පුස්කොළ පොත් කියවන භාෂා අටක් කතා කරන ඇමරිකන් මහාචාර්යතුමා | සිළුමිණ

පුස්කොළ පොත් කියවන භාෂා අටක් කතා කරන ඇමරිකන් මහාචාර්යතුමා

- ගිය ආත්මේ පැවිදි වෙලා ඉන්න ඇති කියල හිතෙනවා 
- රී ලංකාවට ආදරේ කරන්නෙ සංසාර පුරුද්දට

පුස්තකාල සේවක මඬුල්ල වෙනදා සේම තම පොත්පත් හා බැඳුණු රාජකාරියේ නියැළී සිටියහ. ඒ වන විටත් පුස්තකාලයේ පොත් පරිශීලනයට පැමිණි දේශීය පාඨකයෝ රැසකි. පුස්තකාල දොරටුවේ වූ යකඩ දම්වැල එක් පසෙකට විය හිස්වැසුමක් පැළැදි කෙනකු බිමට අඩිය තැබුවේය. ඔහු විදේශිකයෙකි. මේ විදේශිකයාගේ පැමිණීම කිසිවෙකුට විශේෂත්වයක් නොවුණේ නිරන්තරයෙන්ම විදේශීය පාඨකයින් කෞතුකාගාර පුස්තකාලයට යන එන බැවිනි. විදේශිකයන් මෙම පුස්තකාලයට එන්නට පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂ 1877 තරම් ඈත කාලයේ සිටය. කොහොම වුණත් ඉදිරිපස රැඳී උන්නේ පුස්තකාලයාධිපතිනි ජෙනට් ශ්‍රියානි මහත්මියයි. සැමට දක්වන්නාවූ සුහද ශීලි සිනහවද පෑ ඇය විදේශිය ප‍ාඨකයාගෙන් විය යුතු සේවාව පිළිබඳ විමසුවාය. ඔහුට අවශ්‍ය කෞතුකාගාර පුස්තකාලය සතු පොත්පත් පරිහරණයට බව කියා සිටීමත් සමඟ පොදුවේ පාඨකයන්ට දෙනු ලබන ප්‍රවේශ පත්‍රිකාව ලබාදෙන්නට විය. මිනිත්තු කිහිපයකින් පසු සිනාමුසු මුහුණින් පුස්තකාලයාධිපතිනිය වෙත පැමිණි ඔහු “මට මේ පොත් ටික හොයල දෙන්න පුළුවන්ද” යි පැහැදිලි සිංහලෙන් අසද්දී පුස්තකාලයාධිපතිනිය හා ඒ අවට උන් පිරිස් තුෂ්ණීම්භූත විය. මේ සුද්දාගේ සිංහල දැනීම කොපමණදැයි මුලදී මැන

ගැනීමට හැකියාවක් නොවුවද ඔහුට අවශ්‍ය වූ පොත් ලැයිස්තුව දුටු විට අපට ඇති වූයේ පුදුමයකි. ඔහු තමන්ට අවශ්‍ය පොත්වල නම් රවුම් සිංහල අකුරෙන් යුතුව පැහැදිලි ලියා තිබිණි.

අර්ක ප්‍රකාශ (1945), වේතාලන් කතාව (1872), ලංකාප්‍රකාරය (1881 සිංහල පත්තරය), කාව්‍ය රසය (සබරගමුවේ විසූ පැරණි කවීන්ගේ ප්‍රබන්ධවලින් යුත් ප්‍රථම භාගය) ඒ තරමට ඔහුගේ සිංහල භාෂාව පිළිබඳ දැනුම ඉහළ විය. දවස් ගණනක් පුරා පුස්තකාලයට පැමිණි ඔහු තමන් විසින් කියවනු ලබන පොතින් දෙනෙත් අහකට ගත්තේ තමන්ට අවශ්‍ය සියලු කරුණු සටහන් කරගැනීමෙන් අනතුරුවය.

