මහ වනයෙන් එළියට ගෙනැවිත් ගම්මානවල අතරමං කර හෙනානිගලදී නොමැරී මැරෙන්න අත්හළ ආදිවාසී මිනිස්සු | Page 2 | සිළුමිණ

මහ වනයෙන් එළියට ගෙනැවිත් ගම්මානවල අතරමං කර හෙනානිගලදී නොමැරී මැරෙන්න අත්හළ ආදිවාසී මිනිස්සු

- ගහකොළ සතා සීපාවා සමඟ ජීවිතය ගෙවූ ඔවුන්ට දැන් කැලේ තහනම්
- දැන් අපි දඩයමේ යන්නේ නෑ. මාදුරුඔය වැවේ මාළු බානවා 
- කැලේ හිටි අපි ගම්මානවල පදිංචි කළාට එතැනින් එහාට අපේ වූවමනා එපාකම් හොයලා බැලුවේ නැහැ. 
- අරළු බුළු ටිකක්වත් එකතු කරගන්න කැලේට යන්න අවසර දෙන්න

“හෙයිබල තෙන තෙන තේනා... නා... තේ බෝටී කෝටා ...පෙති කනවෑ..කෝටා කන්නට යමු කිරි නෑනා” මීට තිස් හය වසරකට පෙර මහවන මැද ඇසුණු ආදි වාසී ඇත්තන්ගේ බඹර කවි හඬ අද ඇහෙන්නේ කැලෑවෙන් මෙපිටය. ඔවුන්ගේ, ඊතලය, කෙටේරිය මලකා ගොසිනි. නමුත් වෙදකම, කෙම්ක්‍රම මෙන්ම රැහේ සාම්ප්‍රදායික සිරිත් විරිත් නම් ඔවුන් තවමත් අමතක කර නැත. ඒවා රැකගැනීමට වැඩිහිටි වැදි ඇත්තෝ දැඩි වෙහෙසක් ගනිති. වැඩිහිටියෝ ඉඩ ලැබෙන හැම විටම තම දරුමුනුපුරන්ට වරිගේ ශිල්ප ශාස්ත්‍රය ලබාදෙති.

මහ වනයේ ගහකොළ සතා සීපාවා සමඟ ගත කළ ළමා වියේ සොඳුරු මතක දෙහිඅත්තකණ්ඩිය, හෙනානිගල පදිංචි ඌරු වරිගේ ලොකු බණ්ඩා ඇත්තෝ අපූරුවට එකිනෙක පෙළගස්වයි.

“අපේ වැදි රැහේ වරිග පහක් තියෙනවා. නබුඩ වරිගේ, ඌරු වරිගේ, තලා වරිගේ, උනාපාන වරිගේ, මොරාණ වරිගේ ඒ වරිග පහයි. ඒ වගේම උඩමලුවේ, මල්ගොඩ වගේ පරම්පරා නම් තියෙන් අයත් අප අතරෙ ඉන්නවා. මං කැකුළා සන්දියේ උන්නෙ දඹානෙ කන්දෙගම්වල. ඒ කාලේ සල්ලි උවමනා වුණාම අපි පදියතලාවේ පැත්තේ ගම්වල කුලී වැඩට යනවා. දවසක් වැඩ කළාම අපිට සත පනහක් ලැබුණා. ඒ ලැබෙන සල්ලිවලින් ඕනෑ කරන බඩු ගන්නවා.

ඒ වගේම කැලෑ වැදිලා මීයක් කඩාගෙන පැණි ටික අරගෙන ගිහින් විකුණනවා. අද වගේ ඒ කාලේ දඩයම තහනම් නැහැ. ගෝනෙක්, මුවෙක් දඩයම් කරගත්තම මස් ටික කද බැඳගෙන පදියතලාවට අරන් යනවා. අපේ ගමේ ඉඳන් පදියතලාවට යන්න දවසක් යනවා. එහේ ගිහින් බඩු විකුණලා රෑට ගමේ ගෙදරක ඉන්නවා. උදේම අවදිවෙලා අතේ තියෙන සල්ලිවලට පැඟිරි කොළ (බුලත්), ගයිගර්චන (පුවක්), සීනි, තේකොළ, ලුණු කැකුළියන්ට රෙදි හැට්ට සල්ලිවලට ගන්නවා. කුරහන්, ඉරිගු, අල වර්ග, මස්, මීපැණි, ඇති වෙන්න තිබුණ නිසා සල්ලි දිල‍ෙ ගන්න ඕන වුණේ බඩු කීපයක් විතරයි.

කැලේදී අපට සර්පයන්ගෙන් කවදාවත් හිරිහැරයක් වුණේ නැහැ. උන්ගෙන් අපව රැකගන්න යක් ගොල්ල ඉන්නවා. බොටකඳා (අලියා) කවදාවත් අපිට හිරිහැර කරලා නැහැ. බොටකඳා මුලිච්චි වුණොත් අපි ඌට මතුරනවා.” 

