
මිහිතලයේ විපරීතවෙමින් පවතින දේශගුණය යහපත් තත්වයක පවත්වා ගැනීමට ගනු ලබන ප්‍රයත්නය අතිශයින් තීරණාත්මක මොහොතකට පැමිණ ඇති බව ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා(Sir David Attenborough) ලෝකවාසීන්ට පෙන්වා දෙයි.
"අපි සිදුවෙමින් පවතින දේවල් අනවශ්‍ය සහ හානිදායක ලෙස වසරින් වසර කල් දමමින් සිටින්නෙමු"යයි කීර්තිමත් පරිසරවේදියකු සහ සන්නිවේදකයකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා පවසයි.
"මම මේ කතාකරන මොහොතේ ගිනිකොන ඔස්ට්‍රේලියාව ගිනිගන්නවා. ඇයි ? මිහිතලයේ උණුසුම වේගයෙන් ඉහළ යමින් පවතින නිසා" සිය මුළු මහත් දිවිය මිහිතලයේ සහ ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් කැපකළ මහා පරිසරවේදියා පෙන්වා දෙයි.
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා ඉහත කී අදහස් පළකළේ ' වෙනස් වෙන මිහිතලය" යන තේමාව යටතේ බීබීසී සේවයේ විශේෂ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡාවකදීය.
ඕස්ට්‍රේලියානු වනගිනිවලට හේතු වූ කරුණු කීපය අතර දේශගුණ වෙනස්වීම් එක හේතුවක් විනැයි විද්‍යාඥයෝ පවසති.
එම වනගිනි විනාශයට බලපෑ අති සෙසු කාරනා වන්නේ වනාන්තර කළමනාකරණය සිදුකරනු ලබන ආකාරය සහ කාලගුණයේ ස්වාභාවික රටාවන්ය යන්න එම විද්‍යාඥයන්ගේ නිගමනය වෙයි.
ඕස්ට්‍රේලියානු වනගිනි සහ මිහිතලය උණුසුම්වීම අතර සම්බන්ධයක් නැතැයි ඇතැම් දේශපාලනඥයන් සහ විස්තර විචාරකයන් විසින් සඳහන් කරනු ලැබීම "එළිපිට කරන විකාරයක්" ලෙස ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී සඳහන් කළේය.
"අපි ජීවත්වෙන මිහිතලය ගිනියම්වීමට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන බව අපි හොඳින්ම දන්නවා" ඔහු පවසයි.
(බී.බී.සිය ඇසුරෙනි)