පුස්තකාලයාධිපති මධුරංග විජේවර්ධන මහතා ඔහුට අවශ්‍ය පුස්කොළ පොත් සියල්ල ලබාදුන් අතර, ලංකා නිශ්ශංක මහතාත්, මොනිකා බුලත්සිංහල හා පුස්තකාලයාධිපතිනියක් වූ දිලිනි භාග්‍යා මෙණවිය මෙන්ම පුස්තකාල සහායක නිශාන්ති ගමගේ මහත්මිය, නිශාන් ප්‍රියංජන, අමිතා රාජමුනි, සුරංග, එරංගී, සුමාලි ඇතුළු සියලු දෙනා ලක්ෂ විස්සකට එහා ගිය ග්‍රන්ථ එකතුව කරා දුවමින්, පැය ගණනක් වෙහෙස වෙමින් ඔහු වෙනුවෙන් සේවය සපයන්නට විය.

සංස්කෘත භාෂාවෙන් ලියැවුණු අර්ක ප්‍රකාශ වැනි ග්‍රන්ථ ඉල්ලා සිටී ඔහු සමඟ කතා කළෙමි.

“ඔබ මොන විෂයයන් සම්බන්ධවද පර්යේෂණ කරන්නේ” කතාව ඇරඹුවේ එලෙසිනි.

මම රාම, සීතා, රාවණා චරිත ඇතුළත් රාමයණය සාහිත්‍ය ලෝකයට එළැඹීම සම්බන්ධවත්, ඉන්දියාවෙන් එය ලංකාවට ලැබීමේදී කවරකාර බලපෑමක් සිදුවෙලා තියේද කියලත් හොයල බලනවා” ඔහු කියන්නට විය.

ඔහු සඳහන් කළ විෂය ගැන පුළුල්ව සෙවීමට නම් සංස්කෘත භාෂාව දැනගෙන සිටීම වඩාත් වැදගත්ය.

“සංස්කෘත බැරුව කොහොමද රාමායණයක් ගැන පර්යේෂණ කරන්නේ.” “ම‍ට සිංහල, පාලි, සංස්කෘත, දෙමළ, ජර්මන්, ප්‍රංස, ස්පාඤ්ඤ, කියන භාෂා හතම පුළුවන්” බටහිර වැසියකු වූ ඔහු පෙරදිග ලෝකයට වටිනාකම් එක් කරමින් භාෂා ඥානයෙන් පූර්ණව හිඳී.

ඔබට ‘ෂඩ් භාෂා පරමේශ්වර’ කියන්න පුළුවන් නේදැයි අසන්නට විමි. එය අසා ඔහු නිහතමානී හිනාවකින් මුව සරසා ගත්තේය.

ඔහු ජස්ටින් වෙස්ලි හෙන්රිය. ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝවල පදිංචි ජස්ටින් පෙරදිගට පෙම්බදින්නට පටන් ගත්තේ අරුම පුදුම ලෙසිනි.

චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය ලබා ඇති අතර ජස්ටින් ගේ පර්යේෂණ මාතෘකාව වී ඇත්තේ “Distant shores of Dharma tlistorical imagination in Sri Lanka from the Late medieval period” ය. ලංකාව සම්බන්ධ මාතෘකාවක්ම යොදා තම ආචාර්ය උපාධිය ලැබු ඔහු තවමත් ලංකාව අතහරින්නට සූදානමක් නැත.

“ආචාර්ය හෙන්රි” තම ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත්තේ ඇමෙරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයෙනි. එහි පර්යේෂණ නිබන්ධන මාතෘකාවද සිංහල බෞද්ධ සාහිත්‍යය පෙරදැරි කොට සකස්කර ඇත්තේය “The Aesthetics of Authority Emotion, Devotion and power in the sinhala Buddhist Literature of medieval sri Lanka” ය.

