හදවතක් ඉල්ලා හඬන දරු කැකුළු | Page 2 | සිළුමිණ

හදවතක් ඉල්ලා හඬන දරු කැකුළු

වසරකට උපදින හදවත් රෝගි දරුවන් අතරින් 900කට තිකාර කරනු ලබන අතර එය 1500 දක්වා වැඩි කිරීම වෛදවරුන්ගේ අරමුණය. මේ ගණන තවත් වැඩි කිරීමට නම් අවශ වන්නේ ශලාගාර, දැඩි සත්කාර ඒකක පහසුකම්ය. උපදින දරුවන් රැක ගැනීමට නම් අප කළ යුතුව ඇත්තේ ඒ ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා දෑත් දිගු කිරීමය. ඇතැමුන් ආධාර කර ඇත්තේ මිලියන ගණනෙනි. තවත් අය රුපියල දෙකෙනි. ඒ කවුරු කොහොම ආධාර කළ ද සියල්ල සිදු වන්නේ විනිවිදභාවයෙනි. 

* අවුරුදු 5ට අඩු දරුවන් වැඩිදෙනෙකුගේ මරණවලට හේතුව හෘදරෝග 
* සැත්කම සාර්ථක කරගන්න මිනිස් හදවතක පටකම බද්ධ කළ යුතුයි

මෙය අතීත අත්දැකීමකි. වේලාව හවස පහ පසු වී තිබෙන්නට ඇත. නැවතුමේ නතර කර තිබූ බසයේ මඟීන් සිටියේ කිහිප දෙනෙකි. අවුරුදු හතළිහ හතළිස් පහ තරමේ පිරිමියෙකු බසයට ගොඩ වූයේ සිඟිත්තියකද කර පින්නාගෙනය. දැරිය සිටියේ ඔහුගේ උරහිසේ හිස හොවාගෙනය. ඔහු සිය දියණිය පිළිබඳ කියවාගෙන යන්නට වූයේ යාදින්නකි. ඇතැමුන් බලාසිටියේ දෑසේ කඳුළු පුරවාගෙනය. දැරිය උපතින්ම හදවතේ ආබාධයකින් පෙළෙයි.

“ඉක්මනින් කළ යුතුයි කියා වෛද්‍යවරුන් දන්වා සිටියා. ......පෞද්ගලික රෝහලේ දී සිදු කිරීමට ......මුදලක් වැය වෙනවා. මෙවැනි බස් රථවල ගමන් ගන්නා මඟීන්ගෙන් ලැබුණ මුදල.....යි. තවත් ලක්ෂ පහක් සොයාගත යුතුයි . අනේ නෝනාවරුනි, මහත්වරුනි මගේ දුවගේ ජීවිතය බේරාගැනීම සඳහා මුදල් ලබා දෙන්න.” දැරිය ද කර පින්නාගෙන ඔහු අසුනින් අසුනට යමින් අතපායි. සිඟිත්තිය කෙරෙහි අනුකම්පා හදැත්තන් පසුම්බිවලින් රුපියල් සියයේ පනහේ කොළ එළියට ආවේ නිර්ලෝභිවය. මා අසලට පැමිණි විට ඔහුට හෙට උදේ පැමිණ හමු වන්නයැයි කියා ලිපිනය දුන්නේ දැරිය ළමා රෝහලට යොමු කිරීමේ අරමුණෙනි. කොළ කැබැල්ල ගුළි කරගත් ඔහු අඩියට දෙකට බසයෙන් බැස ගියේය.

ඒ අතීත සිදු වීම යළිත් සිහිපත් වූයේ ඉකුත් දිනෙක බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය විටය. දිනපතා ප්‍රතිකාර ගැනීමට ළමා රෝගීන් තුන්දාහක් පමණ පැමිණෙන අතර ඒ අතුරින් දරුවෝ 900ක් පමණ දිනකට රෝහලට ඇතුළත් කරගනු ලබති. එදා මෙන් නොව අද ළමා රෝහලේ බොහෝ පහසුකම් ඇත.

