
1982 වසරේ සිදු වූ ඝාතන දෙකකට වැරදිකරු වූ පුද්ගලයෙකුට සිය නම ඉන්ටර්නෙට් සෙවුම් තුළින් ඉවත් කිරීමට අයිතියක් ඇති බව ජර්මනියේ ඉහළ ම අධිකරණය තීන්දු කර තිබේ.
අදාළ වර්ෂයේදී යාත්‍රාවක් තුළ පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමීමට වරදකරුව, මුලදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට ජර්මනියේ ව්‍යවස්ථාපිත අධිකරණයකින් මෙම තීන්දුව ලබා දිණි.
2002 වර්ෂයේදී නිදහස ලැබූ ඔහුට සිය පවුල් නාමය තමන් කළ අපරාධයෙන් ඈත් කර තැබීමට අවශ්‍ය විය.
මෙම තීන්දුව බලාත්මක වීමෙන් ඉන්ටර්නෙට් සෙවුම් වෙබ් අඩවි ඔහු ගැන පළ වී ඇති ලිපිවලට ඇතුළු වීම අවහිර කරනු ඇත.
ඔහුට විරුද්ධව ඇති අපරාධ නඩුව කුමක් ද ?
කැරිබියන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ 'ඇපලෝනියා' නෞකාවේ සිටි පුද්ගලයන් අතර ඇති වූ ගැටුමකදී ඔහු දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කර තිබේ.
මෙම නඩුව ගැන පොතක් පළ කර ඇති අතර, රූපවාහිනී වාර්තාමය වැඩසටහනක් ද විකාශනය කර තිබිණි.
'Der Spiegel' නම් ජර්මානු සඟරාව මේ පිළිබඳ 1982 සහ 1983 වර්ෂවලට අයත් වාර්තා අදාළ පුද්ගලයාගේ මුළු නම ද සමග 1999දී ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කළ අතර, අදටත් එය ගූගල් සෙවුම්වල දක්නට ලැබේ.
ඔහුගේ පැමිණිල්ල කුමක් ද ?
2009 වර්ෂයේදී ඔහු මෙම වාර්තා ගැන දැනුවත් වූ අතර ඒවා ඉවත් කිරීමට ඉල්ලීම් කර තිබේ.
මෙම වාර්තා නිසා සිය අයිතීන් උල්ලංඝණය වන අතර, තම "පෞරුෂ වර්ධනයට බලපාන" බව අධිකරණයේදී ඔහු ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ පෞද්ගලිකත්වයේ හිමිකම, පොදු අභිරුචිය සහ මාධ්‍ය නිදහසට වඩා වැදගත් නොවන බව පවසමින් 2012 වර්ෂයේදී ෆෙඩරල් අධිකරණයක් අදාළ පැමිණිල්ල නිෂ්ප්‍රභ කර තිබිණි.
නමුත් ව්‍යවස්ථාපිත අධිකරණය මෙම තීන්දුව වෙනස් කළ අතර නඩුව නැවතත් ෆෙඩරල් අධිකරණයට යොමු කරනු ඇත.
අධිලේඛිත ලිපි තබා ගැනීමට ප්‍රකාශකයන්ට අයිතියක් ඇති නමුත්, ඒවා ඉවත් කිරීමට ඉල්ලීම් කළ හැකිය.
"අමතක කර දැමීමේ අයිතිය හෝ අමතක වීමට ඇති අයිතිය" මතභේදකාරී වන අතර, මෙය යුරෝපා සංගමය සහ ගූගල් සමාගම අතර මතභේදවලට ද හේතු වී තිබේ.
(බී.බි.සිය ඇසුරෙනි)