
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චින ජාතික කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අංගොඩ පිහිටි උණ රෝහලට ඇතුළත් කිරීමත් සමග ශ්‍රී ලාංකයින් තරමක තැතිගැන්මකට ලක්විය.
නමුත් ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය අද නිගමනය කළේ, ඔවුන්ට එම වෛරසය අසාදනය වි නොමැති බවයි.
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු, හා ශ්‍රී ලාංකික කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඊයේ වනවිට ඇතුළත් කෙරිණ.
ඔවුන් තවදුරටත් රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
මේ වන විට මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව ද, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා තහවුරු කළේ ය.
මේ අතර මෙරට පැමිණ සිටින චීන ජාතික තරුණ සවේච්ඡා සේවක කණ්ඩායමක සමාජිකයින් පිරිසක් අද දහවල් ජාතික බෝවන රෝග විද්‍යායනය වෙත පැමිණ පරීක්ෂණ සදහා ඉදිරිපත්වන අයුරුද දැක ගත හැකි විය.
මේ ගෙවෙන්නේ චීනයට නව අවුරුදු උදාව සිදුවී ඇති කාල සීමාවක්.
ඒ නිසා මෙරට නේවාසිකව සේවයේ නිරත දහස දහසක පමණ චීන ජාතිකයින්ගෙන් බොහොමයක් දෙනා මේ වනවිට චීනයට ගොස් තිබේ.
ඔවුන් තවත් දින කිහිපයකින් යළිත් මෙරටට පැමිනීමට නියමිතයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් ඇති චීනයේ වුහාන් සහ සීචුවාන් ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ ය.
ඒ අනුව ඉදිරි පැය 48 තුළ පළමු කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරයි.
වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ වූහාන් ප්‍රාන්තයට ඇතුළුවීම හා පිටවීම මේ වනවිට තහනම්කර ඇති හෙයින් එම තහනම ඉවත් කළ වහාම ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
ඒ අනුව සිචුආන් ප්‍රාන්තයේ වෙන්ඩු අගනුවර වෙසෙන සිසුන් 150 කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබේ.
ඒ සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යොදවා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
චිනයේ සිට ශ්‍රී ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපළේ සිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමෙන් අනතුරුව රටට ඇතුළු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.
කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් චීනයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට චීනය ඇතුළු ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ඉක්මවා තිබේ.
ඕස්ට්‍රේලියාවෙන් සහ මලයාසියාවෙන් එම වෛරසය ආසාදනය වූ අට දෙනෙකු වාර්තා විය.
යුරෝපයේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ ප්‍රංශයෙනි.
කැනඩාවෙන් ද පළමු වරට කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.
කැනඩා සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, එම පුද්ගලයා චීනයේ වූහන් නගරයේ සිට පැමිණි බවයි.
වෛරසය පැතිරයාම හමුවේ හොංකොං දේශය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ, චීනය සමඟ පැවති ප්‍රවාහන සබඳතා ද අවහිර කරමිනි.
ඒ, වෛරසය ආසාදනයවූවන් පස් දෙනෙකු වාර්තා වීමෙන් අනතුරුවයි.
චීනය ද එරට ප්‍රවාහන කටයුතු සඳහා පැනවූ නීති දැඩි කළේ ය.
අමෙරිකාව සඳහන් කළේ, චීනයේ වූහන් නගරයේ සිරව සිටින සිය පුරවැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් යළි ගෙන්වා ගැනීමට අද ගුවන් යානයක් පිටත්කර යවන බවයි.
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනයවූවන් වාර්තා වී ඇති රටවල් වන්නේ තායිලන්තය , වියට්නාමය , සිංගප්පූරුව , ජපානය , දකුණු කොරියාව , තායිවානය , නේපාලය සහ අමෙරිකාවයි.