අතීතයේදී තමන් කැලෑගමේ විසුව ආකාරය පිළිබඳ ලොකු බණ්ඩා ඇත්තෝ පවසන්නේ බොහෝ සතුටිනි. උපන්දා සිට ජීවත් වූ ඒ කැලෑ පරිසරයේදී ලැබු අත්දැකීම් ගැන ඔහු තෘප්තිමත්ය. එදා ජීවිතය තෘප්තිමත් වුවද වර්තමානය දුක්බරය.

“අපි මහවැලියට ආවේ 1983 අවුරුද්දේ. පවුල් 109ක් දඹානෙ කන්දෙගම්වල ඉඳන් හෙනානිගල ගමට ආවා. අද පවුල් 600ක් විතර ඉන්නවා. මේ අයට වගා කරන්නවත් පදිංචියටවත් ඉඩම් නැහැ. අපේ දරුවන් වැඩිදුර ඉගෙනගෙන නැති නිසා රස්සාවකට යන්නත් බැහැ. මේ ප්‍රශ්න එකකටවත් විසඳුමක් නැහැ. අපි අද දඩයම් කරන්නේ නැහැ. අපේ අය හෙනානිගල සහ මාදුරුඔය වැවේ ධීවර කටයුතු කරනවා. ඒකටත් පිට පළාත්වලින් ආව අයගෙන් බාධා ඇති වෙනවා.

අපේ අයට කැලේ තහනම් කරලා. අපි වනාන්තරයට ආදරෙයි. අපි ඒ කාලේ කැලේ රැකගත්තා. දඩයම් කිරීමත් කළේ ක්‍රමයකට. අපි ගස් කැපුවේ නැහැ. අලියට ගිනිබින්ඳේ නැහැ. අලින්ගෙන් අපිට හිරිහැර වු‍ණෙත් නැහැ. අරළු බුළු එකතු කරන්න කැලේට යන්න අපට අවසර දෙන්න. කිසි කෙනෙකුට කරදරයක් නැතිව කැලේ හිටි අපි ගම්මානවල පදිංචි කළාට එතැනින් එහාට අපේ උවමනා එපාකම් කවුරුවත් හොයලා බැලුවේ නැහැ. අපේ දෙවනි පරම්පරාවේ ප්‍රශ්න විසදන්න කියලා අපි බලධාරීන්ට කියන්නෙ අවුරුදු ගානක ඉදන්.” ලොකු බණ්ඩා ඇත්තෝ පවසන්නේ බොහෝ කලකිරිමෙනි; කනගාටුවෙනි.

ගොඩ, මඩ ඉඩම්ලාභීන් ලෙස දහසක් බලාපොරොත්තු තබාගෙන හෙනානිගලට පැමිණි බොහෝ දෙනෙකුගේ කුඹුරු ඉඩම් මේ වන විට උකසට සින්න වී හමාරය. මහවැලි කලාපයේ ව්‍යාප්ත වෙමින් ඇති වකුගඩු රෝගයටද හෙනානිගල ආදිවාසීන් ගෙන් ඇතැමෙක් ගොදුරු වී සිටිති. තැනක එකම පවුලේ මව පියා දෙදෙනාම වකුගඩු රෝගියෝය. තවත් තැනෙක මව වකුගඩු රෝගයෙන පීඩා විඳින්නීය. හෙනානිගල ආදිවාසී පරපුරේ තලාවරිගේ අබේ ඒ ගැන හැගුම්බරව කියයි.

“අද අපේ වරිගේ අයට කැලේ තහනම්. .උදලු මිටක් කපාගන්න කැලේට ගියත් වනජීවී එකෙන් අත්අඩංගුවට අරගෙන උසාවි දමනවා. එහෙම වුණාම රුපියල් තිස් දාහක් විතර දඩයක් අපට ගෙවන්න වෙනවා. අපේ රැහේ අය වනජීවී එකේ වෙඩි පහරින් මිය ගිය අවස්ථා තිබෙනවා. අපි ඊට එරෙහිව නැඟී සිටියා. විරෝධතා දැක්වූවා. නමුත් වැඩක් වුණේ නැහැ.

අද අපේ ගමේ වැඩි දෙනෙක් වකුගඩු රෝගයට ගොදුරුවෙලා. ප්‍රතිකාර ගන්න වත්කමක් නැති නිසා වැඩි දෙනෙක් කුඹුරු උකස් කරලා. අපිව කැලෙන් එළියට ගෙනැත් මහා සමාජය තුළ අතරමං කරලා ඒවාට වගකිවයුතු අය දැන් අහක බලාගෙන ඉන්නවා. හැමදාමත් අපිව පාවිච්චි කළේ ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට. අපිට බඩගින්නෙ ඉන්න පුළුවන්. නමුත් අපේ දරු පැටවුන්ට වේලක් හැර වේලක් හරි කන්න දෙන්න ඕනෑ.“

තමා ගැන නොව තම වරිගය වෙනුවෙන් ඔහු දුක් වෙයි.

