
රැඩිකල් තීරණයක් ගැනීම හේතුවෙන් මේ වන විට මුළු මහත් ලෝකයේම අවධානය දිනා සිටින හැරී කුමරු පසුගිය 21 වැනිදා සාමාන්‍ය මිනිසකු ලෙස කැනඩාවට පැමිණියේය. ඊට පෙර ඔහුගේ බිරිය මේගන් සහ පුතු ආචි කැනඩාවට පැමිණ සිටියහ. කුමරු මෙලෙස කැනඩාවට පැමිණියේ ඔවුන් හා එක්වීමටය. ඒ සමගින් පෙර ප්‍රකාශ කළ පරිදි තමා උපයන මුදලින් ජීවිතය ගෙන යමින් ‘සාමාන්‍ය මිනිසකු සේ‘ ජීවිතය ඇරඹීමටද කුමරා අදහස් කර තිබේ.
ජනවාරි 21වැනිදා සවස 7 වන විට ඔහු වැන්කුවර් ගුවන් තොටුපොළට පැමිණ තිබේ. එතැනින් වෙස්ට් ජෙට් ගුවන් යානයක නැගී සෙසු මගීන් සමග තම ගමන් මල්ලද කරේ දමාගෙන කුමරා වික්ටෝරියා අන්තර්ජාතික ගුවන් තොටුපොළින් පිටත්ව වැන්කුවර් දූපතට නික්ම යන දර්ශන මාධ්‍ය වෙත පැමිණ තිබේ. කුමරු හිනාවෙමින් ඉතා සැහැල්ලුවෙන් සහ සතුටෙන් සිටිනු දැක ගත හැකි වූ බව ඔහු සියැසින් දුටු පුද්ගලයන්ගේ අදහස වී තිබේ. කුමරා රැගෙන යෑමට එස්යූවී වර්ගයේ රථයක්ද ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
මින් ඉදිරියට හැරී ‘රාජකීය කුමරා‘ යනුවෙන් හැඳින්වීමක් සිදු නොකරන බව බකිංහැම් මාලිගය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක සඳහන් වූ අතර එහෙත් ඔහුට සහ මේගන්ට සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන නාමයන් දිගටම භාවිත කිරීමේ අවසරය හිමි වී තිබේ. මේ අතර කැනඩාව බලා පිටත්ව යෑමට පෙර ප්‍රකාශයක් කරමින් හැරී කුමරු පවසා තිබුණේ ‘මේ තීරණය ගැනීම පහසු නොවූ බවයි. එමෙන්ම තවදුරටත් ජනතාවගේ බදු මුදල්වලින් තමා යැපෙන්නේ නැති බවත්ය.‘