ඒ උදෑසන අප එහි යන විටත් බිලිඳු දරුවන් රැගෙන පැමිණි මවුවරු පෝලිම්වල තම වාරය එන තුරු බලා සිටිනු දක්නට ලැබිණි.

පරීක්ෂණය ඇර‍ෙඹ්

ළමා රෝහලේ ලේ බැංකුව අසලින් ඇති කොරිඩෝව දිගේ ගිය අප අවසානයේ නතර වුයේ කැත් ලැබ් කාමරය ඉදිරිපිටය. මොහොතකින් ඇරුණු දොරකින් හිස දමා ඔහු අප ඇතුළට කැඳවීය. “මම වැඩක්. ටිකක් ඉන්න.”

ළමා හෘදය රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා ඒ සැණෙන් ශල්‍යාගාරය තුළට වැදුණේය.

සිත මොහොතකට නතර වූ සේය. ශල්‍යාගාරය ඇතුළත වූ ඇඳේ සිටියේ වයස අවුරුදු හතරක් තරමේ හුරුබුහුටි කොලු පැටියෙකි. ඒ වන විටත් දරුවා මුළු මනින්ම නිර්වින්දනය කර තිබිණි. කාර්ය මණ්ඩලය තම තමන්ට අදාළ කාර්යවල යුහුසුලුව නිරත වී සිටියේය. පරීක්ෂණය සඳහා සියල්ල සුදානම්ය. විශේෂඥ වෛද්‍යවරයාගේ දෑත් කඩිසරය. ගත වූයේ ක්ෂණයකි. දැරුවාගේ හදවතේ ඇති වරද සෙවීම සඳහා වන පරික්ෂණය ඇරඹිණි.

අපේ ඇස්වලට විවේකයක් නැත. විටෙක ඇස් දෙක ශල්‍යාගාරය තුළය. තවත් විටෙක ඇස්දෙක අප සිටිනා කාමරයේ ඇති පරිගණක තිරය මතය. ඇඳ මත සිටින සිඟිත්තාගේ හදවතේ ක්‍රියාකාරිත්වය, පරික්ෂණය කෙරෙන් ආකාරය පරිගණක තිරයේ දිස් වෙයි. ඒ සියල්ල බලා සිටින විට සිඟිත්තෙකුගේ දිවි බේරාගන්නට ඉවසීමෙන් කැප වීමෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ගැන ඇති වන්නේ ආදරයකි.

මේ අප දකින්නේ එක් දරුවෙකු වෙනුවෙන් කරනු ලබන සේවාවක් පමණි. දිනකට මසකට වසරකට ළමා රෝහලේදී දරුවන් වෙනුවෙන් කරනු ලබන හදවත් සැත්කම් ගණන බොහෝය.

ලෝක හදවත් දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් තුන් වැනිදාය. ලෝක ළමා දිනය යෙදී ඇත්තේ අනිද්දාටය. මේ සුදානම ළමා දිනය ගැන හෝ හදවත් දිනය ගැන කතා කරන්නට නොව, අපේ රටේ උපදින, හෙට උපදින්නට සිටින දරුවන්ගේ හදවත් සුරක්ෂිත කිරීමට ඔබට ද අපට ද කළ හැක්කේ කුමක්දැයි සොයා බලන්නටය. ගෙවී ගිය තත්පර විනාඩි ගණන තුළදී අපට සිතුණු දෑ බොහෝය.

