
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්
චීනයෙන් ආරම්භ වී මේ වන විට රටවල් කිහිපයක පැතිර යමින් පවතින කොරෝනා වෛරසය මුළු ලෝකය පුරාම පැතිර යෑම ඉඩක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනතුරු ඇඟවූයේය. මේ වයිසරය මුලින්ම වාර්තා වූයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙනි. වූහාන් යනු මධ්‍යම චීනයේ පිහිටා හුබෙයි ප්‍රාන්තයේ ඇති ප්‍රදේශයකි. මේ ප්‍රදේශයේ ජනගනය මිලියන 11ක් ලෙස ගණන් බලා තිබේ. කොරෝනා වෛරසයේ ප්‍රථම රෝගියා මේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එයින් පසුව එම වයිරසය සහිත රෝගීන් චීනයේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වන්නට විය. මේ වන විට මේ වයිරසය හේතුවෙන් මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 17ක් ලෙසින් වාර්තා වී තිබේ.
උණ සහ මස්පිඩු වේදනාව ලෙස ආරම්භ වන මේ රෝගය ප්‍රථමයෙන්ම වාර්තා වී ඇත්තේ පසුගිය ජනවාරි 18වැනිදා ය. එතැන් සිට ඉතා ශීඝ්‍රයෙන් වූහාන් ප්‍රදේශය සහ මුළු චීනය පුරාද ඉන්පසු තවත් රටවල් කිහිපයකටද වෛරසය පැතිර ගොස් තිබේ. ආරම්භයේදී මේ රෝග ලක්ෂණ සෙම්ප්‍රතිශ්‍යාව ලෙස වැරදියට හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන්ද වයිරසය තවත් පහසුවෙන් පැතිරීමට ලක් වී තිබේ.
චීනයට අමතරව අමෙරිකා එක්සත් ජනපදය, තායිවානය, තායිලන්තය, ජපානය සහ දකුණු කොරියාව යන රටවලින් ස්ථීර ලෙසම කොරෝනා වයිරසය ආසාදිත වූ රෝගීන් හමු වී තිබේ. මේ ලියන මොහොත වන විට මේ සියලු රටවලින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 700කි. මේ සංඛ්‍යාව තවත් වර්ධනය විය හැකි බවට අනුමාන පළ වී තිබේ.
වූහාන් ප්‍රදේශයේ ජනතාවට මේ වන විට ප්‍රදේශයෙන් පිට සංචාරය කිරීම තහනම් කර ඇති අතර ජනතාව රෝගය හේතුවෙන් භීතිය පත්ව පරීක්ෂණ සඳහා දහස් ගණනින් රෝහල් කරා පැමිණෙමින් සිටින බව වාර්තා වේ. එමෙන්ම විශාල වශයෙන් මුඛ ආවරණ ද මිලදී ගනිමින් සිටින බවද වාර්තා වේ. කොරෝනා වයිරසය ශ්වසන මාර්ගය ආශ්‍රිතව ආසාදනය වන වයිරසයකි. එමෙන්ම එය තවත් පුද්ගලයකුට බෝ වන්නේද ‘බිඳිති‘ මාර්ගයෙනි. එනම් රෝගය ආසාදිත පුද්ගලයකුගේ කෙළ හෝ සෙම තවත් පුද්ගලයකුගේ ශරීරගත වීමෙන් මේ රෝගය පහසුවෙන් බෝ විය හැකිය.
මෙවැනි ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග පහසුවෙන් බෝ විය හැකි බැවින් රෝගය මෙතරම් ව්‍යාප්ත වන තෙක් ඒ සම්බන්ධව කටයුතු නොකිරීම ගැන චීන බලධාරීන්ට දෝෂාරෝපණ එල්ල වෙමින් තිබේ. වැඩිවශයෙන් එවැනි දෝශාරෝපණ එල්ල වන්නේ බටහිර මාධ්‍ය මගිනි. විශේෂයෙන් ජනාධිපති ක්ෂී ජින්ග්පින්ග්ට චෝදනා එල්ල කර සිටින බටහිර මාධ්‍ය මරණ සංඛ්‍යාව ඉහළ යෑම සහ රෝගීන් චීනය පුරා මෙන්ම ලොව සෙසු රටවලටද සංක්‍රමණය වීම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කර සිටිති.
මෙය මාරාන්තික වයිරසයක් බවත්, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ විය හැකි බවත් හඳුනා ගැනීමට චීනය විශාල කාලයක් ගත් බවද බටහිරින් චීනයට එල්ල වන චෝදනාවකි. හදිසි බෝවන රෝග තත්ත්වයකට මුහුණ දීමට ප්‍රමාණවත් පහසුකම් වූහාන් ප්‍රදේශයේ රෝහල්වල නොපැවති බව හුවා දක්වන බටහිර මාධ්‍ය ඒ සම්බන්ධයෙන්ද චීන රජයට දොස් පවරමින් සිටිති. මීට පෙර චීනයට මෙවැනි චෝදනාවලට මුහුණ දීමට සිදුවූයේ අදින් වසර 17කට පෙරදී ය. ඒ සාර්ස් වයිරසය චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරී යෑම ඇරඹුණු පසුය. සාර්ස් වෛරසයෙන් ලොව පුරා 800ක් මියගිය අතර 8000කට වයිරසය ආසාදනය විය.
