2020 දී විශ්වවිද්‍යාල විද්‍යායතන 100ක් | Page 5 | සිළුමිණ

2020 දී විශ්වවිද්‍යාල විද්‍යායතන 100ක්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන

සස් පෙළ විභාගයට පෙනී සිටින සෑම සිසුවකුගේ මෙන්ම ඔවුන්ගේ මවුපියන් ගුරුවරුන්ගේද බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමයි. එහෙත් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය සරසවි පිවිසුමට මූලික සුදුසුකම් ලබන සියලු දෙනා ඇතුළත් කරගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මේ නිසා සුදුසුකම් ලබන බොහෝ දෙනාට සිදු වන්නේ සුසුම් හෙළමින් වෙනතක් බලාගන්නය.

මේ අර්බුදය නිවැරදිව දුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර දුන් පොරොන්දු අතර විශේෂම කරුණක් වූයේ සරසවි වරම් ලබන්නට හිමිකම් ලබන සියලු දෙනාටම එම දොරටු විවර කර දෙන බවයි. රජය දැන් ඒ පොරොන්දුව ඉටු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව පසුගියදා ප්‍රතිඵල නිකුත්ව සරසවි වරම් ලැබීමට හිමිකම් ලැබූ 1,81,000ක් වන සියලු දෙනා මෙවසර නිම වීමට පෙර උපාධිය ලබන්න අවශ්‍ය ආයතන කරා යොමු කෙරෙනු ඇත. ඒ සඳහා මේ වන විට ක්‍රම 4ක් යටතේ අවශ්‍ය පියවර ගෙන තිබේ.

පුළුල් වන සරසවි පද්ධතිය

එයින් පළමු ක්‍රමය වන්නේ: පවත්නා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට පසුගිය වසරවලට වඩා 50%ක් ඇතුළත් කරගැනීමයි. ඒ යටතේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමට කටයුතු යොදා ඇති අතර, දැනට පවත්නා ජාතික විශ්වවිද්‍යාලයන්ට අතිරේකව පර්යේෂණ හා තාක්ෂණය පදනම් කරගත් විශ්වවිද්‍යාල කිහිපයක් අලුතින් ස්ථාපිත කෙරෙනු ඇත. මේ සඳහා අත්‍යවශ්‍ය භෞතික හා මානව සම්පත් වැඩි දියුණු කිරීම සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන මේ රජයේ පළමු අයවැයෙන්ම වෙන් කිරීමට කටයුතු යෙදෙනු ඇත. ඒ අනුව මැයි හෝ ජූනි මස වන විට මුදල් වෙන් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මහ මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට යෝජිත බැවින් එයින් පසුව අය වැය ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙනු ඇත. ඒ අනුව පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ දරු දැරියන්ගෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කර ගත හැකි සියලු දෙනාම මේ වසරේදීම විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් කෙරෙනු ඇත.

දෙවන ක්‍රමය වන්නේ: විශ්වවිද්‍යාලයීය විද්‍යායතන (UNIVERSITY COLLEGE) අලුතින් ඇති කිරීමයි. ඒ සඳහා අලුතින් ගොඩනැඟිලි ඉදි කරන්නට වසර ගණන් බලා සිටිය යුතු නොවේ. මේ වන විටත් විවිධ අමාත්‍යාංශයන්ට අයත් ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමාවන් උසස් අධ්‍යාපන ආයතන රැසක් ඇත. මේ ආයතන සියල්ල ජාතික විශ්වවිද්‍යාලයකට අනුබද්ධිත විශ්ව විද්‍යාල විද්‍යායතන බවට පත් කරනු ලැබේ. මේ වසර තුළදී පමණක් එවන් විශ්වවිද්‍යාල විද්‍යායතන 100ක් ඇති කරන්න බලාපොරොත්තු වේ.

වසර 4කින් උපාධියක්

විශේෂයෙන්ම ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන 10ක් ස්ථාපිත කෙරෙනු ඇත. ඊට අමතරව තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය ඇතුළු අනෙකුත් වෘත්තියාභිමුඛ විශ්වවිද්‍යාලයීය විද්‍යායතන (UNIVERSITY COLLEGE) 100ක් ආරම්භ කරන අතර ඒ එක් ආයතනයක සිසු දරු දැරියන් 500ක් හෝ ඊට වැඩි පිරිසකට අධ්‍යාපනය හැදෑරීමට හැකි වනු ඇත. ඒ සියලු අධ්‍යාපන ආයතනයන් මඟින් වසරක කාලයක් තුළදී ඩිප්ලෝමාවක් ලබා දෙන අතර වසර 2ක කාලයක් තුළදී උසස් ඩිප්ලෝමාවක් ලබා ගත හැකිය. වසර 2 අවසානයේදී රැකියාවක් කරා යොමු විය හැකි අතර රැකියාව කරන අතර තුරදී හෝ විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව උපාධිය ලබා ගත හැකිය. රැකියාවක් නොකරන්නේ නම් විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව උපාධිය ලබාගත හැකිය. ඒ අනුව වසර දෙකක් විශ්වවිද්‍යාල විද්‍යායතනවලත් තවත් වසර දෙකක් ජාතික විශ්වවිද්‍යාලයේත් අධ්‍යාපනය ලබා උපාධිය ලබාගත හැකි ක්‍රමවේදයක් දරු පරපුරට හිමි වේ.

