මේ යුවතිය තමාට “බං” කියන බවක් කිසිසේත් අනුමාන නොකළ ශ්‍රීමා පළමුව විමතියෙන් දෑස දල්වාගත්තාය; එහෙත් දෙවනුව හඬ නඟා හිනැහුණාය. අමාලි ද ඒ සිනාවට හවුල් වූ කල එබිකම් නොකර ඉන්නට පීටර් අපොහොසත් විය. දුටු දසුනින් ඔහු කොපමණ සතුටට පත් වීද කිවහොත් දෙනෙතට කඳුළු ද නැඟිණ.
අමාලි දෙවනුව ගීයක් ගායනා කරන්නට පටන් ගත්තේ රිද්මය හෝ ලයාන්විත බව ද ශ්‍රැතියද මුළුමනින් ම නොසලකා හරිමිනි. එය ගායනයකට වඩා බෙරිහන්දීමක් විය. එහෙත් තමාගේ ප්‍රතිවාදියා මෙන් නිකරුණේ කෑගසන්නට ඇය කැමති නොවූවාය.
“ඕලු පිපීලා විල ලෙළ දෙනවා
සුදට සුදේ නංගෝ...”
ඇගේ හඬ ශ්‍රීමාගේ හඬ පරයා ඉස්මතු විය. ඇය පැරණි ගීයක් තෝරා ගත්තේ ද හිතාමතා බව වටහා ගත් කාංචනා මුව’ග නැඟි සියුම් සිනාවෙකින් යුතුවු යුහුසුලු වූවාය. එහෙත් ඒ පැරණි රසාලිප්ත ගීතය විකෘති කිරීම නොඉවසූ අයෙක් ආලින්දයට කඩා පැන්නේය.
“සින්දුව කනවා...” යි ඔහු අප්‍රසාදයෙන් චෝදනා කළේය.
“නවත්තන්න... නවත්තන්න ඕක”
රමේෂ් අණ කළේ මහත් කෝපයෙනි. එහෙත් ඇය සුපුරුදු මුරණ්ඩුකම ප්‍රදර්ශනය කළා මිස ඔහු දෙස නෙතගින් හෝ බලන්නට කරදර නොවූවාය.
“එක්කෙනෙක් මදිවට දෙන්නෙක්. මොන විකාරයක් ද මේ...?”
ශ්‍රීමා නිහඬ වූයේ ඔහුගේ කෝපය හා අප්‍රසාදය හේතු කොටගෙන නොවේ. අමාලි හඬ නඟා ගයන ගීතයෙන් ඇවිස්සී ගිය සිතිනි. නිකම්ම බෙරිහන් දෙනවාට වඩා ගීයක් ගැයීම ආස්වාදජනක බව ඇයට ඉතා ඉක්මනින් වැටහිණ.
“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා....”
ඇය මුල පිරූ ගීයට අමාලි ද එක් වූවාය. ඒ යුග ගායනය මිහිරි විය. එහෙත් රමේෂ් ඒ මිහිර විඳිනවා වෙනුවට මුළුතැන්ගෙය වෙත ගියේය.
“පීටර්...”
පලතුරු බීම වීදුරුවක් පිළිගැන්වූ පීටර් “බොන්න පුංචි මහත්තයා.. කටු අනෝදා... හරි රහයි. ඒ වගේම ගුණයි..” යි පැවැසුවේ කිසිවක් සිදු නොවූ විලාසයෙනි.
“ඇත්තට ම මේ ගෙදර මිනිස්සුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නෙ? මට නම් තේරෙන්නෑ....”
“ඇයි පුංචි මහත්තයා...?”
පීටර් ඇසුවේ කුඩා දරුවෙකුගේ අහිංසකත්වයෙනි.
“ඇයි කියලා අහන්නේ...? පීටර්ට ඇහුණෙම නැද්ද මමී උදේ ඉඳන් බෙරිහන් දෙනවා. මෙන්න ඊට පස්සේ තවත් එක්කෙනෙක් ඒකට හවුල් වෙලා. ඇත්තටම ඒ ගර්ල්ට පිස්සුද..?”
උමතුවෙන් පසුවන බවට ඔහු සැක කළ යුවතිය හිටි හැටියේ පෙනී සිටියාය. වික්ෂිප්ත වූ තරුණයා වචන සොයා තැතනුවේය.
“පොඩි පිස්සුවක් නැත්තෙ කාටද පුංචි මහත්තයා?” යි සැහැල්ලුවෙන් ප්‍රශ්න කළ ඇය තමාගේ බීම වීදුරුව පිළිගත්තාය.
පීටර් මුළුතැන්ගෙයින් පිට වූයේ සහනදායි බවකින් වෙළී යන හදවතක වග කියාපාන පුළුල් හසරැල්ලක් ද සමඟිනි.
