්යභාරයට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට රටට තවත් මෙකී වසංගතය පැතිරීමේ අවදානමක් තිබෙන ජංගම වෙළෙඳ රථවල නිසි ප්‍රමිතිය පිළිබඳවද පරීක්ෂාවන්ට ලක්කිරීමටද ගෙවී ගිය සතියේ සිට කටයුතු කෙරිණි. ඒ ප්‍රථම වතාවට මහරගම ප්‍රදේශයෙනි. ඒ පිළිබඳව අපට කරුණු කීවේ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක කීර්ති ලාල් තුඩුවගේ මහතායි.
“මේ රෝගය ඊළඟට පැතිරෙන්නෙ මේ කිසිම ප්‍රමිතියක් නොමැතිව ගෙවල් ගානෙ වෙළෙඳාමේ යන රථවාහන නිසා... ඔවුන් කරන්නෙ පොලිසියට ගිහින් ඇඳිරිනීති බලපත්‍රයක් ලබා ගැනීම පමණයි. පාරිභෝගිකයන්ට විකුණන දේවල නිසි ප්‍රමිතියක් බලන්නෙවත් ඔවුනගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන තකන්නේවත් නැහැ... මොකද වෙලා තියෙන්නෙ මේ ඇතිවූ තත්ත්වයත් සමඟ සෑම දෙනෙක්ම වගේ කුමක් හෝ වාහනයක් අටවාගෙන අහුවෙන දෙයක් වෙළෙඳාම් කිරීමට බලන්නෙ... ඒ නිසා අපි මේ රථ පරීක්ෂාකොට සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරමින් සහතිකයක් නිකුත් කිරීමට කටයුතු කළා... ඒ දේ අපේ පීඑච්අයි මහත්වරු විසින් මේ වන විට රටපුරාම සිදු කරනවා...“
එසේ කොරෝනා වසංගතය මෙරට තුළ ව්‍යාප්ත විය හැකි සෑම ඉසව්වක් කෙරෙහිම අවධානය යොමු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවේ අතීතය ගැනද අපි මේ මොහොතේ මඳක් සොයා බැලුවෙමු.
1913 වර්ෂයේ පමණ මෙරට තුළ මහාමාරිය වසංගතය ප්‍රබල ලෙස පැතිර යාමත් සමඟ මුල්ම වතාවට මෙරට තුළ මහජන සෞඛ්‍ය පරික්ෂක තනතුර බිහිව ඇත්තෙ ‘සැනිටරි ඇසිස්ටන්‘ යන තනතුරක් ලෙසිනි. පසුව1935 වසරේදී එම තනතුර ‘සැනිටරි ඉන්ස්පෙක්ටර්‘ ලෙසත් 1950 පමණ වෙද්දී ස්ථාපිත ‘සැනිටරි බෝඩ්‘ නමැති කමිටුවේ සාමාජිකයෙකු වූ හෙයින් ‘සන්ටි බෝඩ්‘ ලෙස මහජනයා අතර ප්‍රචලිත වී ඇත. අනතුරුව 1977 පමණ වෙද්දී පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් හෙවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස වත්මන් තනතුර රට තුළ බිහිව ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ඉතිහාසය පිරික්සීමේදී හෙළි වේ.
බෝවන සහ බෝ නොවන රෝග පාලනය, ආහාර සෞඛ්‍යය, පරිසර සෞඛ්‍ය සහ කසළ කළමනාකරණය, වෘත්තිය සෞඛ්‍යය, පාසල් සෞඛ්‍ය සහ මහජන සෞඛ්‍ය අණපනත් බලාත්මක කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර හයක් ඔස්සෙ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වසර දෙකක පුහුණුවක් සපුරාලමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සිය රාජකාරිය ආරම්භ කරනුයේ බෝවන රෝග පාලනය ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මනා තාක්ෂණික දැනුමකින් පොහොසත්වයි.
කොරෝනා පාලනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන තවත් කාර්යභාරයක් නම් යම් අයෙක් කොරෝනා මාරයාට බිලිව මියගියහොත් ඔහුගේ සිරුර මනා ලෙස බැහැරලීම හෙවත් ආදාහනය කිරීම අධීක්ෂණය කිරීමයි. ඒ සඳහාද මෙකී කණ්ඩායමට නෛතික ප්‍රතිපාදන ලැබී ඇත.
මේ මොහොතේ රට වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන කාර්යභාරය අනුව ඔවුනගේ රැකියාවේ ගුණාත්මක භාවය තව තවත් ඉහළ නැංවීමට මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලාවක් දක්වා ඉහළ නංවන්නේ නම් ඒ හරහා සියලු සෞඛ්‍යාරක්ෂිත ප්‍රතිලාභ හිමිවන්නේත් මෙරට මුළුමහත් ජනතාවට බව අප පසක් කර සිටින්නෙමු.