
සෞඛ්‍ය ක්ෂේත්රයට හැදෙන ලෙඩක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේ සිට දිගින් දිගටම විශේෂ නිවේදනයක් ලෝකයට නිකුත් කරමින් සිටී. ඒ බෝවන රෝගයක් හෝ එවැනි අන් කිසිවක් ගැන නොවේ. 2030 වසරේදී ඇති වීමට නියමිත දැවැන්ත සෞඛ්‍ය සේවක හිඟයක් සම්බන්ධයෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම නිවේදනයට අනුව 2030 වන විට ලෝකය පුරා මිලියන 18ක සෞඛ්‍ය සේවක හිඟයක් ඇති වීමට නියමිතය. එහි තර්ජනය වඩාත් එල්ල වීමට නියමිතව ඇත්තේ අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල්ය. මේ සේවක හිඟය හේතුවෙන් අනාගතයේ රටවල් රැසක ජනතාවට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අසීරු වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ක්‍රියාත්මක ලෝක සෞඛ්‍ය සේවක සහ ආර්ථික වර්ධන කොමිසම මඟින් මේ විශේෂ නිවේදනය නිකුත් කර තිබේ. එම සංවිධානයේ අරමුණ වී ඇත්තේ කල් තබා හඳුනාගත් මේ ගැටලුව විසඳාගැනීමට ලෝකයේ රටවල් දැනුවත් සහ දිරිමත් කිරීමය. එබැවින් ඒ සඳහා අනුගමනය කළ යුතු නිර්දේශද මේ නිවේදනයේ ඇතුළත් කර තිබේ.
ඒ අනුව අනාගත සේවක හිඟය පිටු දැකීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රවල ආයෝජනය කළ යුතු යැයි නිර්දේශ කර තිබේ. මේ වන විට ලෝකයේ අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු කරන ආයෝජන ප්‍රමාණවත් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි. එමෙන්ම බොහෝ රටවල සෞඛ්‍ය සේවකයන් වියපත් වීම හේතුවෙන් විශ්‍රාම ගැනීම සහ වෘත්තීයමය රෝගවලින් පීඩා විඳීම හේතුවෙන්ද සේවක පුරප්පාඩු ඇති වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේ සිට වරින් වර ලබාදෙන තොරතුරු අනුව 2030 වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා මිලියන 40ක් බිහි කිරීමට නියමිත අතර ඒ අතරින් බහුතරය බිහි වනු ඇත්තේ දුගී රටවල් ආශ්‍රිතවය. මේ අතරින් රැකියා මිලියන 18ක හිඟයක් ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමානයයි. රටවල් වැඩිවැඩියෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ ඒ අනුවය. එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව, ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය යන ඉලක්ක අතර පැවතිය යුතුයැයි නිර්දේශ වී තිබේ.
මේ තත්ත්වය අපේ රටට බලපාන අන්දම සම්බන්ධයෙන් කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ අප රටට සෞඛ්‍ය සේවක හිඟය එතරම් දරුණු අන්දමින් බලපෑම් නොකරනු ඇති බවයි.
“ දැනටමත් අපේ රටේ වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් නැහැ. එය සාපේක්ෂවයි පවතින්නේ. හිගයක් පවතිනවා නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මැදපෙළ ආශ්‍රිත සේවකයන් සම්බන්ධයෙන් තමයි. සෞඛ්‍ය සේවකයන් වෛද්‍යවරුන්, මැදපෙළ සේවකයන් සහ සුළු සේවකයන් යනුවෙන් වර්ගීකරණය කර දැක්විය හැකියි. එහිදී වෛද්‍යවරුන් සහ සුළු සේවකයන් යන අංශ දෙකේම හිඟයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒත් මැද පෙළ වශයෙන් හැඳින්විය හැකි රසායනාගාර සේවකයන්, භෞත චිකිත්සකයන්, රේඩියෝග්රැෆර්වරුන් යනාදී අංශවල සේවකයන්ගේ කිසියම් හිඟයක් හඳුනාගත හැකියි.