“ඔයාගෙ රෝල් එක මොකක්ද කියලා මට තේරෙන්නෑ අමාලි.. ඔයා ෆාමසියේ වැඩ කරනවා කීවට ඉන්නෙ මෙහෙ. හරි.. ඒක අල්ලලා දාමු. ඒ වුණාට ඔයා ඇයි මට බල කරන්නෙ ඔයාව මැරි කරන්න කියලා?”
ඇය කිසිදු සසල වීමකින් තොරව බීම උගුරක් තොල ගෑවාය. කටු අනෝදා පානය අතිශයින් ප්‍රණීත විය.
“හරිම රසයි. පීටර් අංකල්ට ස්තුති කරන්න ඕන මේ තරම් රසට ජූස් හදනවට...”
“ඔහ්... කෝ මට උත්තර...? මට උත්තර ඕන අමාලි...”
ඔහුගේ අසහනය හා අසන්තෝෂය වටහා ගත් ඇය මඳ සිනාවක් පෑවාය.
“ඉස්සෙල්ලම ඕක බීලා ඉන්නකෝ. ඊට පස්සෙ අපි කතා කරමු..”
ඔහු ඇයට අවනත වූයේ හැකි ඉක්මනින් බීම වීදුරුව හිස්කොට මේ ප්‍රහේලිකාව පුරවා ගනු පිණිසය.
“ඇහෙනවද...?”
තවමත් ඇසෙන ගී රාවය ඔහුගේ අවධානය දිනා ගන්නට සමත් ෙනාවෙයි.
“මැඩම්ට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේද...?”
ඒ ආමන්ත්‍රණයෙන් ඔහුගේ සිත මඳක් රිදිණ.
“ඔයා මේ ගෙදර සර්වන්ට් නෙමේ අමාලි. ඇයි මැඩම් කියන්නෙ?”
“ඒකෙන් එයා සතුටු වෙන හිංදා...”
ඔහු අවඥාවෙන් කට කොන ඇද කළේය.
“ඒ කියන්නෙ තව කෙනෙක් සතුටු කරන්න ඔයාට ඕනම දෙයක් කියන්න කරන්න පුළුවන්..?”
ඇය මඳක් කල්පනා කළාය.
“ඒක අවස්ථාව හා පුද්ගලයා අනුව තීරණය වෙන දෙයක් සහෝදරයා..”
ඔහු හිස් වීදුරුව මේසය මත තැබුවේ හඬ නැඟෙන පරිද්දෙනි. සිත අප්‍රසාදය ඒ හඬ විසින් උළුප්පා දමන බව ඇයට සිතිණ.
“ඔයා වෙලාවකට කියනවා මාව මැරි කරන්න ඕන කියලා. ඒ අස්සෙ මට සහෝදරයා කියනවා. ඇත්තට ම මට ඔයාව තේරෙන්නෑ අමාලි..”
“තව කෙනෙක්ව තේරුම් ගන්න දඟලනවට වඩා හොඳයි තමුං තේරුම් ගන්න එක...”
ඇය හෙළුවේ මවකගේ සොයුරියකගේ කුලුණුබර බැල්මකි.
ඔහු එයින් මඳක් අස්වැසුණේය. එහෙත් ඇගේ සැහැල්ලුව ද සොම්නස ද ඔහුට බොහෝ දුරස්ය. කිසිවකින් නොකැළඹෙන මේ කෙල්ල පිළිබඳව වැඩිමනත් යමක් දැන ගැනීමේ වුවමනාවෙන් ඔහු දැවෙන්නට පටන් ගත්තේය. මේ මවාපාන සැහැල්ලුව සැබැවින් ම ඇය වෙත ඇත්තේද? ඔහු ඒ පිළිබඳ සැක පහළ කළේය.
“ඔයාට ලොකු වැඩක් නැත්තං මාව ඩ්‍රොප් කරනවද ෆාමසියට...?” යි ඇය ඉතා විනීත අයුරින් ඇසූ කල ඔහු හිස සැළුවේය.
“මාත් යන්න ඕන. අක්කා එක්කම යන්නයි මම හිතුවෙ. කොහෙද ඉතිං අපේ මමී පටන් ගත්තනෙ මෙතන යුද්දෙ...”
“එයා නෙමේ.. ඕගොල්ලොයි පටන්ගන්න ඇත්තෙ. එයා එක්ක ඉන්න විදිය ඕගොල්ලො තාම දන්නෙ නෑ. මං කාංචනා මිස්ට මොන තරම් කීවත් වැඩක් නෑ...” යි ඇය නොසතුටින් කීවාය.
“එයා කරන හැම දේටම ඉඩ දෙන එකද එයා එක්ක ඉන්න ඕන විදිය... එයා ලෙඩෙක් අමාලි.. ලෙඩ්ඩුන්ට ඕන විදියට ඉන්න බෑ ලෙඩක් නැති අයට...”