ඇමරිකාවේ කොල්ගේට් විශ්වවිද්‍යාලයෙන් තම මූලික උපාධිය හිමිකරගත් ආචාර්ය හෙන්රි තම පර්යේෂණාත්මක ලෝකයේ ප්‍රියතම වපසරිය හා කිරුළ කොටගෙන ඇත්තේ අප මාතෘ භූමිය වන ලංකාවයි. ඔහුට ලංකාව තම නි‍ෙවස සේම සමීප වූ ස්ථානයකි. දැනට ඔහු ඇමරිකාවේ ලොයෝලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි.

මම මුලින්ම ලංකාවට අවේ 2005 අවුරුද්දේ. ඒ ඇවිත් අවුරුද්දක් හිටියා. ආපහු 2006 අවුරුද්දේ ආවා. ඊට පස්සේ අවුරුදු හතරක් විතර මම මේ රටේ හිටියා. මම නතර වෙලා හිටියේ කොට්ටාවේ. මගේ යාළුවෙකුගෙ ගෙදර. මගේ ලංකාවේ අම්මා “හේමා” එයා මට ආදරෙයි. “ජස්ටින් සුදු පුතා කියල මට කතා කරන්නේ.” මේ මගේ අතේ තියන පිරිත් නූල මගේ ලංකාවේ අම්මා තමා දුන්නේ” ආචාර්ය හෙන්රි ඔහුගේ පිරිත් නූල බැඳි දකුණත බො‍හෝ ආඩම්බරයෙන්, ආදරයෙන් ඔසවා පෙන්වයි.

පශ්චාත් උපාධිය කරන්න ගනිද්දි මගේ ගුරුවරයා කිව්වා ඔයාට මේ භාෂාවෙන් ඉගෙන ගන්න ලංකාවට යන්න ඕන නම් මගේ යාළුවො ඉන්නවා. මම එයාලව සම්බන්ධ කරන්නම් කියලා. ඉතින් මට සිංහල ඉගැන්නුවේ කැලණිය විශ්වවිද්‍යාල ගුරුවරයකු වන මහාචාර්ය කරුණාරත්න මහත්තයා ඒ ගුරුවරු මට හොඳම විදියට ඉගැන්නුවා” ඔහු මහාචාර්යවරයා සමඟ ගත් ඡායාරූපද පෙන්වන්නට විය.

මම සංස්කෘත ඉ‍ෙගන ගනිද්දී මම හිටියේ සංස්කෘත ශබ්ද කෝෂේ ඇඳේ කොට්ටය ගාව තියන්. මම නිදාගත්තෙත් එහෙම මම කැපවුණා ඉගෙන ගන්න”

ආචාර්ය හෙන්රි එපමණක් නොව මේ වන විට ත්‍රිපිටකය කියවා අවසානය. ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ ඉහළම ඉඩකඩ අත්පත්කොටගෙන ඇත්තේ ත්‍රිපිටක ග්‍රන්ථය ය. රාමායණය ලංකාවට පැමිණි අයුරු පිළිබඳ පර්යේෂණ කරන ආචාර්ය ජස්ටින් හෙන්රි තම ආචාර්ය උපාධිය කළ පසු විවාහයක් කොටගෙන තම රැකියාවේ යෙදෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනු ඇතැයි ඔහුගේ ඥාතීන් සිතා ඇත. නමුත් ඒ සිතුවිල්ල වැරදිය.

ඔහු තම ආචාර්ය උපාධියෙන් පසු නැවත ලංකාවට පැමිණියේය. “මට ආචාර්ය උපාධියෙන් නතර වෙන්න ඕන වුණේ නෑ. මට තව මගේ කැමතිම ර‍ට ගැන කැමතිම සාහිත්‍යය ගැන තව දුරටත් පර්යේෂණ කරන්න තියෙනවා. මට මේ ලෝකෙට අපි ආවේ යම් කටයුත්තකට යහපත් යමක් කරන්න. යහපත් යමක් විඳින්න. ඉතින් මම ඒක කරනවා. මට එක තැනකට කොටුවෙලා ඉන්න ඕන නෑ” මේ ආචාර්ය ජස්ටින් හෙන්රි විසින් තම සගයන්ට සපයන පිළිතුරයි.