ඉතිහාසයේ පළමු වතාවට ආදිවාසී පරපුර නියෝජනය කරමින් ආදි වාසී කැකුළියක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූවාය. නමුත් ඇයටද තම වරිගයා වෙනුවෙන් කළ හැකි දෙයක් නැත. ඇයට මනාපය පළ කිරීමේ වරදට සමෘද්ධී සහනාධාරයත් අහිමි වූ බව මේ ගමේ කීප දෙනෙක් අපට කියා සිටියේ හැඬු කඳුළෙනි.

හේරත් මුදියන්සේලාගේ ජයතිලක හෙනානිගල පදිංචිකරුවෙකි. වත්මන් දඹාන ආදිවාසී නායක ඌරු වරිගේ වන්නියලෑ ඇත්තන්ගේ නැඟණියක වන ඌරුවරිගේ ගෝමරී සමඟ විවාහ වී සිටින ඔහු තම ජනතාවට සිදු වී ඇති අසාධාරණය ගැන කරුණු පැහැදිලි කරයි.

“මම විවාහයෙන් ආදිවාසී පරපුරට එකතු වු කෙනෙක්. අද අපට බලපාන ප්‍රධාන ගැටලු කීපයක් තිබෙනවා. වකුගඩු රෝගය ඒ අතර මුල් තැන ගන්නවා. එම රෝගයෙන් දරු පරපුරවත් ආරක්ෂා කර ගැනීමට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න කියලා අපි මෙහේ පදිංචි වූ දා සිට ඉල්ලා සිටියා. මීට වසර පහකට කලින් වතුර දෙන්න කියලා බට දැම්මා. නමුත් තවම වතුර නැහැ. වකුගඩු රෝගයෙන් එකා දෙන්නා මියැදෙනවා.

ඒ වගේම අපේ දෙවැනි පරම්පරාවේ අයට පදිංචියට බිම් අඟලක් නැහැ. ඔවුන්ට රැකියා නැහැ. අපි මේ ඉන්නේ දැවෙන ප්‍රශ්න කන්දරාවක.”

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන ශිරෝමාද තම රැහේ ඇත්තන් වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කිරීමට ඔවුන්ට විසැඳුම් සෙවීමට උත්සාහ ගනී.

සෑඳෑ සමය දරු මුනුපුරන් සමඟ ගත කරන වැඩිහිටියෝ කැකුළන්ට පරම්පරා ශිල්පය උගන්වති. කැකුළෝ බඹර කවි ගායනයට මෙන්ම දුන්නෙන් විදීමට සමත්කම් දක්වති.

වැදි රැහේ උරුමය ආරක්ෂා කිරීමට ඉදි කළ සංස්කෘතික මධ්‍යස්ථානයද දැන් පෙර මෙන් කළඑළියට නැත. හෙනානිගල ආදිවාසී නායක තලා වරිගේ ගුණබංඩියා ඇත්තෝ තම පරපුර රැක ගැනීමට ඔවුන්ගේ සංකෘතික උරුමයන් ඉදිරියට ගෙන යෑමට අපමණ වෙහෙසක් දරයි. ගොවිතැන හැරෙන්නට දැන් ඔවුන්ට වෙනත් ජීවනෝපාය මාර්ගයක් නැත. එහෙත් ගොවිතැනක් කර ගැනීමට කුඹුරු ඉඩම් නැත. ඒවා සින්න වී ගොසිනි. සංස්කෘතික ශාලාව වටා ඇති ඉඩමේ අහස් දියෙන් වගාවක් කරගෙන ජීවිතය ගැට ගසාගන්න ඔහු වෙහෙස මහන්සි වෙයි.

අද වන විට කම්බි ගසා, බෝඩ් දමා මාදුරුඔය වනාන්තරය සහ හෙනානිගල වෙන් කර ඇත. නීති රීති පනවා මහ වනයෙන් ඈත් කර තිබුණද මේ වැදි පරපුරේ ඇත්තන්ගේ ජීවිත තවමත් වනය තුළ ගෙවීමට ගහකොළ ඇසුරේ ගෙවීමට ඒ සිත් හඬා වැටෙන බව ඔවුන් ඇසුරේ ගෙවුණු කාලය තුළඳි අපට හැඟිණි.


ප්‍රසන්න සිල්වා 
(ඡායාරූප දිඹුලාගල සමූහ)

Comments