තමා වාද කරන්නට සූදානම් නැති බව හැඟවූ ඇය නැවතත් ශ්‍රීමා වෙත ගියාය. ගීත ගායනය මඳකට නවතා බීම වීදුරුව තොල ගාන ගැහැනිය මඳ වේලාවකට පෙර වියරුවෙන් කෑ ගෑ බවක් සිතාලන්නට ද නුපුළුවන. එපමණටම ශාන්ත දාන්ත වූවාය.
“මම යන්න ඕන මැඩම්..”
අමාලි ගරුසරු සහිතව අවසරය පැතුවාය.
“ඉතිං යන්න... කවුද ඔයාව අල්ලගත්තේ...?”
“ඔව් නේ.. කවුරුවත් මාව අල්ලගෙන නෑ නේ...” යි කී යුවතිය හිනැහුණාය.
කාගෙන්වත් අහන්න ඕන නෑ බං. තමුංට ඕන දේ කරනවා මිසක...”
ඉදිරියට නැඹුරු වූ ශ්‍රීමා ගැඹුරු බැල්මක් සමඟ අවවාද කළාය.
“ඒක නම් ඇත්ත තමා බං..”
මේ යුවතිය තමාට බං කියන බවක් කිසිසේත් අනුමාන නොකළ ශ්‍රීමා පළමුව විමතියෙන් දෑස දල්වා ගත්තාය. එහෙත් දෙවනුව හඬනඟා හිනැහුණාය. අමාලි ද ඒ සිනාවට හවුල් වූ කල එබිකම් නොකර ඉන්නට පීටර් අපොහොසත් විය. දුටු දසුනින් ඔහු කොපමණ සතුටට පත්වීද කිවහොත් දෙනෙතට කඳුළු ද නැඟිණ.
“ඒ පුංචි නෝනා හරි සිරියාවන්තයි පුංචි මහත්තයා...” යි ඔහු මහත් හැඟීම්බර ලෙස පැවසුවේය.
“ඉතිං..? පීටර් මට මොනවද කරන්න කියන්නෙ...?”
රමේෂ් මවා පෑ නොමනාපය නොතැකූ මිනිසා “ඒ නෝනව කසාද බඳින්න පුංචි මහත්තයා..” යි ඉල්ලා සිටියේය.
“හරි කතාවක්නෙ ඒක. ඒ නෝනා සිරියාවන්ත හින්දා මම එයාව කසාද බඳින්න ඕන..? හරි ෂෝක්!
“අනේ එහෙම නෙමේ පුංචි මහත්තයා...”
“පීටර්. කැමති වුණාට බෑනේ. මමීගෙනුත් අහන්න ඕනනේ...” යි කී තරුණයා සිය මව වෙත ගියේ නුවුවමනා හදිසියක් ආරූඪ කර ගනිමිනි.
“මට රමේෂ් එක්කම යන්න පුළුවන් මැඩම්...” යි කියමින් අමාලි වහා නැඟී සිටියාය. ඔහු දෙස හෙළු පළමු බැල්මෙන් ම ඔහු මේ රෝගී ස්ත්‍රියගේ යහපත් මනෝභාවය විනාශ කරන්නට අර අදින බව වැටහී ගියාක් මෙනි.
“මම...” ඔහු යමක් පවසන්නට අර ඇන්දේය.
“හරි හරි ගිහිං එන්න... මට පුළුවං පීටර් එක්ක සින්දු කියන්න...”
ශ්‍රීමා සිය පුත්‍රයා කියන්නක් අසන්නට උනන්දු නොවූවාය.
“පීටර්... පීටර්... මෙහෙ එන්නකෝ.. අර සින්දුව කියන්නකෝ...”
නිවෙසින් පිටවන තරුණ යුවළට පීටර්ගේ ගොරහැඬි හඬ ඇසිණ.
“ෂිට්... අක්කා කාර් එක අරං ගිහිංනෙ.. දැං අපි යන්නෙ කොහොමද..?”
රමේෂ්ගේ කණස්සල්ල ඇයට සිනාවට කරුණකි.
“ඇයි අනේ පොදු ප්‍රවාහන සේවය..” යි කියමින් අමාලි පාරට ගොඩ වූවාය.
“අපි කැබ් එකක් ගෙන්න ගමු..” යි ඔහු යෝජනා කළේය. ඇය හිස දෙපසට වනා එය ප්‍රතික්ෂේප කළාය.
“මෙන්න මෙහේ එන්න අනේ..” යි ඇය ඔහුගේ අතින් ඇද්දේ මව සිය පුත්‍රයාට තරවටු කරන්නාක් මෙනි.
ලබන සතියට...