එහෙත් වසර 17කට පෙර චීනය සහ වර්තමාන චීනය අතර ඉතා විශාල වෙනස්කම් පවතින අතර එදා මෙන් නොව චීනය මේ වන විට මුළු ලෝකයේම ආර්ථිකයට බලපෑම් කළ හැකි ලෝක බලවතකු ලෙස සැලකිල්ලට ලක් වේ. එදාට සාපේක්ෂව චීනයේ ආර්ථිකව විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර චීනය වඩාත් වැඩියෙන් ලෝකයට විවෘත වී තිබේ. මෙවර වයිරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි තර්ජන එල්ල වී ඇත්තේද ඒ හේතුවෙනි.
වසර ආරම්භය චීන වැසියන් විවේකයෙන් ගත කරන කාලයක් ලෙස සැලකේ. ඔවුන් එය හඳුන්වන්නේ චන්ද්‍ර නව වසරේ විවේකය ලෙසිනි. මේ විවේකී කාලයේදී චීන වැසියන් මිලියන ගණනින් ලොව පුරා සංචාරය කරති. වයිරසයේ ව්‍යාප්තියට මේ විවේකී සමය ඉතා දරුණු ලෙස බලපෑම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ. චීන වැසියන් විවේකී සමයේ ලොව පුරා සංචාරය කිරීම රෝගය බෝවීම වැඩිවීමට හේතුවක් වන අතර රෝගය හේතුවෙන් චීන වැසියන් සංචාරය නොකරන්නේ නම් එය සංචාරක කර්මාන්තය ආශ්‍රයෙන් රැකියා උපදවා ගන්නා ලොවපුරා විශාල ජනතාවකට බලවත් අර්බූදයක් නිර්මාණය කරනු ඇත.
අමෙරිකාවෙන් වාර්තා වූ පළමුවැනි කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගියා පසුගිය සඳුදා ඇට්ලන්ටා ගුවන් තොටුපොළෙන් වාර්තා විය. මේ වන විට අමෙරිකාවේ සෑම ගුවන් තොටුපොළකම චීනයෙන් පැමිණෙන, විශේෂයෙන්ම වූහාන් ප්‍රදේශයෙන් පැමිණෙන සංචාරකයන් පරීක්ෂාවන්ට ලක් කිරීමට කටයුතු යොදා තිබේ. පෙර ප්‍රංස කොලනියක්ව පැවතී, දැන් චීන පාලනය යටතේ පවතින මකාවූ ප්‍රදේශයෙන්ද කොරෝනා වයිරසය ආසාදිත එක් රෝගියකු හමු වී තිබේ.
පසුගිය 20වැනිදා දකුණු කොරියාවෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත රෝගියා හමුවී ඇති අතර ඒ 35 හැවිරිදි කාන්තාවකි. ඇය චීනයේ වූහාන් ප්‍රදේශයේ සිට දකුණු කොරියාවට පැමිණ තිබේ. ගුවන් තොටුපොළේදී ඇය උණ රෝගයෙන් පීඩා විඳිමින් සිට ඇති අතර රෝහලට ඇතුළත් කරන විට ඇයට සෙල්සියස් අංශක 38.4ක ශරීර උෂ්ණත්වයක් පැවති බව වාර්තා වේ. පසුව සිදු කරන ලද පරීක්ෂණවලින් හඳුනාගෙන ඇත්තේ ඇය කොරෝනා වයිරසය ශරීර ගත වී සිටින බවයි.
උතුරු කොරියාව සියලුම සංචාරකයන්ට තම රටට ප්‍රවිෂ්ට වීම තාවකාලිකව නවතා දමා ඇති අතර ඊට හේතුව වන්නේ උතුරු කොරියාවට පැමිණෙන සංචාරකයන් වැඩි වශයෙන් චීන ජාතිකයන් වීමය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් කැඳවමින් කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යෑම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීය. පසුව ඔවුන් තීරණය කර ඇත්තේ ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටය. ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර කුරුලු උණ සහ එබෝලා වෛරසය ව්‍යාප්ත වූ අවස්ථාවලදී ද මෙවැනි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යෙදීය.
කෙසේ වුවද මෙවැනි වයිරස කලින් කලට ලෝකය පුරා ව්‍යප්ත වීම අද්භූත දෙයක් නොවන අතර එවැනි මාරාන්තික වෛරස රාශියක්ම මර්දනය කිරීමට ඉතිහාසය පුරා මිනිස් වර්ගයාට හැකියාව ලැබී තිබේ. මෙවරද ඉක්මනින්ම වයිරසය පරාජය කිරීමට මිනිසාට හැකිවනු ඇති අතර එම පුවත ඉක්මනින්ම අසන්නට ලැබේවා යන්න අපගේ පැතුමය.