බොහෝ නගර බිම් එදාට වඩා අද වෙනස්ය. ඇතැම් තැන් දුටු විට කෙනෙකුට ඒ ස්ථානය හදුනා ගන්නට බැරිය. මේ කියන්න යන්නේද මීට වසර තිස් හතළිස් ගණනකට දුටු කෙනෙකුට අද කිසිසේත් හඳුනා ගැනීමට බැරි කොළඹට ඉතා ආසන්න සුන්දර වෙරළ තීරයක් බවට පත්ව තිබෙන කාක දූපත ගැනයි. එකල මෙය හැඳින්වූයේ කිරල කැලය නමින් වුවද දැන් කවුරුත් දන්නේ කාකදූපත ලෙසිනි. කලකට පෙර නම් කාකදූපත යැයි කියූ සැනින් අපට එකවරම සිහියට නැගෙන්නේ රීටා ජෝන්ස් ඛේදවාචකයයි. කොහොම වුණත් අද වන විට සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන මේ පරිසරය රැක ගැනීමට පෙරට පැමිණ සිටින්නේ ජාති ආගම් භේදයකින් තොරව ප්‍රදේශයේ වාසය කරන ජනතාවය.
එක් පසෙකින් ඇත්තේ කැලණි ගඟ මුහුදට වැටෙන කැලණි ගං මෝයයි. අනෙක් පසින් දිස් වන්නේ කොළඹ වරායයි.
මේ පරිසරයේ එදා ගැන තතු දන්නෝ අද එහි නැති තරම්ය. වසර ගණනක් පැරණි තම ගම් ප්‍රදේශය ගැන කියන්නට අපට හමු වුයේ බර්ට්‍රම් ප්‍රනාන්දු මහතාය.
“ඉස්සර මේ හරියේ තිබුණේ කිරල ගස් වලින් වැහැලා. ඒ කියන්නේ මට්ටක්කුලිය ඩිපෝවේ ඉඳලා ප්‍රදීපා ශාලාව දක්වාම තිබුණේ කිරල ගස්. 1956 අවුරුද්දේ ගඟ පහළ පැත්තේ ඒ කියන්නේ බෝක්කු වත්තේ මරන දෙකක් සිදුවෙලා තියෙනවා. එකක් කෙනෙක්ව මඩේ ගිල්ලවා මැරිමක්. අනික කිරල ගහක එල්ලිලා කෙනෙක් සියදිවි හානි කරගෙන. ඒ දවස්වල කිරල කැලේය මැදිවෙලා තිබුණ බිම ඇළකින් වට වෙලා තිබුණේ. ඒක හරියට දුපතක් වගෙයි. ඒ වුණාට දැන් එහෙම නැහැ. එක පැත්තක් මුහුදු වැල්ලෙන් යට වෙලා. මට මතකයි ඒ කාලේ කිරල ගස්වල වැඩි පුරම හිටියේ කාක්කොයි වවුලොයි. මේ නිසා දවස් රෑ වෙනසක් නැතිවම මේ දෙගොල්ලන්ගෙම සද්දේ තිබුණා. ඒ වගේම අවුරුදු ගාණක් පැරණි තේක්ක ගස් තිබුණා. ඒකාලේ සයිමන් මුදලාලිගේ ඉඩම කියලා හඳුන්වපු හරිය ෆිනෙකස් ඉංජිනේරු කාර්යාලය පවත්වාගෙන යනවා. සාන්ත සෙබස් වත්ත ඒ කාලේ හැඳින්වූයේ ක්ලැරන්ස් බාබාගේ වත්ත කියලා. කරු ජයසුරිය මහත්තයා තමයි මෙහෙට විදුලිය දුන්නේ. විට්ස්වයික් පාර දැන් තාර දාලා තිබුණට ඒ කාලේ තිබුණේ බොරලු පාරක් විදිහට. මට මතකයි මේ හරියේ තිබුණා මුසාජ් කොහු මෝල. අද එතැන තියෙන්නේ සිංගප්පුරු සමාගමක්. කාකදූපත මායිමේ තිබුණ ඉඩම් අයිති වුණේ මෙන්ඩිස් හාමුටයි, මේබල් වික්‍රමසේකරයටයි. ඒ වතු හාමුගෙ වත්ත කියලා තමයි හැඳින්වූයේ. “
ප්‍රනාන්දු මහතා කාකදූපතේ අතීතය සිහි කරන්නේ බොහෝ ඕනෑකමිනි.
කොහොම වුණත් හැත්තෑව දශකයේ මුල් භාගයේ ඇති වූ යෝජනාවකට අනුව මට්ටක්කුලිය ප්‍රෙද්ශයේ ජීවත් වූ අඩු ආදායම් ලාභි පවුල් සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹිනි. මෙම නිවාස යෝජනා ක්‍රමය ඉදිරිපත් කරන්නේ එවකට ඇමතිවරයකුව සිටි පීටර් කේනමන් මහතා විසිනි. 1978 දී ඇරඹුණු නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරෙන්නේ 1981 වසරේදීය. එකල රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් වූ නිවෙසක අද මිල කෝටි ගණනකි. අද වන විට කාකදූපත නිවාස යෝජනා ක්‍රමය අක්කර හැටක භූමි භාගයක් පුරා විහිදි ඇත. ජනතාව පදිංචි විමත් සමඟ මෙම ප්‍රදේශයේ පන්සලක්, කෝවිලක් මෙන්ම දේවස්ථානයක් ද මුස්ලිම් පල්ලියක් ද ඉදි වී තිබේ.
“කෙනෙකුට පුදුම හිතෙයි. මේ පැත්තේ ජනතාව බොහෝම සමඟියෙන් ඉන්නේ. ඉස්සර මේ හරියෙන් මුහුදු රැල්ල පාගන්න යන්න බැහැ. මට්ටක්කුලිය කෝවිල හරියෙන් තමයි මුහුදු රැල්ල පාගන්න ඕන. එත් දැන් එහෙම නැහැ. කාකදූපත වෙරළ උද්‍යානය දැන් බොහෝම අළංකාරව පිරිසිදුව තිබෙනවා. පොලිස් මුර පොළක් තිබෙන නිසා ආරක්ෂාව හොඳට තියෙනවා. මහ නගර සභාවෙන් පත් කළ නිලධාරියෙක් සිටින නිසා වෙරළ උද්‍යානය පිරිසුදුවට තියෙනවා. ඒ හැරුණම ප්‍රදේශවාසින්
වෙරළ උද්‍යානය පිරිසිදු කිරීම් කරනවා. වෙනත් පැති වල අය වගේම අද වෙනකොට විදේශිකයන් පවා මෙහෙට එනවා. ඒක අපට ආඩම්බරයක්. ඒ බර්ට්‍රම් මහතා එදා සහ අද දකින කාකදූපතේ වෙනසයි.
කාකදූපත වෙරළ උද්‍යානයේ ඇවිදින්නට වරුවක් ගත කරන්නට ගය කිසිවෙකු එදවස මෙය කිරල ගසින් වැසී ගිය කැලෑවකයි කිසිසේත් විශ්වාස නොකරනු ඇත. ඉර බැස යන සැඳෑවක එහි ගිය විට දකිනුයේ බැසයන ඉරේ රැසින් සුන්දර වූ වටපිටාවත්, විනෝදයෙන් සැහැල්ලුවෙන් දවස ගතකරන මිනිසුන් පමණි.
- ඉසවි
සේයා රූ- සරත් පීරිස්