ඒත් ඇත්තටම දැනට පෙනී යන කරුණු අනුව ඉදිරියේදී මේ අංශවල සේවකයන්ගේද හිඟයක් ඇති නොවන බව තමයි පෙනී යන්නේ. එයට හේතුව අපේ රටේ අධ්‍යාපනයට වැඩි වැදගත්කමක් ලබාදීමයි. දැනටමත් අපේ රටේ වෛද්‍ය විද්‍යාල කිහිපයක්ම තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මැද පෙළ සේවකයන් සඳහා විවිධ පාඨමාලා ක්‍රියාත්මක වනවා. අමාත්‍යංශයට අනුබද්ධ විශ්වවිද්‍යාල මඟින් වාර්ෂිකව මේ අංශවලට අදාළ සෞඛ්‍ය සේවකයන්ට අධ්‍යාපනය ලබාදීම සිදු කරනවා. හෙදි විදුහලත් අයත් වන්නේ මේ අතරට තමයි. ඒ අනුව අනාගතයේදී අපේ රටේ සේවක හිඟයක් ඇතිවීමට විශාල ඉඩක් නැති බවයි මගේ අදහස.“
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ ඉදිරියේදී අප රටේ සෞඛ්‍ය සේවක හිඟයක් ඇති වීමට ඉඩක් නැති බවයි.
නවලෝක රෝහලේ ප්‍රධාන වෛද්‍ය තිස්ස පෙරේරා මහතා අදහස් දක්වමින් පවසා සිටියේද එවැනිම අදහසකි.
“ අපේ රටේ දැනට වෛද්‍ය විද්‍යාල 10ක් පමණ තිබෙනවා. ඒවායින් වසරකට වෛද්‍යවරුන් දහසක් පමණ බිහි කරනවා. දැනට ආසන්න වශයෙන් ජනගහනයෙන් 1000කට එක වෛද්‍යවරයෙකු බැගින් සිටිනවා. එහෙත් වෛද්‍යවරුන් බිහි වන වේගයට සාපේක්ෂව රෝහල් බිහි නොවීම ගැටලුවක්. සහාය ක්ෂේත්‍රවල සේවකයන්ගේ කිසියම් අඩුවක් තිබෙනවා. ඒත් ඒ ක්ෂේත්‍රවල සේවකයන් පවා දැනට විශ්වවිද්‍යාලවල පුහුණු කිරීම, අධ්‍යාපනය ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ජයවර්ධනපුර, වයඹ, පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාලවල එවැනි සෞඛ්‍ය සේවකයන් සඳහා උපාධි පාඨමාලා ආරම්භ කර තිබෙනවා. එම නිසා ඉදිරියේදී එම අංශවල සේවකයන්ගේද අඩුවක් ඇති නොවනු ඇතැයි සිතිය හැකියි.
හෙද සේවය සැලකුවොත් එයට එක් වන පිරිසේ කිසියම් අඩුවක් දැකිය හැකියි. තරුණ පිරිස මේ සේවයට එතරම් කැමැත්තක් නොදක්වන බවක් තමයි දැන් දැන් පෙනෙන්නට තිබෙන්නේ. එහෙත් හෙද සේවයේ පවා දැන් අධ්‍යාපනය ලැබීමේ ක්ෂේත්‍ර රාශියක් තිබෙනවා. අනාගතයේදී සෞඛ්‍ය සේවක අර්බුදයක් ඇති වීම වළක්වන්න අධ්‍යාපන ක්ෂේත්‍ර වර්ධනය කළ යුතු නම් අපේ රටේ එය මේ වන විටත් සිදු වෙමින් පවතිනවා. එබැවින් ඔය තත්ත්වය අපේ රටට සාධාරණ වේ යැයි අනුමාන කිරීමට අපහසුයි.“ වෛද්‍ය තිස්ස පෙරේරා පවසන්නේ එවන් අදහසකි.
ඒ අනුව පැවසිය හැකි වන්නේ 2030 වන විට සෞඛ්‍ය සේවක හිඟය ජයගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම නම් ශ්‍රී ලංකාව එම ඉලක්කය 2020 වන විටම සම්පූර්ණ කර ඇති බවයි.
ඒ අනුව ලෝකයේ සෙසු රටවල ඇති වීමට නියමිත සෞඛ්‍ය සේවක හිඟය ආවරණය කිරීම සඳහා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන බොහෝ දෙනාට උදාවනු ඇත්තේ මනරම් අවස්ථාවකි. 2030 වන විට ලොව පුරා මිලියන 18ක සෞඛ්‍ය සේවක හිඟයක් ඇති වීමට නියමිත නම් එම හිඟය පුරවමින් ඔවුන්ට රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි වනු නොඅනුමානය.