වෘත්තියාභිමුඛ ජීවනෝපා

විශ්වවිද්‍යාලයීය විද්‍යායතන ඇති කිරීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුව රැස් වූ වහා සම්මත කරගැනීමට කටයුතු යෙදෙනු ඇත. මෙවන් විශ්වවිද්‍යාල විද්‍යායතන මැලේසියාව, සිංගප්පූරුව, ඇමරිකාව, එංගලන්තය, කැනඩාව ඕස්ට්‍රේලියාව වැනි බොහෝ රටවල ස්ථාපිත කර ඇත.

ශ්‍රී ලාංකික දරුදැරියන්ද මේ විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත අධික මුදල් ගෙවා අධ්‍යාපනය පිණිස යොමුව තිබේ. ලෝකයේ අනෙක් රටවල ඇති අපේ රටේ නැති මේ උසස් අධ්‍යාපන ක්‍රමය මේ අනුව අපේ රටේද ආරම්භ කෙරෙනු ඇති. උපාධි අධ්‍යාපනය ලබා දීමට ගනු ලබන තුන්වන ක්‍රමවේදය වන්නේ විවෘත විශ්වවිද්‍යාල පද්ධතියයි. අපේ රටේ විශ්වවිද්‍යාල වර්ගීකරණයන්ගෙන් ඇතැම් අංශවලින් ජාතික විශ්වවිද්‍යාලයන්ට වඩා ගුණාත්මක බවින් ඉහළ මට්ටමක විවෘත විශ්වවිද්‍යාලය තිබෙන බවට මේ වන විට තොරතුරු ලැබී ඇත. එමෙන්ම එම විශ්වවිද්‍යාලයෙන් මේ වන විට සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ මානව හා භෞතික සම්පත් වැඩි දියුණු කිරීමට සහයෝගය ලබා දෙන්නේ නම් තවත් සිසුන් ලක්ෂයකට ඉතා ඵලදායි වෘත්තියාභිමුඛ ජීවනෝපා සලසාගත හැකි උසස් අධ්‍යාපනයක් සඳහා සිසුන් ලක්ෂයක් (100,000) මේ වසරේදී බඳවාගත හැකි බවටය.

ඒ අනුව මෙවර උසස් පෙළ ප්‍රතිඵලලාභීන් රැසකට එම විශ්වවිද්‍යාලයේද දොරටුව විවර වනු ඇත. ඒ වෙනුවෙන් අවශ්‍ය සම්පත් සම්පාදනයට කටයුතු කර ඇත්තේ රටේ අනාගතය බාර ගැන්මට සිටින දූදරුවන් වෙනුවෙනි.

සුදුසුකම් ලත් සියල්ලට සරසවි

එසේම උපාධි සහතිකය ලබාගැනීමේ සිවුවැනි මාර්ගය ලෙසින් හඳුන්වා දී ඇත්තේ උපාධි හා පශ්චාත් උපාධි ලබාදීමට බලය ලබා දී ඇති ලාභ පරමාර්ථයෙන් තොරව පවත්වා ගෙන යන ආයතන යොදා ගැනීමයි. එම ආයතන උසස් අධ්‍යාපන ආයතන ලෙසින් සැලකෙන අතර ඒ ආයතන යම් ලාභයක් ලැබූවත් එම අතිරික්ත මුදල් ආයතනයේම දියුණුවට යොදාගනු ලැබේ. එවන් ආයතනවලින් බිලියන 10කට වඩා ආයෝජනය කර ඇති ආයතන වරලත් විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කර ඒ සඳහා උපාධි ලබාගැන්මට සිසුන්ට අවස්ථාව උදා කර දෙනු ඇත. ඒ එක් ආයතනයක් ලෙස NSBM උසස් අධ්‍යාපන ආයතනය හඳුන්වා දිය හැකිය. මේ වරලත් විශ්වවිද්‍යාලයන්ට උසස් පෙළ සමත් සිසුසිසුවියන් 20,000ක් පමණ ඇතුළත් කර ගැන්මට බලාපොරොත්තු වේ

ඒ අනුව ජනාධිපතිවරයා විසින් උසස් පෙළ සමත් වන සියලු දෙනාට විශ්වවිද්‍යාල උපාධි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සලසා දෙන බවට වූ පොරොන්දුවට අනුව සුදුසුකම් ලත් 1,81,000කම මේ වසර අවසන් වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු විය හැකිය.