ඔහු අපේ සාහිත්‍යයට පමණක් නොවේ අපේ සංස්කෘතියට අපේ රටේ කෑම බීමට පවා කැමතිය.

“රොටී කන්න මම ආසයි. මම මුලින්ම ලංකාවට එද්දී හුඟක් කෙට්ටුවට හිටියා. බත් කාලා හොඳට මහත් වුණා.”

“මම ලංකාවට හරිම කැමතියි. ලංකාව තමා හොඳ”

මම ලංකාවේ හුඟක් තැන්වල ඇවිදලා තියෙනවා. වැඩිපුරම අනුරාධපුරයට යන්න කැමතියි. අනුරාධපුර නගරය ගැන මට අපූරු මතකයක් තියෙනවා. මම මුලින්ම අනුරාධපුරේ බලන්න ගියා එදා රෑ මම දැක්කා හීනයක්. ඒ හීනෙන් දැක්කෙ මම බෞද්ධ භික්ෂුවක් වෙලා භාවනානුයෝගීව ඉන්නවා. මට හිතුණේ ඒ මම ගිය ආත්මෙ කියලා මම මේ තරම් බුද්ධ දර්ශනයට, පෙරදිග සංස්කෘතියට, ලංකා‍වට ආස, ආදරේ ඒ සසර පුරුද්දට කියලා මම තවම හිතනවා.

ලංකාවේ සාහිත්‍යය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා සිටින ආචාර්ය හෙන්රි ඒ ගැන කතා කරන්නේ බොහෝ ගෞරව පූර්වකවය.

ලංකාවේ පුරාණ සංස්කෘතියක් ති‍ෙයනවා. බුදුන්ගේ කාලේ ඉඳල වගේම, ඊටත් කලින් ඉදල මහාවංසෙ, දීපවංසෙ ලියවිලා තියනවා යක්ෂ, නාග, අසුර ගැන ඒ වගේම අතීතයේ යක්ෂයන්ට තිබුණ බලය ගැන මම හදාරලා තියනවා. මම ලංකාවේ සිංහල භාෂාවේ කවිවලට හුඟක් ආදරෙයි. කියන්න අමාරු හුඟක් අදහස් හරිම පහසුවෙන් කවිවල ලියල තියනවා. ඒ නිසා මම ඒ කවිවල විපුල බවට කැමතියි. විනෝදාත්මකයි.

ලංකාවේ විවිධ යුග ගාණක් තියනවා. ඒ හැම යුගයෙන්ම මම කැමතිම කෝට්ටේ යුගයට. හේතුව තමයි සංදේශ කාව්‍ය කෝට්ටේ යුගයේ ලියැවුණු නිසා. මුල්ම කාව්‍ය සංදේශය වුණු කෝකිල සංදේශය කොයිතරම් රසවත්ද, ලස්සනද! ඒක තමා දිගම සංදේශය. ඔහු කතා කරන අතරේම තම පරිගණකයේ ඇති සංදේශ කවිද පෙන්වන්නේය. ඇතැම් කවි මුද්‍රිත පොත්වලින් නොව පුස්කොළ පොත් භාවිතයෙන් උපුටාගත් කවිය. නැවත අවුරුද්දකින් ලංකාවට ඒමට සපථ කොට පසුගියදා ලංකාවට පෙම්බැදි අපූරු ආචාර්යවරයා ලංකාවෙන් සමුගත්තේය.

“කරපු උදව්වලට ස්තූතියි!”සමුගන්නට පෙර ඔහු පැවැසුවේ සුහද සිනහවකිනි.

ඒ ඔහු කෙටි කලකට අපේ රටෙන් සමුගෙන ගියද ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර, පියර්සන් මාවතේ, ලුවිස් කුලුනේ අංක 930 දරණ නි‍ෙවසේ සිටිය ද අපේ රට ගැන සිතන බව නම් නොඅනුමානය.

සඳරැසි සුදුසිංහ

Comments