
මැණික් ගැරීම, ජල දූෂණය, වායු දූෂණය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉවක් බවක් නැතිව තැන් තැන්වල දැමීම අවිධිමත් ලෙස කුණු කසළ තැන් තැන්වල දැමීම ආදිය නිසා ද අපේ රෙට් මිහිතලයට ප්‍රබල තර්ජන එල්ල වී තිබේ.
* කොඳුඇට පෙළක් ඇති සත්ත්ව විශේෂ 329ක් වඳ වී යෑමේ තර්ජනයක
* රත්නපුර - මහනුවර දිස්ත්‍රික්කවල සත්ත්ව විශේෂ 1500ක් වඳවී යන ලකුණු
* මිහිතලයට වී ඇති ලොකුම තර්ජනය අවිධිමත් ඉඩම් පරිහරණයයි
* සිරිපාදෙන් වසරකදී පොලිතින් මෙට්‍රික්ටොන් 5ක්
අලුත් අවුරුද්ද සමරා අවසන්ය. දැන් අපි පොළොවේ පය ගසා ඉදිරි වසර සඳහා තම තමන්ගේ කටයුතු කළ යුතු වෙමු, ඒ සඳහා අපි අපේ මිහිතලය සුරැකිය යුතුමය.
මේ වසරේ ජගත් මිහිතල දිනයේ වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ ප්ලාස්ටික් හා පොලිතින් මඟින් ලොව ජෛව විවිධත්වයට බලපාන අහිතකර බලපෑම පිළිබඳවයි.
අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ඇති සයන්ස් සඟරාවේ 2015 කලාපයක පළවූ ඇමෙරිකාවේ ජෝජියා විශ්ව විද්‍යාලයේ ජෙනා ජැම්බොක් නමැති පරිසර විද්‍යාඥවරිය ලියූ ලිපියකට අනුව ශ්‍රී ලංකාවේ මුහුද හා වෙරළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයෙන් ලෝකයේ පස්වැනි ස්ථානයට පත්ව ඇත.
මේ ලිපියට අනුව අපේ වෙරළ මඟින් වසරකට ප්ලාස්ටික් රාත්තල් දස ලක්ෂයක් මුහුදට එක්වේ. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි රුහුණු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන පරිදි ගංගාවලින් එන ප්ලාස්ටික් හා සංචාරක කලාපවලින් එන ප්ලාස්ටික්වලින් මුහුද වැඩිපුර දූෂණයට ලක්වී තිබේ.
මෙම ප්ලාස්ටික්වල ජලය රැඳීම නිසා ඩෙංගු වැනි මාරාන්තික රෝග ඇති කිරීමට වෙරළ හා මුහුද තෝතැන්නක් බවට පත්වීම සිදුවේ. එමෙන් ම ප්ලාස්ටික් හා පොලිතින් මත රැඳී පවතින වස විස හා විෂ බීජ ආදිය නිසා සාගරය අපවිත්‍ර වී ජලජ ජීවීන්ට හා ශාකවලට කොරල්වලට මාළු පැටවුන්ට ඉතා අහිතකර ලෙස බලපාන බව ද ටර්නි ප්‍රදීප් මහතා පවසයි. අපේ ප්‍රධාන සංචාරක කලාප වන දෙහිවල , ගල්කිස්ස, අරුගම්බේ, හික්කඩුව, උණවටුන, පොල්හේන වැනි ප්‍රදේශවලට සංචාරකයන්ට බහුල ලෙස ගැවසුණත් ප්ලාස්ටික් හා පොලිතින් දමා ඒ ස්ථානවල සුන්දරත්වය අපේ අය විසින් ම විනාශ කරමින් පවතී.
මෙරට පොලිතින් පාවිච්චිය පිළිබඳව දැඩි විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය ඉහළ ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පරිසරවේදී ඩී.පී. මුණවීර මහතා පවසන්නේ 2013 වසරේදී ඔවුන් සිරිපාදයෙන් පොලිතින් මෙට්‍රික් ටොන් 5 ක් එකතු කළ බවයි. මීට අමතරව ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගණනක් ද සිරිපාදේ තිබුණු බවත් මෙරට ප්‍රධාන ගංගා ආරම්භ කෙරෙන සිරිපා අභය භූමිය මෙලෙස පොලිතින් හා ප්ලාස්ටික්වලින් දූෂණය වීම මුළු රටේම ජල පද්ධතියට බලපාන බවත් මුණවීර මහතා පවසයි.
