
(බී.බීසිය ඇසුරෙනි)
නුවරඑළිය, වලපනේ - නෙළුගහ ප්‍රදේශය තුළ කලක සිට මී මැසි පාලනය කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන මී පැණි නිෂ්පාදනයේ යෙදුණු තරුණයින් පිරිසක් මෑතකදී අපේක්ෂා නොකළ ගැටලුවකට මුහුණ දුන්හ.
සිය ජනපද හැර යන්නට පටන්ගත් මී මැස්සන් එම ජනපද තිබූ පෙට්ටිවලින් කීටයන් හා පිලවුන් ඉන් පිටතට ඇදගැනීමට පටන්ගෙන තිබිණි.
මේ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳව මී මැසි පාලනයේ යෙදෙන ලහිරු මධුශාන් විසින් කරන ලද දැනුවත් කිරීමට අනුව ප්‍රදේශය භාර කෘෂිකර්ම උපදේශකවරයාගෙන් දැනගන්නට ලැබුනේ වෛරසයක් පැතිරීම හේතුවෙන් මේ තත්ත්වය හටගන්නා බවත් ඒ පිළිබඳ තාක්ෂණික උපදෙස් සැපයීම සඳහා අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කරන බවත් ය.
"ඒ වෙනකොට මී මැස්සො පෙට්ටි වලින් පිළව් ඔක්කොම එලියට ගෙනත් දානවා. අනික මේ අය පරාග ගේන්න යන්නෙත් නැහැ. පැණි හදන්නෙත් නැහැ. සමහර ජනපද රැජින අතහැරලා යන්නත් පටන් ගත්තා," යැයි කී ලහිරු මේ සඳහා ප්‍රතිකර්මයක් අත්හදා බලන්නට යොමු විණි.
"මම අහලා තිබුණා ප්‍රතිජිවක ඖෂධත් දෙනවා කියලා. ඒ ඖෂධ ගැන දන්නෙ නැති නිසා මම කළේ කඩේ තියෙන කසාය පැකට් එකක් ගෙනත් පත අට එකට හින්දලා සීනි කොටස් තුනකට කසාය කොටස් එකක් කවලම් කරලා දිපු එක."
"ඒකෙන් පස්සේ මේ ලෙඩේ සියයට හැත්තෑ පහක් විතර හොඳයි කියලා පෙනෙනවා." යැයි ද ලහිරු සඳහන් කළේය.
කෙසේවෙතත්, මී මැස්සන් සම්බන්ධයෙන් හටගත් ගැටලු සහගත තත්ත්වය මෙන්ම ලහිරු ගේ 'කසාය සත්කාරය' පිළිබඳ ලද තොරතුරු අනුව ඒ පිළිබඳ සොයා බැලීමේ අරමුණින් නිලධාරීන් පිරිසක් සෙනසුරාදා (සැප්තැම්බර් 29) නෙළුගහා ප්‍රදේශයට ගියහ.
"මේ කසාය එකට සීනි දැම්මට හරි තිත්තයි කටේ තියන්න බැහැ. ඒ වුනාට තියන පමාවට බොනවා," යැයි එම නිලධාරීන් හමුවේ ලහිරු පැහැදිලි කළේය.
"විද්‍යාත්මක පරීක්ෂණයක්"
මේ නිරීක්ෂණයට පැමිණි බිඳුණු වැව මී මැසි පර්යේෂණ ඒකකයේ කෘෂිකර්ම උපදේශක ජයන්ත කත්‍රිආරච්චි පෙන්වා දුන්නේ 'සැක්බෲඩ්' (Sacbrood virus - SBV ) නම් වූ වෛරසයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් මී මැසි ජනපද ආශ්‍රිතව හටගන්නා බවකි. ප්‍රතිජිවක ඖෂධ දීමෙන් එය මගහරවා ගත හැකි බව ද ඔහු කියා සිටියේය.
"මේ මී මැසි ජනපද පරික්ෂා කරන කොට නම් පෙන්නෙ මේ අය දීල තියෙන කසාය එකෙන් හොඳ ගුණයක් තියෙනවා කියලා." යැයි කියා සිටි ඔහු පර්යේෂණ අවස්ථාවලදී මෙවැනි 'කසාය සත්කාර' අත්හදා බැලුන ද මෙතෙක් ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකි වූ බව සඳහන් කළේය.
මේ අතර, වලපනේ, රාගල හා නිල්දණඩාහින්න යන කෘෂිකර්ම උපදේශක කොට්ඨාසවලින් මේ වෛරස තත්ත්වය වාර්තා වී ඇතැයි ද මෙම නිරීක්ෂණයට එක් වූ විෂය භාර නිලධාරී බුද්ධික අතපත්තු පැවසීය.
"අපි මේ ගැන පරීක්ෂණ කරනවා. ඒ වගේම මේ අය දීල තියෙන කසාය නිසා මී මැස්සන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩිවෙලා තියෙනවා කියලා පෙනෙනවා. අපි මී මැස්සන්ට කසාය දෙන එක ගැන මේ දවස්වල විද්‍යාත්මකව පරික්ෂා කරනවා." යැයි ඔහු සඳහන් කළේය.
ඒ අනුව පෙනී යන්නේ පැවති ගැටලු සහගත තත්ත්වයට පිලියමක් ලෙස නෙළුගහා ප්‍රදේශයේ මී මැසි පාලනයේ යෙදෙන්නන් භාවිත කළ 'කසාය සත්කාරයේ' බලපෑම සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මකව කරුණු තහවුරු කරගැනීමට අවශ්‍ය බවකි.