ඒ අනුව විභාගය සමත් දිවිය අසමත් ලෙසින් හැඳින්වුණු අපේ අනාගත දරු පරපුරට මේ අධ්‍යාපන ක්‍රමය හරහා විභාගය සමත්ව දිවියද සමත් වන ආකාරයේ උපාධිය දක්වා යන ගමන් මඟ සැලසෙනු ඇත.

ඒ අනුව මේ දක්වා රට තුළ පැවතුණු සුදුසුකමට සරිලන රැකියාවක් නැතිවීමත් රැකියා සදහා සුදුස්සන් නොමැතිවීමත් යන සේවා ව්‍යුක්තියේ අසමතුලිතභාව හඳුනාගෙන තිබේ. ඒ අනුව ‘ඉන්න උගතුන්ට රැකියා නැත් නම් තිබෙන රැකියාවලට උගතුන් බිහි වන්නේ නැත් නම්‘ ප්‍රශ්නය තිබෙන්නේ පවත්නා අධ්‍යාපන ක්‍රමයේය.

එම නිසා ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ පොරොන්දුව උසස් පෙළ සමත්ව සරසවි වරම් ලැබූ සිසු සිසුවියන් 1,81,000ටම මේ වසරේදීම උපාධිය ලබාගැනීමේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළ හැකි වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට සුදුසුකම් ලැබූ සියලු සිසු සිසුවියන්ට උපාධිය ලබාගැනීමේ වරම් හිමි වනු ඇත.

ඒ සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩල, අන්‍යධන කාර්ය මණ්ඩල, වෘත්තීය සමිති, ශිෂ්‍ය ප්‍රජාව හා දරුවන්ට ආදරයක් දක්වන සියලු ප්‍රජාවගේ සහාය මේ සදහා බලාපොරොත්තු වේ. ඒ සහාය මත සියලු දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමේ සිහිනයද සැබෑ කරගැනීම අසීරු නොවනු ඇත. එමෙන්ම තම නිවාස දේපොළ උකසට තබා එතෙර ගොස් විශ්වවිද්‍යාල විද්‍යායතනයන්හි අධ්‍යාපනය ලබන ක්‍රමවේදයද වෙනස් වනු ඇත. තමා උපන් රටේම අධ්‍යාපනය ලැබීමට සිසු දරුවන්ට හැකියාව ලැබෙනු ඇත. විදේශ කරා ඇදී යන මුදල්ද ජනතාව අතෙහිම රැදී පවතිනු ඇත.

ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විශ්වවිද්‍යාල විද්‍යායතන තුන්සීයක් ඉදි කිරීමද සිදු වනු ඇත. එය දීර්ඝකාලීන අධ්‍යාපනය වැඩපිළිවෙළක් සදහා ආරම්භයක් වන අතර, එයින් 100ක්ම මේ වසරේ ආරම්භ කිරීමෙන් ශිෂ්‍යශිෂ්‍යාවන්ට නව මංපෙතක් සැලසෙනු ඇත.

මෙහිදී මහා පරිමාණයේ කොන්ත්‍රාත් ලබා දෙමින් නව ගොඩනැගිලි තනමින් නව යන්ත්‍රසූත්‍ර මිල දී ගෙන කටයුතු කිරීමක් සිදු නොවේ. ඌන උපයෝගි සහ පූර්ණ ලෙස අත්හැරදමා තිබෙන රාජ්‍ය අංශයේ සම්පත් විශාල වත්කම් දේපොළ ප්‍රමාණයක් ඒ සඳහා යොදාගැනෙනු ඇත. රත්මලානේ තිබෙන ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ දැවැන්ත යන්ත්‍රසූත්‍ර හා තවත් නොයෙකුත් සම්පත් තිබුණද එහි අධ්‍යාපනය ලබන්නේ සිසුන් හාරසියයක් පමණයි. ඇතැම් පාඨාමාලාවන්ට සිටින්නේ සිසුන් දෙදෙනකු පමණයි. කිසිවකු මේ ගැන සොයා බලා නැත. එම සම්පත් ගැනද අවධානය යොමු කර නැත. මේ ලෙස දිවයින පුරාම ආයතන රැසක සම්පත් රැසක් තිබේ. ඒවා නාමික අධ්‍යාපන ආයතන වන අතර, ඇතැම් ඒවා ගැන කිසිවකුගේ දැනීමක් පවා නැත. සිසුහුද නොපැමිණෙති. එබැවින් ඒ සම්පත් උපයෝගි කරගෙන මේ ක්‍රියාදාමය සඵල කරගත හැකි වනු ඇත. එසේම රජයේ මුද්‍රණාලයේද ඇති සම්පත් නිසි ලෙසින් ප්‍රයෝජනයට ගෙන නැත.

මේ සියල්ල රටේ සම්පත් වන බව අප සිහි තබාගත යුතුය. ඒ සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගත හොත් මේ අධ්‍යාපන රටාව රටට ගැළපෙන, දරුවන්ට ගැළපෙන අධ්‍යාපන රටාවක් බවට පත් කර, රට සංවර්ධනය කරා ගෙන යෑම අසීරු නොවනු ඇත.

Comments