1970 සිටම ජගත් මිහිතල දිනය දැන් සැමරුවත් දූපත් රාජ්‍යයක් වන අපේ රටේ මිහිතලය සුරැකීමට ප්‍රධානම බාධාව වී ඇත්තේ අවිධිමත් ඉඩම් පරිහරණය හා ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් නොමැතිවීම බව පරිසර විද්‍යාඥයෝ පවසති. මේ නිසා නාය යෑම්, පාංශු ඛාදනය ඉඩම් නිසරුවීම සිදුවේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශ ප්‍රධාන ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසන්නේ මෙරට පසුගිය වසරවල සිදුවූ දරුණු නායයෑම්වලින් සියයට 90 ක්ම සිදුවී ඇත්තේ අවිධිමත් ඉඩම් පරිහරණය නිසාය. අරණායක සාමසර කන්ද 2016 දී බහුලව නායයෑමකට ලක්විය. එහි මෑතකදී තේ වගා කර ඇති අතර මීට වසර 15 ක් පමණ පෙර මේ ඉඩම රබර් ඉඩමක් වූ අතර පසුව ප්‍රදේශයේ දේශපාලන බලධාරියකු මේ ඉඩම කට්ටිකර පවුල් පදිංචි කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවර්ධනයේ පර්යේෂණ අනුව නායයෑම් වැඩිපුර සිදුවී ඇත්තේ ඒ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ අවිධිමත් ඉඩම් පරිහරණය හා මානව ක්‍රියාකාරකම් නිසා ය. වනාන්තර විනාශය, වගුරු බිම් තෙත් බිම් ඉවක් බවක් නැතිව ගොඩ කිරීම මුතුරාජවෙල වැනි රටේ සුවිශේෂී පරිසර සංවේදී කලාප රජයේ අවසර ඇතිව ගොඩ කිරීම අද අපේ රටේ මිහිකත සමඟ ජෛව විවිධත්වය විනාශ කිරීමට ප්‍රබල හේතුවී තිබේ.
අද අපේ රටේ වසරකට වනාන්තර අක්කර 20000 ක් පමණ විනාශ වෙන බිම් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන පවසයි. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ වසරකට වනාන්තර අක්කර 13000 ක් පමණ විනාශ වෙන බවයි. කෙසේ වුවත් මෙය අපේ ජෛව විවිධත්වයට ප්‍රබල තර්ජනයකි. මිහිතලයේ පැවැත්වීම ලොකු අභියෝගයකි.
මැණික් ගැරීම, ජල දූෂණය, වායු දූෂණය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉවක් බවක් නැතිව තැන් තැන්වල දැමීම අවිධිමත් ලෙස කුණු කසළ තැන් තැන්වල දැමීම ආදිය නිසා ද අපේ රෙට් මිහිතලයට ප්‍රබල තර්ජන එල්ල වී තිබෙන බව මේ පිළිබඳව නිරන්තර පර්යේෂණ කරන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පරිසර විද්‍යා හා වන විද්‍යා මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පවසන්නීය.
මිහිතල සුරැකීමට නම් ඒ මිහිතලයේ වවන වැවෙන ගහ කොළ මෙන් ම ජීවත්වන සතා සී පාවා ද මිහිතලයේ වායුගෝලය සුරැකිය යුතුව ඇත. අපේ රටේ ජෛව විවිධත්වය අතින් ලොව ඉහළම ස්ථානයක සිටින රටකි. අපේ රටේ ඇති ශාක විශේෂ ගණන 7828 කි. ඉන් විශේෂ 1691 ක් අපේ රටට ආවේණිකවේ. අපේ රටේ ඇති ශාක විශේෂවලින් විශේෂ 1919 ක් ඖෂධීය ශාකවේ. ඉන් 80 ක් පමණ වදවී යාමේ තර්ජනයට පත්ව තිබේ. ඊට අමතරව කළුවර, කළු මැදිරිය, නැදුන්, ඇතුළු ශාක රැසක් වදවීයෑමේ තර්ජනයට පත්වී තිබේ. ඊට අමතරව අපේ රටේ සිටින සත්ව විශේෂ ගණන 1744 කි. ඉන් සතුන් විශේෂ 625 ක් අප රටට ආවේණිකය. එසේ වුවත් අපේ රටේ තිබෙන පරිසර ප්‍රශ්න අනුව අපේ රටේ රත්නපුර, ගාල්ල, මහනුවර දිස්ත්‍රික්කවල සත්ත්ව විශේෂ රැසක් වදවී යාමේ තර්ජනයට පත්වී සිටින බව රතු දත්ත ලැයිස්තුව පෙන්වා දෙයි. ඒ අලුත් පර්යේෂණ දත්ත අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින සත්ත්ව විශේෂ 1537 ද සත්ව විශේෂ 739 ක් ම වදවී යාමේ තර්ජනයට පත්වී සිටිති. වදවී යෑමේ තර්ජනයට පත්වූ රත්නපුර සිටින සත්ව විශේෂ අතර ආවේණික සත්ත්ව විශේෂ 397 ක් බව ද එම වාර්තාව අනුව පැහැදිලි වී ඇත. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන සත්ත්ව විශේෂ 1952 න් විශේෂ 808 වදවී යෑමේ තර්ජනයට පත්වී සිටින බව ලෝක සංරක්ෂණ සංගමය පරිසර හා මහවැලි අමාත්‍යාංශය මඟින් කළ රතු දත්ත ලැයිස්තුවට අදාළ අලුත් ගවේෂණයක් ඒ මඟින් අනාවරණය වී තිබේ.