“අපි මේ දරුවාට මීට පෙර සැත්කමක් සිදු කර තිබෙනවා. දැන් බැලුවේ ඊළඟ පරීක්ෂණය සඳහා සුදුසු ද කියලයි. අපේ රටේ වසරකට හදවත් රෝගී දරුවෝ 3000ක් උපදිනවා. ඒ හදවත් රෝග අතරින් සමහර එවා සුළු ආබාධ තත්ත්වයන්. ඒවාට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඇතැම් රෝගී තත්ත්වයන්ට පහසුවෙන් ප්‍රතිකාර කරන්නට පුළුවන්. හෘදය වස්තුවේ ඉහළ කුටීර දෙක අතර ඇති වන ආබාධ වලට පහසුවෙන් ප්‍රතිකාර කරන්නට පුළුවන්. උඩ කුටීර දෙක අතර තියෙන සිදුරුවලට ප්‍රතිකාර දරුවාට අවුරුදු පහ දහය අතර කාලයේදි කළාම ඇති.

ඇතැම් හෘදයාබාධවලට නිශ්චිත කාල තිබෙනවා ශල්‍යකර්ම කරන්නට. ඇතැම් ඒවා තිබෙනවා ප්‍රතිකාර කරනවාට වඩා හොඳයි නොකර ඉන්න එක. අද වන විට ලංකාවේ රෝග හඳුනාගැනීම බොහෝම හොද මට්ටමක තිබෙනවා. ළදරුන්ගේ හෘදයාබාධ කුඩා කාලයේදීම හඳුනාගත්තාම ප්‍රතිකාර කිරීම පහසුයි. ඇතැම් විට අම්මලාගේ නොසැලකිලිමත්කම නිසා තමයි දරුවන්ට ප්‍රතිකාර කිරීමට තිබෙන අවස්ථා නැති වී යන්නේ. දරුවා ඉපදුණාට පස්සේ වෛද්‍යවරයා කියනවා නම් මේ දරුවාට යම් ආබාධයක් කියලා, ඒ දරුවා හෘදය රෝග සම්බන්ධ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට පෙන්විය යුතුයි. එහෙම නැතුව දරුවා නීරෝගිව ඉන්නවා කියලා ඒ අවස්ථාව මඟහැරියහොත් තත්වය දරුණු වෙන්නට පුළුවන්.”

ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා අද තත්ත්වය පවසන්නට විය.

අපේ රටේ වාර්ෂිකව බිලිඳුන් 370,000ක් පමණ උපදින අතර ළදරු මරණ සංඛ්‍යාව 3000ක් පමණ වේ. අපේ රටේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ හෘද රෝග බව පර්යේෂණවලින් හෙළි වී ඇත. හෘද රෝග ඇති දරුවන් සඳහා නිසි ප්‍රතිකාර කඩිනමින් ලබාදීමට නම් රෝහල්වල අවශ්‍ය පහසුකම් තිබිය යුතුය. මේ අරමුණින් පසු ගිය වසරේදී ළමා රෝහලේ හෘද රෝග ඒකකය සහිතව අංග සම්පුර්ණ දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. ඒ ලිට්ල් හාර්ට් ව්‍යාපෘතියයි.

එම ගොඩනැගිල්ල සැලසුම් කර ඇත්තේ අංග සම්පුර්ණ දැඩි සත්කාර ඒකකයක් සහිතව මහල් දහයකින් යුත් ගොඩනැගිල්ලක් ලෙසය. මහල් හතරක හෘදය රෝග සම්බන්ධයෙනුත් , මහල් තුනක් දැඩි සත්කාර ඒකකයටත්, තවත් මහල් දෙකක් නව ජන්ම සත්කාර ඒකකයටත්, ඉහළ මහල කාර්ය මණ්ඩලය සඳහාත් වෙන් කර ඇත. වසරකට උපදින හදවත් රෝගි දරුවන් අතරින් 900කට ප්‍රතිකාර කරනු ලබන අතර එය 1500 දක්වා වැඩි කිරීම වෛද්‍යවරුන්ගේ අරමුණය. මේ ගණන තවත් වැඩි කිරීමට නම් අවශ්‍ය වන්නේ ශල්‍යාගාර , දැඩි සත්කාර ඒකක පහසුකම්ය. උපදින දරුවන් රැක ගැනීමට නම් අප කළ යුතුව ඇත්තේ ඒ ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා දෑත් දිගු කිරීමය.

