
කොරෝනාවෛරසයට (COVID -19) ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් එය සමස්ත ලෝකයට තර්ජනයක් වෙමින් පවතින අතරවාරයේ මහජනයා නොමඟ යවන සුළු සාවද්‍ය තොරතුරු රැල්ලක් ද පැතිරයමින් පවතී.
අප්‍රිකානු කලාපයෙහි කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු කරනු ලැබ තිබෙන්නේ ස්වල්ප දෙනෙකු වන නමුත් එම වෛරසය පිළිබඳව ප්‍රචාරය කෙරෙමින් පවතින දුර්මත සම්බන්ධයෙන් පියවර ගැනීමට එම මහාද්වීපයේ ඇතැම් රටවල බලධාරීන්ට සිදුව ඇත.
වෛරසයෙන් බේරීමට රැවුල බෑම
කොරෝනාවෛරසයෙන් බේරීමට 'රැවුල කපා දැමිය යුතුය' යන්න අප්‍රිකානු කලාපයේ පැතිර යමින් පවතින එක් දුර්මතයකි.
ඒ සඳහා උපයෝගී කරගනු ලැබ තිබෙන්නේ ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් විසින් මෙයින් කලකට පෙර මුහුණේ රැවුල සහ කෘත්‍රිම ශ්වසනය අතර සම්බන්ධය පෙන්වාදීම සඳහා නිර්මාණය කරන ලද පැරණි 'ග්‍රැෆික්' පින්තූර පෙළකි. කොරෝනා වෛරසයෙන් බේරීමට පුරුෂයන් රැවුල කපා දැමිය යුතුය යන අදහස ප්‍රචාරය කිරීම සඳහා එම ඇමෙරිකානු පින්තූර අප්‍රිකාවේ සාවද්‍ය මට්ටමින් යොදා ගැනෙමින් පවතී.
නයිජීරියාවේ එක් පුවත්පතක සිරස්තලය මෙසේ විය.
"කොරෝනා වෛරසයෙන් බේරීමට රැවුල කපන්න- CDC අනතුරු අඟවයි"
CDC යනු ව්‍යාධීන් මැඩලීම පිළිබඳ ඇමෙරිකානු මධ්‍යස්ථානයයි. එම ආයතනය මුහුණේ රැවුල සහිත මුහුණු ඇතුළත් කරමින් සකස් කරන ලද ඉහත කී නිර්මාණය උපයෝගී කර ගන්නා ලද්දේ ශ්වසන මුඛ ආවරණයක් පැළඳීමේ දී උචිත නොවන රැවුල් මෝස්‌තර පිළිබඳව දැනුමක් ලබා දීම සඳහාය. එම ග්‍රැෆික් සිතුවම කොරෝනා වෛරසයෙන් බේරීමට රැවුල් බෑම සඳහා මිනිසුන් යොමුකිරීමෙහිලා සාවද්‍ය ආකාරයෙන් ඇතැම් අප්‍රිකානු රටවල ප්‍රචාරය කෙරෙමින් ඇත.
ඉහත කී ඇමෙරිකානු ග්‍රැෆික් නිර්මාණය කොරෝනා වෛරසය පැතිරයාමට බොහෝ කලකට පෙර 2017 දී නිර්මාණය කරන ලද්දක් වන අතර එමගින් මිනිසුන්ට රැවුල බෑමක් නිර්දේශ නොකරයි.
නයිජීරියාවේ ඉහත කී පුවත්පත් සිරස්තලයට සමාන සිරස්තල වෙනත් රටවලත් පළ කරනු ලැබ ඇති අතර, ඒවා දහස් ගණනින් හුවමාරු වී ඇත. ඕස්ට්‍රේලියාවේ '7News' පුවත් ප්‍රකාශනය පහත දැක්වෙන අදහස ඇතුළත් ප්‍රකාශයක් 'ට්විටර්' පණිවුඩයක් මගින් පළ කරනු ලැබුණි.
"ඔබේ රැවුල! ඔබ නොදැනුවත්ව කොරෝනා වෛරස් අනතුරක් වීමට ඇති ඉඩකඩ කෙසේද ?"
ආරෝග්‍යශාලාවන්හි වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා මුඛ ආවරණ (masks) ප්‍රයෝජනවත් නමුත් "මහජනයාට එමගින් විශාල රැකවරණයක් ලැබෙන බවට සාක්ෂි නැතැයි" එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.
කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින නයිජීරියානු පූජකවරයෙක්
කොරෝනා වෛරසය සුවකළ හැකැයි පවසන 'ඉවන්ජලිකානු' පූජකවරයෙකුත් මිනිසුන් නොමඟ යවන සුළු ව්‍යාජ දුර්මත ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාතෘකාවක් වී ඇත.
ඩේවිඩ් කින්ග්ලියෝ එලිජා (David Kingleo Elijah) නම් එම ඉවන්ජලිකානු පූජකවරයා සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝ පටයකිනි.
කොරෝනා වෛරසය මැඩලීම සඳහා තමා චීනයට යන්නේ යයි පූජකවරයා පවසන වීඩියෝ පටය 'YouTube' අඩවියේ පළ කෙරුණ අතර, පසුව එය වෙනත් මාධ්‍යජාලයන්හි ද පළකරනු ලැබ තිබුණි.
"මම කොරෝනා වෛරසය සදහටම විනාශ කරනවා. මම චීනයට යනවා. කොරෝනා වෛරසය විනාශ කර දමන්න මට අවශ්‍යයි," පූජකවරයා වීඩියෝ පටය මගින් කියාසිටියි.
එම ප්‍රකාශයෙන් දින කීපයකට පසු ඩේවිඩ් කින්ග්ලියෝ එලිජා පූජකවරයා චීනයට ගිය අතර, ඔහු කොරෝනා වෛරසයට ගොදුරුව රෝහල්ගත කරන ලද බවක් කියැවෙන ප්‍රකාශන 'බ්ලොග්' අඩවිවල පළ කරනු ලැබ තිබුණි.
එම 'බ්ලොග්' අඩවිවල පූජකවරයාගේ නම සඳහන් කරනු ලැබ තිබුණේ ඔහුගේ සැබෑ නම වෙනස් කරමින් 'එලිජා එමෙකා චිබුකේ' (Elija Emeka Chibuke) යනුවෙනි.
එහෙත් සත්‍යය කුමක් වීද ?
පූජකවරයා රෝහල්ගත කර සිටින ආකාරය දැක්වෙන පින්තූරය සඳහා භාවිත කර ඇත්තේ "පාස්ටර් අජිදරා" යනුවෙන් ජනප්‍රියව සිටි 'අඩේෂිනා අඩේෂන්යා' (Adeshina Adesanya) නම් නයිජීරියානු සිනමා නළුවාගේ පින්තූරයකි.
ඔහු 2017 වසරේ රෝහලක දී මියගොස් ඇත.
කුලීරථ රියැදුරකු ගැන අසත්‍ය පුවත්
කොරෝනා වෛරසය ආසාදිත යයි රෝග විනිශ්චය කරන ලද රියැදුරකු පිළිබඳ පුවතක් සමාජ මාධ්‍යජාලයේ පළ කරනු ලැබ ඇති අතර 'WhatsApp' පාවිච්චි කරන්නන් විසින් එය හුවමාරු කරගනු ලැබුණි.
එහෙත් එයත් සාවද්‍ය පුවතක් විය.
කොරෝනා වෛරසය ආසාදිත යයි රෝග විනිශ්චය කරන ලද සුදු ජාතිකයෙක් එම කුලීරථ රියදුරා විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා ගෙනගිය පුවතක් ගැන ඉන් කියැවෙයි. ඉන් අනතුරුව 'ඔගුන්' (Ogun) ප්‍රාන්ත ආණ්ඩුව රෝහල්ගත වෙන ලෙස රියැදුරාට දැනුම් දෙයි.
රෝහල්ගත වූ රියැදුරාත් කොරෝනා ආසාදිතයකු යයි රෝග විනිශ්චය කෙරෙයි. එහෙත් රෝහලෙන් පළා යන රියැදුරා තම පවුලට නයිජීරියානු 'nairas' මුදලින් මිලියන100 ක් (ඩොලර් 274,000) ගෙවන්නේ නැත්නම් වෛරසය පතුරුවන බවට අනතුරු අඟවයි.
එහෙත් නයිජීරියානු බලධාරීන් එම පුවත බැහැර කර ඇත.
ඉහත කී රියැදුරා පිළිබඳ පුවත බැහැර කරමින් නිවේදනයක් නිකුත් කරන 'ඔගුන්' (Ogun ) ප්‍රාන්ත ආණ්ඩුව රැඳවුම් මධ්‍යස්ථානයකින් රෝගියෙකු පළා ගොස් නැතැයි පවසයි.
නයිජීරියාවෙන් සහ උප සහරා අප්‍රිකාවෙන් හමු වූ පළමු තහවුරු කෙරුණ කොරෝනා ආසාදිතයා ෆෙබරවාරි 25 දින ඉතාලියෙන් 'ලේගුස්' නගරයට පැමිණි ඉතාලි ජාතිකයෙකි.
එම තැනැත්තා සමඟ සම්බන්ධතා පැවැත්වූ සියදෙනෙකු පමණ සම්බන්ධ කරගත් බව නයිජීරියානු බලධාරීහු පවසති.
කෙන්යා ආණ්ඩුවේ ප්‍රතිචාරය
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ප්‍රචාරය කෙරෙන ව්‍යාජ පුවත් හෙළා දකිමින් කෙන්යා ආණ්ඩුව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
කෙන්යාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් 63 දෙනෙකු පිළිබඳව වාර්තා පළ කෙරුණත්, තහවුරු කෙරුණ ආසාදිතයන් නොවන බව කෙන්යා ආණ්ඩුව පවසයි.
පවතින ප්‍රවණතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කෙන්යා සෞඛ්‍යය අමාත්‍යාංශය, සියරටේ කොරෝනා වෛරස් ආසාදිතයන් නොමැති බව පවසමින්, එවැනි ආසාදිතයන් ඈති බවට සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රකාශන පළ කරන්නන්ට අනතුරු ඇඟවීමක් කළේය.
දැනට බල පැවැත්වෙන කෙන්යා නීතිය අනුව ව්‍යාජ පුවත් පළ කිරීම හෝ හුවමාරු කර ගැනීම ඩොලර් 50,000 ක දඩයක් හෝ දෑවුරුදු සිර දඬුවමකට යටත් කරනු ලැබීමට හේතුවිය හැකි වරදකි.
ගම්මිරිස් සුප් ප්‍රතිකාරයක්
ගම්මිරිස් සුප් පානය කිරීම මගින් කොරෝනා වෛරසය සුවකළ හැකි බව පැවසෙන පෝස්ටරයක් සහ වීඩියෝ පටයක් නයිජීරියාවේ ආගමික දේශකයකු විසින් අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇත.
එම ප්‍රකාශනයත් 'WhatsApp' ජාලයෙහි හුවමාරු වෙමින් තිබුණි.
කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් හෝ සුවිශේෂී පිළියමක් නොමැති අතර, ඉහත කී ගම්මිරිස් සුප් ප්‍රතිකාරය පිළිබඳව වැඩිමනත් තොරතුරු ප්‍රකාශ නොවුණි. ගම්මිරිස් සූපය නයිජීරියාවේ සාම්ප්‍රදායික රසාලිප්ත පානයකි.
කොරෝනා වෛරසය පැතිරයාම මිනිසුන් නොමඟ යවන ව්‍යාජ පුවත් රැල්ලක් පැතිර යාමට හේතු වූ බව ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) පවසයි.
'කේප් වාර්ඩි' (Cape Verde) පෘතුගීසි භාෂාව කතා කරන බටහිර අප්‍රිකානු කුඩා සමාජයකි. කුරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස දුරුවලින් සාදාගත් තේ (fennel tea) පානය කරන මෙන් බ්‍රසීලියානු වෛද්‍යවරයකු විසින් නිර්දේශ කරන ලදැයි පැවසෙන පෝස්ටුවක් එහි සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙමින් තිබුණි.
එම ප්‍රකාශනය 'කේප් වාර්ඩි'(Cape Verde) වෙළෙඳපොලේ ඔසු පැළෑටි සඳහා මහා පරිමාණයේ හදිසි ඉල්ලුමක් ඇතිවීමට හේතු විනැයි AFP පුවත් සේවය වාර්තා කළේය.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බ්‍රසීලයේ සෞඛ්‍යය අමාත්‍යාංශය, දුරු තේ (fennel tea) පානය කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් බව පැවසෙන ලිපියක් හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස මහජනයාට අනතුරු ඇඟවීමක් කර ඇත.
කොරෝනා වෛරසය පිටුදැකීමට ගෙනයන අරගලයේ දී නිරන්තරයෙන් ඉතා හොඳින් අත් සෝදා ගැනීම ඉතා තීරණාත්මක කරුණක් යයි ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) මේ අතර පෙන්වා දෙයි.
(බී.බී.සිය ඇසුරෙනි)