මේ සුවිශේෂී රතු දත්ත ලැයිස්තුව පිළිබඳ ගවේෂණය සිදුකර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය දේවක වීරකෝන් හා ආචාර්ය චන්න බඹරදෙණිය යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙනි.
මේ පර්යේෂණය අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින ආවේණික සත්ත්ව විශේෂ 285 න් 252 ක් ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත්වෙන ආවේණික සත්ත්ව විශේෂ 400 න් 200 ක් පමණ ද වදවී යාමේ තර්ජනයට ලක්වී ඇතැයි ද හෙළිවී තිබේ.
මේ රතු දත්ත ලැයිස්තු ගවේෂණය මඟින් හෙළි වී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ මෙරට සිටින කොඳු ඇට පෙළක් ඇති සත්ත්ව විශේෂ 760 ක් අතුරින් සත්ත්ව විශේෂ 325 ක් ම දැන් වදවී යාමේ තර්ජනයට පත්වී ඇති බවයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ වදවීයාමේ තර්ජනයට පත්වී ඇති කොඳු ඇට පෙළක් ඇති සත්ව විශේෂ අතර ආවේණික සත්ත්ව විශේෂ 325 ක් ම ඇති බවයි. ආවේණික සත්ව විශේෂ යනු ලෝකයේ අපේ රටේ ම පමණක් ජීවත්වෙන හැදෙන වැඩෙන සත්ත්ව විශේෂ වේ.
මේ අනුව අපේ මිහිතලයට වන විවිධ හානි පරිසර දූෂණය වනාන්තර විනාශය ආදිය නිසා අපේ රටේ මිහිතලයේ ජෛව විවිධත්වය අඩු වීමට ඇති බලපෑම් එන්න එන්න වැඩිවෙමින් පවතී.
මිහිතලය වැඩිපුර විනාශ වන්නේ අපේ මානව පරපුරේ අවිධිමත් ක්‍රියාකාරකම් නිසා ය. ඒ අනුව මිහිතලය සුරැකිමින් අපේ මානව ක්‍රියාකාරකම්වලින් ම පුළුවන. වනාන්තර වැවීම, ක්‍රමානුකූල පරිසර හිතකාමී ඉඩම් පරිහරණය, මහාමාර්ග මහල් ගොඩනැගිලි ඉදිකිරීමේදී පමණක් නොව මහල් නිවාස ඉදිකිරීමේදී පවා භූ විද්‍යාඥ උපදෙස් හා ඉංජිනේරු උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතු ය.
දූපත් රාජ්‍යයක් වන අපේ රටේ මිහිතලයට ඉහත අයුරින් දැන් අහිතකර තර්ජන එල්ල වෙමින් පවතී. මීට අමතරව ගල්වළවල් කැණීම වනාන්තර ගිනි තැබීම පස් කැපීම හා වැලි හෑරීම ද අද මිහිතලයට ප්‍රබල තර්ජන වේ.
අද අපේ රටේ මිහිතලයට පමණක් නොව ලොව සම්පූර්ණ මිහිතලයට ද විවිධ පාරිසරික තර්ජන එල්ල වී ඇත. වායු දූෂණය අඩු කිරීමට පැරිස් සම්මුතිය සූදානම් කළත් ඇමෙරිකාව මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැත.
එතෙර කෙසේ වුවත් අපේ මිහිතලය අපේ ජෛව විවිධත්වය අපේ වී, තේ, පොල් ඇතුළු සියලු වගාවන් සුරැකීමට රජය හා පරිසර අමාත්‍යාංශයේ විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කළ යුතු ය. වන ජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ, වෙරළ සංරක්ෂණ, ඉඩම් සංවර්ධන කෘෂිකර්ම හා ධීවර වගා දෙපාර්තමේන්තුවලින් හා මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය වැනි ආයතන අපේ මිහිතලය සුරැකීමට කෙටිකාලීන හා දිගුකාලීන කාර්යක්ෂම වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කළ යුතුව ඇත.
එසේ නොකළහොත් අපට කෙසේ වෙතත් අපේ දරු පරපුරට ජීවත් වෙන්නට සුදුසු මිහිතලයක් මේ ලෝකයේ නොතිබෙන්නට පුළුවන.