ඇතැමුන් ආධාර කර ඇත්තේ මිලියන ගණනෙනි. තවත් අය රුපියල දෙකෙනි. බන්ධනාගාර ගත රැඳවියන් ද තම දිනක ආහාර වේලේ වියදම පරිත්‍යාග කර ඇත. ඒ කවුරු කොහොම ආධාර කළ ද සියල්ල සිදු වන්නේ විනිවිදභාවයෙනි. ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයුතු කැරෙන්නේ නාවික හමුදාවෙනි.

ලිට්ල් හාර්ට් යනු කිසි වෙකුගේ තනි සිහිනයක් සැබැ කරගැනීමක් නොවේ. එය රටේම දරුවන් වෙනුවෙන් සැබෑ කරගත යුතු සිහිනයකි.

“මේ වන විට යාපනය, අනුරාධපුරය, කුරුණෑගල. පේරාදෙණිය, කරාපිටිය හා කොළඹ රජයේ රෝහල්වල හෘදය රෝගි දරුවන්ට ප්‍රතිකාර කරනවා. මේ ගොඩනැගිල්ල ඉදි කරන්නේ හෘද රෝග සඳහාම පමණක් නොවෙයි. නිව්මෝනියාව, ඩෙංගු ආදි රෝගවලින් පෙළෙන දැඩි සත්කාර පහසුකම් අවැසි රෝගි දරුවනුත් වෙනුවෙන්. අපි බලාපොරොත්තු වෙනවා මෙය වසර දෙකක් ඇතුළත ඉදි කර අවසන් කරන්නට.” වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා පවසන්නේ බලාපොරොත්තු සහගතවය.

මේ වන විට ළමා රෝහල සතුව පටක බැංකුවක් ද ඇත. එය ආරම්භ කරන ලද්දේ පසුගිය වසරේදීය.

‘කැත් ලැබ්’ සිට පටු කොරිඩෝවක පටක බැංකුවට යන කෙටි දුරදී අවට බැලීමි. දුටුවේ දැඩි සත්කාර ඒකකයකි. වීදුරු ජනේලයට මුහුණ තද කර බලන විට දුටුවේ හෘදය සැත්කම් සිදු කිරීමෙන් පසු දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන පොඩිත්තෝ කිහිප දෙනෙකි. එක් සිඟිත්තියකට හෙදියක් සිරින්ජරයකින් කිරිපොවමින් සිටියාය. ඒ සිඟිති අත්පා එහෙට මෙහෙට කිරීමට බැරිය. පෙනෙන්නේ මැෂින් ඔස්සේ සවි කළ වයර් කිහිපයකි. දහසක්.......... හිතේ තබාගෙන පටක බැංකුවට ගියෙමු.

“අපේ කැත් ලැබ් එක 2018 වසරේදි අලුත් කෙරුවා. සාමාන්‍යයෙන් ශල්‍යාගාරයක් වසර දහයකට වඩා පාව්ච්චි කරන්න බැහැ. එය අලුත් කරන්න ඕන. අප පසුගිය වසරේදී තමයි පටක බැංකුව පටන් ගත්තේ. ළමා හෘදය සැත්කම්වලදි අවශ්‍ය වන පටක මෙයින් ගන්න පුළුවන්. මේ පටක අවුරුදු පහක් තබාගන්න පුළුවන්. මීට පෙර කළේ පිටරටින් කෘත්‍රිම පටක හෝ සත්ත්ව පටක ගෙන්වීම. ඔක්තෝබර් 3 වැනිදාට ලොක හදවත් දිනය යෙදෙනවා . මෙවර තේමාව මගේ හදවත - ඔබේ හදවත යන්නයි.

අපේ රටේ වසරකට හෘදයාබාධ නිසා වැඩිහිටි මරණ 2800ක් පමණ සිදු වෙනවා. පපුවේ යම් කැක්කුමක් ආ විට අපි ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම කෑම බීම. වෙනත් රෝග ගැන සැලකිලිමත් වෙනවා වගේම තමන් වැඩ කරන ස්ථානයේ සහ නිවසේ යහපත් පරිසරයක් තිබීම වැදගත්. මොකද ආතතියත් හෘදය රෝගවලට බලපානවා. අපි හැම විටම සතුටින් සිටිය යුතුයි කියන පණිවිඩය සමාජයට යා යුතුයි.

වෛද්‍ය සමරසිංහයන් පවසන්නේ බොහෝ අවධානයෙනි.

කපාට බද්ධය

මේ ලිපිය අවසන් කරන්නට පෙර ඔබට කියන්නට පණිවිඩයක් ඇත. එනම් ළමා රෝහලේ පටක බැංකුවට ඔබේ සහාය දිය හැකිය.

එහි සිටි නිලධාරියකු අපට පැවැසුවේ මෙවැනි කතාවකි.

“පටක බැංකුවට අප ලබාගන්නේ මිය ගිය අයගේ හදවත පමණයි. සෑම මිය ගිය කෙනෙකුගේම හදවත් අප ගන්නේ නැ. හදිසි අනතුරවලින් හෝ වෙනත් ලෙඩරෝගවලින් මිය ගිය මිය ගිය නීරෝගි හදවතක් හිමි නම් අප ඒ හදවත ලබාගන්නවා. කොළඹ අවට රෝහල්වලින් පමණයි එසේ ලබාගන්නේ. යම් අයෙකු මියගොස් පැය විසි හතරක් යෑමට පෙර ඒ කෙනාගේ ඥාතීන් හදවත ලබාදීමට කැමැත්ත අදාළ රෝහලේ අධිකාරිතුමාට දැනුම් දුන් විට අපට එය ලබාගැනීමට කටයුතු කළ හැකියි. මිනිස් හදවතක කපාට බද්ධ කළ විට කල් පැවැත්ම වැඩියි වගේම දිර්ඝ කාලිනව ඖෂධ වර්ග පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. වයස මාස හයේ සිට අවුරුදු හතළිහ දක්වා මිය ගිය අයගේ හෘදය වස්තුව ලබාදෙන්න පුළුවන්.“

කෙනෙකු මිය ගිය ද ඔහුගේ හදවතින් තවත් අයෙකුට ජීවිත ලැබේ නම් එය කොතරම් වටින්නේද? දසමසක් මවු කුස හිඳ බිහි වන දරුවාට නීරෝග හදවතක් උරුම නොවූයේ නම් ඒ සිඟිති හදවත සුවපත් කරන්නට ඔබට දායක විය හැකිය.

මේ කතාව අවසානයේ අතීත කතාව යළිත් සිහි වේ. එනම් තම දියණියට හෘදය රෝගයක් ඇතැයි බස් රථයේ මුදල් එකතු කළ පියා ගැනය.

“ඇත්තටම කූට ජාවාරමක් සිදු වෙනවා. මේ රෝහලෙන් ප්‍රතිකාර ගන්නා දරුවන්ගේ වෛද්‍ය වාර්තා අරන් ගිහිල්ලා ඇතැමුන් වෙනත් දරුවෙකු මවක් පාරට යවලා මුදල් එකතු කරනවා. එහෙම එකක් දැක්කොත් ඒ වාර්තාව අපේ රෝහලෙන් නිකුත් කළ එකක් නම් එහි සත්‍ය අසත්‍යතාව බලාගන්න පුළුවන්. මෙහෙ දැනට හෘදය රෝග දරුවන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකගේ තොරතුරු පරිගණකගත කරලා තියෙනවා.” වෛද්‍ය සමරසිංහ පවසන්නේ බොහෝ විශ්වාසයෙනි.

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments